ප්රජාතන්ත්රවාදය කන්නද? අපට ඕනෑ කෑම බීම හා ඇඳුම්, පැලඳුම්. අපේ දරුවන්ට පාසල්* යැයි ඇතැම්හු පවසති. එහෙත් එය මතුපිටින් පෙනෙන තරමට සත්‍යය හා විසිතුරු කියමනක් නොවේ. එමෙන්ම ගරුසරු වැදගත් කියමනක්ද නොවේ. ගැඹුරු අර්ථයෙන් ගත් විට මෙය මහා මුග්ධ ප්‍රකාශයකි.
ලංකාවේ බොහෝ දෙනෙක් සිතා සිටින ආකාරයට ප්රජාතන්ත්රවාදය යනු කා ළඟවත් තිබී අපට ලැබෙන සහනාධාරයක් හෝ දීමනාවක් නොවේ. එමෙන්ම පොත්පත්වල තිබෙන ගල් ගැසී ඇති දර්ශනවාදයක් ද නොවේ.
එසේ නම් ප්රජාතන්ත්රවාදය යනු කුමක්ද? කුමනාකාරයෙන් ක්‍රියාත්මක වන්නක්ද? මහජනයාට ජාති, කුල, ආගම් විෂමතා මැද වුවද තව අදහස් නිබයව පැවසීමටත් එම අදහස් මත පිහිටා දේශපාලන තලයේ හා වෙනත් තලයන්හි ක්‍රියාත්මක වීමටත් ඇති අයිතිය ප්රජාතන්ත්රවාදයයි.
මේ අනුව 48 සිට අපි යම් ගමනක නිරත වුවා නම් අපේ රාජ්‍යය තුළ යම්, යම් දේ දිනා ගත්තේ නම් ඒ සියලු ජයග්‍රහණවල පදනම ප්රජාතන්ත්රවාදයයි.
ප්රජාතන්ත්රවාදය අපිට ලබාදෙන වැදගත්ම අවිය ඡන්ද බලයයි. අප කැමති නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීමේ අයිතියයි. එසේම අප කැමති කණ්ඩායමට, පක්ෂයට බැඳීමට එහි කටයුතු කිරීමට ඇති නීත්‍යානුකූලව අපට සහතික වශයෙන් ලැබුණු බලයයි. එය දේශපාලන කටයුතුවලට සීමා නොවේ. සමාජ සංස්කෘතික හා වෙනත් ඕනෑම කටයුත්තක නියැළීමට, විවිධාකාර ජීවන අවස්ථා උදා කර ගැනීමෙහිලා එය මහෝපකාරී වෙයි.
එසේ නම් ප්‍රේම කිරීම, ආහාරපාන, ගමනාගමනය, විනෝදාස්වාදනය ආදී බොහෝ දේවල්වල සැබෑ නිදහස බැඳී තිබෙන්නේ ප්රජාතන්ත්රවාදය සමගය. කොටින්ම කියනවා නම් වර්තමාන මිනිසාගේ ජීවිතයේ මූලික ජීවන පදනමත්, මූලික ජීවන විලාසිතාවන් ප්රජාතන්ත්රවාදයයි. මේ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිතව පවතින මහ දෙවොල පාර්ලිමේන්තුවයි. ප්රජාතන්ත්රවාදයේ කේන්ද්‍රස්ථානය හා මහ බලකොටුව පාර්ලිමේන්තුවයි.
අපේ රටේ පාර්ලිමේන්තුව පිරිහී ඇති බවත්, ජනතා නියෝජිතයන්ගේ ගුණාත්මක තත්ත්වය බිඳ වැටී ඇති බවත් දිගු කාලීනව පවතින ප්‍රකට මතයකි. එහෙත් එබඳු තත්ත්වයක් තුළ පවා පාර්ලිමේන්තුව ඉතාමත්ම වැදගත් ආයතනය ලෙස තවමත් අප රටෙහි කේන්ද්‍රීය තත්ත්වයක් උසුලයි. එය අප කිසිවෙකුටත් බැහැර කළ හැකි අදහසක් නොවේ. එය පරම සත්‍යයකි.
වර්තමානයේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදයේ භයානකම කාරණය වන්නේ පාර්ලිමේන්තුව කැඳවීම දිනෙන් දින කල් තැබීමයි. උපක්රමශීලීව ජනපතිගේ බලය යොදා ගනිමින් පාර්ලිමේන්තුව කල් තැබීමයි. මෙය පොදු ජනයාගේ නිදහස මුළුමනින්ම විනාශ කරන අතිශය භයානක පියවරකි.
මෙය රට තුළ විවිධාකාර දරුණු ගැටුම් ඇති කරවන හා ක්‍රමයෙන් මිනිස් නිදහස අහිමි කරවන ඒකාධිපති පාලනයක් කරා සමාජය මෙහෙය වන භයානක මර උගුලකි. ඒ නිසා රටේ යහපත් අනාගතයක් හා යහපත් මිනිස් ජීවිතයක් පතන සියලුම දෙනා එක හඬින් ඉල්ලා සිටිය යුතු උදාරතම ප්‍රධාන පැතුම වන්නේ පාර්ලිමේන්තුව විවෘත කරපල්ලා, යන්නයි.
රටේ දේශපාලන අර්බුද ඇතිවීම අලුත් දෙයක් නොවේ. නායකත්වය වෙනස් වීමද අලුත් දෙයක් නොවේ. එහෙත් එය සිදු විය යුත්තේ කුස්සිය පැත්තෙන් රිංගා හොර මිනිහා ගෙට රිංගන මජර ක්‍රමයට නොව ඉදිරිපස දොරින් මනමාලයා ගෙදරට එන ශිෂ්ට ක්රමයටය. ප්රජාතන්ත්රවාදයේ බලය හා අයිතිය රැකෙන්නේ එවන් ශිෂ්ට සම්පන්න ක්‍රමයක් තුළ පමණි. වර්තමාන දේශපාලන ක්‍රියාවලියේදී දරුණු ලෙසත්, බරපතළ ලෙසත් උල්ලංඝනය වූයේ එම ශිෂ්ට සම්පන්න සම්ප්රදායයි. එය මේ මොහොතේ සාමාන්‍ය පොදු ජනයාට භයානක දෙයක් ලෙස නොපෙනුනත් ඔවුන්ගේ හා ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ඉතාමත් භයානක තත්ත්වයකට ඇද වැටීමේ අනතුර එළඹෙමින් සිටින බව ඔවුන් දැනගත යුතුය.
බඩු මිල පොඩි ගණනකින් අඩුවීම තාවකාලික දෙයකි. එය හෙට හෝ අනිද්දා ඉහළ යා හැකිය. එහි ස්වභාවය එයයි. එහෙත් මේ සිදුවීමේදී පාර්ලිමේන්තුව වසා දැමීමෙන් උදා කළ භයානක තත්ත්වය අනාගත ලාංකේය මිනිස් ජීවිත කෙරෙහි අතිශයින් භයානක ලෙස බලපැවැත්වෙනු ඇත.
එම නිසා මේ මොහොතේ සියලු ශිෂ්ට සම්පන්න පුරවැසියන් එක හඬින් පැවසිය යුතු මහා සටන් පාඨය නම්, &කවුරු අගමැති වුණත් කමක් නෑ වහාම පාර්ලිමේන්තුව විවෘත කරපල්ලා* යන්නයි.