ස්පාඤ්ඤ ජාතිකයෝ ආසියාවේ ඇත්දළ, මුතු මැණික්, කුළුබඩු හොයාගෙන බටහිර දිහාවට නැව් නගින්නේ නැතිව නැගෙනහිරට හැරුණා නම්, පෘතුගීසීන්ට වඩා අපට ස්පාඤ්ඤයත් එක්ක බොහොම කිට්ටු නෑකම් ඇති වෙන්න තිබුණා. එහෙම වුණයි නොවුණයි කියලා වැඩි වෙනසක් ඇති වෙන එකකුත් නැති වේවි.
මොකද පෘතුගීසිකාරයෝ, ලන්දේසි වගේම තමයි ස්පාඤ්ඤයනුත් කන බොන මිනිස්සු නිසා. මුහුදින්, ගොඩබිමෙන්, හිරු එළියෙන්, දූපත්වලින් ලස්සන වුණු ස්පාඤ්ඤය සැප පහසුකම්වලින්, නිදහසෙන්, ආරක්ෂාවෙන් අඩුවක් නැති රටක් නිසාම අවුරුදු පතා යුරෝ බිලියන ගාණක් ගලන තරමට සංචාරක කර්මාන්තයත් දියුණුයි. ස්පාඤ්ඤය කියන්නේ අවුරුදු දහසකටත් වඩා පැරණි ඓතිහාසික උරුමයන්, සංස්කෘතික වටිනාකම් තවමත් නොනැසී පවතින තැනක්. ඒ වගේම අනෙක් රටවලට ස්පාඤ්ඤ නෑකම්වලින් ඇති වුණු සංස්කෘතික බලපෑම් එහෙමත් බොහොමයි.
ස්පාඤ්ඤය ගැන කතා කරද්දි, විශේෂ කළ හැකි පැති කිහිපයක් තියෙනවා. විශේෂයෙන් කලාව. කලාව කිව්වම චිත්‍ර/ මූර්ති කලාව, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය විශේෂයි. ඒ ඇරුණාම බොහොම දෙනෙක් දන්න bullfighting. උපසංස්කෘතියක් ගැන සොයායෑමේ නැඹුරුවත් එක්ක ස්පාඤ්ඤයේ දකුණුදිග අයිබීරියානු කලාපයට ආවේණික bull-fighting සංස්කෘතිය ගැන වැඩියෙන් යමක් මේ ලිපියෙන් කියැවේවි.
Corrida de toros (bull-fighting)!
මුහුවීම් තිබුණත් ලෝකයේ හැම රටකටම තියෙන්නේ ඒ ඒ රටවලට අනන්‍ය සංස්කෘතියක්. ස්පාඤ්ඤ සංස්කෘතියේ වටිනා නොවටිනාකම්, හොඳ නරක කෙසේ වෙතත්, ඒ සංස්කෘතීන් ඇතුළේ තියෙන දේවල් ගැන දැන කියාගැනීම, අවශ්‍ය නම් අත්දැකීම හෝ විරුද්ධ වීම ඔබේ අභිරුචියට භාරයි. මොකද ස්පාඤ්ඤයේ bull-fighting සංස්කෘතියේ ඇත්ත කතාවට අපේ පපු රිදෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ කතාවේදී සත්ත්ව නිදහස, අයිතිවාසිකම්, පින් පව්, විනෝද වෙන්න වෙන විධි ඇත්තෙම නැද්ද? වගේ විවිධ අදහස් මතුවෙන්නත් පුළුවන්. ඒත් සංස්කෘතියක් විදියට ගත්තොත් ස්පාඤ්ඤ ආරේ bull-fighting ගැන කතා නොකර බැහැ.
රෝම අධිරාජ්‍යය පැවතුණු කාලයේ ඉඳන් මේ වැඩේ සිද්ධ වුණත් bull-fighting නිල වශයෙන් අයිති වෙන්නේ ස්පාඤ්ඤ සංස්කෘතියට. ඉස්සර නම් bull-fighting කරලා තියෙන්නේ අශ්වයෝ පිටේ නැගලා. 08වැනි සියවසේ දකුණු ස්පාඤ්ඤය මුස්ලිම්වරුන් අත තිබුණු කාලේ වගේම 16වැනිදා සියවසේදී පාප්වහන්සේත්, පසුකාලීනව 1700දී රජවුණු 05වැනි ෆෙලිප් රජතුමාත් මේ සෙල්ලම නවත්වල දාන්නේ ප්‍රභූවරුන්ගේ රසවින්දනය ඊට වඩා උසස් විය යුතුය කියන අදහසින්. ඒ හේතුව නිසාම සාමාන්‍ය ස්පාඤ්ඤ මිනිස්සු අශ්වයෝ වෙනුවට තම තමන්ගේ කකුල් දෙකේ හයියෙන් මේ සෙල්ලම දිගටම පවත්වාගෙන ගිහින් තියෙනවා. ස්පාඤ්ඤයේ පැරණිම bull-fighting වළල්ල තියෙන්නේ දකුණුදිග රොන්ඩා නගරයේ. දැනට වුණත් bull-fighting වැඩියෙන් සිද්ධ වෙන්නේ දකුණුදිග ස්පාඤ්ඤයේ, ඒ කියන්නේ අයිබීරියානු කලාපයේ.
bull-fighting වළල්ලක් ගැන කිව්වට ඇත්තටම මේ සෙල්ලම සිද්ධ වෙන්නේ කොහොමද කියන දේ ගැන අපට තියෙන්නේ දුරස්ථ අදහසක් වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් bull-fight එකක් මුලින්ම පටන්ගන්නේ matador (killer of bulls), ඒ කියන්නේ bull-fight එක මෙහෙයවන්නා, තමන්ගේ සහායකයොත් එක්ක පිටිය මැදට ඇවිත් නරඹන්නන්ට අත් වනලා cheer කළායින් පස්සේ. ඒ අය ස්ථානගත වුණාට පස්සේ හරකාව මුදාහරිනවා. මේ හරකුන් (Spanish Fighting Bull/ Toro Bravo) ඇති කිරීමත් වෙනම වැඩක්, මසට ඇති කරන හරකුන්ට වඩා වැඩි කාලයක් යනවා මේ අය වැඩෙන්න. පොඩ්ඩක් ඇත්නම් තරහ යන, ශක්තිමත් හරකුන්ගෙන් තමයි පරම්පරාවෙන් පරම්පරාවට bull-fighting වෙනුවෙන් හරක් ජනනය කර වන්නේ.
bull-fighting සහ bull-run එක අතරේ වෙනසක් තියෙනවා. bull-run එක සිද්ධ වෙන්නේ ජූලි මාසේ ශාන්ත ෆර්මින්ට ගෞරවයක් විදියට. උතුරු ස්පාඤ්ඤයේ පැම්ප්ලෝනා නුවර පටු වීදි දිගේ සාමාන්‍යයෙන් හරක් 06දෙනෙකුට bull-run එකට කැමති සාමාන්‍ය මිනිස්සු පස්සේ දුවන්න අරින එකයි සිද්ධ වෙන්නේ. මේකෙන් හරකුන්ට හිරිහැරයක් වෙන්නේ නැති වුණාට මිනිස්සු මැරෙන්න වුණත් පුළුවන්. ඒ වගේම මේ පළාතේ දැන් bull-fight සිද්ධ වෙන්නේම නැති තරම්.
නිමේෂා තන්ත්‍රිමුදලි