කිරිල්ලෙන් ප්‍රකාශ වන්නේ නිදා ගැනීමට අවශ්‍ය බවය. කිරිල්ල එන්නේ නිදිල්ලට ඉස්සරය. ඒ හින්දා කිරිල්ල එන්නට පෙර නිදාගතහොත් ශරීර සෞඛ්‍යය රැකෙනවාය. නිතරම කිරා වැටෙන නිසා ඔහුට නම වැටුණේ කිරා කියලාය.
මෙම කිරා යනඑන විටද, වාඩි වී සිටින විටද, පැදුරේ වැටුණාක් මෙන් කිරිල්ලට දස්සය. සමහරුන් කිරා වැටෙන විට අවදි වෙන්නට වතුර ගහනවාය. එහෙත් හොරට නිදි කිරා වැටෙන එකා නම් වතුර ගහලාවත් අවදි කරන්න අමාරුය. කඩිසරෙන් වැඩපලවල යෙදෙන මිනිහාට නම් කිරා වැටෙන්නට ඉඩක් නැත්තේය. කිරා වැටිල්ල කම්මැලියාගේ උප්පරවැට්ටියක් කියලා කියන්නේ ඒ නිසාය.
හොරාට කිරන්නේ කඩේ මුදලාලිය. මිනිහා හොරාට කිරන්නේ බඩුය. තරාදියේ එක් පැත්තකට තරාදි පඩියද, අනෙක් පැත්තට අවශ්‍ය භාණ්ඩයද දමා බඩු කිරනවාය. ඉස්සර නම් බඩු කිරිල්ල කළේ තරාදි පඩි දමලාය. එහෙම නැතිනම් බිම් බලන්සවලින්ද බර කිරනවාය. මොන කිරිල්ලත් ඉස්සර කළේ රාත්තල, අවුන්ස, හොන්ඩර, ටොන් ආදියෙන්ය. එහෙම කිරිල්ලේ චක්කරය ඉස්සර පාසල් ළමයින්ට කටපාඩම් කරන්න ඕනෑ වෙලා තිබුණාය. එහෙම කිරිල්ලේ චක්‍රය කට පාඩම් කරන්න වෙලා තිබුණේ ගණන් විෂයෙන් සමත් වීමටය.
ඒත් අද නම් හෑන්ඩ් ෆෝන් එකෙන් ඕනෑම කිරිලි ගානක් සුරුස් ගාලා හදන්න පුළුවන් නිසා චක්කරය පාඩම් කරලා දුක් විඳින්න ඕනෑ නැත්තේය.
ඉස්සර රාත්තල්, අවුන්සවලින් කිරුවාට අද වනවිට ග්‍රෑම්, කිලෝග්‍රෑම්වලින් කිරීමට හැකි වෙලා තිබෙනවාය. එහෙම කිරන්න ඕනෑ වී ඇත්තේ අද කිරිල්ල මෙට්‍රික් ක්‍රමයට පෙරළී තිබෙන හින්දාය. එහෙම කිරිල්ල නිසා මීටර් චක්කරේ අදට වලංගුවෙලා තිබෙනවාය.
කොහොම වුණත් ඉක්මනින් පොහොසත් වෙන්න මුදලාලිලාට හැකි වී ඇත්තේ ඒ ගොල්ලන් හොරට කිරිල්ලට පුරුදුවෙලා තිබෙන හින්දාය. ඒ අය කිරන රාත්තලේ ඇත්තේ අවුන්ස දාසයක් නොව දාහතරකි. කිලෝවේ ඇත්තේ ග්‍රෑම් නමසීයක්ය. එහෙම හොරට කිරිල්ල කරන අය කොටු කරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න අපේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට හැකි නමුත්, ඒ අය එහෙම කරන්න උනන්දු වෙනවා අඩුය. ඒකට හේතුව ඒ සමහරු හොරට කිරන මුදලාලිලා එක්ක ඩීල් දාන නිසා දැයි පාරිභෝගිකයන්ට අසන්නට වෙලා තිබෙනවාය.
සමහර වෙළෙන්දන් ඇතැම් දේවල් කිරිල්ල නොකර ගොඩවල් ගසා අලෙවි කිරීමට පුරුදුවෙලා ඉන්නවාය. කිරලා විකුණනවාට වැඩිය, එහෙම ගොඩවල් විකිණිල්ලෙන් ඒ අයට වාසි ගන්න පුළුවන් වෙලා තිබෙනවාය. කිරිල්ලට ගන්න තරාදි පඩි අවුරුද්දක් පාසා ලයිසන් කරගන්න යැයි කියන්නේ හොරට කිරිල්ලෙන් නවත්වාගෙන පාරිභෝගිකයාට නිසි බර ලබාගන්න පහසු කිරිල්ලටය. ඒත් එහෙම කිරිල්ලට ගන්නා තරාදි පඩි ලයිසන් කරගන්නට හොර මුදලාලිලා කැමති නැත්තේය.
රාත්තල්, අවුන්ස, ග්රෑම්වලින් පාවිච්චියට ගන්නා සාමාන්‍ය බඩු කිරුවාට කසාය කිරන්නේ මදටිය, මංචාඩිවලින්ය. එහෙම කිරන්නේ ඒවා කුඩා ප්‍රමාණවලින් පාවිච්චි කරන හින්දාය. ඒ වගේම රිදී, රත්තරන් ආදිය කිරන්නේද පවුම්වලින්ය. රත්තරන් දම්වැල් ආදියේ බර කිරන්නේ පවුම්වලින්ය. මොන ඒකකවලින් කිරුවත් නියම බර තියෙන්න ඕනෑය.
සමහරුන් වැඩ කිරිල්ලෙන් නම් දරා තිබෙනවාය. එහෙම වැඩ කිරිලිකාරයන්ට කියන්නේ නියම වැඩකාරයන් කියලාය. සමහර අය වැඩකිරිල්ලට වඩා උනන්දු වන්නේ වැඩ නොකිරිල්ලටය. ඒ ගොල්ලෝ මොනවා හෝ හේතුවක් හොයාගෙන වැඩ නොකිරිල්ලට දස්සය.
අද බොහෝ අය උත්සහ කරන්නේ වැඩිකිරිල්ලට මිස අඩුකිරිල්ලට නොවේය. මොන ක්‍රමයකින් හෝ වැඩිකිරිල්ලට උත්සහ කරනවාය. තම ගොඩ වැඩිකිරිල්ලට නොකරන දෙයක් නැත්තේය. හොඳින් බැරි නම් නරකින් හරි වැඩිකිරිල්ලට සූදානම් වෙලා ඉන්නවාය. එහෙත් එහෙම වැඩිකිරිල්ලට වැඩි ආයුෂයක් නැති වග ඒ අය හිතා ගත්තොත් හොඳය. තමන්ගේ ගොඩ වැඩිකර ගන්නට හැකි නම් අනුන්ගේ අයිතිය අඩුකිරිල්ලට දස්සය. තවත් අය හදන්නේ අනුන්ගේ වැඩවලට බාධා කිරිල්ලටය. එහෙම කරන්නේ තමන්ට වාසි ළං කිරිල්ලටය.
සමහර අය පෙම් කරන කාලේ උත්සහ කරන්නේ එකිනෙකා ළං කිරිල්ලටය. ඒත් විවාහ වෙලා ටික කාලයක් ගියාට පසු උනන්දු වන්නේ ළං කිරිල්ලට නොව ඈත් කිරිල්ලටය. එහෙම ඈත් කිරිල්ලට ඕනෑ වෙන්නේ පවුල් ප්‍රශ්න වැඩි වුණාමය. සමහර ප්‍රශ්න කෙටි කිරිල්ලෙන් පිළිතුරු සොයා ගන්න පුළුවන් වෙනවාය. ඒත් කෙටි කිරිල්ලට වැඩිය දික්කිරිල්ලට යනවා නම් කිසි කලෙකත් ගොඩවිල්ලට බැරි වෙනවාය.
ගංගාවලින් මගීන් එගොඩ කිරිල්ල්ල තොටියාගේ රාජකාරියය. එහෙම එගොඩ කිරිල්ල කළේ ඔරුවෙන් හෝ අඟුලෙන්ය. ඒත් අද නම් ගම්වල පවා පාලම් හදලා තියෙන හින්දා ඔරුවෙන් එගොඩ කිරිල්ල කරන්නේ නැත්තේය. මොන ගංගාවෙන් එගොඩ වුණත් සංසාරය නමැති සැඩ පහරින් එගොඩ කිරිල්ල අමාරු බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවාය. පෙර පින් නැති නම් එහෙම සංසාරයෙන් එගොඩ කිරිල්ල පවා උන්වහන්සේටද දුෂ්කර වෙනවාය.
දේශපාලුවා එගොඩ කිරිල්ල ඡන්දදාසලාගේ වැඩක්ය. ඡන්දදාසලාට ස්වකීය කතිරයේ බලයෙන් දේශපාලුවන් දියවන්නාවෙන් එහාට එගොඩ කිරිල්ලට පුළුවන් වෙලා තිබෙනවාය. එහෙත් එහෙම එගොඩට ගිය දේශපාලුවන්ට තමන්ට ඡන්දය දුන් ඡන්දදාසලා ඒ ගොල්ලන්ගේ ගැටලුවලින් එගොඩ කිරිල්ල නම් අමතක වෙලා යනවාය.