කාන්තාව දෙවැනි පුරවැසියෙක් නෙවෙයි - හිරුණිකා ප්‍රේමචන්ද්‍


මෙවර මැතිවරණයට කාන්තා අපේක්ෂකයන් ඉදිරිපත්ව සිටින්නේ අතළොස්සක පමණ සුළු පිරිසකි. ඒ අතරින් පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල කාන්තා හඬක් නඟන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙවර මැතිවරණය සඳහාද සමගි ජනබලවේගයෙන් තරග වදී. මේ ඇය සමග යෙදුණු සංවාද සටහනකි.


'නොසැලෙන ගැහැනිය'තේමාව තුළින් ඔබ මැතිවරණ ප්‍රචාරණය සිදුකරනවා. ඒ ගැන මුලින්ම කතා කරමු?

නොසැලෙන ගැහැනිය ලෙස මගේ තේමාව තෝරාගන්නට හේතු බොහොමයක් තිබුණා. කාන්තාවක් දේශපාලනයට පිවිසීමේදී ඇයට පළමුවෙන්ම පහර එල්ල කරන්නේ ලිංගික වශයෙන්. මෙලෙස පහර එල්ල කිරීමෙන් කාන්තාවන්ව නැවැත්වීමට බොහෝදෙනා උත්සාහ කරනවා. කාන්තාවන් දේශපාලනයට පැමිණීම අඩුවීමටත් එය එක හේතුවක් වෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පැමිණි මම පමණක් නොවෙයි මෑත ඉතිහාසයේ දේශපාලනයට පැමිණි කාන්තාවන් බොහෝදෙනෙකුටත් ඒ ඉරණම අත්වුණා. සිරිමාවෝ මැතිණියගේ සිට ඉදිරිපත් වූ සෑම කාන්තාවකටම මඩ ගැහුවා. අපහාස කළා. ඒ සෑම කෙනාටම වඩා මම අපහාස විඳලා තියෙනවා කියලා හිතනවා. මේ කිසිම දෙයකට සැලෙන්නේ නැතිව මගේ පෞද්ගලික ජීවිතය වගේම දේශපාලන ජීවිතයත් ඉදිරියට ගෙනියන නිසා 'නොසැලෙන ගැහැනිය' කියන තේමාව මම මෙවර මැතිවරණයට යොදා ගත්තා. ඕනෑම ක්ෂේත්‍රයක සිටින ගැහැනියක් තමන්ගේ කාර්යය ගැන අභිමානයක් ඇතිකර ගනිමින්, නොසැලී ඉදිරියට යා යුතුයි.

21 වැනි සියවසේ කාන්තාවන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා මොනවාද කියා කාන්තා නියෝජිතවරියක ලෙස ඔබ හඳුනාගෙන තිබෙනවාද?

අනිවාර්යයෙන්ම ඔව්. ලංකාව වගේ ආසියාතික රටක උනත් කාන්තාවන්ට ලැබෙන අවස්ථාවන් බොහොම අඩුයි. ඒ නිසා මම හිතන්නේ මේ සියවසේ කාන්තාවන්ගේ ප්‍රමුඛතම අවශ්‍යතාවය විය යුත්තේ ඔවුන්ට අවස්ථාවන් ලබාදීමයි.

උදාහරණයක් විදිහට ලංකාවේ වැඩිම උපාධිධාරී පිරිස කාන්තාවන් උනත් ඒ කාන්තාවන්ගෙන් බහුතරය විශ්වවිද්‍යාල වලින් එළියට ගිහින් බොහෝ වෙලාවට නිවසට වෙලා ජීවිතය ගතකරනවා. උපාධිය ගත්තත් එමගින් වෘත්තීමය ලෙස ඉදිරියට යන්න නොහැකි වෙලා. ඒ සඳහා ඇති අවස්ථාවන් ඇහිරිලා තියෙනවා. ආසියාතික රටවල මේ තත්ත්වය බොහොම වැඩියි. ලංකාවේ ඒ තත්ත්වය හොඳටම වැඩියි. ඉන්දියාව, පාකිස්ථානය වගේ රටවල්වල කාන්තාවන්ට ලැබෙන අවස්ථා දිහා බලපුවාම දේශපාලනය පමණක් නෙවෙයි අනිකුත් සියලුම ක්ෂේත්‍රවලදී කාන්තාවන් පුරුෂයන්ට වඩා කොපමණ දක්ෂතාවයක් දැක්වුවත් වෘත්තීමය වශයෙන් ඔවුන්ට ලැබෙන අවස්ථා ඉතාම විරලයි.

21 වන ශතවර්ෂයේ කාන්තාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුව එයයි. කාන්තාවක් විදිහට ඇය විවාහ වෙලා ගෙදර වැඩකටයුතු, දරුවන්ගේ වැඩකටයුතු කරන ගමන් වෘත්තියක යෙදෙනවා නම් ඇගේ තත්ත්වය ගැන හිතල බලන්න. ඇය උදේ වැඩට ගිහින් ගෙදර එන්නේ තවත් රස්සාවකට යනව වගේ. මේ තත්ත්වය ගැන කාන්තාවන් විදිහටවත්, පුරුෂයන් විදිහටවත් දුරදිග හිතන්නේ නැහැ. කාන්තාව අගය කිරීමකට යොමු වෙන්නේ නැහැ. කාන්තාවක් උදේ 4.00ට නැගිටලා ආරම්භ කරන තමන්ගේ වැඩ කොටස රාත්‍රී 11 විතර වෙනකම් කරනවා.

කාන්තාවක් මවක්, ගෘහනියක්, වෘත්තීයවේදිනයක් විදිහට මේ කාලය තුළ විවිධ චරිත රඟපානවා. කොපමණ වැඩ කළත් ඇයට ඇගයීමක් නොලැබෙන විට වසස 40-45 වන විට විශාල මානසික පීඩනයකට ලක්වෙනවා. මේ සියලුදේම විඳ දරාගෙන තමුන්ගේ ජීවිතය ගතකරනවා. කාන්තාවගේ තිබෙන ශක්තිමත්භාවය හඳුනාගෙන ඇයට පන්නරයක් වෙන්න හැකි පුරුෂයන් සිටිය යුතුයි. මේ සියවසේදී කාන්තාව දෙවැනි පුරවැසියෙක් ලෙස නෙවෙයි පුරුෂයා හා සාමාන නිසි තැන ලැබිය යුතු කෙනෙක් විදිහට ඇයව හඳුනාගැනීම තමයි කළ යුත්තේ. අපි නිර්මාණය කළ යුත්තේ එවැනි සමාජයක්.

ආරාධනාවක් ලැබුණොත් නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න සහය දෙනවාද?

නැවත එක්සත් ජාතික පක්ෂය ගොඩනඟන්න පුළුවන් එකම කෙනා සජිත් ප්‍රේමදාස මහත්මා පමණයි. මේ වෙලාවේ අපි එතුමා සමග එතුමාගේ වැඩපිළිවෙළට සහය දක්වමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහත්මා පත්වුණොත් පමණයි ඉදිරි ගමනක් තිබෙන්නේ. මගේ සහයෝගය එතැනදී ලැබෙනවා. දේශපාලන මහගෙදර ගැන කතා කරනවා නම් ඇත්තටම මගේ මහගෙදර වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

මොකද මගේ තාත්තා අවුරුදු 30ක් පමණ එතැනයි හිටියේ. නමුත් දැන් තියෙන්නේ පරණ නිදහස් පක්ෂය නෙවෙයි. ඉස්සර හිටියට වඩා වෙනස්ම පිරිසක් දැන් එතැන ඉන්නේ. මේ නිසා මම පක්ෂ දේශපාලනය පසුපස හෝ නායකයන් පසුපස යන කෙනෙක් නෙවෙයි.

මොකද අවුරුදු 70ක් තිස්සේ අපේ අය පක්ෂයක් වෙනුවෙන් කඩේ ගිහින්, පක්ෂයක් දියුණු කරන්න කැපවෙලා පාක්ෂිකයන්ට ලැබුණු දෙයකුත් නැහැ, රටට ලැබුණු දෙයකුත් නැහැ. මැතිවරණ කාලයට පමණක් පක්ෂ දේශපාලනයේ ඉඳලා, පාර්ලිමේන්තුවට ගිහින් ජාතික දේශපාලනය කරද්දි හොඳ දේවල් සඳහා සියලුදෙනා එක්ව රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ.

සමගි ජනබලවේගය සැබෑවටම සමගියේ බලවේගයක් වී ජය අත්පත් කරගනීවිද?

මේ මාස හත අට ඇතුළත රටේ සිදුවුණ දේවල් ගැන ජනතාව අවදියෙන් හිටියා නම්, ඒ ගැන හිතලා තීරණයක් ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා නම් මෙවර ඔවුන් හරි තීරණයක් ගනියි කියලා මම විශ්වාස කරනවා. මේ යන ක්‍රමය ගැන කලකිරුණ මධ්‍යස්ථ මතධාරී බොහොමයක් මෙවර සමගි ජනබලවේගය සමග එකතුවෙලා ඉන්නවා. සෑබෑ ජනතා මතය නියෝජනය කරන්නේ අපි.

හිටපු ජනාධිපතිතුමා කියනවා පොහොට්ටුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සහෝදරයෝ වගේ ඉන්නේ, අද වෙනකොට තවත් අලුත් සහෝදර කණ්ඩායමක් හමුවෙනවා, ඒ තමයි එක්සත් ජාතික පක්ෂය කියලා. දැන් ටීවීවල යන දේවල් බැලුවොත් හැමෝම විවේචනය කරන්නේ සමගි ජනබලවේගය.  හැමෝටම ප්‍රශ්නෙ වෙලා තියෙන අපේ බලවේගය හැමෝටම අභියෝගයක් වෙලා තියෙනවා.

එයට මූලික හේතුව අපේ නායකයා ඇතුළු සියලුදෙනාම හොඳ ජවසම්පන්න පිරිසක් වීමයි. මේ වෙලාවේ අනිත් සියලුම පක්ෂ අභිභවා රටේ සැබෑ ප්‍රශ්න කතා කරන්නේ අපි. රටේ ජනතාව මෙවරවත් හරි තීරණයක ගනියි කියලා අපි විශ්වාස කරනවා. මොකද ජනාධිපති පුටුවේ හැමෝම වාඩිවෙන්නෙ රටට හොඳක් කරන්න බලාගෙන. නමුත් මේ යන විදිහට ජනාධිපතිතුමා වටේ ඉන්න අයත් එක්ක මේ රට කරන්න බැහැ.

ඒ නිසයි සමගි ජනබලවේලය පත්කරගතයුත්තේ. මේ නිසා සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මම කියන්නේ  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න ඔබට ඇත්තටම අවශ්‍ය නම් මෙවර සමගි ජනබලවේගයට ඡන්දය දෙන්න කියලයි. සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ අපි ළඟ. අලියව අමතක කරන්න බැහැ කියලා කවුරුහරි අලියට ඡන්දෙ දෙනවා ඒ ඔවුන් ඉතිහාසයේ කරගත්තු ලොකුම මෝඩකම කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයට මනාප ටික අරගෙන පොහොට්ටුවට කඩේ යද්දි හැමෝටම පසුතැවිලි වෙන්න වෙයි. දැන් හැමෝම කතා කරන්නේ සමගි ජනබලවේගය ගැන. ඒ නිසා ඔබත් අපි සමග එකතුවෙන්න කියලා මම ජනතාවට ආරාධනා කරනවා. මෙවර මැතිවරණයේදී ඔළුව පාවිච්චි කරලා ඡන්දෙ දෙන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

යළිත් පවුල් පාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි කියා ඔබ කියන්නේ ඇයි?

වර්තමානයේ රාජපක්ෂ පවුල තුළින් ජනාධිපති හැරුණුවිට 05 දෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා. මහින්ද, චමල්, නාමල්, ශෂේන්ද්‍ර, නිපුන. පවුල් පාලනය එපා කියපු අයටයි මම මේ කියන්නේ. බැසිල් රාජපක්ෂගේ නම ජාතික ලැයිස්තුවේ තිබුණේ නැති වුණාට කලබල වෙන්න අවශ්‍ය නැහැ.

මොකද ඔවුන් තුනෙන් දෙක ගන්න මෙච්චර දඟලන්නේ 19  වැනි සංශෝධනය වෙනස් කරලා ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කරන්න අවස්ථාව හදාගන්නයි. ඔවුන්ට තුනෙන් දෙක දෙන්න එක්සත් ජාතික පක්ෂය ලෑස්තිවෙලා ඉන්නේ. මේ තියෙන්නේ තනිකර පවුල් පාලනයක්. මැතිවරණයෙන් පස්සේ රාජපක්ෂ පවුලෙන් විතරක් 07ක් ආණ්ඩුව කරන්න එනවා. රටේ ආර්ථිකය, විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය මේ ඔක්කොම පාලනය කරන්නේ රාජපක්ෂලා. එහෙම උනාම වැඩිදුර නොහිතා කරපු මෝඩකමේ තරම කොපමණද කියලා ජනතාව තේරුම් ගනියි.



Recommended Articles