විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මෙම මස 06වැනිදා සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ, එරට කාන්තාවක් ඔහුට විරුද්ධව කළ පැමිණිල්ලකට අනුවයි. ඒ ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් ගුණතිලකට එරෙහිව චෝදනා 04ක් එල්ල කිරීමත් සමගිනි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සම්බන්ධ නීතිය මෙන්ම ලිංගික කටයුතු සිදුකිරීම සම්බන්ධ නීතිය ඉතා බලවත් නීතියකි. විශේෂයෙන් කැමැත්තකින් තොරව ලිංගික කටයුතු සිදු කිරීම වසර 14ක් සිරගත කිරීම සහ විශාල වන්දියක් වින්දිතයාට ගෙවන ආකාරයෙන් නීති වෙනස්ව තිබුණේ වසරකටත් අඩු කාලයකදීය. ඒ සැක්සන් මුලින්ස් නම් කාන්තාවට අනුමැතියකින් තොරව ලිංගික සංසර්ගය යෙදීමේ චෝදනාවට වරදකරු වූලුක් ලාසරුස්ගේ නඩුව හේතුවෙනි.
2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කිංග්ස් ක්‍රොස් රාත්‍රී සමාජ ශාලාවේදී 18 හැවිරිදි සැක්සන් මුලින්ස් අතවරයට ලක්ව තිබෙනුයේ ඊට මිනිත්තු කිහිපයකට පෙර මුණගැසුණු ලුක් ලාසරුස් නම් 21 හැවිරිදි තරුණයෙක් අතිනි. මෙම තරුණයා එම රාත්‍රී සමාජ ශාලාව හිමිකරුගේ පුත්‍රයාද වේ. ලුක් ලාසරුස් 2015 වසරේදී අනුමැතියකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමේ චෝදනාවට වරදකරු වූ අතර, වසර 05ක් සිරගත කිරීමටද නියෝග කෙරිණි.
සැක්සන් මුලින්ස් හා ලුක් ලුසරුස්
පසුව නිව් සවුත් වේල්ස් අපරාධ අභියාචනාධිකරණය තීන්දුව අවලංගු කර නැවත නඩු විභාගයක් පැවැත්වීමට නියෝග කළේය. ඒ අනුව, 2017 වසරේදී කැමැත්ත පිළිබඳ වැරදි විශ්වාසයක් මත ලුක් ලාසරුස් වැරදිකරුවෙක් නොවන බව තීන්දු කෙරුණි. කෙසේ වෙතත් මෙහිදී තමාට සිදු වූ හානි කිසිවක් වෙනස් කළ නොහැකි බවත්, තවත් තරුණියක් මේ ආකාරයෙන් අතවරයට ලක්වීම එමගින් වැළැක්වීම සඳහාත් සැක්සන් මුලින්ස් ඊට අදාළ නීතිමය පිහිට තවදුරටත් ඉල්ලා සිටියාය.
ඊට හේතු වූයේ ලුක් ලාසරස් ජූරි සභාවක් විසින් වරදකරු කිරීමෙන් පසු මාස 11ක් සිරගතව සිට අවසානයේ දෙවන නඩු විභාගයකින් පසුව නිදහස ලැබීමය. එහි ප්‍රතිඵලයක් ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආණ්ඩුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය, ලිංගික සංසර්ගයක් සඳහා උපකල්පනයට වඩා කැමැත්ත වාචිකව සන්නිවේදනය කළයුතු බවට වූ අනිවාර්ය නව නීතියක් පසුගිය වසරේ නොවැම්බර් මසදී සම්මත කළේය.
ඒ අනුව පුද්ගලයෙකුගේ වාචික අනුමැතියකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදෙන පුද්ගලයා ලිංගික අතවර අපරාධයක් සිදුකරන බවත්, එම වරදට උපරිම දඬුවම වසර 14ක් බවත් නව නීතිය අනුව සඳහන් කෙරිණි. එසේම එම කැමැත්ත ඇයට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්කර ගත හැකි බවත්, එක් ලිංගික ක්‍රියාකාරකමකට කැමැත්ත දීම තවත් ලිංගික ක්‍රියාකාරකමකට කැමැත්තක් නොවන බවත් නව නීතියේ සඳහන් වේ. ඊට අදාළව සිදුකළ නඩුවේ විනිසුරු රොබින් ටුප්මන් මහත්මියද මේ බව දැඩිව අවධාරණය කර තිබුණි. ඒ අනුව ලිංගික අතවර චෝදනාවෙන් ලුක් ලාසරුස් වරදකරු බවටද තීන්දු කෙරිණි.
විනිසුරු රොබින් ටුප්මන්
එතැන් සිට, ඔස්ට්‍රේලියානු අගනුවර අයත් ප්‍රදේශයද (Australian Capital Territory) තමන්ගේම නීතියක් සම්මත කර ඇති අතර, වික්ටෝරියා ප්‍රාන්තයද මෙය සිදුකිරීමට පොරොන්දු විය. තස්මේනියාව වසර 20කට පමණ පෙර එහි නීති වෙනස් කළේය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් ගත්විට ප්‍රංශය, ජපානය සහ නිව්යෝර්ක් වැනි සමහර එක්සත් ජනපද ප්‍රාන්ත ඇතුළු බොහෝ අධිකරණ බලප්‍රදේශ තවමත් ස්ත්‍රී දූෂණය, ප්රචණ්ඩත්වය සමග ලිංගිකව හැසිරීම 'ප්රචණ්ඩත්වයේ තර්ජනයක්' ලෙස අර්ථ දක්වයි. එහෙත් ස්පාඤ්ඤයේ පවතිනුයේ මීට වඩා වෙනස් තත්ත්වයකි. එහිදී යම් ලිංගික කාර්යයකට 'ඔව්' ලෙස අනුමැතිය ලබාදීම අඛණ්ඩව අනුමැතියක් ලබාදීම ලෙස නීතියට ඇතුළත්ව ඇත.
ස්පාඤ්ඤයේ කොංග්‍රසය කැමැත්තේ වැදගත්කම අවධාරණය කරමින් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට තම ප්‍රහාරකයන්ට නඩු පැවරීම පහසු කිරීමට උත්සාහ කරන නීති සම්පාදනය අනුමත කර ඇත. මීට වසර හයකට පෙර කුප්‍රකට සමූහ දූෂණ නඩුවකින් නීතිමය හා සමාජීය බිඳවැටීම මගින් මෙම මුලපිරීම මෙහෙයවනු ලැබීය.
ලිංගික නිදහස පිළිබඳ සහතිකය, 'ඔව් යනු ඔව්' යන නීතිය ලෙසද හැඳින්වෙන, පැහැදිලි ආන්තිකයකින් අනුමත කරන ලදී. එය දැන් ක්‍රියාත්මක වීමට පෙර සෙනෙට් සභාව අනුමත කළ යුතුය.
නව නීතිය නිර්මාණය කිරීමට මූලික වූ ස්පාඤ්ඤයේ සමානාත්මතාව පිළිබඳ අමාත්‍ය අයිරින් මොන්ටෙරෝ පැවසුවේ 'ලිංගික නිදහස අවසානයේ අපේ රටේ අයිතියක් වනු ඇත. අපි නිදහස සඳහා ප්රචණ්ඩත්වය මාරු කරන්නෙමු. අපි ආශාව සඳහා බිය මාරු කරන්නෙමු. අද සිට ස්පාඤ්ඤය සියලු කාන්තාවන්ට වඩා නිදහස්, ආරක්ෂිත රටකි' ලෙස ප්‍රකාශ කළාය.
ස්පාඤ්ඤයේ සමානාත්මතාව පිළිබඳ අමාත්‍ය අයිරින් මොන්ටෙරෝ (මැද)
ප්‍රතිසංස්කරණය යන්නෙන් අදහස් කරන්නේ තමන් ලිංගික අතවරයකට ලක් වූ බව පෙන්වීම සඳහා වින්දිතයන්ට තමන් ප්‍රචණ්ඩත්වයට හෝ බිය ගැන්වීම්වලට ලක් වූ බව හෝ ශාරීරිකව විරුද්ධ වූ බව ඔප්පු කිරීමට තවදුරටත් අවශ්‍ය නොවන බවයි. අවසරයකින් තොරව ඕනෑම ලිංගික ක්‍රියාවක් පහරදීමක් ලෙස සැලකෙන බව එම නීතියේ සඳහන් වේ.
'එකඟතාව ඇති බව වැටහෙන්නේ, පුද්ගලයාගේ කැමැත්ත පැහැදිලිව ප්‍රකාශ කළ විට පමණයි' යන්න ස්පාඤ්ඤ නීතියේ සඳහන් වේ. 2021 වසරේදී ස්පාඤ්ඤයේ ස්ත්‍රී දූෂණ 2,143ක් වාර්තා වී ඇති අතර, එය පෙර වසරට වඩා සියයට 14ක වැඩි සහ වාර්තාගත ඉහළම අගය ලෙසද සැලකේ.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව තවත් යුරෝපීය රටවල් හතක් 2018 සිට කැමැත්ත මත පදනම් වූ ස්ත්‍රී දූෂණ නීති හඳුන්වා දී ඇත. ඒ අතරට ඩෙන්මාර්කය, ක්‍රොඒෂියාව, ග්‍රීසිය, මෝල්ටාව, ස්වීඩනය, අයිස්ලන්තය සහ ස්ලෝවේනියාව ඇතුළත්ව ඇත.
සමහරු තර්ක කරනුයේ මෙම නව නීති ප්‍රතිසංස්කරණ භයානක පූර්වාදර්ශයක් ලබාදෙන බවයි. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නීතිඥ සංගමය පවසන්නේ මෙම වෙනස්කම් 'ගැටලු රහිත සමීප ක්‍රියාකාරකම්, විශේෂයෙන් ස්ථාපිත ගෞරවනීය සබඳතා තුළ' අපරාධයක් බවට පත්කරන බවයි.
වෙනත් විචාරකයන් කියා සිටියේ පළිගැනීම් අපේක්ෂාවෙන් අසහනයට පත් හිටපු හවුල්කරුවන් විසින් නීතිය අපයෝජනය කළ හැකි බවත්, නැතහොත් එය දැනටමත් පීඩාවට පත් වූ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියකට බලපෑම් ඇති කළ හැකි බවත්ය. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකු සහ පිරිමින් 25 දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි.
නමුත් ඔස්ට්‍රේලියානු බලධාරීන්ට අනුව, බොහෝ දෙනෙක් එය පොලීසියට වාර්තා නොකරයි. එසේ කරන අයගෙන්, නඩුවලින් සියයට 10ක් පමණ වරදකරුවෙකු වීමට හේතු වේ. ඒ අනුව මෙම නීතිය සම්බන්ධයෙන් ඊට ප්‍රතිලෝම අදහස් දක්වන පිරිසක්ද වන අතර, ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීමේදී ඊට දෙපාර්ශ්වයෙන්ම එකඟතාවක් පවතින බවත්, එහෙයින් මෙම නව නීතිය නිසා නීතිය අයුතු භාවිතයක් විය හැකි බවටද මත පළ විය. එමෙන්ම ඊට සහාය පළ කරමින් තවත් පිරිසක් චෝදනා කළේ, පළිගැනීමේ අපේක්ෂාවෙන් මෙම නීතිය අපයෝජනය කළ හැකි බවයි.
එය සැබෑ වින්දිතයන්ට ඉතා අසාධාරණ වනු ඇති අතර, වැරදි ලෙස චෝදනා කරන ඕනෑම අයෙකුට ඔහුගේ හෝ ඇයගේ නම නිදොස් කර නිදහස් කර ගැනීමට වැඩි කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බව ජෙරාඩ් හෙයින් නම් හිටපු වෘත්තීය රග්බි ලීග් පාපන්දු ක්‍රීඩකයෙක් සම්බන්ධ ස්ත්‍රී දූෂණ නඩු විභාගයට පෙර ඔහුගේ නීතිඥයා පවසා තිබුණි.
ජෙරාඩ් හෙයින්
ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා අදාළ වනුයේද පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ සම්මත කළ මෙම නව නීතිය අනුවයි. ඒ අනුව විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මෙම නව නීතිය යටතේ සලකා බලන පළමු නඩුව ලෙස ධනුෂ්කගේ මෙම නඩුව ඉතිහාසයට එක්වන බව වාර්තා වේ. එනිසාම මෙම නීතියේ පවතින හිඩැස් මෙන්ම ශක්‍යතා හඳුනා ගැනීමටත්, එමගින් ස්ත්‍රීන් සම්බන්ධ නීතිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් ධනුෂ්කගේ නඩුවෙන් ලැබෙන පූර්වාදර්ශ ඉවහල් කර ගත හැකි බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.