ක්‍රීඩාවෙන් අලුත් ගමනකට


නව රජයේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කිරීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මා කෙරෙහි තැබූ විශ්වාසයට මම ඔවුනට ස්තූතිය පුද කරන්නෙමි. එමෙන්ම ඔවුන් මට භාරදුන් භාර ධූර වගකීම මට හැකි උපරිමයෙන් හා ශක්තිමත්ව ඉටු කිරීමට මා අදිටන් කරගතිමි.

කුරහන් සුවඳ තීරු ලිපිය අද දිනයේදී ඔබ අතට පත්වන අවස්ථාව මා එම අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කරන දිනය වේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ප්‍රධාන අංග අතර ක්‍රීඩාවටද මුල් තැනක් ලබාදී ඇති අතර, එවැනි අවස්ථාවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මට පැවැරී ඇති වගකීම පිළිබඳව මා හට අවබෝධයක් තිබේ. මෙම අමාත්‍යාංශ දෙකම රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත්ම තීරණාත්මක අමාත්‍යාංශ දෙකකි. ඒ අතරින් ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධයෙන් ඔබ හා තරමක සාකච්ඡාවක් ගොඩ නැගීමට මා මුලින්ම අදහස් කරන්නෙමි. 

ක්‍රීඩාව යන්න අප කොටස් තුනකට හඳුනාගෙන තිබේ. එමෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ බොහෝ පිරිසකගේ අවධානය දිනාගෙන ඇති නව අංශයක් පිළිබඳවද අපගේ අවධානය යොමු කර තිබේ. පළමු කොටස ලෙස අපි දකිනුයේ %Leisure sports^  යන්නයි. විනෝදාංශය සඳහා ක්‍රීඩා කිරීම, නැතහොත් ශරීර සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රීඩා කිරීම මින් අදහස් වේ. අපි සැමෝම, එනම් මම සහ ඔබ පාපන්දු ක්‍රීඩා කරනුයේ, ක්‍රිකට් ක්‍රීඩා කරනුයේ, රග්බි ක්‍රීඩා කරනුයේ, එල්ලේ ක්‍රීඩා කරනුයේ, සර්ෆ් කරනුයේ පදක්කම් දිනා ගැනීමටම නොවේ. ඒ සඳහා අප යොමු වනුයේ අපගේ ශාරීරික සෞඛ්‍ය හා මානසික සුවය සඳහාය. එය මේ රටේ සංස්කෘතියක් බවට පත් කළ යුතුය. 

මේ රටේ සෑම පුද්ගලයෙකුම ශරීර සෞඛ්‍ය සම්පන්නභාවයෙන් යුතු පුද්ගලයෙකු බවට පත්කළ යුතුය. එය සෞඛ්‍යයටත්, රටටත් යහපත්ය. එය මෙම විනෝදාංශය සඳහා ක්‍රීඩාව තුළින් ප්‍රවර්ධනය කිරීමට අපි අදහස් කරගෙන සිටින්නෙමු. ශ්‍රී ලංකාවේ මේ වනවිට බෝ නොවන රෝග තුළින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙමින් තිබේ. මේ සඳහා ප්‍රධානම කරුණක් ලෙස අපගේ ආහාර භාවිතය හේතුවක් වුවද බෝ නොවන රෝග පාලනය කරමින් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු බවට පත්වීමට අපට ක්‍රීඩාව යොදාගත හැකිය.

දෙවැන්න වනුයේ %Competitive Sports^ එසේත් නොමැතිනම් පදක්කම් දිනීමට, ලෝක කුසලාන දිනීමට තරග කිරීමයි. එය ඔලිම්පික්, සාග් තරගාවලිය වීමට හැකිය. ක්‍රිකට් ලෝක කුසලානය, රගර් සෙවන්ස් ලෝක කුසලානය වීමට හැකිය. වොලිබෝල්, එල්ලේ, කබිඩි මේ ඕනෑම ක්‍රීඩාවක් වීමට හැකිය. ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට මේ හරහා අප බලාපොරොත්තු වන්නෙමු. ඒ තුළින් ශ්‍රී ලංකාව, ආසියාව තුළත්, ජාත්‍යන්තරය තුළත් ප්‍රචලිත කිරීමට අවස්ථාව ලැබෙන අතර, ඒ හා සම්බන්ධව විවිධ වාසි රාශියක් අපට ලබාගැනීමට අවස්ථාව තිබේ.

තුන්වැන්න වනුයේ ක්‍රීඩා ආර්ථිකයක් රටේ නිර්මාණය කිරීමයි. මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ     %සෞභාග්‍ය දැක්ම^ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වැදගත්ම අංගයකි. අප එදා කාල්ටන් සුපර් ක්‍රොස් තරගාවලිය තිස්සමහාරාමයේ සිදුකරන විට ඇතැමුන් සිනහ වූ අතර, එහිදී අප කළේ ක්‍රීඩා ආර්ථිකයක් සෑදීමයි. අප %කාල්ටන් සෙවන්ස්^ කරන විටද ඇතැමුන් අපට සිනහ වූ අතර, එහිදීද අප කළේ ක්‍රීඩා අර්ථිකයක් සෑදීමයි. නැවත වතාවක් ක්‍රීඩා ආර්ථිකයක් සෑදිය යුතු අතර, එය අප මේ වනවිටත් හම්බන්තොටින් ආරම්භ කර තිබේ. හම්බන්තොට වෙරළ උද්‍යානයේදී පසුගිය සතියේදී පැවැත්වූ %වෙරළ ක්‍රීඩා තරගාවලිය^ හරහා අප බලාපොරොත්තු වූයේ ක්‍රීඩා ආර්ථිකයන් නිර්මාණය කිරීම වෙනුවෙන් පදනම දැමීමටය. ඒ  හරහා අවට වෙළෙඳ ව්‍යාපාර දියුණු වන අතර, නව රැකියා අවස්ථා නිර්මාණය වේ. තරුණ තරුණියන් ක්‍රීඩාවට උනන්දු වේ. සංචාරකයන් මේවා බැලීමට පැමිණෙන අතර, පිට පළාත්වලින් සෙනඟ මේවා බැලීමට පැමිණේ. ඒ තුළින් දේශීය සංචාරක කර්මාන්තය දියුණු වේ. 

අප අවධානය යොමුකළ යුතු නව ක්ෂේත්‍රයක් ලෙස E – Games, නැතහොත් අන්තර්ජාලය හරහා සිදු කෙරෙන ක්‍රීඩා හඳුන්වා දීමට පුළුවන. මෙය මේ වනවිට ලෝකය පුරා ඩොලර් බිලියන 100කට අධික වෙළෙඳ පොළක් අැති ක්ෂේත්‍රයක් බවට පත්ව තිබේ. කොරියාව වැනි ආර්ථිකයක් එක රැයක් තුළ කණපිට පෙරළීමට එවැනි ක්ෂේත්‍රයන්ට හැකි වී තිබේ. මෙම ක්ෂේත්‍රය පිළිබඳ උනන්දු මෙන්ම මේ ක්ෂේත්‍රය තුළ තම දක්ෂතා දක්වා ඇති බොහෝ පිරිසක් මෙරට සිටින අතර, මීළඟ අවුරුදු පහ තුළ මෙම ක්ෂේත්‍රයත් දියුණු කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. 

මේ රටේ අනාගතය ගොඩ නැගීම සඳහා වැව් අමුණු, ගුවන් තොටු පොළවල්, වාරිමාර්ග, මහා මාර්ග මහා ගොඩනැගිලි සාදනවාක් මෙන්ම මේ රටේ තරුණයන්ගේ සෞඛ්‍ය හා මානසික සුවය පිළිබඳවද අප වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඔබට මතක ඇති නම් අප මෙම %කුරහන් සුවඳ^ තීරු ලිපි පෙළ හරහා ලංකාවේ ක්‍රීඩා ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම, ක්‍රීඩාවට තරුණ තරුණියන් උනන්දු කරවීම, ක්‍රීඩා ආර්ථිකයක් නිර්මාණය කිරීම, ශ්‍රී ලාංකේය නාමය ලෝකය තුළ ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ගමින් ගමට ගොස් අදහස් ලබාගැනීමට කටයුතු කළෙමු. මේ හරහා ලද ජනතා අදහස්වලට සවන් දෙමින් ඉදිරියේදී ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය වඩාත් සුබදායී ක්ෂේත්‍රයක් බවට පත්කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නෙමි.



Recommended Articles