"වැහි දෙයියෝ ඕවර් ටයිම් කරනවා වගේ. මාර වැස්ස. කොළඹ පාරවල් දැන් පොඩි වැස්සකටත් යට වෙනවා. වෙන මොකුත් හින්දා නෙවෙයි කුණු හිරවෙලා. තාම කොළඹ කුණු ප්‍රශ්නයට විසඳුමක් නෑ."මේ ජනතාව කියන කතාය.
1993දී එවකට හිටපු මහ ඇමතිතුමිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වරෙක කොළොන්නාව කුණු කන්ද බලන්නට ගියාය. මොරිස් රාජපක්ෂ, නාවලගේ බෙනට් කුරේ, සුසිල් ප්‍රේමජයන්ත, ඒ.එච්.එම්. ෆවුසි වැනි දේශපාලනඥයන්ද මේ කුණු කන්ද බලන්නට පැමිණ සිටියහ.
එදා ප්‍රධාන පුවත්පතක එවකට හිටපු මහ ඇමතිතුමිය හා අනෙකුත් පිරිස අතින් නහය වහගෙන ඉන්න ඡායාරූපයක් මුල් පිටුවේ පළකර තිබිණි. කොළොන්නාව කුණු කන්ද පිළිබඳව පවසමින් එදා බස්නාහිර මහ ඇමතිනිය වූ චන්ද්‍රිකා කිව්වේ මේ කුණු කන්ද ඉවත් කරන බවයි. චන්ද්‍රිකා පසුව ජනාධිපති වුවත් කුණු කන්ද ඉවත් කර ගන්නට බැරි විය. බස්නාහිර පළාත් සභාවේ වර්තමාන මහ ඇමති ඉසුර දේවප්‍රිය 2015දී රූපවාහිනී වැඩසටහනකදී කීවේ මම මේ කුණු කඳු පාත් කරන බවයි.
2017දී අප්‍රේල් 14 වැනිදා මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේය. ඒ හරියටම අලුත් අවුරුද්ද දවසේය. එදා මුළු මහත් ලංකාවම මළ ගෙදරක් විය. වසර 30ක් තිස්සේ අඩි 400ක් උසට ටොන් දසලක්ෂ 25ක් කුණුවලින් පිරුණු කුණු කන්ද නාය යෑමෙන් ජීවිත 32ක් අහිමි විය. කෙටියෙන්ම කිව්වොත් රටේ පාලකයන්ට, නිලධාරීන්ට වගේම ජනතාවට සිංහල අවුරුද්ද දවසේම පාඩමක් ඉගැන්වුවත් මේ කවුරුත් තවම පාඩමක් නම් ඉගෙන ගෙන නැති බව හොඳටම පෙනෙන්නට තිබේ.
එදා මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් පසු ඇමති පාඨලී චම්පික රණවක පැවසුවේ ළඟදීම මෙය පුත්තලමට ගෙන යන බවයි. හැබැයි තවමත් කුණු කන්ද එතැනම ඇත. කුණු කන්ද ඉවත් කිරීමට අවස්ථා ගණනාවක් අපට ලැබිණි.
2010දී මැලේසියානු සමාගමක් ලංකාවේ කුණු ප්‍රශ්නය විසඳන්නට පැමිණියේය. ඔවුන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සමග ගිවිසුමක් අත්සන් කළේය. ඔවුන් පැවසුවේ මේ අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් ජාතික විදුලි බල ධාරිතාවට මෙගාවොට් 02ක ධාරිතාවක්ද එකතු කරන බවය. නමුත් අවසානයේදී සිදු වූයේ මැලේසියානු සමාගම දමා ගසා යන්නට යෑමය.
ඒ වගේම ජර්මානු සමාගමක්ද කසළ කළමනාකරණය කරන්නට පැමිණියේය. නමුත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඩොලර් මිලියන 3.5ක් එනම් ලංකා මුදලින් රුපියල් කෝටි 50කට අධික මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට යෑමෙන් ජර්මන් සමාගම ව්‍යාපෘතිය අත හැරදා යන්නට ගියේය. මෙරට කැළි කසළ ප්‍රශ්නය නිමා කිරීමටත්, එමගින් මේ රටට විදුලි බලය මෙන්ම විදේශ විනිමය උපයන ව්‍යාපෘතියක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටත් සූදානම් වූ කැනේඩියානු සමාගමකින්ද අල්ලස් ඉල්ලීම නිසා ඔවුන් අප රටේ ආයෝජනය කිරීම අතහැර ගියේය.
මෙහිදී දේශපාලනඥයන් විසින් ඉල්ලූ අල්ලසෙහි වටිනාකම රුපියල් කෝටි 45කි.කුණු යනු රටකට හරියට කළමනාකරණය කරනවා නම් සම්පතකි. නමුත් අපේ රටේ ඉන්නා දේශපාලනඥයන්ගේ තිබෙන කුහක ප්‍රතිපත්ති හා ධනයට ඇති විශාල කෑදරකම හේතුවෙන් කුණු ප්‍රශ්නය කුණු වී අවසානයේ ජනතාවට විශාල ගැටලුවක් නිර්මාණය කරදී තිබේ.
විසඳාගත නොහැකි ගැටලුවක් ලෙසට පත්ව ඇති කසළ ප්‍රශ්නය ඕපාතිකව ඇතිවූවක් නොවේ. නොසැලකිලිමත්කම නිසාවෙන්ම කසළ විසි කරනුයේත්, කසළ කඳු නිර්මාණය කරන්නෙත් අපිමය. දේශපාලනඥයන්ට වගේම අපත් මේ කුණු කඳු පුරවන්නට වැරදිකරුවන්ය. ඒ නිසා අප තුළ කසළ ඉවත් කිරීමේදී හික්මීමක්ද තිබිය යුතුය.
කොළඹ නගරයේ පමණක් දිනකට ගොඩ ගැසෙන කසළ ප්‍රමාණය ටොන් 2,000කට වැඩිය. එසේ ගොඩ ගැසෙන කසළ ප්‍රතිචක්‍රීකරණයට කසළ කලමණාකරණයක් අත්‍යඅවශ්‍යය. මාලදිවයින සිංගප්පුරුව වගේ රටවල් කුණුවලින් දූපත් පවා නිර්මාණය කරයි. දිරා යන කසළවලින් කාබනික පොහොර නිෂ්පාදනය කරන රටවල් බහුතරයක් තිබේ.
අතුරලියේ රතන හිමියන් වස විස නැති හෙටක් ගැන මහා හයියෙන් වදාරති. රසායනික පොහොර භාවිතය අවම කරන්නට කතා කරති. නමුත් කෙරෙන වැඩක් නැත. ලංකාවේ කුණුවලින් අඩුම තරමින් අවශ්‍ය කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කළ හැකිය. හරියට කොම්පෝස්ට් නිෂ්පාදනය කර ගත්තොත් රසායනික පොහොරවලට තිත තබන්නට පුළුවන. ලෝකය තුළ කාබනික පොහොර යොදා වැවූ එළවළු පලතුරුවලට ඇත්තේ විශාල ඉල්ලුමකි.
කසළ දහනය කිරීම තුළින් විදුලිය නිෂ්පාදනය කරන රටවල් ඕනෑ තරම් තිබේ. ඒ වගේම ප්‍රතිචක්‍රීයකරණය කර ප්ලාස්ටික්, වීදුරු, ටින් ආදියෙන් සිදු කෙරෙන කර්මාන්ත හරහා ආදායම් ලබා ගන්නා රටවල්ද ඕනෑ තරම් තිබේ. අප කළ යුත්තේ කසළ කළමණාකරණයට පැමිණෙන සමාගම්වලින් පගාවන් ඉල්ලන්නේ නැතිව කසළ ගොඩවල් දේශපාලන තුරුම්පු කර නොගෙන කසළවලින් ආදායම් ලබාගැනීමය. නැත්නම් හැමදාම වෙන්නේ පොඩි වැස්සකටත් යට වෙන කොළඹ පාරවල්වල දේශපාලනඥයන්ට බැණ බැණ ඉන්නටය.