කළු මගේ ප්‍රියතම වර්ණය වේ. කළුවෙන් සැරසෙන බොහෝ දේ මා හට ප්‍රියය. කොටින්ම අහස කළුවෙනවා දැකුම ද මට සහනයකි. එහෙත් සියලුම කළු දැකුම්කලු නොවේ. අසූතුනේ කළු ජූලිය එවැන්නකි. ලබන ඉරිදා 'කළු ඉරිදා' ලෙස ප්‍රකාශයට පත් වීමත් සමග එකලු වී ගිය මනසින් යුතු මිතුරෙක් මා ඇමතීය.
"දන්නවද කළු ඉරිදට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ඔක්කොම එකතු වෙනවලු” ඔහු ඉහවහා ගිය ප්‍රීතියෙන් පැවසීය.
"අම්මට සිරි උන් ඔක්කොම එකතු වෙලා නිරාගමිකයො ටික මරන්නද යන්නෙ?" මම ඇසුවෙමි.
"ඔය වගේ අවලං කතා කියන්නෙ ඇයි බං? අම්මපා උඹලට යන්න මේ ආගම්වල තියෙන අපායවල් හොඳ වැඩියි"
"නෑ ඉතිං, ආගම් දෙකක ජාති දෙකක එව්වො එකතු වුණොත් ඉතිං, ඒ වෙන කාටහරි එකෙකුට කෙළින්නනෙ. ඒකයි මම කිව්වේ" නැණ පමණ මම කීමි.
"කාටවත් හිරිහැරයක් වෙන වැඩක් සිද්ධ වෙන්නෙ නෑ එදාට" මිතුරා මට සැර කරන්නට විය.
"ඒක ආගම්වල ඉගැන්වීම්වලට විරුද්ධ නැද්ද? නෑ මං අහන්නෙ මේ කාලේ ආගමක් වෙන්න නම් කාටහරි හිරිහැරයක් වෙන්නම ඕන කියලා මම හිතං හිටියේ. අඩු ගානේ ලවුඩ්ස්පීකර්වත් දාන්නෙ නැද්ද?" මා කතා කළේ සාමාන්‍ය දැනීමෙනි.
"නෑ නෑ එදාට වෙන්නෙ මිනිස්සු කළු ඇඳගෙන ඇවිත් විශේෂ දේව මෙහෙයකට සහභාගි වෙනවා. එච්චරයි" මිතුරා දේව කරුණාවෙන් තොරව පැවසීය.
"එතකොට අනිත් ආගමිකයො මොකද කරන්නෙ? ගෙදර ඉඳන් රෙදි හෝදලා 'අඳින සළු මිදුලෙ එලූ, නයන කලූ ඔබ මගේ කළු' සිංදුව කියනවද?" මගේ සාමාන්‍ය දැනීම අසාමාන්‍ය බව මිතුරාගේ මුහුණින් පෙනුණි.
"විහිළු නෙමෙයි මනුස්සයෝ ත්‍රස්ත ප්‍රහාරයෙන් මැරුණු මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න බල කරන එකයි, අසම්පූර්ණ කොමිෂන් වාර්තාවට විරෝධය පාන එකයි මේකේ අරමුණ" මට තේරුම් කරදෙන්නට මිතුරා උත්සුක විය.
"කොමිසමට විරෝධය පාන එක නම් තේරුමක් නැති වැඩක්" මම කීවෙමි.
"ඇයි ඒ?"
"දැන් ඔය කොමිෂන් වාර්තාව පලක් නෑ කියලා සියලු ආගම් නායකයෝ, සියලු දේශපාලන නායකයෝ පිළිගන්නවා. අහලා බලනවා සමහර විට කොමිසමේ හිටපු එව්වොත් කියයි ඒක පලක් නෑ කියලා. ඉතිං කවුරුත් පොදුවේ තේරුමක් නෑ කියලා පිළිගන්න වාර්තාවකට විරුද්ධ වෙන එකෙත් තේරුමක් නෑනේ?" මම පැහැදූවෙමි.
"කොමිසමෙන් බලාපොරොත්තු වුණේ ප්‍රහාරය පිටිපස්සෙ හිටපු මහමොළකාරයෝ කවුද? සල්ලි දුන්නෙ කවුද? ආධාර කළේ කවුද? හොයන එකනේ. අන්තිමට කොමිසම හරි විහිළුවක් වුණානේ" මගේ මිතුරා ආවේගයෙන් කීවේය.
"කොමිසම කියන වචනේ අර්ථයම විහිළුව බව දන්නෙ නැද්ද? කොමි-සම කියන්නේ විහිළුවක් හා සමාන කියන එකනේ. වැඩේ කියන්නේ කියලා විහිළුවක් කළත් ලංකාවෙ උන්ට ඒක තේරෙන්නෙත් නෑනේ. *
සමහරුන් ඉංග්‍රීසි වචනවල සිංහල අර්ථය නොදැනීම විශාල සමාජ ප්රශ්නයකි.
"අන්තිමට ඔක්කොම කරලා තියෙන්නෙ හිටපු ආණ්ඩුව වගේනෙ? ඒක නිර්දේශ කරන්නෙ හිටපු පාලකයොන්ට විරුද්ධව නීති පියවර ගන්න ඕනෙ කියලා විතරයි" මිතුරා හිටපු රජයේ හිතවතෙකි.
"අනේ මොනවට කියනවද ඒක නම්. උන්දැලට එක දවසෙ බෝම්බ පහක් පුපුරවන්න තරම් හයියක් තිබුණ නම් අපට බෝම්බ ගහලා ඇමෙරිකාවත් සමතලා කරන්න තිබුණා. හැබැයි මේ කොමිසම එක ඇත්තක් කියලා තියෙනවා. ලංකාවේ වුණු හැම ඝාතනයකටම හිටපු පාලකයන්ට විරුද්ධව නීති පියවර ගන්න ඕනෙ කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක පටන්ගන්න ඕනේ මොන අවුරුද්දෙ ඉඳන්ද කියන එක විතරයි"
"කොහොම වුණත් මැරුණු මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන එක සාධාරණයි නේද?" මිතුරා එකඟ විය හැකි කරුණක් සෙව්වේය.
"ඔව් ඔව්. 71, 89, අවුරුදු තිහක යුද්ධෙ නිසා මැරුණු එව්වොන්ටවත් සාධාරණයක් නොවුණු කොට මෙතැනින් හරි පටන්ගන්න එක හොදයි. මොකද එතකොට අපටත් බය නැතිව මැරෙන්න පුළුවන්. මළාට පස්සෙවත් සාධාරණයක් වෙයිනෙ කියලා"
සුරත් ද මැල්