කැලෑ ගිනි තැබීම් වළක්වා ගැනීමට එක්වෙමු


කැලෑ ගිනිගැනීම් ලොව සෑම රටකම පාහේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින විට දැකගත හැකි තත්ත්වයකි. වෙනත් රටවල ලැව්ගිනි තත්ත්ව පැවතියද, මෙරට ලැව්ගිනි ඇති නොවේ. ඒ අනුව මෙරට කැලෑ ගිනිගැනීම් සිදුවනුයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. විශේෂයෙන් මිනිසුන් විසින් සිදු කරනු ලබන අපරික්‍ෂාකාරී ක්‍රියාකාරකම් මෙයට හේතු වී තිබේ.


ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසන පරිදි 2017 වර්ෂයේ මෙරට කැලෑ ගිනිගැනීම් 58ක් වාර්තා වී ඇති අතර, එය 2018 වර්ෂය වනවිට 102ක් දක්වා ඉහළ ගොස් ඇත.
2019 වර්ෂය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට එම අගය තවදුරටත් ඉහළ යා හැකි තත්ත්වයක් පෙන්නුම් කෙරේ. විශේෂයෙන් 2019 අප්‍රේල් මාසය වනවිට කැලෑ ගිනිගැනීම් 50ක් වාර්තා වී තිබීමම තත්ත්වයේ ස්වභාවය පෙන්නුම් කරයි.

මෙරට කැලෑ ගිනිගැනීම් පිළිබඳ අවධානය යොමු කරද්දී ඒවාට හේතු කිහිපයක් දක්නට ලැබේ. දුම්වැටි පානය කර ඉවතට විසි කරන දුම්වැටි කොටය හේතුවෙන් මහා විනාශයන් ඇතිකරන තත්ත්වයන්ද වාර්තා වෙයි. එමෙන්ම වගා කටයුතු සඳහා හේන් ගිනිතැබීමේදී එම ගින්න පාලනය කර ගැනීමට නොහැකිව ආසන්නව පිහිටි කැලෑවලට ගින්න පැතිර ගිය අවස්ථා බහුලය. මෙරට වනාන්තර ආරක්ෂා කරගත යුතු බවට මෑත කාලීනව තරුණ පිරිස් අතර මතයක් ඇතිවෙමින් පවතී. නමුත් ස්වභාවයෙන්ම අපේ රටේ මිනිසුන් තමන්ගේ ඉඩමේ මායිම වෙනස් කරමින් අනුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමේ පහත් මානසිකත්වයක සිටියි. මේ නිසාද ඉඩම් අත්පත් කර ගැනීමේ මානසිකත්වයෙන් ඇතැමුන් හිතාමතා කැලෑ ගිනි තබනු දැකගත හැකිය. කෙසේ වෙතත් කැලෑ ගිනිතැබීම යන වරදට මෙරට නීතියෙන් දැඩි දඬුවම් නියම කර ඇත. ඒ 2009 අංක 65 දරන කැලෑ සංශෝධන පනත් ප්‍රකාරවය.

එහි 7(1)(අ) වගන්තිය යටතේ යම් රක්‍ෂිත වනාන්තරයකට අනවසරයෙන් ඇතුළු වීමම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස දක්වා තිබේ.
7(1)(ඌ) වගන්තිය යටතේ යම් ගින්නක් දල්වන, දල්වා තබන හෝ දැල්වෙමින් තැබීමට ඉඩ හරින හෝ ඇවිළෙන්නට සලස්වන හෝ පැතිර යෑමට ඉඩ සලස්වන හෝ යම් ගින්නක් රැගෙන යන හෝ තැනැත්තෙකු වරදකරුවෙකු වෙයි.

එසේම 7(1) වගන්තිය යටතේ ඉහත සඳහන් චෝදනා දෙකකට වරදකරු වන තැනැත්තන්නට රුපියල් විසිදහසත්, ලක්‍ෂ දෙකත් අතර දඩයකට හෝ වසර පහක් දක්වා සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකම මගින් හෝ දඬුවම් ලැබිය හැකිය. එසේම මෙම දඬුවම්වලට අමතරව වනයට කරන ලද අලාභයට දඩයක් අයකර ගත යුතු බවද පනතේ දැක්වෙයි.

තවද 7(2)(1) වගන්ති ප්‍රකාරව කැලෑ ගිනි තැබීම සම්බන්ධ වරදකට අනුබල දෙන තැනැත්තන්ද වරදකරුවන් ලෙස දක්වා ඇති අතර, ඔවුන්වද ඉහත සඳහන් දඬුවම්වලට යටත් කර ඇත.
කැලෑ ගිනිතැබීම් අවම කර ගැනීමට මහජනතාවගේ සහාය අවශ්‍ය බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නකි.

“පවතින වියළි කාලගුණික තත්ත්වය මත තිබෙන ප්‍රශ්නයක් තමයි කැලෑ ගිනි ගැනීම. 2017 වර්ෂයේ කැලෑ ගිනිගැනීම් වාර්තා වුණේ 58යි. 2018 වර්ෂයේ 102ක් වාර්තා වුණා. මේ වර්ෂයේ මුල් මාස තුන වෙද්දි සිදුවීම් 50ක් වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ කැලෑ ගිනිගැනීම් වාර්තා වෙන්නේ ජූලි හා අගෝස්තු මාසවල. නමුත් මේ වර්ෂයේ උෂ්ණාධික කාලගුණය නිසා කැලෑ ගිනිගැනීම් වැඩි වෙලා තිබෙනවා. සමහර තැන්වල ජනතාවගේ වරදින් කැලෑ ගිනිගැනීම් ඇති වෙනවා. අපි හැම දිස්ත්‍රික්කයේම හදිසි අාපදා තත්ත්වයන්ට මුහුණ දෙන්න ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එකතුව ඒකක පිහිටුවලා තිබෙනවා. ඒ වගේම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් මේ සඳහා යොදාගන්නා අවස්ථාත් තිබෙනවා. පැය 24ම ක්‍රියාත්මක 117 කියන දුරකථන අංකයට කැලෑ ගිනිගැනීම් පිළිබඳ දැනුම් දෙන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

මේ අනුව මහජනතාව ලෙස පරිසරය දෙස විමසිල්ලෙන් බැලීම මේ දිනවල අත්‍යවශ්‍ය වේ. වනාන්තරයක දුමක් නගින තත්ත්වයක් දකී නම් 117 යන දුරකථන අංකයට හෝ 119 යන පොලිස් හදිසි ඇමතුම් අංකයට ඒ පිළිබඳ දැනුම් දීමේ හැකියාවක් පවතී. එසේම ග්‍රාම සේවා නිලධාරී, ත්‍රිවිධ හමුදා නිලධාරීන් හෝ ප්‍රදේශයේ ඕනෑම රජයේ නිලධාරියෙකුට මේ සම්බන්ධ තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වනසංරක්‍ෂක ජනරාල් ලාල් අබේගුණසේකර මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ දඬුවම් දීම පිළිබඳ අවධානය යොමු කිරීමට හා මහජනතාව මෙම කැලෑ ගිනිතැබීම්වලට යොමු වීමට පෙර දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවයි. එහිදී ඒ මහතා අදහස් දක්වමින් පවතින තත්ත්වය මෙ‍ෙලස විග්‍රහ කළේය.

&වන ආඥා පනත යටතේ අපේ රටේ වනාන්තරවලට උපරිම නීතිමය ආරක්‍ෂාව ලැබී තිබෙනවා. ලංකාවේ වනාන්තර සංරක්‍ෂක, රක්‍ෂිත හා සංරක්‍ෂිත හා රක්‍ෂිතවලට අයත් නොවන වෙනත් වනාන්තර ලෙස කොටස් තුනක් තිබෙනවා. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 29.7෴ක ප්‍රමාණයක් වනයෙන් ආවරණය වී තිබෙනවා. මෙහිදී වන ආඥා පනතෙන් පස, ජලය, ජෛවවි විධත්වය ආරක්‍ෂා කර ගැනීමට වනාන්තර ආරක්‍ෂා කර කළමනාකරණය කරගන්න අවශ්‍ය බලය ලබාදී තිබෙනවා. මෙහිදී අපට ඇතිවන ගැටලුව තමයි වනාන්තර ගිනි තැබීම තුළින් වනාන්තරවලට හානි සිදුවීම. වන ආඥා පනත යටතේ වැඩිම දඬුවම් තියෙන්නෙ කැලෑ ගිනි තැබීමටයි. මෙහිදී අපි දඬුවම් දීමට වඩා වළක්වා ගැනීමට මහජනතාව දැනුවත් කිරීමයි සිදු කරන්නෙ. අපි මේ හරහා මහජනතාව දැනුවත්  කර තිබෙනවා යම්කිසි අවස්ථාවක කැලෑවක දුමක් හෝ දකින විට පොලීසිය, ග්‍රාම නිලධාරීවරයා හෝ වෙනයම් රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන්න කියලා. ඒ වගේම කියන්න ඕන අපේ රටේ ලැව්ගිනි ඇති වෙන්නේ නැහැ. යම් හේතු මත මිනිසුන් ඇතිකරන ගිනි නිසා තමයි කැලෑ ගිනිගැනීම් සිදුවෙන්නේ. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කැලෑ ගිනි නවත්වා ගන්න හැකි සෑම උපකාරයක්ම ලබා දෙන්න කියලා.

මේ වනවිට කැලෑ ගිනිගැනීම් පාලනය කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය එක්ව ඒකක පිහිටුවා ඇත. පාලනය කර ගැනීමට අපහසු ගිනිගැනීම් අවස්ථාවලදී ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යෙදවීමටද සූදානම් කර ඇති බව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. අපගේ අපරීක්‍ෂාකාරී ක්‍රියා පාලනය කර ගනිමින් මෙවැනි අවස්ථාවක කැලෑ ගිනි ගැනීම් අවම කර ගැනීමට දායක විය යුතුය. 



Recommended Articles