කුවේණි භීතියෙන් තවම අප පෙළන්නෙමු


පසුගියදාක මා හට ශ්‍රී ලංකා ගෘහිණියන්ගේ සංගමයේ 60 වැනි සංවත්සර සාදයට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණි. කිංග්ස්බරි හෝටලයට ශ්‍රී ලාංකික ගෘහිණියන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබිණි. මෙම සංගමය ආරම්භ වී තිබුණේ දැනට හැට වසරකට පෙරය. එනම් පනහේ දශකයේදීය. මා මෙතෙක් සහභාගි වී ඇති සියලුම සංගම්වල උත්සවවලට වඩා මෙහි ඇති විශේෂත්වය නම් මෙම සංගමය නියෝජනය කරන බොහෝ දෙනා තම දරු මල්ලන් හා සැමියන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ කාන්තාවන් වීමයි. ඔවුහු බොහෝ දෙනෙක් තම ජීවිතයේ එකම අරමුණ තම පවුලේ සුභසිද්ධිය කරගත් කාන්තාවෝ වෙති. ඔවුන් අතර ද්‍රවිඩ, මුස්ලිම් හා සිංහල කාන්තාවන් විශාල ප්‍රතිශතයක නියෝජනයක් තිබුණේය. මෙම සංගමය තුළ ජාතිය, ආගම, කුලය පිළිබඳ කිසි වෙනසක් නොමැතිව නියෝජනයක් දැකිය හැකි විය.

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය වසර හැත්තෑවෙහි අප විසින් සිදුකරන ලද විශාලතම වරදක් වන්නේ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය ඉතාම පහළ අඩියක පවත්වාගෙන යෑමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ දේශපාලනය ඉතාම නරක ප්‍රතිරූපයක් අත් කරගත් අතර මේ රටේ මුළු ජනගහනයෙන් සියයට පනහකටත් වඩා වැඩි කොටසක් වූ කාන්තාවන්ගේ නියෝජනය උදෙසා කාන්තාවන් පත්කර නොගනී. එසේම පිරිමි මූලික සමාජය විශ්වාස කරන පිරිමින් විසින් කාන්තාවන් නියෝජනය කිරීම නිසා රටට සිදු වූ හානියේ තරම කියා නිම කළ නොහැකිය.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ වැනි සූක්ෂ්ම නායකයෙකු කාන්තාවන්ගේ ඡන්දය කිසිම දේශපාලන පදනමකින් තොරව රවටා ලබාගන්නා තත්ත්වයකට පත් වූයේ මෙම කාන්තා දේශපාලන නියෝජනයේ තිබූ දීර්ඝකාලීන දුර්වලතා නිසාය.

එක්සත් ජාතික පක්ෂය විටින්විට කාන්තා නියෝජනය ඉහළ දැමීමට උත්සාහ කළද එය එක්තරා ආකාරයක බලවේගයන් මගින් හැම අවස්ථාවකම පාහේ පහළට ඇද දමනු ලැබීය .
ආගම, කුලය හා ජාතිය තරම්ම ස්ත්‍රී පුරුෂභාවයද බෙදා වෙන් වුණු ප්‍රතිගාමී අදහසක් බවට අද වනවිට පත් වී තිබේ. මුළු ලෝකයම ස්ත්‍රී පුරුෂභාවය අත්හරින රටවල් බවට පත්වෙද්දී ලංකාව වැනි පසුගාමී සමාජවල ස්ත්‍රී පුරුෂභාවය තදින් සලකනු ලබන තත්ත්වයක් තිබේ. ලාංකික සමාජයේ උසස් අධ්‍යාපන අවස්ථාව වැඩි වැඩියෙන් කාන්තා පාර්ශ්වය විසින් ලබාගන්නා අතර රටේ රාජ්‍ය පරිපාලන ඉහළ තනතුරු බොහෝමයක අද වන විට නියෝජනය කරනු ලබන්නේ කාන්තාවෝය. නමුත් දේශපාලනයේදී කාන්තා සහභාගිත්වය ඉතා අඩු ප්‍රතිශතයකින් පවතිනුයේ දේශපාලනයට කාන්තාවන් සම්බන්ධ කරගැනීමට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ දක්වන අඩු උනන්දුව නිසාය. එය කෙතරම් බරපතළ තත්ත්වයක් බවට පත් වී ඇත්ද යතොත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේදී හා පළාත් සභා මැතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂක සංඛ්‍යාව සියයට තිහක් වනතුරු කාන්තාවන් ඉදිරිපත් කළ යුතු බවට ව්‍යවස්ථාව මගින් යෝජනා කර තිබේ. එය එක්තරා ආකාරයකට ලංකාවේ කාන්තා දේශපාලන සහභාගිත්වය ඉහළ යාමට උපයෝගී වුවද මේ රටේ පිරිමි හා දේශපාලන ක්ෂේත්‍රයෙහි නිරතවන්නන්ගේ අවංක උනන්දුවක් ඒ වෙනුවෙන් තිබේද යන්න තවමත් සැක සහිතය.

විශේෂයෙන් කාන්තාවන් තුළද ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීමේ හෝ දේශපාලන ක්‍රියාවලියේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අඩු උනන්දුවක් පවතී. විශේෂයෙන්ම එවැනි කාන්තාවන්ට අපහාස කිරීමට දේශපාලනයේ නිරත වන පිරිමි දේශපාලනඥයන් දිගින් දිගටම කටයුතු කිරීමද එක් හේතුවකි. මෙහිදී මට මතක් වන්නේ රෝසි සේනානායක මහත්මිය දේශපාලනයට පිවිසි මුල් යුගයේදී එතුමියට විමල් වීරවංශ වැනි ග්‍රාම්‍ය දේශපාලකයන් විසින් ලන්සි පැපොල් කියමින් සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තුව තුළදී අපහාස කිරීමයි. සැබැවින්ම රෝසි සේනානායක වැනි ධෛර්යවන්ත කාන්තාවක් එම තත්ත්වය ඉවසාගෙන සිටියා මිස සාමාන්‍ය කාන්තාවක් නම් දේශපාලනය අත්හැර යනු ඇත. විමල් වීරවංශ වැනි ග්‍රාම්‍ය දේශපාලන නායකයන් දිගින් දිගටම රෝසි සේනානායක හා වෙනත් කාන්තාවන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමට එරෙහිව රට තුළ විශාල මතයක් ගොඩනැගීමද, විශේෂයෙන් ප්‍රසිද්ධ රැස්වීම්වලදී කාන්තාවන්ගේ ස්ත්‍රීභාවයට අභියෝග කිරීමද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා විමල් වීරවංශ වැනි අශීලාචාර දේශපාලනඥයන්ගේ ප්‍රධාන වැඩපිළිවෙළක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය මත කාන්තාවෝ දිගින් දිගටම දේශපාලනයේ නිරතවීමට අඩු උනන්දුවක් දක්වති. එමගින් රටට ප්‍රතිපත්ති සම්පාදනයට කාන්තා සහභාගිත්වය අහිමි වීමෙන් විශාල හානියක් සිදු ව ඇති බව මාගේ පෞද්ගලික අදහසයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ලෝකයේ ශීලාචාර සමාජයේ ඇති කතිකාවට අනුව කාන්තාවක් වූ පලියට වෙනස් කොට සැලකීමට ඇති අයිතිය සම්පූර්ණයෙන් අහෝසි කොට තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ ගෘහිණියන්ගේ සිට සියලුම වෘත්තිකයන් දක්වා සෑම ස්ථානයකම සෑම අවස්ථාවකම කාන්තාවක් වීම නිසා වෙනස් කොට සලකනු ලැබේ. එය කිසිම අවස්ථාවක කාන්තාවට වාසිසහගත සතුටුදායක ආකාරයෙන් සිදු නොවන අතර, ඒ සෑම අවස්ථාවකම කාන්තාවක් වීම නිසාම සමාජය තුළ පීඩනයට හා අසාධාරණයට ලක්වන අවස්ථා විශාල ප්‍රමාණයක් දැකගත හැකි වේ .

මා පෞද්ගලිකව විශ්වාස කරනු ලබන්නේ කාන්තාවන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට මීට වඩා ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේ නම් රටේ අනාගතය මීට වඩා බොහෝ සුබදායී වීමට ඉඩ ඇති බවයි. ඊට ප්‍රධාන හේතුව නම් කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය හරහා මේ රටේ දේශපාලනය මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය සුබදායී තලයකට පැමිණීමට ඉඩ තිබේ. උදාහරණයක් හැටියට රාජ්‍ය සේවයට කාන්තාවන්ගේ සහභාගිත්වය විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන  අතර, එමගින් රාජ්‍ය සේවයේ අල්ලස, දූෂණය, අකාර්යක්ෂමතාව දුරු වී තිබෙන බව මාගේ පෞද්ගලික මතයයි. කාන්තාවන් අද රාජ්‍ය සේවයේ සෑම මට්ටමකම තනතුරු දරයි. අද රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන ප්‍රධාන බලවේගය කාන්තාවෝය. එ නිසා ඔවුන් ප්‍රතිපත්ති සම්පාදනයට සහභාගි කරගත යුතු බව යථාර්ථවාදී අදහසකි.

අපේ සමාජයේ අරුම පුදුම තත්ත්වය නම් දරුවන් හැදීම හා මේ රටේ සමාජය අද තිබෙන තත්ත්වයට පත් කිරීමට කාන්තාවන්ට වගකීම පවරන පිරිමින් හා එම දරුවන්ද වැඩිහිටියන් වූ පසු කාන්තාවන් මේ රටේ දේශපාලනයට සම්බන්ධ වීමට සුදුසු නොවන පිරිසක් බවට විශ්වාස කිරීමයි. එමනිසා මෙම තත්ත්වය හැකි ඉක්මනින් අවසන් කළ යුතු වේ.
එසේ නොවුවහොත් වසර 2500ක් තිස්සේ කුවේණියට තිබූ භීතිය විසින් අප සමාජය විනාශ කර දමනු ඇත. 



Recommended Articles