කොරෝනා වසංගතය හමුවේ බැංකු ණය වාරික අත්හිටුවීම ජනතාවට සහනයක්ද? පහත් වූ හෙණයක්ද?


කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනාධිපතිවරයාගෙන් ජනතාවට සහන රැසක් හිමිවන බවත්, ඒ සියලු සහන මාර්තු 23දා සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා නිවේදනය කෙරුණේ නව කොරෝනා (COVID-19) වසංගතය රට තුළ ව්‍යාප්තිය ඇරඹෙන පසුබිම තුළය. 


එලෙස සඳහන් වූ සහන අතර,රජයේ සහ පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් ණය වාරික අයකිරීම් අත්හිටුවීම, බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10ට අඩු පෞද්ගලික ණය අයකිරීම් අත්හිටුවීම, ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ලීසිං වාරික අයකිරීම් අත්හිටුවීම ආදී වශයෙන් වූ සහන රැසක් විය. 

ලොවම භීතියට පත්කළ නව කොරෝනා අභියෝගය හමුවේ ඉදිරියේදී කුමක් කළ යුතු දැයි බලාපොරොත්තු රහිතව සිටි ජනතාවට මේ සහන ඒ මොහොතේ මහා අස්වැසිල්ලක් වූ බව නොරහසකි.
පක්ෂ, පාට භේදයකින් තොරව සියලුම ජනතාව රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජයටත් මෙම තීරණය පිළිබඳ හදවතින්ම ස්තූති කළේ බොහෝ ආයතන විසින් තම සේවකයන්ගේ වැටුප් හෝ දීමනා කප්පාදු කර හෝ තවත් ආයතන වසා දැමීමේ තත්ත්වයන් නිසා රැකියා අහිමි වීම හෝ ස්වයං රැකියා කළ පිරිස් එදාවේලවත් සොයාගත නොහැකි තත්ත්වයකට පත්ව සිටි පසුබිමකය.
කෙසේ වෙතත් අද අසන්නට ඇත්තේ වෙනම කතාවකි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ උපදෙස් මත මහ බැංකුවේ මැදිහත්වීම හරහා ලබාදුන් එම සහනය, %සහනයක්^ නොව ජනතාවගේ හිස මතට කඩා වැටුණු %හෙණ ගෙඩියක්^ හා සමාන බවකි. ඒ අනුව අද වනවිට ඇතැමෙකුට ණය අත්හිටවුණු මෙම මාස තුනක හෝ හයක කාලය සඳහා වන ණය පොලිය බැංකු මගින් එකවර ඉල්ලා සිටින අවස්ථාවකට මුහුණ දීමට සිදුව ඇත.
එහෙත් ජනතාව සැබෑ ලෙසම රජයෙන් සහ බැංකුවලින් බලාපොරොත්තු වූයේ එය නොවන බව ආසන්න දින කිහිපයේදී %අද^ පුවත්පත වෙත ලැබෙන දුරකථන ඇමතුම්වලින් මනාව පැහැදිලි වෙයි. ඔවුන් රජයටත්, එම බැංකුවලටත් දෙස් තියන තත්ත්වයට අද පත්ව තිබේ.

&කොරෝනාව නිසා සිදුවෙච්ච හානිය අවස්ථාවේදී අපිට ණය සහනය ලබා ගන්න කියලා අප්‍රේල් 30දා වෙනකල් රජය කල් දුන්නා. ඊට පස්සේ ඒක මැයි 15 වෙනකම් දීර්ඝ කළා. දැන් ඒ මාස 3 ගෙවිලා. අද බැංකු කතා කරලා අපිට කියනවා ඒ හිඟ මාස තුනේ පොලිය එකපාර ගෙවන්නලු. මේ මාස තුනට හරිහැටි වැටුපවත් නැතුව, කිසිම අමතර ආදායමක්වත් නැතුව අපි කොහොමද මේ විදියට පොලියක් ගෙවන්නේ. අපි හිතුවෙ මේක සහනයක් කියලයි. වාරික ගෙවීම මාස තුනෙන් පස්සෙ සුපුරුදු විදියට කරගෙන යන්න පුළුවන් කියලයි.* මෙරට සුප්‍රසිද්ධ වාණිජ බැංකුවකින් ඇමතුම් ලැබුණු එක් ගනුදෙනුකරුවෙකු අප වෙත සිය අර්බුදය පැහැදිලි කළේය.
පසුගිය මැයි 15 වැනිදාට පෙර ඔවුන් ලබාදුන් සහන ඉල්ලීමට අනුව බැංකුව ඔවුන්ට ප්‍රතිචාර දක්වා ඇත්තේ මාස තුනක පමා සහන කාලයක් ල‍බාදෙන බව පවසමිනි. ඇතැම් විට මාස හයක ණය පමා සහන කාලයක් හෝ ලබාගත හැකි බව ඇතැම් බැංකු සිය ගනුදෙනුකරුවන්ට පවසා තිබුණි. එම අවස්ථාවේදී බැංකුව තමන්ට සැලකූ ආකාරය දෙස බලද්දී අද මෙවැනි තත්ත්වයක් උදාවනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතූ බව ඔවුහු පවසති.
&රජයත්, මහ බැංකුවත් ප්‍රචාරය කළ විදියට අපි හිතුවේ මේ මාස තුනේ අය නොකර ගන්න ණය වාරික සහ පොලිය අපේ ණය වාරික ගෙවා අවසන් වෙන කාලසීමාවට අලුතින් එකතු වේවි කියලයි. බැංකුව වුණත් අපිට පැහැදිලිවම කිව්වේ නැහැ ඔවුන්ගේ බලාපොරොත්තුව මොකක්ද කියලා. දැන් අපි අන්තෙටම හිරවෙලා. බැංකුව කතා කරලා කියනවා සතියක් ඇතුළත මාස තුනක පොලිය ගෙවන්නලු. ඒ කියන්නේ මාස හයක සහනය ලබාගත්ත අයට, ඉදිරියේ තවත් මාස තුනකින් මාස හයක පොලිය එකපාර ගෙවන්න වෙන අවස්ථාවක් තමයි දැන් තියෙන්නේ.* ඒ තවත් සුප්‍රසිද්ධ වාණිජ බැංකුවකින් නිවාස ණය මුදලක් ලබාගත් කාන්තාවක අප හා පැවසූ කතාවකි.

ඒ අනුව, සැබෑ ලෙසම ජනපතිවරයාගේ සහ රජයේ මෙන්ම මහ බැංකුවේද ප්‍රතිපත්ති යොදා ගනිමින් මෙම වාණිජ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් යම් මුදල් ගැරීමක නිරත වන බවට පොදු සාධාරණ සැකයක් සැමටම දැන් මතුව තිබේ. 

පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී මෙම වාණිජ බැංකු ණය පමා සහනය සම්බන්ධයෙන් සඳහන් කරමින් දැන්වීම් පවා පළ කිරීමට දැඩි උනන්දුවකින් පසුවීම ඊට උදාහරණයකි. එසේම ඇතැම් අවස්ථාවලදී බැංකු ප්‍රධානීන් පවා මාධ්‍ය සාකච්ඡාවල සිය පුරාජේරුව ප්‍රකට කරමින් ප්‍රකාශ නිකුත් කරන ආකාරයද දැකගත හැකිවිය. 

මෙලෙස මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසයන්හි බැංකු මගින් ණය වාරික අයකර නොගැනීම නිසා ජනතාවට යම් සහනයක් ලැබුණු බව සැබෑවකි. ඒ නිසාම බොහෝ දෙනෙකු මෙම මුදල් (අයකර නොගත් වාරික) තමන්ගේ එදිනෙදා වියදම් සඳහා වැය කිරීමට පෙළඹුණු බවක්ද හඳුනාගෙන ඇත. 

ඒ අතරින් ඇතැම් පිරිස් ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමෙන් අනතුරුව සිය නිවැසියන්ද සමග විනෝද චාරිකාවක් ගොස් සිත සැහැල්ලු කරගැනීමටද මෙම මුදල් පාවිච්චි කළේ ලොක්ඩවුන් තත්ත්වය යටතේ ලැබූ පීඩනයෙන් නිදහස් වීම අරමුණු කරගනිමිනි.

රට යළිත් පෙර පරිදි නැගී සිටීමට වෙර දරන මොහොතක ජනතාවගේ කායික සෞඛ්‍ය මෙන්ම, මානසික සෞඛ්‍යයද යහපත්ව පැවතීම වඩාත් වැදගත් නිසා ජනතාව එවැනි තීරණයක් ගැනීම ගැන ඔවුන්ට දොස් පැවරිය නොහැක. එහෙත් තම බැංකු ආයතන තමන්ට මහා සහනයක් සැලසූ බව සිතමින් විවේකී මනසින් යළිත් සිය ජීවිකාව ආරම්භ කිරීමට සිතූ ජනතාවට දැන් අසන්නට ලැබෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්, කොරෝනා අභියෝගයට නොදෙවැනි ආර්ථික අභියෝගයකි.

එය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මැතිවරණ වේදිකාවකදී පැවසූ ආකාරයට ගහෙන් වැටුණු මිනිහාට, ගොනා ඇන ඊට පසු ට්‍රැක්ටරයක් ඇඟ උඩින් ගියා හා සමාන අවස්ථාවකි.*
පවතින මේ තත්ත්වය යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල හැසිරීම සම්බන්ධයෙන් අද පුවත්පත් අප හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය වීරකෝන් ඒ. විජේවර්ධන මහතාගෙන් කරුණු විමසා සිටියෙමු. ඒ මහතාට අනුව අද වනවිටත් මෙරට සියලුම රජයේ සහ වාණිජ බැංකුද ඇතුළුව මූල්‍ය ක්ෂේත්‍රය බදු ගෙවීමෙන් පසු උපයා ගෙන තිබෙන ශුද්ධ ලාභය රුපියල් බිලියන 150කි. ඒ අනුව මාස තුනක ණය වාරිකය මෙන්ම ණය පොලියත් මේ මොහොතේදී අයකර නොගෙන එය ඉදිරියට ගෙනයාමට මෙම වාණිජ බැංකු වෙත පමණටත් වඩා වැඩි හැකියාවක් පවතින බවක් ඒ මහතා පෙන්වා දෙයි.

මේ පමා සහන කාලයෙන් පස්සේ එම ණය වාරිකය හරි පොලිය හරි තවත් ණයක් විදියට අය කරගැනීම හරියන්නේ නැහැ. මෙතැනදී සිදුවිය යුතුව තියෙන්නේ ණය කල් පිරීම තවත් මාස තුනක් හෝ හයකින් දික් කිරීමයි. එහෙම නොකළොත් ණය ගැතියාට මේ පමා සහන කාලයෙන් කිසිම වාසියක් ලැබෙන්නේ නැහැ.

මේ කාලසීමාවේදී ණය වාරිකයවත්, පොලියවත් අයකර නොගත්තා කියලා මේ වාණිජ බැංකු කිසිවක් කඩා වැටෙන්නේ නැහැ. 2019 වසර වනවිට මේ වාණිජ බැංකුද ඇතුළත් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ශුද්ධ ලාභය රුපියල් බිලියන 150ක් ඉක්මවනවා. ඒ නිසා මේ ලබාගත්ත ලාභයෙන් කොටසක් මේ වෙලාවේ තමන්ගේ ගනුදෙනුකරුවන් රැකගන්න කැප කරන්නයි ඕනේ.* ආචාර්ය විජේවර්ධන මහතා අවධාරණය කළේය.
මෙහිදී එම මාස තුනක පමා සහන කාලයට අදාළ ණය පොලී මුදල අය කරගැනීම සඳහා බැංකු අද වනවිට විවිධ යෝජනාද සිය ගනුදෙනුකරුවන් වෙත ඉදිරිපත් කරමින් සිටියි. ඒ හරහාද අදාළ ණය වාරික වෙනුවෙන් අයවිය යුතු සියලු පොලී මුදල්ද අය කරගෙන, අත්හිටවූ කාලයට අදාළව පසුවටත් ණය වාරික (පොලියද සමග සමස්ත වාරික 3ක් හෝ 6ක්) යළිත් අයකර ගැනීමට බැංකු කටයුතු කරමින් සිටින බව අපගේ වැටහීම වී තිබේ.
&බැංකුව අපිට කතා කරලා කිව්වා මාස 3කට හෝ මාස 6කට අදාළව එකතු වෙලා තියෙන සමස්ත පොලී මුදල එකවර ගෙවන කොට වට්ටමක් ලබා දෙන්නම් කියලා. ඒ වගේම තවත් සහනයක් විදියට එම ණය මුදල වාරික කිහිපයකින් කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව දෙන්නම් කිව්වා. ඊටත් අමතරව මෙම පොලී මුදල ගෙවීමට බැංකු අපට තවත් ණයක් ලබා දෙන්නත් යෝජනා කළා.* එක් ගනුදෙනුකරුවෙකු අප සමග එලෙස පැවසීය.
මෙහිදී එම ණය, පොලී රහිත ණය මුදලක් යැයි බැංකුව පවසා තිබේ. ඒ අනුව මේ යෝජනා සියල්ලම මාර්තු මාසයේදී ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා අදාළ නිලධාරීන්ට නියම කළ සහනවලින් හාත්පසින්ම වෙනස් වූ අමුතුම විජ්ජාසහගත සහනයක් බවට අද පත්ව ඇත.

එසේ පොලී රහිත ණය මුදල් ලබාදීමට බැංකුවලට හැකි නම්, මෙසේ අත්හිටවූ ණය මුදල්වලට පොලී අය කරන්නේ ඔවුන්ගේ ශේෂ පත්‍රය පෙරමුණට තබාගෙන %ජනතාවට අබසරණයි^ යන අලුත් උද්‍යෝග පාඨය ඔසවාගෙනය යන්න අපට ඇති වන සැකයයි.

ඒ අනුව දැන් උදා වී ඇත්තේ මෙම බලපත්‍ර ලාභී වාණිජ බැංකු තම බැංකුවලට සිදුවිය හැකි සුළු හෝ අලාභය වළක්වා ගැනීමට උත්සාහ දරන අවස්ථාවක් බව පැහැදිලිය. එය එක් එක් බැංකු ශාඛාව අනුව වෙනස්ව පවතින බවක් පෙනී යයි.

මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී අන්ත අසරණ වී සිටින ජනතාවට තිබෙන ණය මුදල ගෙවීමටවත් හැකියාවක් නොමැති පසුබිමක තවත් ණය වාරිකයක් ගෙවීමට ඔවුන් යෝජනා කිරීමම හිරිකිතයකින් තොරව බැංකු විසින් කරන නින්දිත ඉල්ලීමක් බව අප අමතන බොහෝ පිරිස් දැඩි කෝපයෙන් පවසති.

මෙලෙස ජනතාවගෙන් එල්ල වන චෝදනා සාධාරණීකරණය කිරීමට බැංකු විසින් නඟන තර්කය වන්නේ,&තම බැංකුව ගනුදෙනුකරුවන්ගේ ස්ථාවර තැන්පතු සඳහා මේ කාලසීමාවේදී නොකඩවා පොලිය ගෙවීමක් සිදුකළේ නම්, ලබාදී ඇති ණය සඳහා වන ණය පොලී අයකර ගැනීමේ වරද කුමක්ද?* යන්නයි. 

එහෙත් ලෝකයම මුහුණදුන් මේ අලුත් අභියෝගය හමුවේ සිදුවූ විපර්යාසයන් පිළිබඳ සිතා, රාමුව තුළම කොටු නොවී, තම වාසිය පමණක් පෙරටුකර නොගනිමින් මෙම වාණිජ බැංකු කටයුතු කරනු ඇතැයි යන්න සැමගේම බලාපොරොත්තුව වී තිබේ. 

එහෙත් ගෙවුණු කාලසීමාවේදී මෙන්ම අදටත් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු පද්ධතිය තුළින් ජනතා හිතවාදී සහනයක් නොලැබෙන බවට මෙය කදිම උදාහරණ සපයා තිබේ. යම් හෙයකින් මේ ගෙවීගිය දශක කිහිපය තුළ ජනතාව බලපාපොරොත්තු වූ සහන වාණිජ බැංකු තුළින් ලැබුණේ නම් ශ්‍රී ලංකාව මීට වඩා ආඪ්‍යයෙන් පිරි රටක් බවට පත්වන බව නම් අවිවාදිතය. 

නමුත් එය අදටත් සිදුනොවීම රටේ අවාසනාවක් වන නමුත්, රාමුවෙන් පිට සිතා වැඩ කරන ජනාධිපතිවරයෙකුට ජනතාව බලය ලබාදුන්නේද මෙවැනි පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරන බැංකු හා මූල්‍ය ආයතනවලට තිත තබමින්, ජනතා හිතවාදී බැංකු හා මූල්‍ය පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරමිනි.

&මේ කාරණාවට හොඳ උදාහරණයක් තියෙනවා ලෙනාඩ්වුල්ෆ් රචනා කරපු %බැද්දේගම^ කියලා සිංහලයට පරිවර්තනය වුණු පොතේ. මඩකලපුවේ ඉදන් මුස්ලිම් වෙළෙන්ඳෝ බඩු කරේ තියන් බැද්දේගමට එනවා. ඇවිල්ලා මිනිස්සුන්ට ණය දෙනවා ඒ කන්නයේ කුරක්කන් වගා කරලා ඵලදාව තමන්ට දෙන්න කියලා. ඒත් එක කාලයකදී මැලේරියාව හැදිලා මිනිස්සුන්ට හේන් කොටන්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ වෙළෙන්ඳෝ ඒ මනුස්සයාගේ හේන අල්ලා ගන්න යන්නේ නැහැ. මේ පිරිස රැකගන්න ඕනේ නිසා ඒ ණය අය කරගැනීම තව කාලයකට දීර්ඝ කරනවා.* ආචාර්ය විජේවර්ධන මහතා සඳහන් කළේය.
&මේ පොතෙන් කියන්නේ එක්දාස් නවසිය ගණන්වල වෙච්ච සිද්ධියක්. මේ කතාවම තමයි දැන් ඉන්න බැංකුකරුවන්ටත් අපිට කියන්න තියෙන්නේ. එහෙම නැතුව තමන්ගේ ණයකරුවන්ගේ බෙල්ල මිරිකලා අන්තිම හුස්මත් ගන්න උත්සාහ කළොත් හරියන්නේ නැහැ. මේ හැමදේම සිදුවෙන්නේ විශ්වාසය මත. මේ අවුරුද්දේ මේ බැංකු තමන්ගේ ගනුදෙනුකරුවන් රැකගත්තේ නැත්නම් ලබන අවුරුද්දේ ඔවුන්ට මොකද වෙන්නේ.* ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සහ රජය ප්‍රමුඛව ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකු කුඩා සැමගේ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස නව කොරෝනා වසංගතය රට තුළ පාලනය කළ පසුබිමක, රට යළිත් ආර්ථිකමය වශයෙන් ගොඩගැනීමට ජනාධිපතිවරයා දැඩි ප්‍රයත්නයක් දරමින් සිටියද රටේ රාජ්‍ය හෝ පෞද්ගලික වාණිජ බැංකු හෝ මූල්‍ය ආයතන ඒ ගමනට අකුල් හෙළනවා හැරෙන්නට ලබාදෙන සහයෝගයක් නොමැති බව දැන් පැහැදිලිය.

ඒ අනුව එදා ජනාධිපතිවරයා ණය වාරික අත්හිටුවමින් ලබාදෙනවා යැයි කියූ සහනය, කිසිසේත්ම මෙරට බැංකු විසින් ජනතාවට ලබා නොදෙන බව මේ වනවිට සක්සුදක් සේ පැහැදිලිය. මෙය කොරෝනා වසංගතය හමුවේ අන්ත අසරණ වී සිටින ජනතාව කබලෙන් ලිපට ඇද දමමින්, මෙරට බැංකු හා මූල්‍ය අංශ ඔවුන්ගේ මඩි තවදුරටත් තරකර ගැනීමට සිදුකරන විජ්ජාවක් පමණක් බව දැන් බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙමින් ඇත.
මේ වනවිට ඔබේ බැංකුව ඔබ අමතමින් හෝ ඔබ විමසූ විට පැහැදිලි සත්‍යය තත්ත්වය (ඔවුන්ගේ මහා විජ්ජාව) ඔබට පැහැදිලි කරමින් සිටින්නේ රටේ සියලු කටයුතු සාමාන්‍ය අතට පත්ව ඇති බව උපකල්පනය කරමිනි. එහිදී ඔබ අමතන බැංකුව මුලින්ම ඔබෙන් අසන්නේ,&දැන් කලින් වගේම පඩිපත ලැබෙනවාද?* යන්නයි. 

බොහෝ දෙනෙකු නොදන්නා සත්‍යයක් වන්නේ මෙම දරුණු වසංගත තත්ත්වය හමුවේ ලොකු කුඩා බොහෝ ආයතන තම සේවක වැටුප් හෝ දීමනා රැසක් කපා දැමීමට හෝ අඩු කිරීමට කටයුතු කළත්, බොහෝ බැංකු ආයතනවල එවැනි වැටුප් කප්පාදුවක් සිදු නොවීමය. එසේම වසර අවසානයේදී තමන්ගේ ශේෂ පත්‍රය ඉහළින් තබාගැනීමේ අරමුණ පමණක්ම ඉලක්ක කරගත් මෙවැනි ආයතනවලින් ජනතාවට මේ මහා ව්‍යසනය අවස්ථාවේදී කිසිදු සෙතක් අත්නොවූ බවද අවධාරණය කළ යුතුය.


 



Recommended Articles