“මං කලින් කොන්දොස්තර රැකියාව තමයි කළේ. කෝවිඩ් සහ ඉන්ධන හිඟය නිසා රැකියාව අහිමි වුණා. දැන් පොල් ගස් නගිනවා. කරන්න දෙයක් නැති නිසා අමාරුවෙන් පොල් ගස් දහයක් නැග ගන්න පුළුවන්. පාසල් යන දරුවන් හතර දෙනාට කන්න දෙන්නයි, පාසල් කටයුතුවලට වියදම් කරන්නයි ඒ ආදායම මදි. එහෙම කියලා හොරකම් කරන්නයි, මත්ද්‍රව්‍ය විකුණන්නයි බැහැනේ. දරුවන් ටික යහමගට ගන්න උපකාර කරන්න කියලයි ඉල්ලන්නේ. මෙලෙස පවසා සිටියේ රත්නපුර, ගොඩකවෙල, අල්පිටිය ගම්මානයේ පදිංචි 38 හැවිරිදි සිව්දරු පියෙකි.
අප එම නිවසට ගොඩවෙන අවස්ථාවේ දරුවන් සිව් දෙනාම පිඟන් සහ මැටිකෝප්ප රැගෙන කුස්සිය වෙත දුවන අයුරු දක්නට ලැබුණි. මව විසින් ළිප මත තිබූ භාජනයෙන් හැන්දෙන් යමක් ගෙන පිඟන්වලට දමන අයුරු දුටු බැවින්, විමසා බැලුවෙමු. ඇට වර්ගයක් බව පැහැදිලිව දක්නට ලැබුණත්, එම වර්ගය දැන ගැනීම සඳහා මවගෙන් විමසීමක් කළෙමු. ඇය පවසා සිටියේ කොස්දෙල් ඇට බවයි. ඇය නමින් (38) ප්‍රියංගනී සකලසූරිය යැයි හඳුන්වා දෙමින් මෙසේ කීවාය.
මේ කොස් දෙල් ඇට. උදේට උයන්න දෙයක් නැති නිසා මේ ටික තම්බලා දරුවන්ට දුන්නා. හැබැයි මං අද එක ළමයෙක්ටවත් දහම් පාසල් යන්න එපා කිව්වා. මොකද මේවා කාලා ළමයින්ට දුවන්න පනින්න බැහැ. දැන් දවල්ට රෑට කන්න දෙයක් ගෙයි හරියේ නැහැ. දවස් තුනක් මහත්තයට කුලියක් හම්බ වුණේ නැහැ. දරුවො බඩගිනියි කියල අඬනවා. දෙන්න දෙයක් නැති වෙනකොට මං පොඩි දෙන්නට කියනවා ආච්චි අම්මලගේ ගෙදර ගිහින් එහෙ උයල තියෙන දෙයක් ඉල්ලන් කන්න කියලා. ලොකු දෙන්නා වැඩිය එහෙ යන්නෙ නැහැ. රුපියල් තුන්දහස් පන්සීයක් විතර සමෘද්ධිය ලැබෙනවා. ඒක ගන්න රක්වාන ටවුන් එකට යන්න වෙනවා. ඒ සඳහා ගමන් වියදම රුපියල් හාරසීයක් විතර යනවා. ඉතුරු එකෙන් හාල් දහයක් ගත්තාම අනිත් අඩුම කුඩුම ගන්න සල්ලි මදි වෙනවා. පන්සල් වත්තෙන් පොල් ගෙඩියක් හරි අහුලගෙන ඇවිත් ළමයින්ට පොල් සම්බෝලයි, බතුයි හරි කන්න දෙන්න හාල් ටික ඕනනේ. මගේ දරුවො හතර දෙනාටම හොඳට ඉගෙන ගන්න පුළුවන්. ගොඩාක් ගුරුවරු මගේ දරුවන්ගේ පන්ති වලට සල්ලි ගන්නෙ නැහැ. ඒ ගුරුවරු අපි ගැන දන්නවා. මොනාහරි වැඩක් කරලා කීයක් හරි හම්බ වුණ ගමන් කරන්නේ හාල් ටිකක් ගෙනත් දාගන්න එක තමයි. මමයි, මහත්තයයි බත් කනවා අඩුයි. ළමයින්ට දීලා අපි වෙන මොනවාහරි තමයි කන්නේ. ළමයි ඉතින් මාළු, මස් එහෙම ඉල්ලනවා. අපිට ඉතින් දෙන්න විදිහක් නැහැ. රුපියල් පන් හයදාහක වැඩක් කරපු දවසට මාළු හරි, මස් හරි පොඩ්ඩක් ගෙනත් දෙනවා. එදාට අපි දෙන්නත් බත් ටිකක් කනවා හොදි ටිකක් එක්ක. උස්මහත් වෙච්ච ගැහැණු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටවත් කාමර කෑල්ලක් හදාගන්න විදිහක් නැහැ. අඩි හයේ කාමරයේ තමයි අපි ඔක්කොමලා නිදා ගන්නේ. ලොකු දුව ඉන්නේ 9 වසරේ, දෙවැනි දුව 8 වසරේ, තුන්වෙනි පුතා 4 වසරේ. පොඩි පුතා පෙර පාසල් යන්නේ. දෙවෙනි දුවගේ පොත් බෑග් එකට දැන් අවුරුදු තුනත් පැනලා. එයා අලුත් බෑග් ඉල්ලන්නෙත් නැහැ. ඉල්ලුවත් අපිට අරන් දෙන්න විදියකුත් නැහැ. සපත්තු ගැන නම් කතා කරල වැඩක් නැහැ. එවා දාන්න බැහැ කියලා ළමයි අඬනවා. ඒත් අපිට අරන් දෙන්න විදිහක් නැහැ. අපිට මේ සියලු ප්‍රශ්න ආවේ කෝවිඩ් එකයි, පසුගිය කාලේ ඩීසල් නැතුව තිබුණ එක නිසා මහත්තයගේ රස්සාව නැති වුණාට පස්සෙ තමයි. ඊට ඉස්සර අනේ අපිට කිසිම කරදරයක් තිබුණෙ නැහැ. ළමයින්ටත් අවශ්‍ය දේවල් අරන් දීලා, අපිත් හොඳට කෑවා. අනේ අපි කියන්නේ අපිට කන්න නැති වුණත් කමක් නැහැ, මේ දරුවන්ට කන්න දෙන්නයි, අධ්‍යාපන කටයුතුවලට උදව් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් ලොකු පිනක්.
නෙත්මි නිමේෂා දියණිය පවසා සිටියේ,
මට හොඳට ක්‍රීඩා කරන්න පුළුවන්. තියෙන එකම ප්‍රශ්නය තමයි අපිට හොඳ ආහාර වේලක් නැති එක. ඒත් මං අතඅරින්නේ නැහැ. කොහොමහරි තරග කරනවා. එහෙම දුවලා ජයග්‍රහණ ගොඩාක් මං ලබාගෙන තියෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි අපිත් ආසයි හොඳ ආහාර වේලක් කන්න, අලුත් සපත්තු දාන්න. දැන් මගේ තියෙන සපත්තු දෙකෙන් ඇගිලි එළියට එනවා. අලුත් ඇඳුම් අඳින්න, ඇදක මේට්ටයක් දාලා නිදාගන්න ආසයි. දැනට අපි ඔක්කොම නිදා ගන්නේ අයින් කරපු මේට්ටයක ඉරිච්චි කුෂන් කෑල්ලක් දාලා. අක්කටයි, මටයි ඇඳුමක් මාරු කර ගන්නවත් තැනක් නැහැ. අපේ තාත්තට රැකියාව තිබුණ නම් අපිට මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ. අපේ තාත්තට පොල් ගස් නගින්නත් බැහැ. ඒත් එයා අපි නිසා පොල් ගස් නගිනවා. මං ඉගෙන ගෙන, රස්සාවක් කරලා, රටටත් සේවයක් කරලා මගේ අම්මා, තාත්තා ඇතුළු සහෝදර සහෝදරියන් බලා ගන්නවා.
ගොඩකවෙල - ඩබ්.ඒ පියතිලක