ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ විශිෂ්ට ක්‍රිකට් චිත්‍රපට සහ කතා මාලා


කොවිඩ්-19 වෛරසයට (කොරෝනා  වෛරසය) එරෙහිව මේ වනවිට ලොව බහුතරයක් රටවල් සටන් වදිමින් සිටියි. චීනයේ හුබෙයි පළාතෙන් ඇරඹුණු මෙම වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට ලක්ෂයකට වැඩි ජනතාවකට මරණය අත්කරදී හමාරයි.


යුරෝපයේ මෙම වසංගතය දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර බොහෝ රටවල් වසාදමා (Lockdown) තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ ලොවපුරා පැවැත්වීමට නියමිතව තිබූ බහුතරයක් ක්‍රීඩා තරග අවලංගු කෙරිණි. ඒ අතරට ක්‍රිකට්, පාපන්දු, ටෙනිස්, පැසිපන්දු, මලල ක්‍රීඩා මෙන්ම තවත් ජනප්‍රිය ක්‍රීඩා තරගාවලිද ඇතුළත්ය.

මේ අතර බහුතරයක් ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ට නිවසට වී මෙම වසංගතය පාලනය කිරීමට දායක වන්නැයි ලෝකප්‍රසිද්ධ ක්‍රීඩකයින් ඉල්ලීම් කරනු දැකගත හැකිය. මෙවැනි පසුබිමක් මධ්‍යයේ ක්‍රිකට් තොරතුරු වාර්තා කිරීමේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන 'ක්‍රික්ඉන්ෆෝ'  වෙබ් අඩවි' ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්  විශිෂ්ට ක්‍රිකට් චිත්‍රපට සහ කතා මාලා 10ක් ඉදිරිපත් කර තිබේ.  මේ ඒ පිළිබඳ සටහනකි.

1. බැබිලෝනියා ගින්න

මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය වනුයේ 1970 සහ 80 දශකවල බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සම්බන්ධයෙනි. විනෝදාත්මක නමුත් අසාර්ථක 'කැලිප්සෝ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ' සිට ඔවුන් ලොවම ජයගන්නා ආකාරය මෙම චිත්‍රපටයෙන් අපූරුවට පෙන්නුම් කර තිබේ.

මෙහි චරිත ගොඩනැගෙන්නේ කොදෙව්වන්ට ලෝක කුසලානය දිනාදුන් නායක මෙන්ම පිතිකරුවන්ට අනුකම්පා විරහිතව පහරදුන් ක්ලයිව් ලොයිඩ්, විචිත්‍රවත් ආකාරයෙන් පිටිය සිසාරා පහර එල්ල කළ විව් රිචර්ඩ්ස් සහ විරුද්ධවාදීන්ව භීතියෙන් මුසපත් කිරීමට සමත්වූ වේගපන්දු බලඇණිය සමගින් 'කල්ලන'' ලෙස හංවඩු ගැසුණු වාර්ගිකත්වයට එරෙහිව ක්‍රිකට් පිටිය ජයගන්නා කොදෙව්වන් ඇසුරෙනි.

එකල එංගලන්ත ක්‍රිකට් නායක ටෝනි ග්‍රෙග් පැවසූ ඔවුන් පහත් වූ විට 'කෙඳිරිගාමින් යන ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සහ දකුණු අප්‍රිකානු රජය 'ගෞරවණීය සුදු තත්ත්වය' (Honorary White Status) සමගින් හිස් චෙක්පතක් ලබාදී කොදෙව් සුපිරි පිතිකරු විව් රිචර්ඩ්ස්ව කැරලිකාර සංචාරයක කොටස්කරුවෙක් ලෙස රවටා ගැනීමට උත්සාහ කළ ආකාරය මෙම චිත්‍රපටයේ උච්ච අවස්ථා ලෙස පෙන්වාදෙයි. විශේෂයෙන් එකල පැවති කළු-සුදු වර්ණභේදවාදය මෙම චිත්‍රපටයෙන් අපූරුවට පෙන්නුම් කර තිබේ. 

2. ලගාන්

'ලගාන්' යනු හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මාන දිනූ චිත්‍රපටයකි. 2001 වසරේ තිරගත වන මෙම චිත්‍රපටය එකල බොලිවුඩයේ සියලු ආදායම් වාර්තා බිඳහෙලීමට සමත් වන්නේය. ප්‍රධාන චරිතය වන 'බුවන්'ගේ චරිතයට පණපොවන්නේ ප්‍රතිභාපූර්ණ බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන අමීර් ඛාන්ය.

අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් සිය ගම්බිම් කුඹුරු බේරාගන්නා හද්දා පිටිසර ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ කතාවක් මෙම චිත්‍රපටයෙන් දිගහැරෙයි. ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගේ යටත්විජිතයක් වීමෙන් අනතුරුව නියඟයට සහ අයුක්ති සහගත බදුවලට එරෙහිව අරගල කරන ග්‍රාමයක් සහ ඔවුන්ගේ බ්‍රිතාන්‍ය ස්වාමිවරුන් ගම්වැසියන්ට ක්‍රිකට් තරගයකට ආරධනා කරමින් තබන ඔට්ටුවක් මෙහි අන්තර්ගතය.

එනම් මෙම ක්‍රිකට් තරගයෙන් ගම්වාසීන් දිනුවහොත් බදු නිදහස් කරනු ලබන බවත් නමුත් ඔවුන් පරාජයට පත් වුවහොත් බදු දෙගුණ කිරීම ඇතුළු තවත් කොන්දේසි සඳහා මෙම තරගය පැවැත්වේ. මෙහි ක්‍රීඩා කරන බ්‍රිතාන්‍ය කණ්ඩායම පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වන අතර ක්‍රිකට් ක්‍රීඩාව නොදන්නා ගම්වැසියන්ට එය ඉගෙන ගැනීමේ අභියෝගයක්ද මෙහි අපූරුවට නිර්මාණය කර තිබේ. එහිදී බ්‍රිතාන්‍ය රදළ කාන්තාවක් ගම්වැසියන්ට ක්‍රිකට් උගන්වන ආකාරයත් අවසානයේ බ්‍රිතාන්‍යයන් පරදා සිය  ගම්බිම් කුඹුරු බේරාගන්නා ගම්වාසීන්ගේ කතාවක් මෙහි අන්තර්ගත වේ.

3. විශිෂ්ටතම අළු බඳුන තරගාවලිය

2005 වසරේ පැවති අළු බඳුන ක්‍රිකට් තරගාවලිය මෙතෙක් පැවති  ළු බඳුන ක්‍රිකට් තරගාවලි අතරින් විශිෂ්ටතම තරගාවලිය ලෙස සැලකේ. ඔස්ට්‍රේලියාවේ  චැනල් 4 නාලිකාව මෙම තරගාවලිය පාදක කරගනිමින් මෙම කතාමාලාව නිර්මාණය කර තිබේ.  2005 වසරේ පැවති අළු බඳුන ක්‍රිකට් තරගාවලිය සත්කාරකත්වය දැරුවේ එංගලන්තයයි. එම තරගාවලිය ජයගත් එංගලන්තය, ඔස්ට්‍රේලියානුවන් වසර හතරකට වැඩි කාලයක් තුළ ටෙස්ට් තරගමාලාවක් පරාජයට පත්ව නොතිබීමේ වාර්තාවටද තිත තැබීය.

ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා වන ග්ලෙන් මැක්ග්‍රාත් එංගලන්තයට තරග 5-0ක් පරාජයක් හෙවත් 'වයිට්වොෂ්' පරාජයක් උරුම කරදෙන බවට ප්‍රකාශ නිකුත් කර තිබුණි. එහෙත් සිදුවූයේ හාත්පසින්ම වෙනස් දෙයකි. එමෙන්ම ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ තුන් ඉරියව් දක්ෂතා, කෙවින් පීටර්සන්, මාකස් ට්‍රෙස්කොතික්ගේ පිතිකරණ දක්ෂතා සහ ක්‍රිකට් පිටියේ වූ දරුණු තුවාලවීම් කිහිපයක්ද මෙම කතාමාලාවේ ඇතුළත් කර තිබේ.

4. බොඩිලයින්

මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන ඔස්ට්‍රේලියාවේ ඩොන් බ්‍රැඩ්මන්ගේ පිතිකරණ හැකියාව මැඩපැවැත්වීම සඳහා එංගලන්ත නායක ඩග්ලස් ජාර්ඩින් විසින් කකුලේ වම් පැත්තට පිටිය සකසා කඩුල්ල වටා පන්දු යැවීමේ කුප්‍රකට උපක්‍රමය පිළිබඳව මෙම කතාමාලාවෙන් විස්තර කරයි. එකල ඩොන් බ්‍රැඩ්මන් හැඳින්වුණේ ක්‍රිකට් පිටියේ දවාලිය නොහැකි පිතිකරුවෙකු වශයෙනි.

එය ඩොන් බ්‍රැඩ්මන්ගේ පිතිකරණ වාර්තා පිරික්සීමේදී පෙනී යයි. බොඩි ලයින් රූපවාහිනී කතාමාලාව හියුගෝ වීවිංගේ පළමු රූපවාහිනී භූමිකාවයි.  ඩග්ලස් ජාර්ඩින් ලෙස  හියුගෝ වීවිං මෙහි චරිත නිරූපණය කරන අතර  ඩොන් බ්‍රැඩ්මන් ලෙස ගැරී ස්වීට් චරිත නිරූපණය කරයි.

5. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මරණය

2014 වසරේදී ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ක්‍රිකට් පාලක මණ්ඩල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) තුළ වැඩි බලයක් හිමි වන පරිදි යෝජනාවක් සම්මත කර ගැනීමට සමත් වූ අතර එමඟින් ගෝලීය ක්‍රීඩාව තුළද අසමාන බලයක් ඔවුන්ට ලබාදුන්නේය. සෑම් කොලින්ස් සහ ජැරොඩ් කිම්බර් යන මාධ්‍යවේදීන් මෙම ප්‍රශ්නය ලොවට හෙළිදරව් කිරීමට සමත්විය.

'මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මරණ' යන කතාමාලාවෙන් ඉඩිරිපත් කර ඇත්තේ එම සිදුවීම් සමුදායයි. එවකට එංගලන්ත ක්‍රිකට් ආයතනයේ (ඊසීබී) සභාපති ජයිල්ස් ක්ලාක්, අයිපීඑල් ආරම්භක අධ්‍යක්ෂ ලලිත් මෝඩි ඇතුළු තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පරිපාලකයින් රාශියක් මෙම වාර්තා චිත්‍රපටය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය සාකච්ඡා කරති.

6. ඉක්බාල්

හද්දා පිටිසර ඉන්දියානු ගම්මානයක බිහිරි සහ ගොළු පිරිමි ළමයෙක් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිහින දකින කතා පුවතක් 'ඉක්බාල්' බොලිවුඩ් චිත්‍රපටයෙන් කතාබහ කරයි.

ප්‍රධාන චරිතය වන ඉක්බාල් මෙහිදී මී හරකුන් ගාල් කරන හිස් පිටියක පුහුණුවීම් ආරම්භ කරයි. ඔහුගේ පුහුණුකරුවා මත්පැන් පානය කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර, ඔවුන් අතර වන ගැටුම් සහ තමාගේ ඉලක්කය යථාර්ථයක් බවට පත් කිරීමට දරන වෑයම අපූරුවට මෙම චිත්‍රපටයෙන් නිරූපණය කර තිබේ. ඉන්දියාවට ලෝක කුසලානය දිනාදුන් නායක කපිල් දේව් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස මෙහි රංගනයෙන් දායක වී තිබේ.

7. 'ද ටෙස්ට්' - ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නව යුගයක්

ඔබ ටේප් වංචාවට හසු වූ විට ඔබ ඉන් යළිත් නැගිටින්නේ කෙසේද? ඒ වගේම ඔබේ නායකයා සහ ඔබේ හොඳම ක්‍රීඩකයෙකු වසරක් තහනම් කර ඇති විට? 2018 වසරේ දකුණු අප්‍රිකාවේදී පන්දු යැවීමේදී පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට විශාල කළු පැල්ලමක් එකතුවීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නැගිටීම  'ද ටෙස්ට්' - ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නව යුගයක් කතාමාලාවෙන් නිරූපණය වේ.

අදාළ පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් මෙන්ම කැමරන් බැන්ක්‍රොෆ්ට් තහනමට ලක්වන්නේය. මේ අතරතුර ටිම් පේන්ගේ නායකත්වයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නැවත ටෙස්ට් පිටියේ ශක්තිමත්ව ගොඩනැගෙන අයුරු මෙමගින් සාකච්ඡා කරයි.

8. ඉන්සයිඩ් එජ්

මෙම කතාමාලාවෙන් ක්‍රීඩාව පසුපස තිබෙන තරග පාවාදීම් සහ කාමර ගනුදෙනු කතාබහට ලක් කරයි. එමෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ අයගේ පෞද්ගලික ජීවිත කෙරෙහි වැඩි උනන්දුවක් දක්වමින් පිටියෙන් එපිට සිට පිටිය තුළ වන තරග වෙනස් කරන අයුරු සහ ඒ වටා විසිකෙරෙන ඩොලර් මලු පිලිබඳව  ඉන්සයිඩ් එජ් කතාමාලාවෙන් නිරූපණය වෙයි. මෙම කතාවේ කණ්ඩායම් හිමිකරුවන්, පරිපාලකයින් සහ බුකිකරුවන් ක්‍රිකට් ක්‍රීඩකයින් සමග ගනුදෙනු කරන ආකාරය සූක්ෂ්මව පෙන්වාදෙයි.

9. සිංහයාගේ ගර්ජනාව

කොටස් පහකින් යුත් මෙම වෙබ් කතා මාලාව අයිපීඑල් වෙතින් වසර දෙකක අත්හිටුවීමකින් පසු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නැවත පැමිණීම සිදුවන අයුරු පෙන්වාදෙයි. තහනම සහ නැවත පැමිණීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න මෙහිදී ගවේෂණය කරයි.

රවින්ද්‍ර ජඩේජා, සුරේෂ් රයිනා සහ මහේන්ද්‍ර සිං දෝනි ඇතුළු ක්‍රීඩකයන් සමඟ සවිස්තරාත්මක සම්මුඛ සාකච්ඡා පැවැත්වෙන අතර මෙම කතා මාලාවේ වඩාත්ම සිත්ගන්නා කරුණ නම් එම සම්මුඛ සාකච්ඡාය. එය  චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ (සීඑස්කේ) රසිකයන් තම කණ්ඩායමට සහයෝගය, දක්වන උමතුව සහ ඔවුන්ගේ නායකයා වන  මහේන්ද්‍ර සිං දෝනි කෙරෙහි ඇති භක්තිය  අපූරුවට පෙන්වාදී තිබේ.

10. අතුරුදන් ආර්යාව

ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ මෙම චිත්‍රපටය 1938 වසරේදී අභිරහස් ත්‍රාසජනක චිත්‍රපට ගණයට අදාළ ක්‍රිකට් ක්‍රීඩාව ගැනද කතා කරන චිත්‍රපටයකි. නමුත් එහි අමතක නොවන චරිත දෙකක් වේ. චාටර්ස් සහ කැල්ඩිකොට් වන ඔවුන් ටෙස්ට් තරඟයක අවසානය නැරඹීම සඳහා එංගලන්තයට ආපසු යන ක්‍රිකට් ලෝලීන් යුගලයකි.

ඔවුන්ගේ දුම්රිය මාර්ගය අවහිර වූ පසු චිත්‍රපටයේ අනෙක් චරිත සමඟ චිත්‍රපටයේ අභිරහස මතු වන තානායමක රාත්‍රිය ගත කිරීමට ඔවුන්ට බල කෙරෙයි. චාටර්ස් සහ කැල්ඩිකොට්ගේ රසායන විද්‍යාව 'ද ලේඩි වැනීෂස්' සඳහා ඉතා වැදගත් වන අතර එයින් බොහෝමයක් පදනම් වී ඇත්තේ ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය මතය. විශේෂයෙන් විනෝදජනක සිද්ධියක් වන්නේ සීනි කැට භාවිත කරමින් වොලී හැමන්ඩ් නෙරපා හැරීම චාටර්ස් පැහැදිලි කරන දර්ශනයය.

(ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි)

 



Recommended Articles