රටේ බහුතරය කාන්තාවන් නිසා රට හදන තැනද කාන්තාවන් සිටිය යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පොදුජන පෙරමුණේ අපේක්ෂිකා වෛද්‍ය සුර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් සහ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ අපි ඇය හා සම්මුඛ වීමු.
කාන්තාවන් දේශපාලනයට යොමුවිය යුත්තේ ඇයි?
අපේ රටේ 52%ක් ඉන්නේ කාන්තාවෝ. ඡන්දදායකයන්ගෙන් 56%ක් කාන්තාවෝ. මේ නිසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තාවන්ගෙන් නිසි නියෝජනයක් තිබිය යුතුමයි. මොකද කාන්තාවන්ට සුවිශේෂී වුණ ප්‍රශ්න තිබෙනවා. ජනගහනයෙන් කොටසක් පැත්තකින් තියලා තීන්දු තීරණ ගන්න බැහැ.
තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තාවොත් කොටස්කරුවෝ විය යුතුයි. කාන්තාවන්ට විශේෂයෙන් දැනෙන සමහර ප්‍රශ්න තිබෙනවා. එවැනි ප්‍රශ්නවලට ප්‍රමුඛතාවය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජනගහනයෙන් අඩකට වඩා වැඩියෙන් ඉන්න පිරිස තීන්දු තීරණ ගන්න තැනත් සිටිය යුතුයි.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියක් ලෙස එම පාර්ලිමේන්තුවේදී කාන්තාවන් වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් වුණේ?
පළාත්පාලන නියෝජනයේ කාන්තා නියෝජනය තිබුණේ 2%යි. එය 25% දක්වා වැඩිකරන්න පහුගිය පාර්ලිමේන්තුවේදී අපිට පුළුවන් වුණා. ඒ වගේම කාන්තාවන් සම්බන්ධ සමහර නීතිරීති යටතේ කාන්තාවෝ අසාධාරණයට ලක්වුණා. ඒ නිසාම ඔවුන් හිංසනයට ලක්වෙනවා.
රටේ නීතිය යටතේ විවාහ වීමේ වයස අවුරුදු 18 උනත් සමහර නීති යටතේ අඩු වයස්වල අයට විවාහ වෙන්න පුළුවන්. මේ නිසා කාන්තාවන් විවාහ වන වයස අවුරුදු 18 දක්වා වැඩිකරන්න අපි ලොකු කාර්යභාරයක් කළා. නමුත් ඒ අවස්ථාවේදී අධිකරණ ඇමතිතුමියගේ සහය අපිට නොලැබුණ නිසා අපිට එය කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම සමහර කාන්තාවන්ට ඔවුන්ගේ ආගම්වල සංස්කෘතික ක්‍රමවේද අනුව හිරිහැරයට ලක්වෙන අවස්ථා තිබුණා.
එය තහනම් කරන්න නීති හදන්න අපි කතා කළත් එය කරන්න බැරිවුණා. උප්පැන්න සහතිකයේ මව පියා විවාහකද, අවිවාහකද යන්න අහලා තියෙන නිසා ඇතැම්විට එය දරුවන්ගේ අනාගතයට කැලලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ළමා නිවාසවල ඉන්න දරුවන් වගේ අයට මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මේ ගැන කතා කරලා බොහොම උත්සාහ කරලා මව්පියන් විවාහක අවිවාහක තත්ත්වය උප්පැන්න සහතිකයෙන් ඉවත් කරන්න මැදිහත්වීම් කළා.
ඒ වගේම පොදු ප්‍රවාහනයේදී කාන්තාවෝ බහුතරයක් හිංසනයට ලක්වෙනවා. එයට විරුද්ධව මතවාදයක් ගෙනියන්න මැදිහත් වුණා. හිංසනය නිහඬව දරාගෙන ඉන්න එපා, එයට විරුද්ධව කටයුතු කරන්න කියලා අපි මතවාදයක් ගෙන ගියා. පහුගිය පාර්ලිමේන්තුව තුළ කාන්තාවන් වෙනුවෙන් විශාල කාර්යයක් සිදුකළා.
ඉදිරි වසර පහ තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කාන්තාවන් වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වන්නේ මොනවාද?
අපි අනිවාර්යෙන්ම කාන්තාවට ආර්ථික ශක්තිය ගොඩනැගිය යුතුයි. තමන්ගේ පවුල ගැන ලොකුම වගකීම පැවරෙන්නේ කාන්තාවට. දරුවෝ හදලා ලොකුමහත් කරගන්න, ස්වාමිපුරුෂයාගේ වැඩකටයුතු, දෙමාපියන්ගේ වැඩකටයුතු, අබාධිත රෝගීන් සිටිනවා නම් ඔවුන්ගේ වැඩකටයුතු මේ ආකාරයෙන් ඔවුන්ට වැඩ ගොඩක් තිබෙනවා. මේ නිසාම කාන්තාවට රැකියා සඳහා යන්න අවස්ථාව ලැබුණත් යන්න බැරිවෙන අවස්ථා තිබෙනවා. මේ තත්ත්වය තුළ ඔවුන් විවාහ උනාට පසුව රැකියාවෙන් ඉවත් වෙනවා.
කාන්තාවට නිවසේ සිට ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් අපි ඇතිකළ යුතුයි. ඊට අමතරව කාන්තාවන්ට රැකියා කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා නම් එයට ඉඩ දිය යුතුයි. මොකද සමාජයෙන් 50%කට වඩා ගෙදර තියලා ආර්ථිකය දියුණු කරන්න බැහැ. මේ නිසා කාන්තාවන්ට රැකීරක්ෂාවලට යාමේදී තමන්ගේ දරුවො රැකබලා ගැනීමේ ගුණාත්මක දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කළයුතු වෙනවා.
වැඩකරන වෙලාවේදී තමන්ගේ දරුවන්න හොඳින් බලාගැනීමට හැකිවන පරිදි එම දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇතිකළ යුතුයි. කාන්තා හිංසනයට අදාළ නීතීරීතීවල යම් යම් ගැටලු තියෙනවා නම් ඒවා ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම පොදු ප්‍රවාහනයේදී කාන්තාව හිංසනයට ලක්වීම ගැන නීති සකස් කළ යුතුමයි. ඔවුන් පොදු ප්‍රවාහනයේදී හිංසනයට ලක්වෙනවා නම් ඔවුන්ගේ දායකත්වය රාජ්‍ය හෝ පෞද්ගලික සේවයට ලැබෙන්නේ නැහැ. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වෙනුවෙනුත් කාන්තාවන්ට පිළිසරණක් වෙන්න විධිමත් උපදේශනයක් සඳහා යොමු කළයුතු වෙනවා.
ඒ වගේම කාන්තාවන් සම්බන්ධ අතවරවීම්, දූෂණය වීම් සම්බන්ධ නඩු ඉක්මනින් අහලා ඉවර කරගන්න පුළුවන් යම්කිසි ක්‍රමවේදයක් ඇතිකරගත යුතුයි. සතියකට එක දවසක් කාත්තාවන් වෙනුවෙන් තියෙන නඩු අහන්න වෙන් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා නම් හොදයි. ඒ වගේම සියල්ලන්ගේම විවාව වන වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ලෙස නීති සංශෝධනය කරන්න මැදිහත්වීම් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
මෙරට ළමුන් මුහුණදෙන අපයෝජන හා අතවරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ගැන සෑහෙනවාද? මේ සම්බන්ධයෙන් සිදුවිය යුතු වෙනස්කම් මොනවාද?
ළමා අපයෝජනය වැළැක්වීම් සම්බන්ධයෙන් අපි බොහෝදුරට කතා කළා. විශේෂයෙන්ම අපි සයිබර් නීති ගෙන ආ යුතුයි. අන්තර්ජාලය හරහා දරුවෝ බොහෝවිට හිංසනයට ලක්වෙනවා. එයට හේතුව මේ නිතිරීති ප්‍රමාණවත් නැතිකමයි. එවැනි නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.
ඒ වගේම ළමා අපයෝජනයට එරෙහිව නීතිරීති තියෙනවා. නමුත් පසුගිය පාර්ලිමේන්තුවේදී අපි කිව්වා ළමා අපයෝජනයට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න කියලා. එය ක්‍රියාත්මක වුණේ නැහැ. කොහොම උනත් මේ සම්බන්ධයෙන් දැඩිනීති ක්‍රියාත්මකත විය යුතුයි. මොකද මේ වැරදිකරුවන් බන්ධනාගාරගත වූ විට ඇතැම් අවස්ථාවල සමාව ලැබෙනවා. නමුත් දරුවන් අපයෝජනයට ලක්වී බන්ධනාගාරගත වූවන්ට කිසිම අවස්ථාවක එලෙස සමාවක් ලබානොදිය යුතුයි කියන අදහසේ තමයි මම ඉන්නේ.
කාන්තාවන් නීතිසම්පාදනයට මැදිහත්වීම්, පරිපාලනයට මැදිහත්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස යම් කාලයක් කටයුතු කළ ඔබේ අදහස කුමක්ද?
පිත_ මූලික සමාජයක අපේ අය හිතන්නේ කාන්තාවන්ට මුකුත්ම කරගන්න බැහැ කියලා. ඔවුන් තවමත් කාන්තාව දෙස බලන්නේ හැදිමිටේ නුවණින්. නමුත් දැන් කාන්තාවෝ ලෝකය ජය අරගෙන තියෙනවා. කාන්තාවෝ දක්ෂ ලෙස රටවල් පාලනය කරගෙන යනවා. ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රය ගත්තොත් කොපමණ කාන්තාවන් පිරිසක් ඉහළ තනතුරුවල ඉන්නවද? ඔවුන් සාර්ථකව වැඩ කරනවා. ඒ නිසා දේශපාලනයේ සමහර පුරුෂයෝ හිතනවා කාන්තාවන්ට මොකුත් කරගන්න බැහැ කියලා.
කාන්තාව ගෙවල් වලට කොටුකරලා තියන්නයි ඔවුන්ගේ අදහස. නමුත් එහෙම හිතන්නේ සමහර පිරිසක් විතරයි. කාන්තාවෝ ඔප්පු කරලා තියෙනවා ඔවුන්ට පරිපාලන හැකියාව තියෙනවා කියලා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලෝකයේම පළමු අගමැති හැටියට රට වෙනුවෙන් වගේම කාන්තාවන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කළා. කාන්තාවන්ට පුළුවන් කියලා විශ්වාසය ඇති කළා. ඇතැම් පුරුෂයෝ ඉන්නවා කාන්තාවන්ට ඉඩදෙන්න අකමැතියි.
නමුත් කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයේ සම අවස්ථාව ලැබිලා නැහැ. අපේ රටේ දේශපාලනය තුළ කාන්තාවන්ට ලැබෙන ඉඩ අඩු නිසා ඔවුන්ගේ හැකියාව පෙනෙන්නේ නැහැ. ඒ වගේම දේශපාලනනයට ඇවිත් ඉන්න සමහර කාන්තාවෝ නිසා ඇතැම්විට ගැටලු ඇතිවුණ අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවල සමස්ත කාන්තාවන් දිහාම බලන්නේ වැරදි විදිහට. එවැනි කාන්තාවෝ වගේම පිරිමි අයත් ඉන්නවා. මොකද අපේක්ෂිකාවන්ගේ තිබෙන දුර්වලතාවය නිසා සමස්ත කාන්තාවම විවේචනට ලක්වෙනවා.
පාර්ලිමේන්තුවේ 225ටම පහුගිය කාලයේ චෝදනා එල්ලවුණා. 225ම හොරු තක්කඩි කියලා චෝදනා එල්ල වුණා. නමුත් මේ 225 බහුතරයක් හොඳ මිනිස්සු. වැදගත් මිනිස්සු. ඉගෙනගත්තු රටට සේවයක් කළ අය. ඒ වගේම තමයි සමස්ත කාන්තාවන්ගෙන් එක්කෙනෙක් කරපු වරදක්, අඩුපාඩුවක් නිසා සමස්ත කාන්තාවන්ටම ලේබල් කරන්න හොඳ නැහැ. ඊට වඩා බුද්ධිමත්ව අපි බැලිය යුතුයි. කාන්තාවද, පිරිමියාද කියා බලන්නේ නැතිව හැකියාවට, දක්ෂතාවයට ඉඩ දෙන තත්ත්වයක් තමයි අපි නිර්මාණය කරගත යුත්තේ. මේ නිසා කුමන පක්ෂයෙන් ඉල්ලුවත් කාන්තාවටත් ඡන්දය දෙන්න.
කාන්තාවොත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. මෙපමණ කාලයකට 225න් 5%ක් වගේ කාන්තා නියෝජනයක් තමයි තිබුණේ. මේ නිසා මීට වඩා වැඩි කාන්තා පිරිසක් ඡන්දයෙන් තේරීපත්විය යුතුව තිබෙනවා. ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් 30%ක් කාන්තාවෝ වෙනුවෙන් වෙන් කරනවා නම් මීට වඩා වැඩි කාන්තාවන් පිරිසක් පාර්ලිමේන්තු යවන්න පුළුවන් වෙයි.
මෙවර ඡනතාව ඡන්දය පාවිචචි කරද්දී සැලකිලිමත් විය යුත්තේ කුමන කරුණක් සම්බන්ධවද?
දේශපාලනය තුළ රට හදන තැනට, නීතිය හදන තැනට අවබෝධයක් ඇති මිනිස්සු යා යුතුයි. විනයගරුක මිනිස්සු යා යුතුයි. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු රටටම ආදර්ශයක් ලෙස කටයුතු කළ යුතුයි. මේ නිසා පක්ෂ පාට භේදයකින් තොරව ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන්ගේ අධ්‍යාපනය, බුද්ධිමත්භාවය, ප්‍රායෝගික බව, වැදගත් බව, විනයගරුක බව මේ සේරම දේවල් හොයලා බලලා ඡන්දේ දෙන්න ඕන.
එහෙම නැතිව ඡන්දෙ කාලෙට ලැබෙන වරදාන වරප්‍රසාද දිහා බලලා ඡන්දෙ දෙන්න ගියොත් වෙන්නේ ගනුදෙනුවක් විතරයි. මොකද ඔවුන් මිල මුදල් වැයකරලා ඡන්දෙ ගැනීමක් විතරයි කරලා තියෙන්නේ. කිසිම බැඳීමක් නැහැ. එතකොට පත්වෙන්නේ නුසුදුසු මිනිස්සු. රටට අවශ්‍ය වැදගත් පාර්ලිමේන්තුවක්. වැඩකරන්න පුළුවන් අවබෝධය තියෙන අය පාර්ලිමේන්තුවට එවන්න කියලයි මම ඉල්ලන්නේ. රටේ ජනතාවට ළමයින්ට බලලා හැදෙන්න පුළුවන් ප්‍රතාපවත් නායකයෝ ඉස්සර හිටියා. එහෙම චරිත වර්තමානයේත් නිර්මාණය විය යුතුයි. ඒ සඳහා ජනතාව ලෙස ඔබේ කාර්යය වගකීමෙන් ඉටුකරන්න කියලයි මම ඉල්ලන්නේ.