කොටි වඳවීමේ තර්ජනයට හේතු සොයමු


සටහන හා ඡායාරූප -  නුවරඑළිය සම්පත් ජයලාල්

නල්ලතන්නිය ප්‍රදේශයට අයත්, ලක්ෂපාන තේ වතුයායේ ශ්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි එළවළු කොටුවක අටවන ලද කම්බි මද්දකට, අති දුර්ලභ කළු කොටියෙකු හසුවීම පිළිබඳ පසුගිය 26 වෙනිදා වාර්තා වූ අතර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම කළු කොටියා මුදාගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා උඩවලව ඇත්අතුරු සෙවණ වෙත රැගෙන යන ලද මුත් එහිදී මෙම දුර්ලභ සත්ත්වයා මිය යාම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.

මෙම දුර්ලභ කළු කොටි විශේෂය ශ්‍රී ලංකාවෙන් වඳ වී ගොස් ඇති බව බොහෝදෙනාගේ මතය වී තිබුණද, මොවුන් කිහිපදෙනෙකු ශ්‍රීපාද රක්ෂිතය තුළ ජීවත් වන බවට වනජීවි සංරක්ෂණ නිලධාරීන් පසුගිය වසරේ අග භාගයේදී සොයා ගත්තේය. කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවී දෙපාර්තමේන්තුව දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානයක පසුගිය ඔක්තෝබර් මස 26 වනදා මේ අපුරු සාක්ෂිය සටහන් විය.

ඒ පසුපස හඹා ගිය වනජීවී දෙපාර්තමේන්තු නිලධාරින්, ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසයට පමණක් සීමා නොවන බවට තහවුරු කරගත්තේ දර්ශන කිහිපයක්ම තම කැමරාවල සටහන් කරගෙනය. ඒ අනුව මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්ත්වයෙකු, පැටවුන් දෙදෙනෙකු හා තවත් පිරිමි සත්ත්වයෙකුද සිටින බවට අනාවරණය වී ඇත.

ලෝකයේ වාර්තා වන කොටි විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටියා මෙරටට ආවේණික උප විශේෂයකි. සත්ත්ව විද්‍යාත්මකව "පැන්තරා පාඩුස් කොටියා" ලෙස හඳුන්වන මෙම කොටි විශේෂයේ සාමාන්‍ය වර්ණය ගෙනදෙන වර්ණ දේහයක් ස්වභාවිකවම සිරුරේ නොමැති වීම හේතුවෙන් කළු පැහැති කොටි උපත ලබයි. ඒ අනුව කළු කොටියා යනු වෙනත් කොටි විශේෂයක් නොව මෙරටින් වාර්තා වන "පැන්තරා පාඩුස් කොටියා" යන උප විශේෂයේම වර්ණ ප්‍රභේදයකි. ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය අනුව මෙලෙස වර්ණ ප්‍රභේදය ඇතිවී තිබෙන බව පර්යේෂකයන්ගේ මතයයි.

කළු කොටි කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවේ වනාන්තර තුළින් වරින් වර වාර්තා වී ඇතත් 2009 වසරේදී අවසන් වරට පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශයේදී මන්දකට අසුවීමෙන් කළු කොටියකු මියයාමෙන් පසු එවැනි සත්ත්වයකු මෙරටින් වාර්තා වූයේ නැත. කෙසේ වෙතත් එම සත්ත්වයාගේ සම සංරක්ෂණය කර ගිරිතලේ වන ජීවී කෞතුකාගාරයේ කළු කොටි අනුරුවක් සකස් කෙරුණු අතර එය මෙරටින් වාර්තා වූ අවසන් කළු කොටියාගේ සාක්ෂිය ලෙස සැලකිණ. 2009 වසරේ කළු කොටියා මිය යාමට මත්තෙන්ද එම ප්‍රදේශයේම තවත් කළු කොටියෙකු මියගොස් තිබු බවට සාක්ෂි ලැබී තිබුණි.

ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටි උප විශේෂය මෙරටට ආවේණික වන අතර වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් වශයෙන් ලෝක සංරක්ෂණ සංගමය මගින් රතු දත්ත ලේඛනයට ඇතුළත් කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ වාර්තා වන කොටියන් ප්‍රමාණය 700 - 950ක් පමණ වන බව ගණනය කර ඇති අතර ඔවුන්ගෙන් 650ක් පමණ රක්ෂිත ප්‍රදේශ තුළද, 150කට වැඩි සංඛ්‍යාවක් රක්ෂිත ප්‍රදේශවලින් බැහැරවද ජීවත්වන බව ලෝක සංරක්ෂණ සංගමයේ බිළාලයන් පිළිබඳ විශේෂඥ කමිටුව සඳහන් කරයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරට කොටින්ට ඇති බරපතළම තර්ජනය, සත්ත්ව කොටස් ලබාගැනීම සඳහා දඩයම් කිරීම සහ කොටි මිනිස් ගැටුම බවයි.

වාර්ෂිකව දිවයිනේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවලින් මේ ආකාරයේ කොටි මරණ සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වන අතර වාර්තා නොවන ප්‍රමාණය ඊට වඩා විශාල විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි. තේ වගාවට නතු වුණු මධ්‍යම කඳුකරයේ උස් භූමි ආශ්‍රිතව සැරිසරන මෙම කොටියන්, වතු කම්කරුවන්ට මහත් භීතිය උපදවන සත්ත්ව කොට්ඨාසයකි. උන්හිටි ගමන් හොර රහසේම වතු ජනාවාසවලට කඩා වදින කොටින්, කුකුළන්, එළුවන්, ගවයන් සහ බල්ලන් ආදී ගෘහාශ්‍රිත සතුන්ට එල්ල කරන තර්ජනයද ඉමහත්ය. තර්ජනයෙන් මිදීම පිණිස කඳුකර වැසියෝද දැන් කලක පටන්ම, මහත් සාහසික ක්‍රියාවලියක් අත්හදා බලමින් සිටිති.

සාමාන්‍යයෙන් ඔවුන් විසින් කොටින් සඳහා විශේෂයෙන් දඩයම් උපක්‍රම භාවිතා නොකරන අතර ඌරන් සඳහා අටවන ලද මදුවල අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙලෙස කොටින් දඩයම් කෙරේ. මෙහිදී දඩයක්කරුවන් මදු ගැසීම සඳහා යොදාගන්නේ මෝටර් සයිකල්වල බ්‍රේක් කේබල්ය. කේබල් එකේ එක කෙළවරක් මද්දට භාවිතා කොට අනෙක් කෙළවර මඳක් සිහින් නැවෙන සුළු ගසක ගැට ගසනු ලැබේ. කොටියා මේ මද්දට හසුවුවහොත් ඌ වේගයෙන් එය ඇදීමට පටන් ගනී.

එවිට ගස නැවී ඇදෙනවා මිස කැඩියාමට ලක්වන්නේ නැත. ගසේ බැඳ ඇති කේබලය කැඩී නොයාම හේතුවෙන් කොටියා තවත් මැද්දට හිරවීම සිදුවෙන අතර කොටියාගේ බඩ ප්‍රදේශය, බෙල්ල ප්‍රදේශය මන්දට හසුවුවහොත් කැපුම් තුවාලවලින්ම කොටියා මිය යයි.

බොහෝ කලකට පෙර වතුකරයේ තේ වගාව සහිත භූමිවල, උස් කඳු මුදුන් වැසී තිබුණේ වනරොඳකිනි. තේ වගා කෙරුණේ එයින් පහළ භූමිවලය. තේ වගා භූමියෙන් පහළ පෙදෙස්වලද ළඳු කැලෑ සහ තේ වගාවට නොගත් කැලෑ කුට්ටිවලින් සමන්විතව තිබුණි. එයින්ද පහළ වතු ජනාවාස පිහිටා තිබු අතර ඇතැම් පෙදෙස්වල තේ වගා භූමි ආශ්‍රිතවද කැලෑ තීරු දක්නට ලැබුණි.

එකිනෙකට යා නොවුණද, කඳු මුදුන්වල සහ තේ වගා බිම් ආශ්‍රිතව පැවැති කැලෑ කුට්ටි, කඳුකර පරිසර පද්ධතියට මහාර්ඝ සම්පතක් විය. ඒවායෙහි හාවුන්, මීමින්නන්, ඕලූ මුවන්, වල් ඌරන් සහ ඉත්තෑවුන් ආදී සතුන් වාසය කළහ. දිවියන් ආදී මාංශ භක්ෂකයන්ගේ ආහාරය සැකසුණේ උන්ගේ දඩයම් මාංශයෙනි. එබැවින් මාංශ භක්ෂකයන්ට ආහාර හිගයක් නො තිබිණි.

වර්තමානයේ වතුකරය තුළ මේ කියන කැලෑ කුට්ටි දක්නට නොමැත. එක්කෝ, ඒවායෙහි ආක්‍රමණික ශාක වර්ග පැතිර ගොසිනි. එබඳු තැන්වල සතුන්ට ආහාර හෝ ලැගුම් ස්ථාන නැත. සමහර වන භූමී, අනවසර එළවළු වගාවන්ට බිලි වී ගොසිනි. මේ තත්ත්වය නිසා දැන් කලක පටන්ම, බොහොමයක් වතුකර පෙදෙස්වල හාවුන්, මීමින්නන්, ඕලූ මුවන් ආදී කුඩා සතුන් හිගය. මෙම තත්ත්වය නිසා කොටියන් ආදී මාංශභක්ෂක සතුන්ට ආහාර හිගයක් නිර්මාණය වී තිබේ. එබැවින් උන් ජනාවාස පෙදෙස්වලින් ගෘහාශ්‍රිත සතුන් දඩයමට පෙලඹෙති. ජනාවාස පෙදෙස්වල වෙසෙන කුකුළන්, එළුවන්, වසු පැටවුන් සහ බල්ලන් දැන් උන්ගේ ප්‍රියතම ආහාර බවට පත් වෙමින් තිබේ. වර්තමානයෙදි මෙය කොටි මිනිස් ගැටුමක් බවට පත් වෙමින් තිබෙන බවක් දිස් වෙයි. පසුගිය වකවානුවේ සති තුනක පමණ කෙටි කාලයක් ඇතුළත නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිවියන් හත් දෙනෙක් මරුමුවට පත්වීම එම තත්ත්වය පෙන්වන කැඩපතකි.

ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටියා දැඩි ආරක්ෂිත සත්වයෙකු වන අතර 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත, වන සත්ව තුරුලතා ආඥා පනතට අනුව කොටියකු මරණයට තැත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, ඝාතනය කළ සතාගේ ශරීර කොටස් ළග තබාගැනීම, දඩුවම් ලැබිය හැකි වරදකි. එලෙස වරදකරුවකු වන අයෙකුට, රුපියල් 30,000 සිට 1,00,000 දක්වා දඩයකට යටත් කිරිමටත්, වසර දෙකකට නොඅඩු වසර හයකට නොවැඩි සිර දඬුවමකට යටත් කිරීමට හෝ එසේත් නොමැති නම් මෙම දඬුවම් දෙකටම යටත් කිරීමට අධිකරණයට බලය ඇත.

පවතින මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ කොටින්ගේ සංරක්ෂණය පිළිබඳ වර්තමාන ක්‍රියාමාර්ගවල උචිතභාවය හා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අප කළ විමසීමේදී රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය මංජුල කරුණාරත්න මහතා දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයකි.

“ශ්‍රී ලංකාවට ආවේණික කොටින්ගේ (Pantheraparduskotiya) සංරක්ෂණය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සතුටු විය නොහැකියි. මොවුන් IUCN රතු දත්ත නාමාවලි වර්ගීකරණය අනුව වඳවීමේ තර්ජනයට ලක්ව තිබෙන විශේෂයක් ලෙසත් නම් කර තිබෙනවා. ඒ වගේම කොටියා මේ පරිසර පද්ධතිවල ජීවත්වන මුල්ගල් විශේෂයක් (Keystone species) ලෙස සහ සංරක්ෂණ අර්ථයෙන් ගත් කල ධජයධාරී (Flagship species) නැතිනම් ඡත්‍රධාරී (Umbrella species) විශේෂයක් ලෙසත් නම් කළ හැකියි. මධ්‍යම කඳුකරය ලෝක උරුම කලාපයක් ලෙස නම් කිරීමේදීත් මෙම සතුන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බව කිව යුතුයි. එසේ තිබියදීත් මේ අයුරින් කොටින් ඝාතනය වීම ඛේදවාචකයක්. ඒ වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මොන දේ ප්‍රකාශ කළත් මේ තත්ත්වය ඔවුන්ගේත් බරපතළ පරාජයක්.

පසුගිය මාසය තුළ පමණක් මධ්‍යම කඳුකරයෙන් මෙවැනි සිද්ධි හතරක් වාර්තා වුණා. ඉන් අවස්ථා දෙකකදීම ඒ සතුන් මරණයට පත් වුණා. අවසානයේදී ඊට ගොදුරු වුයේ දුලබ කළු කොටියායි. කළු කොටියාගේ මුදවාගැනීමේ මෙහෙයුමේ බරපතළ අඩුපාඩුකම් සහ සැක සංකා ඇතිවන ආකාරයේ ක්‍රියාකාරකම් රාශියක් පිළිබඳව මේ වනවිටත් විවිධ කණ්ඩායම් විසින් ප්‍රශ්න කොට තිබෙනවා. එහිදී නොසැලකිල්ල කියන කාරණය කිසි ලෙසකින් බැහැර කළ නොහැකියි. අඩුම තරමේ තමන්ගේ වෘත්තීය භාවයවත් ආරක්ෂා කරගැනීමට ඔවුන් සමත් වී නැති බවයි පෙනෙන්නේ. එවැනි බරපතළ අඩුපාඩු  සිදුවීම සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතුයි. ඒ වගේම එහිදී ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් වගකීම බාරගන්නේ කවුද යන්න පිළිබඳවත් ගැටලු තිබෙනවා. එබඳු තීන්දු තීරණ ගන්න උපදෙස් ලබා දුන්නේ කවුරුන්ද, එයින් බලාපොරොත්තු වූයේ කුමක්ද යන්න පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකර ජනතාවට සත්‍ය හෙළිදරව් කළ යුතුයි. එය දැනගැනීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා.

මෙය වහාම පිළියම් කළ යුතු තත්ත්වයක්. මූලික වශයෙන් මධ්‍යම කඳුකරයේ දැනට ඉතුරු වී තිබෙන සෑම වනාන්තර කොටසක්ම ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කළ යුතුයි. වතු සමාගම් සතුව තිබෙන වනාන්තර කොටස්ද රජයට පවරාගෙන හෝ සමාගම් යටතේම ආරක්ෂිත වනාන්තර ලෙස පවත්වා ගැනීම අතිශය වැදගත්. එපමණක් නොවේ ඒ ඒ වනාන්තර කොටස් අතර සතුන්ට සංක්‍රමණය වීම සඳහා වන ජීවී මංකඩවල් (Wildlife corridors) ස්ථාපිත කිරීමත්, ඒවා මානව බාධා කිරීම්වලින් තොරව පවත්වා ගැනීමත් වැදගත් වෙනවා. ඒ සඳහා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වෙනත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවලට ඒකාබද්ධව කටයුතු කළ හැකියි.

බොහෝ විට කොටින් හසුවෙන්නේ වෙනත් දඩයම් සතුන් ඇල්ලීම සඳහා තබන මදු (Snare) වලට.  මේ මදු තබන්නේ එම ප්‍රදේශවල ජීවත්වෙන පුද්ගලයන් විසින්මයි. විශේෂයෙන්ම වතු ආශ්‍රිතව දඩ මස් සඳහා තිබෙන ඉල්ලුමත් මෙසේ දිගින් දිගටම මදු තැබීමට හේතුවෙනවා. අනෙක් අතට වාර්තා නොවන කොටි ඝාතනද තිබිය හැකියි. කොටින් සඳහාම මදු තබනවාද විය හැකියි. ඒ නිසා වතු අධිකාරීවරුන්ට වගකීමක් තිබෙනවා තම සේවකයන් ඒවායින් වළක්වා ගැනීමට. එය ඔවුන් සතු වගකීමක් ලෙස සහ නෛතිකව පැවරිය යුතු කාර්යයක් බවට පත් කළ යුතුයි. එම ක්‍රියාවලිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියාමනය කළ හැකියි. ග්‍රාම නිලධාරීවරයාට සහ පොලීසියටත් මේ සඳහා සහය විය හැකියි.  තවද එවැනි වැරදි සඳහා උපරිම දඬුවම් ලබාදීම සිදුකළ යුතුයි. ඒ සඳහා පවත්නා නෛතික ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ නම්, ඒවා වහාම සකස් කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමක්. මෙවැනි ඝාතන නැවත සිදුනොවන ආකාරයට දඬුවම් ලබාදීමෙන්ද මිනිසුන්ගේ අවනතභාවය ලබාගත හැකියි.

ආරක්ෂිත ප්‍රදේශවලින් පිටත සිදුවන මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා වඩාත් ප්‍රයෝගික වෙන්නේ ප්‍රජාපාදක වනජීවී සංරක්ෂණ වැඩසටහන් සක්‍රීය කොට පවත්වාගෙන යාමයි. නමුත් ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණයට හෝ වනජීවී සංරක්ෂණයට වගකිව යුතු ආයතන මේ සම්බන්ධයෙන් දක්වන්නේ ඉතාම මන්දගාමී ආකල්පයක්. කොටි ඝාතන සිදුවන ප්‍රදේශවල ප්‍රජා කණ්ඩායම් දැනුවත් කිරීම, වගකීම් සහ ප්‍රතිලාභ බෙදාහදා ගැනීම වෙනුවෙන් සංවිධානය කිරීම, දැනුම, අධ්‍යාපනය ලබාදීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ හරහා මිනිසුන්, වනජීවීන් ආරක්ෂා කිරීමේ ප්‍රවේශයක් වෙත යොමු කිරීම කළ යුතුයි. එය දීර්ඝකාලීන සහ ආයාසයකින් කළ යුත්තක් බවට සැකයක් නැහැ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතැම් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ ප්‍රදේශවල ක්‍රියාත්මක කළත් ඒවා ප්‍රතිඵල දායක වී නැත්තේ එහි අඛණ්ඩභාවයක් සහ පසු සොයා බැලීමක් නොමැති නිසයි. ඇතැම් විට වතු අධිකාරිවරුන්ගෙන් ඒ සඳහා සැබෑ සහයෝගයක් නොලැබෙන බවටත් චෝදනා එල්ල වෙනවා.  මෙම ක්‍රියාවලිය නව ආකෘති ඔස්සේ අත්හදා බැලීම කළ යුතුයි.

කෙටි කාලීනව ගත හැකි තවත් ඉක්මන් විසඳුමක් වෙන්නේ කොටි නිතර උගුල්වලට හසුවන කලාපයට නේවාසික පශු වෛද්‍ය ඒකකයක් පිහිටුවීම සහ ඔවුන්ට අවැසි පහසුකම් ලබාදීම. එසේ නොවන තත්ත්වයක් තුළ උගුලකට හසුවූ සතෙකු මුදවා ගැනීමට දීර්ඝ කාලයක් ගතවෙනවා. ඒ  අතරතුර එම සතා දැඩිව ආතතියට පත්වෙන්නේ සහ වඩා වැඩි හානියකට බඳුන් වන්නේ ඒ වටා එකතු වන මිනිසුන්, ඔවුන්ගේ කෑකෝ ගැසීම් සහ අනවශ්‍ය ආකාරයෙන් සිදු කරන මාධ්‍ය ආවරණ ආදී කටයුතු නිසායි. පසුගිය සිද්ධි කීපයේදීම මෙවැනි අවිචාරශීලී මානව හැසිරීම් පාලනය කිරීමට පොලීසිය හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ සමත් වුණේ නැහැ. නැත්නම් ඔවුන් උනන්දු වුණේ නෑ. එය හඳුනාගත හැකිවෙන්නේ සංරක්ෂණය සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුමේ තිබෙන දුර්වලතාවක් ලෙසට වඩා ආකල්පවල තිබෙන පසුගාමී තත්ත්වයක් ලෙසයි.

කෙසේ වුවත් වන සතුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇතිවෙන්නේත්, වන සතුන් අනතුරට ලක්ව මිය යන්නේත්, අනාථභාවයට පත් වන්නේත්, වනජීවී සංරක්ෂණයේ තිබෙන දුර්වලතාවන් සහ සංවර්ධනය හා සංරක්ෂණය එකිනෙක නොපෑහෙන මට්ටමකින් පවත්වාගෙන යාම හේතුවෙනුයි. මෙය තේරුම් ගැනීම වඩා වැදගත්. වඩා තිරසාර වෙන්නේ සාකල්‍ය (Holistic) ප්‍රවේශයක් ඔස්සේ මෙම ගැටලුව තේරුම් ගැනීම සහ ගැටලු ජනිත වන මූලාශ්‍රවලට ප්‍රතිකර්ම යෙදීමයි. කොටි සංරක්ෂණය සම්බන්ධයෙන් මේ ඇතිවී තිබෙන උනන්දුව ඔවුන්ගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා විද්‍යාත්මක සහ තාර්කික ප්‍රවේශයක් නිර්මාණය කර ගැනීමට යොදා ගැනීම සෑම කෙනෙකුගේම යහපත් වගකීමක්." යැයි පැවසීය.

 



Recommended Articles