කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බලධාරීන්ගේ හා මහජනතාවගේ වගකීමක්


කොරෝනා වෛරස් රෝගී තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වීමේ අධිඅවදානම් තත්ත්වයක් මතු වී තිබේ. ශ්‍රී ලංකාව තුළින්ද රෝගියෙකු වාර්තා වී ඇත. මේ හේතුවෙන් මෙම රෝගය වළක්වා ගැනීමට ගතයුතු පියවර පිළිබඳව හා රෝග ලක්ෂණ පිළිබඳව %අද^ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සමග කතාබහක නිරත වූයෙමු.


නව කොරෝනා වෛරසය

පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දින චීනයේ හුබේයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් තමයි මුලින්ම කොරෝනා වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු සොයාගත්තේ. මේ වනවිට මෙම වෛරසය චීනයට පමණක් නොවෙයි මුළු ලෝකයටම තර්ජනයක් වෙමිනුයි තිබෙන්නේ.
අද වනවිට ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකින්ම කොරෝනා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් වාර්තා වෙනවා. පොදුවේ කියනවා නම් ලෝකය පුරා රෝගීන් දෙදහස් පන්සියයක් විතර වාර්තා වෙලා තියෙනවා. ඉන් බහුතරයක් වාර්තා වෙලා තියෙන්නේ චීනයෙන්. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපදයෙන්, කැනඩාවෙන්, ප්‍රංශයෙන්, ඔස්ට්‍රේලියාවෙන් හා ආසියානු රටවල් කිහිපයකින් රෝගීන් වාර්තා වෙනවා.

ලංකාවෙන් රෝගීන් වාර්තා වීම

චීනයේ සිට පැමිණි කාන්තාවකට මෙම වෛරසය ශරීරගත වෙලා තිබෙනවා කියලා මේ වනවිට සොයාගෙන තියෙනවා. එම කාන්තාවට නිසි ලෙස ප්‍රතිකාර ලබාදීමට අපේ රටේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය කටයුතු කරලා තියෙන්නේ. ඊයේ (27දා) වනවිට එම කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් තිබුණේ. ඒක නිසා කිසිදු පුද්ගලයෙකු අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැහැ. මොකද රෝගය පැතිරයාම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම එම කාන්තාව ගමන් කළ ස්ථාන හඳුනාගෙන තිබෙනවා. එම ස්ථානවලට වෛද්‍යවරුන් ඇතුළු වගකිවයුතු පිරිස් ගිහිල්ලා පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ.

මුඛ ආවරණ පැලඳීම

සමස්ත ලංකාවේම ජනතාව මුඛ ආවරණ පැලඳිය යුතු තත්ත්වයකට රට පත්වෙලා නැහැ. ඒත් අවධානයෙන් සිටීම හොඳ දෙයක්. විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් ගැබිනි මවුවරුන් මුඛ ආවරණ පැලඳීමට කටයුතු කරනවානම් හොඳයි. ඒත් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ජනතාව මුඛ ආවරණ පැලඳිය යුතු නම් ඒක සෞඛ්‍ය අංශ විසින් දැනුවත් කරාවි. ඒත් තාම එහෙම තත්ත්වයක් නැහැ. හැබැයි අපි කියන්නේ නැහැ මුඛ ආවරණ පලඳින්න එපා කියලා. අපි කියන්නේ සමස්ත ජනතාවටම මුඛ ආවරණ පැලඳිය යුතු තත්ත්වයේ අවදානමක් රට තුළ නැහැ කියලා විතරයි.

රෝගය බෝවීම

දැනට සොයාගෙන තියෙන ආකාරයට වාතය හරහා මෙම රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ වගේම කෙළ බිඳිතිවලින් රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු සමග කිට්ටු සම්බන්ධතා පැවැත්වීම තුළින් මෙම රෝගය බෝවෙන්න පුළුවන්. ඒ වගේම වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකුට ඇතිවන කැස්සකදී, සොටු දියර ගැලීමකදී, කෙළ බිඳිති අදාළ රෝගියාගේ අත්වල තැවරීමෙන් පසු ඔහු උපකරණයක් හෝ භාණ්ඩයක් අතින් අල්ලා තිබුණොත් ඒ හරහා තවත් පුද්ගලයෙකුට බෝ වෙන්න පුළුවන්. ඒනිසා සියලුම දෙනාම සැමවිට පිරිසිදු කාරකයක් යොදාගෙන අත් සේදීමකට ලක්කළ යුතුයි. ඒ වගේම උපකරණ හා භාණ්ඩ පිරිසිදු කිරීම වැනි දේවල් සිදුකළ යුතුයි.

මූලික රෝග ලක්ෂණ

මූලික රෝග ලක්ෂණ ලෙස අධික උණ, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, උගුරේ ආසාදන තත්ත්වය, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම අධික හිසරදය, පාචනය, ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණත් පෙන්නුම් කරන්න පුළුවන්. මෙතැනදී කියන්න ඕනේ මේ දිනවල ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයක් තියෙනවා. ඒ පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතු වෙනවා.

රෝග අවදානම

කොරෝනා රෝගය දරුණු තත්ත්වයකට පත්වුණොත් නිව්මෝනියා තත්ත්වයකට ගමන් කළ හැකියි. අවසානයේදී වකුගඩු අකර්මණ්‍ය වෙලා රෝගියා මරණයට පවා පත්විය හැකියි. ඒක නිසා යම් රෝග ලක්ෂණයක් මතු වූ වහාම ප්‍රතිකාර ලබාගත යුතුයි.

ප්‍රතිකාර ලබා ගැනීම

යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් ළඟම රෝහලට ගිහිල්ලා ප්‍රතිකාර ලබාගත යුතුයි. ඒ වගේම රෝගියාගේ රෝග ලක්ෂණවලට අනුව යම් සැකයක් ඇති වුවහොත් වෛද්‍යවරුන් විසින් ඉදිරි කටයුතු කරනවා. මෙතැනදී කියන්න ඕනේ ප්‍රධාන කාර්ය තමයි %නව කොරෝනා^ වෛරසය සොයා ගැනීමේ පහසුකම අපේ රටට තියෙනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ දැඩි කැපවීම මත මෙම තත්ත්වය අපිට ලැබිලා තියෙනවා. අපේ කලාපයේ රටවල් ගත්තම මෙම පහසුකම් තියෙන්නේ ඉන්දියාවට හා අපිට පමණයි. ඒක නිසා රෝගය හඳුනා ගැනීමේ හැකියාව අපි සතුව තියෙනවා. ඒ දේ කරගන්න ජනතාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට පැමිණිය යුතු නැහැ. අදාළ රෝහල් තුළින් ඒ මැදිහත්වීම සිදුකරනවා.

රෝහල් පහසුකම්

කොළඹ අංගොඩ උණ රෝහල තුළ මේ සඳහා පහසුකම් තියෙනවා. වෛරසය ශරීරගත වූ රෝගියා වගේම වෛරසය ශරීරගත වූ බවට සැක කරන රෝගීන් කිහිප දෙනෙකු එම රෝහලේ ප්‍රතිකාර ලබාගන්නවා. ඒත් රෝගීන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. ඒ සඳහා අංගොඩ ජාතික උණ රෝහල තුළ වාට්ටු දෙක තුනක් මේ සඳහා වෙන් කර තැබිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. මොකද රෝගය ඇතිවූ පුද්ගලයන් සාමාන්‍ය රෝගීන් සමග ගැවසීම තුළින් රෝගය පැතිර යා හැකි බැවින් මෙම වෛරසය ශරීරගත වූ පිරිස් වෙන්කර තැබිය යුතුයි.

අවදානම් කාණ්ඩ

ඕනෑම කෙනෙකුට මෙම වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. ඒත් රෝගය ඉක්මනින් ඇතිවීමේ හැකියාව තියෙන්නේ වැඩිහිටි පුද්ගලයන්ට, ගර්භිණී මවුවරුන්ට, දියවැඩියා රෝගීන්ට, ඇදුම හා ක්ෂය රෝගය ඇති අයට හා කුඩා දරුවන්ට. ඒ වගේම ශ්වසන පද්ධතිය ආශ්‍රිතව රෝග තියෙන අයටත් මෙම රෝගය ඇතිවීමේ හැකියාව වැඩියි. මේ නිසා සියලුම ජනතාව ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.

ප්‍රතිකාර

රෝගීන් සඳහා නිශ්චිත ප්‍රතිවෛරස් කාණ්ඩ ඖෂධයක් තාම හොයාගෙන නැහැ. ඒ වගේම රෝගය වළක්වා ගැනීමේ එන්නතක් පවා සොයාගෙන නැහැ. ඒත් රටක් ලෙස අපිට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර තියෙනවා. අධික උණ තත්ත්වයට, හිසරදයට කැස්සට ප්‍රතිකාර ලබාදීමට අපිට හැකියාව තිබෙනවා. ඒ කියන්නේ %කොරෝනා^ වෛරසයේ මූලික ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමට හැකියාව තිබෙනවා කියන එකයි. ඒක නිසා මෙම වෛරසය ශරීරගත වූ ඕනෑම කෙනෙකු ආරක්ෂා කර ගැනීමට අපිට හැකියාව තිබෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ රෝගයට අනුව විවේක ගැනීම, දියරමය පාන වැඩිපුර ගැනීමත් සිදුකරන්න ඕන.

රෝගයෙන් ආරක්ෂා වීමට

මෙම වෛරසය ශරීරගත වූ පසු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න දින ගණනාවක් යනවා. ඒක නිසා වෛරසය ශරීරගත වූ පිරිස පිළිබඳව නොදැන ළඟින් ඇසුරු කිරීම වැනි ක්‍රියා සිදුවෙන්න පුළුවන්. ඒක නිසා මෙම රෝග තත්ත්වය පාලනය කරනතුරු ජනතාව වැඩිපුර ගැවසෙන තැන්වලට යාමෙන් වැළකී සිටිනවා නම් ඉතාමත් හොඳ දෙයක්. 
ඒ වගේම සමූහ වශයෙන් විනෝද චාරිකා යෑම වැනි දේවල් හැකි තරම් අඩු කරන්න ඕන. මෙවැනි දේවල් සිදුකළහොත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අපට හැකියාව තිබෙනවා. රෝගය මුලින්ම වාර්තා වූ චීනය මේ තත්ත්වය තේරුම් ගනිමින් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වුණා. රෝගීන් විශාල ලෙස වාර්තා නොවුණත් අපිත් යම් පාලනයකට අනුව කටයුතු කරන්න ඕන.

රෝගය පැතිර යාමේ ශීඝ්‍රතාව

ලෝක විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට එක් පුද්ගලයෙකුගෙන් ක්ෂණිකව පුද්ගලයින් හතර පස්දෙනෙකුට මෙම වෛරසය ඇතුළු වෙන්න පුළුවන්. එහෙම වුණොත් එක් රෝගියෙකුගෙන් රෝගීන් පහක් ඇතිවෙනවා. එම රෝගීන් පහ තුළින් තවත් රෝගීන් විසිපහක් ඇතිවෙනවා. මේ ආකාරයට සිදුකළ ගණනය කිරීම්වලට අනුව ඉදිරි දින 10 තුළ පමණක් රෝගීන් දෙලක්ෂ පනස්දහසකට අධික ප්‍රමාණයක් චීනයෙන් පමණක් වාර්තා විය හැකියි. ඒ පිළිබඳව අපි සියලුම දෙනාම අවධානය යොමුකළ යුතු වෙනවා.

විදේශගතව සිට පැමිණි පිරිස්

රෝගය වළක්වා ගැනීමේ පියවරක් ලෙස චීනය ඇතුළු දැනට  කොරෝනා වෛරසය ශරීරගතවූ පිරිස් සොයා ගෙන තිබෙන රටවල සංචාරය කරලා පැමිණි පිරිස් සිය කැමැත්තෙන් පරීක්ෂා කිරීමට ලක්වීම වැදගත්. මේ හරහා තමන් රෝගයෙන් වැළකෙනවා සේම රෝගය වැලඳී තිබුණහොත් අන් අයට රෝගය බෝවීම වළක්වා ගැනීමටත් හැකියාව තිබෙනවා.

ඍජුවම චීනයේ සිට පැමිණෙන පිරිස්

චීනයේ ඉගෙනුම ලබන හා රැකී රක්ෂා සිදුකරන පිරිස් ලංකාවට ගෙන්වා ගැනීම ඉතාමත් වැදගත් කාරණයක්. හැබැයි මෙතැනදී සමස්ත රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන සිතන්න ඕන. ඒක නිසා ඍජුවම චීනයේ සිට මෙරටට පැමිණෙන පිරිස් සමාජගත කිරීමට පෙර යම් ස්ථානයක රඳවාගෙන රෝග පරීක්ෂාවට ලක්කරලා හා රෝග නිරෝධායක කරනවානම් ඉතාමත් හොඳ දෙයක්. ඒ නිසා චීනයේ සිට පැමිණෙන සියලුම දෙනාට අවශ්‍ය පහසුකම් ලබාදීලා මෙවැනි වැඩපිළිවෙළක් දියත් කිරීම තුළින් සමස්ත රටේ ජනතාවගේම සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට හැකියාව ලැබෙනවා. හොංකොං රජය මේ වනවිට මෙවැනි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. එය ආදර්ශයට ගැනීම ඉතාමත් හොඳ දෙයක්.

බලධාරීන්ගේ වගකීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවතින තත්ත්වය තේරුම් අරගෙන සෞඛ්‍ය අමාත්‍යවරියට උපදෙස් ලබාදුන්නා ක්‍රියාකාරී කමිටුවක් පත්කරන්න කියලා. සෞඛ්‍ය අමාත්‍යවරිය 22 දෙනෙකුගෙන් යුතු ක්‍රියාකාරී කමිටුවක් පත්කළා. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥයන් නියෝජනය කරන මෙම කමිටුව තුළින් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුයි.

ජනතාව දැනුම්වත් කිරීම

සෞඛ්‍ය බලධාරීන් රටේ ජනතාව දැනුම්වත් කිරීමට ඊයේ වන තෙක් නිසි වැඩපිළිවෙළක් සකස් කරලා තිබුණේ නැහැ. ඒක නිසා රෝග ලක්ෂණ පිළිබඳව රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා

රෝගය පිළිබඳ සෞඛ්‍ය කාර්යමණ්ඩලය වෙත පොදු උපදෙස් මාලාවක් චක්‍ර‘ලේඛයක් ලෙස වහාම නිකුත් කිරීම හා දිවයින පුරා සියලු රෝහල් කාර්යමණ්ඩල එම පොදු මාර්ගෝපදේශය අනුව කටයුතු කිරීම.
කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු රටට පුද්ගලයන් ඇතුළුවීම සිදුකරන සියලුම මධ්‍යස්ථානවල දැනට සිදුවන අාවේක්ෂණ කටයුතු වඩාත් ශක්තිමත් තැනකට ගෙන ඒම. එහිදී දැනට පවතින ප්‍රා‘යෝගික ගැටලු සඳහා විකල්ප හඳුනා ගැනීම ( උදා - ශරීර උෂ්ණත්වය අනුව රෝගීන් හඳුනා ගැනීමේදී මතුව ඇති ප්‍රා‘යෝගික ගැටලු)
රෝගය රට තුළට පැමිණීම හා ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම සඳහා සෑම අයෙකුටම ඇති සමාජමය වගකීම පිළිබඳ පණිවිඩය අවධාරණය කිරීම.
සෞඛ්‍ය කාර්යයමණ්ඩලය සඳහා මෙවන් අවදානම් තත්ත්වයකට අත්‍යවශ්‍ය වන මුඛ ආවරණ, අත්වැසුම් ඇතුළු අවම මූලික පහසුකම් හෝ ලබාදීමට කටයුතු කිරීම.
සැක කටයුතු රෝගීන් සමග ඍජු ලෙස ගැටෙන පරිදි සේවය කරන සෞඛ්‍ය කාර්යමණ්ඩල දිරිමත් වන විශේෂිත ප්‍රතිලාභ ක්‍රමයක් ප්‍රකාශයට පත්කිරීමට ඇති හැකියාව සොයා බැලීම.



Recommended Articles