ගොවියාත් කෘෂිකර්ම උපදේශකවරයාත් අතර ඇත්තේ ගසට පොත්ත වැනි බැඳීමකි. එහෙත් කෙතේ දහදිය හෙළන ඔවුන්ගේ ආර්ථිකයට අනුබල සපයන කෘෂිකර්ම උපදේශකවරුන් තවත් මහා ඛේදවාචකයකට පත්ව සිටිනවා යැයි පවසමින් ඔවුන් රටේ මහතැන්වලට තම අහිමි කළ අයිතීන් ලබාගැනීමට බලපෑම් කරන්නේ නම්? ඉකුත් 6 වන දින ගන්නෝරුව සිට පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු මූලස්ථානය දක්වා ඇදුණු මහා පෙළපාලිය පැවසුවේ එවැනි කතාවකි. අද හෙටම තවත් මහා වර්ජනයකට පෙළගැසීමේ රතු එළියකි. අපි ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශක සංගමයේ සභාපති ඩී.පියල් කුමාරගේ මහතාගෙන් විමසුවෙමු.
කෘෂිකර්ම උපදේශකවරයා කවුදැයි යනුවෙන් කෙටි හැඳින්වීමක් කළොත්?
කෘෂිකර්ම උපදේශක තනතුරු මෙරට ආරම්භ වන්නේ 1804දී බ්‍රිතාන්‍ය පාලන සමයේදියි. එහිදී ඔවුන් කෙලින්ම දිසාපතිවරයා සමග රාජකාරී කටයුතු කළා. එය එතරම්ම වගකිවයුතු බැරෑරුම් සේවයක්.
1912දී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්ථාපනය වෙනවා. එදා සිට අද දක්වාම එම තනතුර එසේම පවතිනවා. කෘෂිකර්මයේදී ගොවියා ළඟට පළමුව හමුවන, ගොවිතැනට අනුබලදෙන ප්‍රධානියා කෘෂිඋපදේශක බව කිව හැකියි.
මේ දෙදෙනා දෙකක් ලෙස වෙන් කරන්න බැහැ. මේ යථාර්ථය මෙරට කෘෂිබලධාරීන් තේරුම්ගත් බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසයි ඔවුන් කෘෂි උපදේශක තනතුර ගොවියාගෙන් ඈත්කිරීමට කටයුතු කරන්නේ.
ඔබේ වෘත්තිකයන් වැඩවර්ජනය කරමින් අරගලයකට යොමු වීමේ සූදානමක් ඇසෙනවා. ඒ ඇයි?
අපේ වර්ජනය හෝ අරගල වැඩි වැටුප් ඉල්ලා නෙවෙයි. යමෙකු එහෙම කියනවා නම් ඒක වැරදි චිත්‍රයක් මවාපෙන්වීමක්. මේ වන විට පාලනාධිකාරිය විසින් තාක්ෂණ සේවයේ තනතුරු වෙනත් නිලධාරීන්ට පැවරීමේ ක්‍රමවේදයක් දියත්කරමින් සිටිනවා. එහිදී ගොවියා සමග බිම් මට්ටමේ සිට ඉහළ රාජ්‍ය මට්ටම දක්වා රටේ ජාතික කෘෂිකාර්මික පද්ධතිය සම්බන්ධයෙන් වග විය යුත්තේ කෘෂිකර්මය සකස් කරන සේවාවන් බව කිවයුතුයි. එතෙනදි සුවිශේෂී වූ අත්දැකීම් දැනුම සහ හැකියාවන් පිළිබඳ න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැක්ම ඇති වෘත්තිකයන් අවශ්‍ය වෙනවා. අන්න එහෙම වෙනකොට කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සේවයට ඇති වගකීමද අතිවිශාලයි.
එනිසාම කෘෂිකර්ම තාක්ෂණයේ වගකීම් සියල්ල පැවරිය යුත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යන සම්මතය රට තුළ පවතිනවා. ඒ වෙනුවට අද සිදුවන්නේ වෙනත් දෙයක්. ක්ෂේත්‍රයේ ඒ සියලු වගකීම් ඉටුකරන්නේ කෘෂිකර්ම උපදේශකවරුන් විසින් බව කිව යුතුයි.
තවදුරටත් පැහැදිලි කළොත් උදාහරණ දෙක තුනක් පෙන්වන්න පුළුවන්. රටේ විවිධ ආයතන ඒ කියන්නේ 2006/26 දරණ ගොවිජන සේවා පනත ක්‍රියාත්මක කරන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටත් මේ කටයුතු පවරලා තිබෙනවා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් මෙවැනි කටයුතු සඳහා ඇතැම් නිලධාරීන් පත්කර තිබෙනවා. සමහර තැන්වල ග්‍රාමීය කර්මාන්ත කටයුතු පිළිබඳ අමත්‍යාංශ යටතේද එවැනි දේ සිදුවෙනවා. එහෙම වෙනකොට මෙතැන තියෙන්නේ ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තීන් පිළිබඳ අවදානමක්. තාක්ෂණ කටයුතු නුපුහුණු ඇත්තන් විසින් නියාමනය හෝ මෙහෙයවීම කරනවා.
මොකද වෘත්තිය පිළිබඳ තාක්ෂණික දැනුම අත්දැකීම් කුසලතා ඇති නිලධාරීන් වෙනුවට ඒ ගැන කිසිත් නොදන්නා අය සහ නිසි සම්බන්ධීකරණයක් නොමැති ආයතන සමග කටයුතු කිරීමෙන් සිදුවන හානිය විශාලයි. තාක්ෂණ සේවයක් කියන්නේ විධිමත් ක්‍රමවේද වගේම නිර්ණායක ප්‍රමිතීන් යටතේ පුහුණුවක් සමග ක්‍රියාත්මක කළ යුතු අංශයක්.
ඔබේ වෘත්තිකයන්ගේ ඉල්ලීම් ගණනාවක් තිබෙන බව ඇසුණා. ඒ ගැන කෙටියෙන් පැහැදිලි කළොත්?
ප්‍රධාන ඉල්ලීම් 14ක් තිබෙනවා. නමුත් එයින් වඩා අවධානය යොමු විය යුතු අංශ ගැන මම කියන්නම්.
එක් ඉල්ලීමක් හැටියට තිරසර කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ඇතුළත් කෘෂිකර්ම උපදේශකවරයාගේ කාර්යභාරය නිශ්චය කරන්න සහ ඒ ඒ ශ්‍රේණිවලට අදාළ කාර්යභාරය මෙන්ම රාජකාරී වගකීම නිශ්චය කරන්න යැයි අප පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිනවා. මෙහෙම අපැහැදිලි තත්ත්වයක් ඇතිවන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගන්නා පටු තීරණ නිසා බව කිව යුතුයි.
මෙන්න මේ කාරණයත් පැහැදිලි කළ යුතුයි. රටේ කෘෂිකර්මාන්තය ගැන මේ වන විට තීරණ ගන්නා මහපුටුවල සිටින ජ්‍යෙෂ්ඨයන් යැයි කියන බහුතරය හිස උදුම්වාගත් පිරිසක්. සමහරු විශ්‍රාම ගත් අය. එවැනි ඇත්තන් තමන් සේවය කරන කාලය තුළදීම තමන්ගේ පැවැත්ම සඳහා වෙනම ක්‍රමවේදයන් සකස් කරගන්නවා. එහෙම නැතිනම් සේවයෙන් ඉවත්ව එවැනි දේ කරනවා.
සේවා පත්වීම් උසස්වීම් විෂමතාව ගැන ඔබ අගරලයේදී හඬක් ඇසුණා?
අද කෘෂිකර්ම උපදේශක තනතුරට අදාළ නොවන අය බඳවාගන්නවා. එම රාජකාරි එම තාක්ෂණ විෂයට අදාළ නොවන සහ වෘත්තීය පුහුණුවක් නැති අයට පවරනවා.
මෙම වෘත්තියට අදාළව 3 වන ශ්‍රේණියෙන් ආරම්භ වෙනවා. එය පසුව විධායක ශ්‍රේණිය දක්වා ඉහළට ගමන් කරනවා. නමුත් බහුතරයකට මෙවැනි විධායක ශ්‍රේණියට පත්වීම් ලැබෙන විට ඔවුන් විශ්‍රාම ගෙන අවසානයි.
2013න් පසුව විධිමත් උසස්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක කරලා නැහැ. පුරප්පාඩු 98ක් තියෙනවා. එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ පහසුකම් ලබා නොදී විශේෂ ශ්‍රේණියට අදාළ රාජකාරි පවරා නොදී මේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ මුල්පුරුක වන කෘෂිඋපදේශකවරුන් ඉච්ඡාභංගත්වයට පත්කරන්න. ඔවුන් විතැන් කර මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කර විදේශීය අවශ්‍යතා ඉටුකරන්න. ක්ෂේත්‍ර නිලධාරියාට යතුරුපැදියක්වත් නොදෙන්නේ ඒ නිසයි.
අඩුම තරමින් තමන්ගේ ඇස්පනාපිට තමන් රටේ ජීවනාලිය වෙනුවෙන් කළ යුග මෙහවර වෙනුවෙන් කෘතවේදීත්වය දැක්වීමට තරම් අපේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති පරිපාලනය විසින් අවභාවිත කරන්නේ ඇයිද කියන ප්‍රශ්නය එම මරණාසන්න නිලධාරීන්ගේ දූදරුවන් අහන දෙයක්.
දෙපාර්තමේන්තුව සතු ඉඩම් විකිණීමක් ගැන ඔබ චෝදනා කළා?
අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ඉඩම්වලින් භාවිතයට ගන්නේ 50%ක් පමණයි. මේ වනවිට මහඉලුප්පල්ලම, හිඟුරක්ගොඩ සහ දෙපාර්තමේන්තුව සතු තවත් ඉඩම් පෞද්ගලික අංශයට පවරාදීමේ උත්සාහයක් තියෙනවා. ඒවා දෙන්නේ රටේ ජාතික කෘෂිකර්මය වෙනුවෙන් නෙවෙයි. හෝටල් සංචාරක ව්‍යාපාර වැනි දේට බව පැහැදිලියි.
හෝමාගම දියගම පරිසර හිතකාමී කෘෂි රක්ෂණ උද්‍යානයක් ආරම්භ කළා. මෙය වසා දැමීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළා. එයට එල්ල වූ විරෝධතා නිසා මේ වන විට එම තීරණය තාවකාලිකව ආපස්සට ගත්තා. නමුත් එය නැවත වසන තැනට දැනට කටයුතු කරමින් සිටින බව පෙනෙනවා.
එහි එක් පියවරක් ලෙස මේ වන විට සේවකයන් දෙතුන් දෙනෙකුට එතැන සීමා කළා. පහසුකම් නතර කළා. මේ ස්ථානය වසා දමනවාට දිස්ත්‍රික් ලේකම්වරයා පවා නොසතුට පළකර තිබෙනවා. මේ දේ සිදුවන්නේ කිනම් යටි අරමුණු වලින්දැයි ජනතාවත් ප්‍රශ්න කරනවා. දේශපාලකයන්වත් අවංකවම මේ සැඟවුණු දේ හෙළිකර ගැනීමට උත්සාහ කළ යුතුයි.
කෘෂි රසායන භාවිතය සහ එය පාලනයට අවශ්‍ය කටයුතු කළයුත්තේ කෘෂි තාක්ෂණය පිළිබඳ මනා පරිචයක් ඇති කෘෂිකර්ම උපදේශකයන් විසින් බව කුඩා දරුවන් වුවත් නොදන්නා දෙයක් නෙවෙයි. එහෙත් ඇතැම් වාරිමාර්ග කලාප ප්‍රදේශයන්ගෙන් බැහැරව එම කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවරලා. නමුත් එය මධ්‍යම රජය සහ සෙසු කෘෂි උපදේශකවරුන්ගේ අත්දැකීම් සහ දැනුම අවබෝධය මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ විනා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පැවැත්විය යුතුද යන ප්‍රශ්නය තියෙනවා.
කටුනායක තියෙනවා ශාක නිරෝධායන මධ්‍යස්ථානයක්. එම ආයතනවල එක් කෘෂිකර්ම උපදේශකයෙකුත් ඉන්නවා. නමුත් අත්අඩංගුවට ගන්නා දේවලින් යම් දෙයක් ගෙනැවිත් අපේ එතැන නිලධාරියාට දුන්නොත් පමණක් ඔහුට ඒ ගැන අවධානය යොමු කළ හැකියි. එතෙනදි අත්අඩංගුවට ගන්නා අනවසර දේ එහි පසෙක දමා ලාම්පුතෙල් වත්කර ගිනි තබනවා. ඒක විධිමත් පිළිගත් නිරෝධායන ක්‍රමවේදය නෙවෙයි.
ඒ විතරක් නෙවෙයි, ගතවූ පෙබරවාරි 15 දින සිට කටුනායක වරාය සහ ගුවන්තොටුපළ සේවය කරන කෘෂි උපදේශකවරුන් මාස හයකට වරක් ස්ථාන මාරුකිරීමට පියවරගෙන තිබෙනවා. රජයේ සේවකයෙක් මාස හයෙන් හයට ස්ථාන මාරු කිරීමෙන් එම නිලධාරියාත්, පවුල සහ එම පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සහ රැකියා කරන අනෙක් පිරිස් පත්වන අපහසුව ගැන පාලක පක්ෂයට අවබෝධයක් නැහැ. එවැනි තැනක ඒ අයට රටේ කෘෂිකර්මය ගැන පවතින වැටහීම උනන්දුව සහ සේවක අයිතිවාසිකම් ගැන අමුතුවෙන් කතා කළයුතු නැහැ. ගොවියාත් පාරිභෝගිකයා අමාරුවේ වැටෙන තැනට කෘෂිකර්ම ප්‍රතිපත්ති වෙනස් වෙලා.
අද ගොවියාට බීජ වෙනුවෙන් විශාල බරක් දැරීමට සිදුව තිබෙනවා. ඇතැම් තැන්වල මේ වනවිටත් විදේශීය සමාගම්කාරයන්ගේ බීජ භාවිතයෙන් වගාවන් අතරමගදී විනාශ වී ගොවියා නැතිභංග කළ අවස්ථා ඔබත් අහන්න ඇති. ඒ විතරක් නෙවෙයි, ගොවියා ආර්ථිකව විනාශ වන විට අනික් පැත්තෙන් වසවිස කාලා පාරිභෝගිකයාට පිළිකා වකුගඩු රෝග සහ බෝ නොවන රෝග ඇති වෙනවා.
මුහුණ දී ඇති වෙනත් අර්බුද පැහැදිලි කළොත්?
ගොවියාට ගිය අවුරුද්දෙත් බීජ නිෂ්පාදනයට මුදල් ගෙවා නැහැ. ගොවිපලවල කටයුතු සඳහා සුළු මුදල් ලබාදීම අකර්මණ්‍ය වෙලා. එම නිලධාරීන් විසින් එම මුදල් තමන් අතින් වැය කළ යුතුයි. සාමාන්‍යයෙන් එක් අයෙකුට වසරකට සුළු මුදල් ලෙස රුපියල් 20,000ක් වෙන් කළත් ඒ මුදලවත් ගෙවා ගැනීමට නොහැකි තරමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විනාශ වෙලා.
සමහරවිට අවුරුද්ද අවසානයේ මුදල් ලැබෙයි?
සමහරවිට ඊළඟ අවුරුද්දේදි ඒ මුදල් ප්‍රතිපූරණය කළ නොහැකියි කියලා නොගෙවා ඉන්නත් පුළුවන්. නිලධාරියා තමන්ගේ රාජකාරිය තුළ මේ අවදානමට යොමු විය යුතුද?
අනෙක් අතට දුරකථන දීමනා නැහැ. වෙනත් රජයේ සේවකයන්ට ලැබෙන වරප්‍රසාද අපට නැහැ. ක්ෂේත්‍ර දීමනා ක්ෂේත්‍රයේ ගතකරන අපට ලබාදෙන්නේ සොච්චමක්. ඒකත් රජයේ වෙනත් නිලධාරීන් රුපියල් තුන්දහසක් ගන්නා විට අපට ලැබෙන්නේ රුපියල් තුන්සියයයි.
ඒත් යමෙකු ගොවිපලක හෝ ආයතනයක් තුළ සේවය කරනවා නම් ඒ තුන්සීයේ දීමනාවත් නැහැ. ඒ කියන්නේ සෘජුවම ක්ෂේත්‍රයේ කටයුතු කළ යුතුයි. මේකත් හිතාමතා අධෛර්යමත් කිරීමක්.
ඇයි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ගැන නිතරම ඇහෙනවා නේද?
මෙහෙමයි. 2007 ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තියෙනවා. ඒකට අපි සම්පූර්ණයෙන් එකඟ නැහැ. නමුත් ජාතික දේශීය අවශ්‍යතා අනුව ආයතනයක් පිහිටුවීමට යෝජනා වී තිබෙනවා. එය ක්‍රමවත්ව විධිමත්ව වෙනවා නම් මේ අඩුපාඩුවලට යම් පිළිසරණක් විය හැකියි. එහෙත් අවුරුදු 12ක් ගතවීද කිසිවෙකු එයට අත තබන්නේ නැහැ. එවැනි දෙයින් සමහරුන්ට අවාසි විය හැකි යැයි බියක් තිබෙනවා.
මේ සුපිරි නිලධාරි පැලැන්තියේ ඇතැමුන් විශ්‍රාමිකයි. යමෙකු සේවයෙන් දිගුවක් ලබාගත් අය. නැත්නම් විශ්‍රාම යාමට ආසන්න අය. අන්න ඒ අයගෙන්ද සමහර අය වෙනත් ව්‍යාපාරිකයන් හෝ විදේශීය ඒජන්තවරුන්ගේ කොන්ත්‍රාත්කරුවන් ලෙස තමන්ගේ විශ්‍රාම කාලය යොදාගෙන තිබෙනවා.
එක් පෙළපාලියකින් විරෝධතාව අවසාන වෙනවාද?
අපි ජනවාරි 21 දින අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ජා කළා. අපට ඉක්මන් විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වූවාට එය සිදුවුණේ නැහැ. පෙබරවාරි 20, 21 දිනවලදී ශාක නිරෝධායනයට අදාළව කොළඹ වරාය, කටුනායක ගුවන් තොටුපළ, ශාක නිරෝධායන ඒකක හා කටුනායක ජාතික ශාක නිරෝධායන සේවයේ කෘෂිකර්ම උපදේශකවරුන් අසනීප නිවාඩු වාර්තා කළා. ඒ අනුව ඉදිරි දින 14කදී සාධාරණ එකඟතාවන්ට පත්විය නොහැකි නම් මාර්තු 6 දින ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධයක් පැවැත්වීමටත්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට සංදේශයක් භාරදීමටත් තීරණය කළා. ඒ අනුව මාර්තු 6 දින ඒ කටයුත්ත ඉටු කළා.
මාර්තු 6 දින උද්ඝෝෂණය අපි සාර්ථකව කළා. දැන් තවත් සතියක් කල් දී බලනවා. ඒ කියන්නෙ 13 වන දින දක්වා අපට යහපත් ප්‍රතිචාරයක් ලැබේද යන්න පිළිබඳ විමසිලිමත් වෙනවා. සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණොත් තවත් දින 14ක් තුළ ලංකාවේ සෑම කෘෂිකර්ම උපදේශකයෙකුම සහහාගී කර ගනිමින් දීපව්‍යාප්ත වර්ජනයක් කරනවා.
රජරට ගොවි පුතෙකු වන ජනාධිපතිතුමාත්, විපක්ෂනායකතුමාත්, අගමැතිතුමාත්, කෘෂිකර්ම ඇමතිතුමාත් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අප ඉල්ලා සිටිනවා.