කෘෂිකර්ම ‍ක්ෙෂ්ත්‍රයට අදාළව දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාගත හැකි වැඩපිළිවෙළක් හදලා නැහැ


කෘෂිකර්ම හා වැවිලි  ක්ෂේත්‍රයේ ගොවි ජනතාව  නිෂ්පාදන අලෙවි කිරීමේදී මුහුණ දී ඇති දුෂ්කරතාව සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අද පුවත්පතට ඉදිරිපත් කළ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් වී තිබේ.


කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වත්මන් රජය අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන ඔබට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? 

වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී ගොවි ජනතාවට විශාල සහන දෙන බවට ප්‍රකාශ කළා. 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ස්ථාවර රටක් - මෛත්‍රී පාලනයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙම පොරොන්දු ඇතුළත් වෙනවා. වී සඳහා සහතික මිලක්, අත්‍යවශ්‍ය ආහාර සඳහා සහතික මිලක්, ගොවියාට පොහොර සහනාධාරය ලබාදෙන්න එහි යෝජනා තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ නායකයන් ඒ දිනවල රට වටේ ගිහින් මෙම පොරොන්දු ගැන  ජනතාවට පැහැදිලි කළා. හැබැයි අද වන විට ගොවියාට සහන දෙනවා වෙනුවට බලයට පත්වී ගෙනා පළමු අයවැයෙන්ම පොහොර සහනාධාරය ඉවත් කළා. වී සඳහා රුපියල් 50ක සහතික මිලක් දෙනවා කියල ප්‍රකාශ කළාට කීරි සම්බාවලට විතරයි සහතික මිල දෙන්නේ කියලා රජය පසුව කිව්වා. අද කිසිම වී වර්ගයක් රුපියල් 50කට මිලට ගන්නේ නැහැ. මේ වන විට ඇඹිලිපිටිය මහවැලි කලාපයේ  වී කිලෝ එකක් රුපියල් 26ට යන්නේ. අත්‍යාවශ්‍ය ආහාර භෝග සඳහා තිබුණු සහතික මිල අහෝසි වෙලා තිබෙනවා.

ගොවීන්ට කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රම තිබුණා. එම සෑම ණය යෝජනා ක්‍රමයකම පොලිය 100%කින් වැඩි කරලා තිබෙනවා. මේ වන විට වෙළෙඳ පොළ තුළ තිබෙන , කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ නිෂ්පාදනය කරන අපනයන භෝග සියල්ලේම මිල ඉතාම නරක ආකාරයට පහත වැටිලා තියෙනවා. පසුගිය රජය කාලයේදී ගම්මිරිස් සඳහා රුපියල් 1600ක සහතික මිලක් ලැබුණා. වත්මන් රජය බලයට පැමිණි පසුව ගම්මිරිස් ප්‍රතිඅපනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වීම නිසා රුපියල් 400ට 500ට මිල අඩු වෙලා. මේ නිසා ගම්මිරිස් වගාකරන ගොවියා එම වගාවෙන් ඉවත් වෙන තත්ත්වයට පත්වෙලා. රුපියල් 3000ට තිබුණු එනසාල් කිලෝ එකක් අද රුපියල් 1000යි. රුපියල් 12,000ට තිබුණු පැඟිරිතෙල් බෝතලය රුපියල් 1500යි. මේ වන විට කුරුඳු මිල වේගයෙන් පහත වැටෙමින් පවතිනවා. පසුගිය කාලයේදී රුපියල් 2600ට 2800ට තිබුණු කුරුඳු කිලෝවක මිල රුපියල් 1500 දක්වා පහත වැටිලා. රුපියල් 685ට තිබුණු රබර් කිලෝවක මිල රුපියල් 210ට අඩු වෙලා තිබෙනවා. රුපියල් 300ට තිබුණු ඔට්ටපාලු කිලෝවක් රුපියල් 30ට අඩුවෙලා තිබෙනවා.

පසුගිය කාලයේදී රජය මගින් මහවැලි කලාපයේ ගොවියන් උනන්දු කෙරෙව්වා වී වගාවෙන් ඈත් වෙලා ඊට වඩා ලාභ කෙසෙල් වගාවට යොමුවෙන්න කියලා. රටේ විශාල වශයෙන් කෙසෙල් නිෂ්පාදනය කරන්නේ මහවැලි කලාපයේ. අද වන විට මහවැලි කලාපයේ කෙසෙල් අධික නිෂ්පාදනයක් තිබෙන නිසා මිල පහත බැහැලා තියෙනවා. ඇඹුල් කෙසෙල් කිලෝවක මිල රුපියල් 10 දක්වාත්, කෝලිකුට්ටු (පුවාලු) කිලෝවක මිල රුපියල් 40 දක්වාත් අඩු වෙලා. මේ නිසා කෙසෙල් වගා කළ ගොවියන්ට විශාල ගැටලුවලට මුහුණදීමට සිදුවෙලා.

පසුගිය රජය විසින් අපේ රටේ පලතුරු සැකසූ පලතුරු හෙවත් වියළි පලතුරු ලෙස සකස්කරලා රුසියාව වැනි රටවලට යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. දිවිනැගුම වැඩසටහන යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ගම්මාන ආශ්‍රිතව කුඩා කුඩා කර්මාන්ත ශාලා ඇතිවුණා. ගොවියන්ගේ නිෂ්පාදන ගමේ ෆැක්ටරියට දෙන පරිසරයක් ඇතිවුණා. ඇස්බැස්ටෝස් තහනම වැනි නොගැළපෙන කතා කියමින් රුසියාව සමග වෙළෙඳ ක්ෂේත්‍ර‍ෙය් ඇතිකර ගත් ගැටලුකාරී තත්ත්වයක් නිසා රුසියාව ඇතුළු යුරෝපයේ රටවල් අපේ සකස් කළ පලතුරු ලබාගැනීමේ වෙළෙඳ පොළ ඉවත් කර ගත්තා. මේ හේතුවෙන් ගම්මාන ආශ්‍රිත කර්මාන්ත ශාලා වැසී ගියා. පලතුරු ගොවියා අන්ත අසරණ වුණා. මෙවැනි තත්ත්වයක් තුළ ගොවියාට පෙනෙන මානයක් තුළ සහනයක් නැහැ.

එක්සත් ජාතික පෙරමුණේ අතුරලියේ රතන හාමුදුරුවෝ දැඩි ලෙස කාබනික වගාවක් ගැන කතා කළා. ඉන්පසුව ග්ලයිෆොසෙට් වැනි වල්නාශක භාවිතය තහනම් කිරීම නිසා මේ වන විට ගොවියාට වල් මර්දනය විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. වගාවේ නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසා ලාභදායී වගාවක් පවත්වාගෙන යන්න බැහැ. කම්කරු ශ්‍රම මිල ඉහළ ගිහින්. වැවිලි ක්ෂේත්‍ර‍ය තුළ වල් මර්දනය කිරීමට ග්ලයිෆොසෙට් වැනි වල්නාශක භාවිත කරන්න වෙනවා. වල්නාශක තහනම් කිරීමට යෑම නිසා අද වන විට වැවිලි ක්ෂේත්‍රය කඩා වැටෙන තත්ත්වයකට පත්වෙලා. ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ දෙයක් වෙලා තියෙන්නේ. තේ වගාවට ග්ලයිෆොසෙට් තහනම් කිරීම නිසා වල් උදුරා දැමීමට කම්කරු ශ්‍රමය යොදා ගන්න වෙනවා. මේ නිසා පිරිවැය ඉහළ ගිහින්. පසුගිය කාලයේ තේ මිල හොඳ මට්ටමක තිබෙන බවට ජනතාව කතා කළා. ඇමතිවරුත් කතා කළා. පහත රට අමු තේ දලු කිලෝවක මිල රුපියල් 105ට තිබිලා 100ට, 92ට, 88ට අඩු වෙලා මේ වන විට රුපියල් 80 දක්වා අඩු වෙලා තිබෙනවා. මේ නිසා තේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි මට්ටමට පත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ නැවත වරක් පොහොර සහනාධාරය දෙනවා කියලා රජයට ප්‍රකාශ කළා. රටේ කෘෂි නිෂ්පාදනය මේ විදියට කඩාවැටීම තුළ ආර්ථිකයේ ප්‍රසාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ගොවියාට කරන අකාරුණික සැලකිල්ල ජාතික ආර්ථිකයට දැඩි ලෙස බලපා තිබෙනවා.

කෘෂිකර්මය, වැවිලි ක්ෂේත්‍ර‍ය ගැන සොයා බැලීමට අමාත්‍යාංශ කිහිපයක් තිබෙනවා. ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, ලේකම්වරුන්, නිලධාරීන් පත්කර සිටිනවා. ඔබ කියන්නේ ඔවුන් ගොවියා ගැන අවධානය යොමුකර නැති බවද?

පසුගිය පෙරබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා ගම්මිරිස් මිල අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපා තියෙන්නේ ගම්මිරිස් ප්‍රතිඅපනය බව. ඒ නිසා වහාම එය නතර කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ගම්මිරිස් ගොවීන් සැනසුම් සුසුමක් හෙළුවා ජනාධිපතිවරයා ප්‍රතිඅපනයනය නතර කළහොත් හොඳ මිලක් ලැබේවි කියලා. නමුත් ජනාධිපතිවරයා ප්‍රතිඅපනයනය නතර කළේ නැහැ. මිල කඩාවැටීමට විසඳුමක් ඉදිරිපත්  කරන්න බැරිවෙලා තියෙනවා. ගම්මිරිස් සඳහා රුපියල් 950ක මිල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කිව්වත් ඒක වුණෙත් නැහැ. මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා අමාත්‍යාංශය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පශු සම්පත් අමාත්‍යාංශය ආදී වශයෙන් කෘෂිකර්මයට සම්බන්ධ අමාත්‍යාංශ ගණනාවක් තිබෙනවා. හැබැයි මෙම කිසිම අමාත්‍යවරයෙකුට, අමාත්‍යාංශයකට නිශ්චිත ස්ථිර ඉලක්කයක් කරා ගෙනයෑමට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් නැහැ. කෘෂිකර්මාන්තය කියන්නේ දීර්ඝකාලීනව ප්‍රතිඵල ලැබෙන ක්ෂේත්‍ර‍යක්. මෙම ක්ෂේත්‍ර‍යේ ලාභ ලබන්න නම් ආයෝජන කරන්න ඕන. කිසිම ආයෝජනයක් නොකර, කෘෂිකර්මාන්තයට සහන, ආධාර, පහසුකම් ලබානොදී ගොවියා නගාසිටුවන්න බැහැ. සමාජයේ අනෙකුත් පුරවැසියන්ට දරන්න වෙන වියදම් ගොවියාටත් දරන්න වෙනවා. මෙම වියදම් ආවරණය කරගෙන කෘෂිකර්මාන්තය සාර්ථක ඉමක් කරා ගෙනයන්න නම් ගොවියාට සහන, පහසුකම් දෙන්න ඕන. ගොවියාගේ පහසුකම්, වරප්‍රසාද කපා දමලා නිෂ්පාදනය ඉහළ දැමීමට කතා කිරීම නිරර්ථක කටයුත්තක්. මේ ඇමතිවරුන්ටත්, අමාත්‍යාංශ සියල්ලටත් වෙලා තියෙන්නේ ඒකයි. ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක්, දැක්මක් නොමැතිව යන්නන් වාලේ ඔහේ යනවා. කරන්නන් වාලේ ඔහේ කරනවා.

නමුත් කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, ප්‍රාථමික කර්මාන්ත, ග්‍රාමීය ආර්ථික කටයුතු වැනි අමාත්‍යාංශවලින් සිදුකරන වැඩසටහන් ගැන රජයේ පාර්ශ්වයෙන් නිතර සඳහන් වෙනවා

කෘෂිකර්ම ක්ෂේත්‍ර‍යට අදාළව දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාගත හැකි වැඩපිළිවෙළක් හදලා නැහැ. පසුගිය අවුරුදු තුනහමාරේ යහපාලන ආණ්ඩුව කටයුතු කළ ආකාරය ගැන ගොවීන්ගෙන් අහලා බලන්නකෝ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් අපහසුතා‍ෙවයෙන් හරි ගොවි ජනතාවට කන්න 18ක් ලබාදීම තුළ අතිරික්ක වී නිෂ්පාදනයක් ඇතිවුණා කියන එක පක්ෂ විපක්ෂ කවුරුත් පිළිගන්න සත්‍යයක්. හැබැයි යහපාලන ආණ්ඩුව පත්වූ ගමන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල රාජගිරියේ සබීතාපායට ගෙනාවා. මසකට රුපියල් දෙකෝටි හතළිස් දෙලක්ෂයක් සබීතාපායට බද්ද ගෙවනවා. මේ ගොඩනැගිල්ලට අවුරුදු දෙකක් තිස්සේ කිසිම වැඩකට නැතිව බදු ගෙව්වා. ඒ කියන්නේ දෙකෝටි හතළිස් දෙලක්ෂයේ ඒවා 24ක් ගෙවා තිබෙනවා. මේ රටේ ගොවියාට පොහොර සහනාධාරය යම් මුදලකට හරි ලබාදෙන්න එම මුදල වැය කළා නම් මීට වඩා ප්‍රතිඵලදායක වෙන්න තිබුණා. අලුත් කෘෂිකර්ම ඇමතිවරයාට සිදුවෙලා තිබෙනවා පැරණි ගොඩනැගිල්ලට යන්න. ඒ ගැන අලුත් ගොඩනැගිල්ලේ හිමිකරුවන් කියනවා ගිවිසුමෙන් ඈත්වෙනවා නම් තව මුදලක් ගෙවන්න කියලා. මේ වගේ කිසිම දැක්මක් නැති ඇමතිවරුන් හා රජයක් එක්ක ගොවියාට සෙතක් වුණා කියන්න බැහැ. වී මිල අඩු වුණත් සහල් මිල අධික ලෙස ඉහළ ගිහින් තිබෙනවා. වී මිල පවතින්නේ රුපියල් 26ක්. ඒ නිසා සහල් මාෆියාවක් රට තුළ නිර්මාණය වෙලා නැහැ කියලා කාටවත් කියන්න බැහැ. ප්‍රධාන පෙ‍ෙළ් වෙළෙඳ ජාවාරම්කරුවන් දෙන්නෙක් තුන්දෙනක් අතේ අද සහල් මාෆියාව කරකැවෙනවා. මේ නිසා පාරිභෝගිකයා එක් පැත්තකින් තැලෙද්දී ගොවියාගේ නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න සිදුවෙලා. ජාවාරම්කාර හාල් මුදලාලිලාට රජයේ සියලු සහන, වරප්‍රසාද ලැබෙනවා.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍ර‍ දෙස අවධානය යොමු කළ ආකාරය පැහැදිලි කළොත්?

2005දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වෙන කොට රටේ ආහාර සම්බන්ධව බරපතළ ප්‍රශ්නයක් තිබුණා. එතුමාගේ පළමු අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට ඉදිරිපත් කළ පළමු කැබිනට් පත්‍රිකාව තමයි රුපියල් 350ට පොහොර ලබාදීම. කෘෂිකාර්මික යෙදවුමක් හැටියට පොහොර අඩු මිලට දෙන කොට අස්වැන්න කන්නයකින් දෙකකින් වැඩි වුණා. අනෙකුත් රසායනික ද්‍රව්‍යවල මිල පාලනය කළා. ගොවීන්ට අවශ්‍ය කරන බීජ හා උපකරණ සහන මිලට ලබාදුන්නා. ආහාර භෝග වන කව්පි, මුංඇට, සෝයා ආදර්ශ වගා ඇතිකරලා ගොවියන් වගාවලට යොමු කළා. යුද්ධය අවසන් වුණාට පසුව රටට අවශ්‍ය කරන ආහාර වැඩි ප්‍රමාණයක් උතුරු පළාතේ නිෂ්පාදනය කරන්න ගොවීන් කටයුතු කළා. ලංකාවට අවශ්‍ය මිදි ටික යාපනයේ වගා කළා. මන්නාරමේ සහල් නැලිය ප්‍රදේශයේ විශාල වශයෙන් වී වගා කළා. නැවත නිල්ල පිරුණු ගොවිබිම් ඇතිවුණා. නමුත් අද ඒ ගොවියන්ට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා රසායනික පොහොර ලබාගැනීමේ අපහසුව නිසා නිෂ්පාදනය කඩාවැටිලා තියෙනවා. මේ දෙකේ සමබරතාව රැකගත්තොත් ගොවියා ශක්තිමත් කරන්න පුළුවන්. ගොවියාගේ නිෂ්පාදන සඳහා අපි සහතික මිලක් නියම කළා. රජය මගින් වී අලෙවි මණ්ඩලය මැදිහත් වෙලා පෞද්ගලිකව ගොවියාට වී ඒකාධිකාරයක් ගොඩනගා ගැනීමට තිබෙන අවස්ථාව අපි නැති කළා. අද වී අලෙවි මණ්ඩලය එම කාර්යයෙන් ඉවත් වෙලා. ඒකාධිකාරයක් ගොඩනැගී තිබෙනවා. හිතුණු හිතුණු ආකාරයට පෞද්ගලික වෙළෙන්දන් ගොවියා ගසා කනවා.

අපි ආණ්ඩු කළෙත්, ඉදිරියට ආණ්ඩු කරන්නෙත් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුවයි. පසුගිය වසර 10ක කාලය තුළ මහින්ද චින්තන වැඩපිළිවෙළේ රටට අහිතකර කොටස් තිබුණා නම් ඒ සම්බන්ධව නැවත සමීක්ෂණයක්, ස්වයං විවේචනක් සිදුකරලා ඒවා ඉවත් කරගෙන රටට ගැළපෙන නවීකරණය කරන ලද මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි සකස් කරලා තිබෙනවා. රටේ ඉන්න කෘෂි විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන් ඇතුළු විද්වතුන්ගේ අදහස්, සංකල්ප, යෝජනා ඇතුළත් කරපු විද්‍යාත්මක කෘෂිකාර්මික වැඩපිළිවෙළක් රට තුළ දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ රට ඝර්ම කලාපීය රටක්. යල මහ කන්න දෙක මෝසම් වැසිවලින් පෝෂණය වන රටක්. ඒ නිසා රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය රටේම නිෂ්පාදනය කරන්නත්, විදේශීය වෙළෙඳ පොළ සඳහා අපනයනය කරන්නත් වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා. අද තියෙන අවාසනාව තමයි ඒ වැඩපිළිවෙළ දැනගත්තත් මේ ආණ්ඩුවට ඒක කරන්න වුවමනාවක් නැහැ. පිටින් ගෙනැල්ලා කන ප්‍රතිපත්තිය විතරයි ඔවුන්ට තියෙන්නේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා නමින් වැඩසටහනක් පසුගියදා ප්‍රකාශයට පත්වුණා. රජය ඉදිරිපත් කළ මෙම වැඩසටහන සම්බන්ධව ඔබගේ අදහස මොකද්ද?
රජය මෙවර අයවැයේදී නීලහරිත අයවැයක් කියලා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම වැඩසටහන යටතේ ලොකු වැඩපිළිවෙළක් ප්‍රකශයට පත් කළා. රටේ රැකියා උත්පාදනය, ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙන් ණය යෝජනා ක්‍රම 23ක් පමණ හඳුන්වා දුන්නා. එම වැඩසටහන යටතේ රාජ්‍ය බැංකු මගින් ණය මුදලක් ලබාදීමට යෝජනා කර තිබුණා. ඉන් 50%ක් ශ්‍රී ලංකා මහ බැංකුව දරන අතර, ඉතිරි 50% ප්‍රතිලාභියා විසින් දැරිය යුතුයි කියා තිබුණා. අමතක කරන්න එපා මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වෙනකොට 23%ට 24%ට තිබුණු ණය පොලී අනුපාතය ඔහු බලයෙන් ඉවත්වී යන විට 4%ට 5%ට තනි ඉලක්කමට අඩුවෙලා තිබුණා. අද වන විට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ තුළ ඉලක්කම් දෙකට ණය පොලී අනුපාතය වැඩිවෙලා. 23% දක්වා ණය පොලී අනුපාතය වැඩිකරලා ඉන් 50%ක් රජය ගෙවනවා කියලා දැන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. උදාහරණයක් විදියට 23%ට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වුණොත් 11.5ක් රජය දරන අතර 11.5ක් ප්‍රතිලාභියා දරන්න ඕන. ඒ අනුව ප්‍රතිලාභියාට ලැබෙන ණය පොලී අනුපාතය 11.5යි. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන තුළ  ව්‍යවසායකයන් සම්පූර්ණයෙන් නොමග යැවීමක් සිදුකර තිබෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි.

 



Recommended Articles