ආහාරයක රස දැනෙන්නේ එය මුව තුළට ගත් පසුවය. නමුත් අපි ආශාවෙන් ආහාරයක් තෝරාගන්නේ එහි ඇති රස නහර පිනායන සුවඳ මෙන්ම දුටු ගමන් නෙත පිනවන ප්‍රියමනාප පෙනුම නිසාය. මේ සඳහා අනාදිමත් කාලයක සිට භාවිත කරන්නේ කුළුබඩු වර්ගයි. මෑතකාලීනව මෙකී කුළුබඩු අතරින් කහ පිළිබඳව බහුලව කතාබහක් රට තුළ ඇතිවී තිබෙන්නේ ඉල්ලුමට සරිලන ආකාරයට කහ වෙළෙඳ පොළේ නොමැති බැවිනි. මේ කහ සහ රටේ ඇතිවී තිබෙන කහ අර්බුදය පිළිබඳව තොරතුරු ගෙන ඒමකි.
වෙළෙඳ පොළේ කහ හිඟ වීම
රට මුහුණ පා ඇති දැඩි විදේශ විනිමය අර්බුදය යම් පමණකට හෝ සමනය කිරීම සඳහා රටට ආනයනය කරන ඇතැම් ද්‍රව්‍ය සම්පූර්ණයෙන් තහනම් කිරීමටත්, තවත් සමහරක තීරු බදු ඉහළ නැංවීම හා ආනයන සීමා කිරීම ජනාධිපතිවරණ පොරොන්දු අතරට එක් කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කර තිබිණ. ඒ අනුව එතුමන් පත්වූ වහාම ඒ සඳහා අවශ්‍ය කටයුතු සලස්වනු ලැබීය. 2019 දෙසැම්බර් මස 05 වැනි දින නිකුත් කළ අංක 2152/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා එම පොරොන්දුව ඉටුකරමින් සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය හා ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය පියවර ගනු ලැබීය. එහි ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසී, කරදමුංගු, ඉඟුරු, කරාබුනැටි මෙන්ම කහද ඇතුළත් විය. ආනයනය තහනම් කළ අනෙකුත් කුළුබඩු සමග ගත්විට කහ ඉවුම්පිහුම්වලට නැතිවම බැරිය. වෙළෙඳ පොළේ කහ හිඟවීමත් සමග කහවල මිල අහස උසට ඉහළ නගිද්දී, කහ වෙනුවට බාල කරන ලද කහ වෙළෙඳ පොළට නිකුත් වන්නට විය.
කහවල ගුණ
අාහාර පිසීමේදී ප්‍රියමනාප වර්ණයන් ගැනීම සඳහා භාවිත කරන කහවලින් ආහාරයට යම්කිසි රසයක්ද එකතු වේ. කහවල විෂබීජ නැසීමේ ගුණයක් පවතින බැවින් විශබීජ නාශකයක් ලෙස භාවිත කරයි. කහවල ප්‍රතිඔක්සිකාරක ගුණයක් පවතී. එනිසා ශරීර අභ්‍යන්තරයේ හානිදායක සංයෝග උදාසීන කිරීමේ හැකියාවක් කහවලට ඇත. ඒ අනුව කහ යනු කතා නොකළත් ඉතා වැදගත් කුළුබඩු විශේෂයකි. ඒ නිසාම ඉන්දියානුවන් Golden Spice ලෙස කහ රත්රන්වලට සමකර ඇත.
කහ ප්‍රමිතිය
පාරිභෝගික භාණ්ඩවලට ප්රමිතිකරණයක් ලබාදී ඇත්තේ යම්සේද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කහ සඳහාද ප්‍රමිතිය සම්බන්ධයෙන් තිබිය යුතු නිර්ණායකයන් ලබා දී ඇත.
ඒ අනුව කහ කුඩු සඳහා මෙන්ම කහ අල සඳහාද වෙන වෙනම වූ නිර්ණායකයන් පවතී. මේ නිර්ණායක කහ නිෂ්පාදකයන්, වෙළෙඳාම් කරන්නන් මෙන්ම පාරිභෝගිකයන්ද දැනුවත් වී තිබීම වැදගත්ය. කහ සම්බන්ධයෙන් පවතින ප්‍රමිති නිර්ණායකවලින් වැදගත් ඒවා කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
කහ අල
කෘෂිකාර්මික නිෂ්පාදනයක් නිසාම යම් ප්‍රමාණයකට අනෙකුත් ද්‍රව්‍ය අඩංගු වීමේ හැකියාවක් ඇති බැවින් කහ අලවල බර අනුව පිටස්තර ද්‍රව්‍ය ඇතුළත් විය හැක්කේ 1෴ක ප්‍රතිශතයකිනි. ඒ අනුව කහ ග්‍රෑම් 100ක වෙනත් ද්‍රව්‍ය අඩංගු විය හැක්කේ ග්‍රෑම් 1කි. ඊට වඩා වෙනත් ද්‍රව්‍ය අඩංගු නොවිය යුතුය.
මීළඟට පළුදු වූ, අවපැහැ වූ , රෝගී වූ කහ අල එම ප්‍රමාණයේ බර අනුව 5%කට වඩා අඩු විය යුතු වේ. එනම් කහ අල ග්‍රෑම් 100ක පළුදු වූ, අවපැහැ වූ හෝ රෝගී වූ කහ අල තිබිය හැක්කේ ග්‍රෑම් 5කට අඩුවෙනි. මෙහිදී නරක්වූ කහ අල අඩංගු නොවිය යුතුය.
කහ අලවල තෙතමනය තිබිය හැක්කේ 12%ක අගයෙනි. අලෙවියේදී තෙතමනය 12%ට වඩා වැඩි විය නොහැක.
කෘමින් විසින් හානියට ලක් කළ කහ අල 1%කට වඩා අඩංගු විය නොහැක. ඒ අනුව කහ අල ග්‍රෑම් 100ක කෘමීන් විසින් හානියට ලක් කළ කහ අල තිබිය හැක්කේ ග්‍රෑම් 1කට වඩා අඩුවෙනි.
කහ කුඩු
කහ අල තම්බා වියළා කුඩු කර සාදාගන්නා කහ කුඩුවල ස්වාභාවිකවම පිෂ්ඨය අඩංගු වේ. ඒ අනුව පිටස්තරයෙන් වෙනත් පිටි ඇතුළත් නොකළ යුතුය. පිටස්තරයෙන් පිටි වර්ග එනම් පාන්පිටි, හාල්පිටි වැනි දේ එකතු කර ඇත්දැයි මැනීම සඳහාද නිර්ණායක ඉදිරිපත් කර ඇත. ඒ අනුව කහ කුඩුවල පිෂ්ඨය 60෴කට වඩා අඩංගු විය නොහැකි බවට දක්වා ඇත. යම් කහ කුඩු නිෂ්පාදනයක 60෴කට වඩා පිෂ්ඨය අඩංගු වේ නම් ඒ පිටස්තරින් යම් පිටි වර්ගයක් මිශ්‍ර කරන ලද ඒවා වේ.
කහ කුඩුවල යම් තෙතමනයක් තිබීම ස්වාභාවිකය. ඒ අනුව තෙතමනය තිබිය හැක්කේ 10%ට වඩා අඩු අගයකිනි.
කහවල වර්ණය ස්වාභාවිකවම ඒවාට උරුම වූවකි. ඉවුම්පිහුම්වලදීද කහ එකතු කරන්නට හේතු වන ප්‍රධාන කාරණාව වන්නේ එහි ඇති පැහැයයි. ඒ අනුව කහවල ස්වාභාවික වර්ණය මිස පිටස්තරයෙන් එකතු කරන ලද වර්ණක අඩංගු නොකළ යුතුය.
පුස්කන ලද කහ අඩංගු නොවිය යුතුය.
කහවලට අනන්‍ය වූ සුවඳක් ඇති අතර, එම සුවඳ හැර වෙනත් සුවඳක් කහ කුඩුවල අඩංගු කළ නොහැක. ඒ අනුව වෙනත් සුවඳ එක්කිරීම නීතිවිරෝධී වේ.
මිය ගිය කෘමීන් ඇතුළත් නොවිය යුතුය.
මීයන්ගේ, හූනන්ගේ, කැරපොත්තන්ගේ මළ හෝ වෙනත් මළ ද්‍රව්‍ය අඩංගු නොවිය යුතුය.
මේ ආකාරයෙන් බොහෝ ප්‍රමිති නිර්ණායක කහ අල හා කහ කුඩු සඳහා හඳුන්වා දී ඇත. මෙම ප්රමිතීන් පිළිබඳ කහ නිෂ්පාදකයන් හා අලෙවිකරුවන් දැනුවත්ව සිටීම ඉතාම වටී. මෙකී නිර්ණායක රටේ නීති බව මතක තබාගත යුතුමය. ප්‍රමිති නිර්ණායක උල්ලඝනය කර ඇති නිෂ්පාදන පිළිබඳව සැකයක් පවතින්නේ නම් ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමේ අයිතිය පාරිභෝගිකයා සතු වේ.
කහ බාල කිරීම
වෙළෙඳ පොළේ කහ හිඟයක් මතුවීම සමග ප්‍රමිතිය බාලකරන ලද කහ නිෂ්පාදන බහුලව අලෙවි වන බවට වාර්තා වෙයි. විශේෂයෙන් පාන්පිටි, හාල්පිටි, කඩල පිටි, පරිප්පු පිටි ආදී වෙනත් පිටි වර්ග කලවම් කරන ලද නිෂ්පාදන බහුලව දැකගත හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබිණ. විශේෂයෙන් මේ දිනවල වෙළෙඳ පොළේ අලෙවි වන කහවලට 80%ක් පමණ පාන්පිටි කලවම් කර ඇති බවට අනාවරණය වී ඇතැයි සභාපතිවරයා පවසයි. මෙලෙස කහවල ප්‍රමිතිය බාල කිරීම නිසාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කහ සාම්පල ගෙන පරික්ෂාවට ලක් කිරීමේ කටයුතු පසුගිය සතියේ සිට ආරම්භ කර ඇත. මෙහිදී කූට ලෙස පිටි වර්ග මිශ්‍ර කිරීමට අමතරව කහවල පැහැය ලබාගැනීම සඳහා වර්ණක භාවිත කර ඇත්ද පිළිබඳවද සොයා බැලීමට අවධානය යොමුව ඇත. එයට හේතු වී ඇත්තේ පිටස්තරයෙන් එකතු කරන වර්ණකයන්ගේ අඩංගු රසායන මිනිස් සිරුරට අහිතකර සංඝටක හෝ පිළිකාකාරක වීමට වැඩි ඉඩක් පැවතීමය.
කෘත්‍රිමව එකතු කරන වර්ණකවල බහුලව ඊයම් අඩංගු විය හැකිය. ඊයම් යනු මිනිස් ශරීරයට ඉතාම විෂ සහිත සංයෝගයකි. ඒ අනුව ඊයම් සහිත සංයෝග කිසිසේත්ම කිසියම් හෝ නිෂ්පාදනයක අඩංගු විය නොහැක. ඒ අනුව යම්කිසි කහ සාම්පලයක ඊයම් ඇති බවට තහවුරු වුණොත් එය ස්වාභාවික කහ නිෂ්පාදනයක් නොවන බවට තහවුරු වේ. ආහාර සඳහාම නිර්දේශ කළ හැකි වර්ණක වෙළෙඳ පොළේ පවතී. ඒවා වෙනත් ආහාර නිෂ්පාදනයේදී යොදා ගත්තද කහ කුඩු සඳහා යොදා ගැනීම එනම් ප්‍රධාන ආහාරය වෙනස් කිරීම සඳහා යොදා ගැනීම නීතියෙන් තහනම්ය. ඒ අනුව කහ කුඩුවල ස්වාභාවික ගන්ධය හා වර්ණක පැවතීම අනිවාර්ය වේ. වෙළෙඳ පොළේ කහ හිඟයක් මතුවීමත් සමග කහ මිල ඉහළ ගොස් ඇති නිසා කූට වෙළෙඳුන් කහ වෙනුවට විවිධ පිටි වර්ග මිශ්‍රකර වර්ණය ලබාගැනීම සඳහා විවිධ කෘත්‍රිම වර්ණක එකතු කරන්නේද යන සැකය ඇති වේ. එලෙස කහ වර්ණක ලබාගැනීම වෙනුවෙන් ආහාර සඳහා යොදාගන්නා වර්ණක භාවිත කරන්නේ නම් ඒ සඳහා දැරීමට ඇති පිරිවැය අධික වේ. මන්දයත් ආහාර සඳහා නිර්දේශිත වර්ණකවල මිල ගණන් අධික වීමය. ඒ අනුව කූට වෙළෙඳුන් මේවා සඳහා යොදාගැනීමට යොමුවන්නේ රෙදි සඳහා යොදාගනු ලබන වර්ණක හෝ කුකුල් සායම්, බිත්ති මත ආලේප කරන තීන්ත ආදිය බවට සැක කළ හැකිය. මේවායේ ඊයම් සහිත සංයෝග අඩංගු වුවහොත් ඒවා අක්මාවේ හෝ වකුගඩුවල තැන්පත් විය හැකිය. ඊයම් වැඩිපුර ශරීරයේ තැන්පත් වීම නිසා අක්මාවේ හා වකුගඩුවල රෝගාබාධ ඇති විය හැකිය. විශේෂයෙන් පිළිකා වැනි රෝග ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව ක්ෂණිකව ආසාත්මික විය හැකි සංයෝගයන්ද පැවතිය හැකිය.
පාරිභෝගිකයාට කළ හැකි දේ
කහ නිෂ්පාදනයක බාහිරින් පිටි කලවම් කර තිබෙන බව හෝ කෘත්‍රිම වර්ණක අඩංගු කර ඇති බව බාහිරෙන් බලා මැනීමට හැකියාවක් නොමැත. යම් අයෙකුට සැකයක් පවතී නම් ආහාර පාලකවරයාට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කිරීම සිදුකළ යුතුය. එවිට ඔවුන් සාම්පල පරීක්ෂාවක් කර එය තහවුරු කළ හැකිය.
එසේ නම් පාරිභෝගිකයෙක් ලෙස කහ මිලදී ගැනීමේදී මෙම උපදෙස් පිළිපැදිය හැකිය.
කහ කුඩුවල තෙතමනය වැඩි නම් මිලදී නොගෙන සිටිය හැකිය.
ගුල්ලන් හෝ කෘමීන් සිටීදැයි බැලිය හැකිය.
මින් පෙර කහ පරිභෝජනයේදී භාවිත කළ කහවලට වඩා වෙනසක් දැන් මිලදී ගන්නා කහවල පවතින්නේදැයි බැලීම. විශේෂයෙන් සුවඳ හා පැහැය පිළිබඳව සලකා බැලිය හැකිය.
සාම්පලයක් දියකර බැලීම සිදුකළ හැකි නමුත් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේදී මෙය සිදුකිරීම දුෂ්කර කටයුත්තකි.
යම් සැකයක් තිබේ නම් මිලදී ගැනීම නොකළ යුතු අතර, අදාළ අංශ වලට දැනුම්දීම සිදුකළ හැකිය.
සෑමවිටම ලේබල් කරන ලද ඇසුරුමක එන පිළිගත් නිෂ්පාදනයක් මිලදී ගැනීමට හුරු විය යුතුය. මේ දිනවල පිළිගත් නාමයන්ගෙන් ඇසුරුම් කරන ලද කහ නිෂ්පාදන වෙළෙඳ පොළට එකතු නොවීමට හේතුව ලෙස සඳහන් කළ හැක්කේ නියම ප්‍රමිතියට අනුව නිෂ්පාදන කිරීමට ඔවුන්ට අවශ්‍ය වන ප්‍රමිතියෙන් යුතු කහ මේ දිනවල ඔවුන්ට නොලැබීම යැයි අනුමාන කළ හැකිය. ඒ අනුව වෙළෙඳ පොළේ සිල්ලරට අලෙවි වන කහ පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීම වටී.
ලංකාව කෘෂිකාර්මික රටක් මෙන්ම කුළුබඩු සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ රටකි. එබැවින් කහ මෙරටදී වගා කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වටී. විශේෂයෙන් නිවසක පරිභෝජනයට ඉඟුරු වවන අයුරෙන් ඉතා පහසුවෙන් නිවසේ පරිභෝජනය සඳහා කහ පැළ කිහිපයක් වගා කිරීමටද හැකියාවක් පවතී. ඒ පිළිබඳව අවධානය යොමුකර කහ පැළ කිහිපයක් වගා කිරීමට යොමුවිය හැකිය.
(විශේෂ ස්තූතිය වයඹ සරසවියේ මානව පෝෂණය පිළිබඳ මහාචාර්ය රේණුක සිල්වා මහතාට)