වෙළෙඳ පොළේ පොල් මිල ඉහළ යාමත් සමගම රටේ පොල් සම්බන්ධයෙන් මේ දිනවල විශාල කතාබහක් ඇති වී තිබේ. පොල් මිල ඉහළ යාම වළක්වමින් පසුගියදා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමෙන් අනතුරුව පොල් වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයාද විශාල අර්බුදයකට මුහුණ දී තිබෙන බව පෙනී යන කරුණකි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පොල් ගෙඩියේ වට ප්‍රමාණයට අනුව පොල් විකිණීම සිදුකළ යුතු බවයි. එහිදී වට ප්‍රමාණය අඟල් දොළහට අඩු පොල් රුපියල් හැටකටත්, අඟල් දොළහත් දහ තුනත් අතර ප්‍රමාණයේ පොල් රුපියල් හැට පහකටත් සහ වට ප්‍රමාණය අඟල් දහතුනට වැඩි පොල් රුපියල් හැත්තෑවකට විකිණීම සිදුකළ යුතු බව පාරිභෝගික අධිකාරිය විසින් සඳහන් කළේය. එසේ නොවිකුණන වෙළෙඳුන් හට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද හදිසි වැටලීම් සිදුකරන බවද ඔවුන් පවසයි.
මෙම කාලය වනවිට යම් ප්‍රමාණයක පොල් හිඟයක් ඇතිවීම වාර්ෂිකව සිදු වේ. නමුත් පොල් ගෙඩියක මිල මෙලෙස ඉහළ යාමට හේතු කිහිපයක් ඇති බව පොල් වතු හිමියෙකු වන ගාමිණී පෙරේරා මහතා අප සමග පැවසීය.
&අපි පොල් කඩන්නේ කෙකිවලින්. අපේ පොල් කඩන්නේ අයියලා මල්ලිලා කට්ටිය එකතු වෙලා. නමුත් සමහර පොල් වතු හිමියන්ට තිබෙන ගැටලුවක් තමයි පොල් කඩන අය හිඟ වෙලා තිබෙන එක. ඒක මේ වෙද්දී පොඩි ගැටලුවක් වුණත් ඉස්සරහට පොල් කඩන අය හොයා ගන්නම බැරි වෙනවා. සමහර ගම්වල ගමටම ඉන්නේ පොල් කඩන අය එක්කෙනයි දෙන්නයි. මේ අලුත් පරම්පාරවේ අය පොල් කඩන්න එන්නේ නැහැනේ. අර ඇමතිතුමා පොල් ගස් නගින විදිහට නගින්න බැහැනේ. හැමෝම බලන්නේ ආණ්ඩුවේ රස්සාවක් හරි ටයිකෝට් දාන රස්සාවක්නේ. ඇත්තටම අපිට ඒකේ වැරැද්දක් කියන්නත් බැහැනේ.
අනිත් කාරණය තමයි පොල් ගස් නගින අය ගහකට රුපියල් සීයක් විතර ගන්නවා. විශේෂයෙන් පොඩි පොල් වතු තියෙන අයට ඒක විශාල පාඩුවක්. මොකද සමහර ගස්වල මේ කාලේදී පොල් ගෙඩි දෙකයි තුනයි තියෙන්නේ. ඉතින් ගහකට සීයක් දෙන එක සෑහෙන්න පාඩුයි. ඒ වගේම තමයි මේ ගස්වලට අවශ්‍ය පොහොර හිඟය. පොහොර නැහැනේ දැන් ගහන්න. මහා පරිමාණයේ පොල් වගාකරුවන් අනිවාර්යෙන්ම ගස්වලට පොහොර ගහනවා. ගහක් හදද්දී පොහොර දාලා පුරුදු කළාම ඒ ඵලදාවම ලබන්න අනිවාර්යෙන් පොහොර නිසි කලට ලැබෙන්න ඕනේ. හැබැයි දැන් ගස්වලට ගහන්න පොහොර නැහැ. ඒ වගේ ගැටලු කිහිපයක් අපිට තිබෙනවා.
සාමාන්‍යයෙන් පායන කාලේදී මාස එකහමාරෙන් පොල් කඩන්න පුළුවන්. වහින කාලේ නම් මාස දෙකෙන් පොල් කඩන්නේ. එක වරකදී කඩන්නේ ගහකින් ඉති දෙකයිනේ. වහින කාලේදී ඉති දෙකම පැහෙන්න මාස දෙකක් විතර යනවා. මේ වෙද්දී පොල් ඵලදාව අඩුයි. අපි සාමාන්‍යයෙන් පොල් පන්දාහක් විතර කඩනවා. ඒත් මේ පාර තිබුණේ පොල් දෙදහස් පන්සීයක් වගේ. වෙනදා සාමාන්‍ය ඵලදාවෙන් හරි අඩක් දැන් අඩුවෙලා තිබෙනවා. මේ කාලය පොල් වාරය නෙවෙයිනේ. අගෝස්තු සැප්තැම්බර් වෙද්දී ගස්වල පොල් අඩු වෙනවා. ඉත්තක ගෙඩි දෙකක් තුනක් වගේ තමයි තියෙන්නේ. එහෙමත් ඉත්තක තමයි ගෙඩි හයක් හතක් තියෙන්නේ. පායන කාලෙට එළවළු ඵලදාව අඩු වෙනවානේ. ඒ වගේම තමයි පොලුත්.
හොඳට තිබුණු වතු බණ්ඩාරනායක මැතිනියගේ කාලේදී ජනසතු කරානේ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ විදිහට පොල් හිඟ ඇතිවෙන්නේ. සමාගම්වලින් හොඳට නඩත්තු කරගෙන ආපු වතු ජනසතු කරානේ. අපිත් එතකොට අක්කර ගාණක් ගත්තා. හැබැයි ඒ ක්‍රමයෙන් වුණේ සම්පූර්ණම හොරකමක් සිදුවුණ එක. එහෙම වතු ගත්තු අය පස්සේ කාලවලදී ඉඩම් කට්ටි කරලා විකුණනවා. අවුරුදු සීයක් පොල් කැඩුවත් ඉඩම් කට්ටි කරලා ලැබෙන ගාණ තරම් මුදලක් හොයන්න බැහැ. ඉතින් මිනිස්සු ඉඩම් කට්ටි කරලා විකිණුවා. පොල් ගස් නැති වුණා. පොල් හිඟයක් කාලයකට සැරයක් ඇතිවෙනවා.
රජයෙන් පොල් විකුණන්න කියලා තිබෙන ක්‍රමය හැම කාලෙටම බලපාන එකක් නෙවෙයි. ඒක ඇත්තටම බොරු වැඩක්නේ. ඔය විදිහට ගියොත් මාර්කට් එකේ පොල් නැති වෙයි. මාර්කට් එකට දාන්නේ නැතිව හංගලා විකුණයි*
පොල් මිල සාධාරණ මුදලකට ලබාදීමට නම් පොල් වතු හිමියන්ද පොල් මුදලාලිලා හට අඩු මුදලකට ලබාදිය යුතු බව තොග වෙළෙඳ මහතුන් සඳහන් කරයි. කොළඹ මැනිං වෙළෙඳ පොළේ අප සිදුකළ සොයා බැලීමකදී ඔවුන් පවසා සිටියේ මෙවැන්නකි.
අද අපිට පොල් ලැබුණේ රුපියල් හැත්තෑ අටට, රජයේ මිල තියෙන්නේ හැත්තෑවට, අපිට දෙන ගාණ අනුවනේ අපි විකුණන්න ඕනේ
මැනිං වෙළෙඳ පොළේ පොල් වෙළෙඳාමේ යෙදෙන වෙළෙඳ මහතෙක්,
"දැන් රජයෙන් කිව්ව ගාණට පොල් විකුණන්න බැහැ. DC පොල් ගන්නේ කිලෝ එක අනූ හයට සීයට. කොප්පරාවලට ගන්න පොල්වලට කියන්නේ DC පොල් කියලා. ඉතින් අපි අඩු මිලට ඉල්ලුවාට පස්සේ පොල් වතු හිමියෝ කරන්නේ පොල් DCවලට දෙන එකයි. පොල්ගෙඩි සීයක් DCවලට කැපුවාම කිලෝ හැත්තෑපහක් අසූවක් විතර එනවා. කිලෝ එකකට සීය ගානේ ගෙවනවා නම් පොල් හිමියෝ අපිට පොල් දෙන්නේ නැහැනේ අඩු මිලකට. අපිට ලැබෙන්නේ පොඩි පොල් ගෙඩි. ඒවා මේ කියන ගණන්වලට විකුණන්න බැහැනේ. කවුද ගන්නේ ඒවා. අද අපිට පොල් ලැබුණේ රුපියල් හැත්තෑ අටට. රජයේ මිල තියෙන්නේ හැත්තෑවට. අපිට දෙන ගාණ අනුවනේ අපි විකුණන්න ඕනේ. වතුවලින් පොල් ලොරිවලට දාද්දී ලොකු පොඩි කියලා බලන්නේ නැහැ. කලවමේනේ දාන්නේ. පොල් පාලන මිලක් ගේනවා නම් රජයෙන් පොල් වෙළෙන්ඳන්ට කියන්න ඕනේ සහනදායී මිලකට දෙන්න කියලා. පොල් DCවලට විකුණන එක නවත්වන්න හරි සීමා සහිත කරන්න හරි රජය කටයුතු කරන්න ඕනේ. එයාලා එහෙම කරන්නේ නැහැනේ. ඉස්සර අපි පොඩිම පොල් ගෙඩි තමයි පොඩි ගානකට දුන්නේ. අනිත් හැම එකක්ම හැමෝටම සාධාරණ ගානකටනේ වික්කේ. වෙනදාට දවසට පොල් දාහක් වික්ක අපිට අද පොල් තුන්සීයක්වත් විකුණන්න බැහැ."
කොප්පරාවලට පාලන මිලක් ගෙනාවා නම් රටේම පොල් මිල ඉහළ යන එක විසඳන්න පුළුවන්
මැනිං වෙළෙඳ පොළට පොල් ගෙන එන තැරැව්කරුවෙක්,
පාරිභෝගික නිලධාරීන් කියන ගණන්වලට පොල් දෙන්න බැහැනේ. වතුවලින් අපිට ඒ ගණන්වලට දෙන්නෙ නැහැ. වතුහිමියන්ට DCවලට දෙන එක ලාභයි. මොකද වත්තේ පොල් ගෙඩියක් රුපියල් හැත්තෑවක් විතර වෙනවා. ලොකු පොඩි භේදයක් නැහැනේ. ඒ ගාණට අරගෙන අපිට පොඩි ගාණට කොළඹට දෙන්න බැහැනේ. වතුවලින් අඩු ගාණට ඉල්ලුවාම ඔවුන් දෙන්නේ නැහැ. එයාලා කරන්නේ එතකොට වත්තේ ඔක්කොම පොල් ටික DCවලට විකුණනවා. DCවලට පාලන මිලක් ගෙනාවා නම් රටේම පොල් මිල ඉහළ යන එක විසඳන්න පුළුවන්. DCවලට පාලන මිලක් දාන්නේ නැතුව පොල් මිල පාලනය කරන්න බැහැ. ඒකයි ඇත්තම කතාව. නිලධාරීන්ට පුටුවේ ඉඳගෙන ඕනෑම දෙයක් කියන්න පුළුවන්. DC මෝල් ලංකාවේ විසි හතරක් තිබෙනවා. ඔය විසි හතර අතරේ තමයි අපේ පොල් මිල කැරකෙන්නේ. අහිංසක මිනිහාට තමයි ඕකෙන් අන්තිමට ගෙදර කෑම ටික උයාගන්න බැරි වෙන්නේ. වතු හිමියන් තව සති දෙකයි පොල්ගෙඩි ටික වත්තේ තියාගන්න ඕනේ. ඊට පස්සේ DCවලට අවශ්‍ය පදනමට පොල් ගෙඩිය හැදෙනවා.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කියනවා අපිටත් පොල් ගෙඩි මනින මිමි හදාගන්න කියලා. ඒක කරන්න පුළුවන්ද කියන්නකෝ මෙහෙම පොල් දෙද්දී. එයාලා කරන්නේ ඇවිත් පොඩි මිනිහෙක් අල්ලලා දඩයක් ගහන එකයි. පොල් ගෙඩිය සීයට මිල ගියත් එයාලාට කමක් නැහැ. මේ නිසා අහිංසක මිනිහා තමයි අසරණ වෙන්නේ.
පොල් මිල අඩු වෙද්දී උපරිමම අඩු වෙනවා. වැඩි වෙද්දීත් ඒ වගේම ඉහළටම නගිනවා. පොල් ඵලදාව අඩුවෙද්දී කොහොමත් ගාන ඉහළ යනවානේ. මේ කාලයේ පොල් අඩුයි. ඉතින් පොල් මිල එහෙම මිමිවලින් කිරලා පාලනය කරන්න බැහැ. සමහර කාලවලදී පොල් රුපියල් තිහට හතළිහටත් බහිනවානේ. අපි පොල් ගේන්නේ පුත්තලමෙන්. පුත්තලමෙත් වත්තෙන් පොල් ගෙඩියක් දෙන්නේ හැට හතට. ඉතින් වත්තෙන් ඒ ගාණට අරගෙන හැත්තෑවට පාරිභෝගිකයන්ට දෙන්නේ කොහොමද. මේකෙන් වෙන්නේ අන්තිමට පොල් ගෙඩිය එකසිය දහයට ඉහළ යනවා. කහවලට වුණා වගේ දෙයක් තමයි පොල්වලටත් වෙන්නේ. මිනිස්සු හංගාගෙන විකුණයි.
කවුරුත් පාඩු ලබන්න ව්‍යාපාර කරන්නේ නැහැනේ. පොඩි පාඩුවක් වුණොත් ඒක ඊට පස්සේ පියවෙනවනේ. අඟල් දොළහට අඩු පොල්ගෙඩි රුපියල් හැටටනේ විකුණන්න කියන්නේ. ඇත්තම කතාව කිව්වොත් අපිට මේ අඟල් දොළහේ පොල් ගෙඩිය පනහට විකුණන්න පුළුවන්. අපි ඒ ගෙඩිය රුපියල් පනහට දෙනවා කියන්නේ රුපියල් දහ අටක් පාඩු කරගෙන තමයි දෙන්නේ. හැබැයි අපි ඒක අනිත් ලොකු පොල් ගෙඩිවලින් අල්ලනවා. ඒකයි ඇත්ත කතාව. හැබැයි අපි ඒකෙදිත් ගෙඩියකින් රුපියල් දෙකක් තුනක් වගේ ලාභයක් තමයි තියා ගන්නේ. නමුත් මේ යන විදිහට එහෙම කරන්න බැහැනේ. සිල්ලර කඩ වෙළෙඳුන් ලොකු ගෙඩිමයි ඉල්ලන්නේ. පොඩි ගෙඩි ගන්නේ නැහැ. ඒක ඔවුන්ගේ පැත්තෙන් බැලුවාමත් සාධාරණයිනේ. කඩේකට ගිහිල්ලා කවුරුත් ලොකු ගාණක් දීලා පොඩි පොල් ගෙඩියක් ගන්න කැමති නැහැනේ"
එහෙම නම් රජයෙන් අපිට පොල් විකුණන්න ඕනේ, එහෙම වුණා නම් අපිට පුළුවන් රජය දෙන ගාණට අරගෙන අඩුවට පොල් විකුණන්න
මැනිං වෙළෙඳ පොළේ සිල්ලර පොල් වෙළෙඳ මහතෙක්,
"රජයෙන් දීපු මිලට තමයි අපි මේ විකුණන්නේ. හැබැයි අපි නම් මිමි අරගෙන මැන්නේ නැහැ. පොල් ගෙඩියේ ප්‍රමාණයෙන් අපිට හිතා ගන්න පුළුවන්නේ. පාඩුයි තමයි. ඒත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. මේ ටිකේම අපි පාඩුවට තමයි පොල් වික්කේ. ලොරියෙන් අපිට පොල් දුන්නෙත් හැත්තෑ එකට. නිලධාරීන් කිව්වාට අපිට බඩු හම්බෙන්නේ නැහැ. අපිට වඩා වැඩි මිලට කොප්පරා හදන්න DCවලට ගන්නවා. ඒකෙන් වෙන්නේ කොළඹට ලොකු පොල් එන්නේ නැහැ. පොඩි ප්‍රමාණයේ පොල් තමයි එන්නේ. හම්බෙන ලොකු පොල් ටික අපිට හැමදාම ලැබෙන ඇනවුම්වලට තියාගන්නවා. නැත්නම් කරන්න බැහැනේ. ඒක පැත්තකින් බැලුවාම අසාධාරණයි. ඒත් අපිත් ජීවත් වෙන්න ඕනේනේ.
රජය කියන විදිහට මැන මැන පොල් විකුණන්න අමාරුයි. පොල් ගෙඩි දහයක් විස්සක් නම් මැන මැන දෙන්න පුළුවන්. ලොරියකින් පොල් තුන්දාහක් විතර බාද්දී මැන මැන ඉන්න අපහසුයි. එහෙම නම් රජයෙන් අපිට පොල් විකුණන්න ඕනේ. එහෙම වුණා නම් අපිට පුළුවන් රජය දෙන ගාණට අරගෙන අපේ ලාභේ තියාගෙන ඉතා අඩුවට පොල් විකුණන්න. රජයේ තිබෙන වටිනාකමක් නැතිවෙන්නේ ඔය වගේ වැඩ නිසයි.
පොල් වතු හිමියෝ ගෙන්වලා, පොල් සංස්ථා නිලධාරීන් ගෙන්වලා එයාලා එක්ක සාකච්ඡා කරලා පොල් වත්තෙන් දෙන මිල සාධාරණ කරන එකයි කරන්න ඕනේ. එහෙම නැතුව වෙළෙඳ පොළේ මිලට තහනම් දාලා තේරුමක් නැහැ"
සටහන / ඡායාරූප - කැළුම් දේවින්ද