"කැලණි ගඟේ වතුර පිරිසුදු වෙලා......." ඒ ගතවූ දින කිහිපය පුරා ඇසුණු කතාවකි. එහෙත් සත්‍ය වශයෙන්ම කැලණි ගඟ පිරිසුදු වීද? කෝව්ඩ්-19 වෛරස ව්‍යාප්තිය ශ්‍රී ලංකාව වසා පැතිරෙමින් ජනයාගේ දෛනික ජීවිතය නිවසට කොටු වීමත් සමග කැලණි ගඟේ ජලය සත්‍ය ලෙසම පිරිසුදු වීද? එය එසේ වී ගතවූ දින කිහිපයේදී පමණක් කැලණි ගඟ පිරිසුදු වූයේ නම් පෙර අපිරිසුදු වීමට හේතු කුමක්ද? මේ සියල්ලටම හේතු විමසූ අපට සත්‍ය ලෙසම දක්නට ලැබුණු කරුණ නම් කෝවිඩ්-19 ඇති, නැති මේ සියලු කාලවලදී කැලණි ගඟ අපිරිසුදු වන බවයි. නොඑසේ නම් 'අපිරිසුදු වෙමින්' පවතින බවයි. වෛරසයේ ව්‍යාප්තිය සමග කැලණි ගඟ දෙපස පිහිටි කර්මාන්ත ශාලා වැඩ නැවතීමෙන් ගඟට එක්වන බැරලෝහ ඇතුළු අන් අපද්‍රව්‍ය කෙටි කලකට නැවතී තිබුණද සාමාන්‍ය ජනයා වෙතින් දෛනිකව එක්වන අපද්‍රව්‍ය තවදුරටත් ගඟට එක්වීම ඊට සරල උදාහරණයකි. ඒ අනුව වෛරස ව්‍යාප්තියත් සමඟ අකර්මණ්‍යව තිබූ රට නැවත යථා තත්ත්වයට පත්වීමේදී කැලණි ගඟට උරුම ඛේදවාචකය තවදුරටත් එසේම නොවන්නේද? මේ ඒ සම්බන්ධයෙන් අප කළ විද්වත් සාකච්ඡා කිහිපයක සාරාංශ සටහනකි. කැලණි ගඟෙහි පමණක් නොව උප නූපන් ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතයද මින් ඛේදයක් වීම වළක්වාලීම හෝ නොවීම රටවැසි සියල්ලන්ගේම 'නුවණ, අනුවණ' මත හා ඊට ඇති 'අවශ්‍යතාව' මත තීරණය වනු ඇත.
“මධ්‍යම පරිසර අධිකාරිය දේශපාලනීකරණය වෙලයි තිබෙන්නේ"
“ලංකාවේ ඕනෑතරම් වතුර තියෙනවා කියල හිතාගෙන සිටි කාලයක හැදූ නීති තමයි අදටත් තියෙන්නේ"
“පොලීසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල දිය යුතුයි"
“බැර ලෝහ මිශ්‍ර වතුර බීමෙන් කොළඹ ප්‍රදේශයේ ජනතාවට වකුගඩු රෝග, පිළිකා වැනි දේ ඇති වීමේ අවදානමක් තිබෙනවා" - හේමන්ත විතානගේ මහතා - විධායක අධ්‍යක්ෂ (පරිසර යුක්ති කේන්ද්‍රය)
'2011දී පමණ කැලණි ගංගාවේ අපි සමීක්ෂණයක් කළා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට ඉහළ ප්‍රදේශයේ එනම්, කිතුල්ගල වැනි ප්‍රදේශවල හෝටල්වලින් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය, වැසිකිළි අපද්‍රව්‍ය, රබර් හා තේ වතුවලින් එකතු වන රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා. නමුත් අවිස්සාවේල්ලෙන් පහළට සීතාවක කර්මාන්තපුරයත් සමග ආරම්භ වුණාම අවිස්සාවේල්ලේ සිට පහළට කැලණි ගඟ ආශ්‍රිතව කර්මාන්තශාලා 7000ක් පමණ තිබෙනවා. ඉන් බහුතරයක් පරිසර ආරක්ෂණ බලපත්‍ර එනම් ඊ.පී.එල්. ලබාගත යුතුව ඇති කර්මාන්තශාලායි.
අපි දන්නා තරමින් කර්මාන්තශාලා 3000ක පමණ ප්‍රමාණයකුයි මෙම බලපත්‍ර ලබා තිබෙන්නේ. ඒ සියල්ලගෙන්ම කැලණි ගඟට අපද්‍රව්‍ය මිශ්‍ර වෙනවා. බලපත්‍ර තිබුණත් වසර 02කට හෝ 03කට පමණයි ඒවා ලබා ගන්නේ. මීට අමතරව අවිස්සාවේල්ල, කඩුවෙල, හංවැල්ල නගරවල සියලුම අපද්‍රව්‍ය මිශ්‍ර වන්නේත් කැලණි ගඟටයි. පසුගිය කාලයේ කඩුවෙල කිට්ටුව බහුජාතික සමාගමක් ගලි බවුසර් යාර්ඩ් එකක් පවත්වාගෙන ගියා. කඩුවෙල නගරයෙන් පහළට කැලණි ගඟ ආශ්‍රිතව ඇති වැසිකිළිවලින් 45%කට පමණ වැසිකිළි වළවල් නෑ. ඒ සියල්ල ගඟට නිරාවරණය කරලයි තිබුණේ. පෑලියගොඩ පාලමෙන් පහළ ප්‍රදේශයේ තමයි අපට ඊෆෝලයිකෝලිෆෝම් බැක්ටීරියාව වැඩිම ප්‍රමාණය හම්බ වුණේ.
මධ්‍යම පරිසර අධිකාරිය ගඟේ වතුර මොනිටර් කරනවා තමයි. නමුත් ඒවා දැනගත්තා කියලා ඉන්ඩිවිජුවල් ප්ලාන්ට්ස්වල මොනිටර් කරන සිස්ටම් එකක් නෑ. අනිත් කාරණය යම් ආයතනයකට පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දුන්නට ඒවා මොනිටර් කරන සිස්ටම් එකක් ලංකාවේ නෑ. ඒ නිසා කැලණි ගඟට අපද්‍රව්‍ය එන එක දිගින් දිගටම සිදුවෙනවා. ඊට අමතරව ඌරු කොටු, කුකුල් කොටු වලින් පිටවන අපද්‍රව්‍යත් එකතු වෙනවා. නීතිය අපට තිබෙනවා. ප්‍රශ්නය තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න මිනිස්සු ඉන්න ඕන. නමුත් පරිසර අධිකාරියට අවශ්‍ය තරමේ කාර්යමණ්ඩලයක් නැහැ. මේ සඳහා ප්‍රාදේශීය වශයෙන් ඉන්න අයත් එක්ක 10ක් 12ක් පමණයි ඉන්නේ. එතනදි නඩු 100ක් පැටලුණොත් ඒ අයට කරගෙන යන්න බෑ.
අනිත් කරුණ තමයි පරිසර අධිකාරිය දේශපාලනීකරණය වෙලයි තිබෙන්නේ. පසුගිය කාලය පුරාවටම සභාපතිවරු පත්වුණේ දේශපාලනයෙන්. මං හිතන්නේ අන්තිමට යම්කිසි හැඟීමක් තියෙන කෙනෙක් කියලා ආවේ උදය ගම්මන්පිලයි. ඊට පසු පැමිණි චරිත හේරත්ට පසුබිමක් නොතිබුණත් ඔහුට අවශ්‍යතාවක් තිබුණා. ලාල් ධර්මසිරිටත් යම් දැනීමක් තිබුණා. එතනින් පසු පැමිණි පුද්ගලයන් දේශපාලනීයයි. යම් යම් පෞද්ගලික හොඳ පැවතුම් තිබුණත් සාරංග අලහප්පෙරුම වේවා, මුසම්මිල් හෝ ඉසුර දේවප්‍රිය වේවා ඒ අය දේශපාලකයන්. මීට අමතරව අධ්‍යක්ෂ ජනරාල්වරු පත්වන්නේත් පරිසර අධිකාරියට පිටින් ඇවිල්ලා. පරිසරය ගැන උනන්දු අය කිහිපදෙනෙකු අධිකාරියේ සිටියත් මෙවැනි ආකාරයටයි එය ක්‍රියාත්මක වන්නේ.
මම හිතන්නේ නීතියේ වෙනස්කම් සිදුවිය යුතුයි. පොලීසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ බලතල දෙන්න කියලා මම දිගින් දිගටම කිවුවා. අද වෙනතුරු පොලීසියට ඒ බලතල දී නෑ. ඉතිං කෝවිඩ්වලින් අපි පාඩම් ඉගෙන ගන්නවා වගේම අපේ සිස්ටම් එක අපි හදාගන්න ඕන. මොකද කොළඹ ජනතාවගෙන් 80%ක් වතුර පරිහරණය කරන්නේ කැලණි ගඟෙන්. නමුත් කර්මාන්තවලින් බැහැර වන බැර ලෝහ ඉවත් කරන්න ක්‍රමවේදයක් ජලපිරිපහදුවල නැහැ. මේ බැර ලෝහත් එක්ක වතුර බීමෙන් වකුගඩු රෝග, පිළිකා වැනි දේ ඇති වීමේ අවදානමක් කොළඹ ප්‍රදේශයේ ජනතාවට තිබෙනවා. කැලණි ගඟේ වතුර හරවා දැරණියගලින් මාඔයට එක් කිරීමේ ව්‍යාපෘතියකුත් තව කරන්න යනවා. එවිට කැලණි ගඟේ ජලය ගලා යෑම අඩු වීමෙන් එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණයේ සාන්ද්‍රණය වැඩි වෙනවා. එවිට මොනයම් ප්‍රමාණයේ පිරිපහදු ක්‍රමයක් තිබුණත් සාන්ද්‍රණය දරන්න අමාරුයි.
මීට අමතරව වැලි කැණීම් වැඩි වීම නිසා ගඟේ වතුර අඩු කාලයට මුහුදු ජලය ඉහළට යනවා. සමහර වෙලාවට අවිස්සාවේල්ල ප්‍රදේශයට පමණ යනතෙක් මුහුදු ජලය ගමන් කරනවා. එතකොට ලැබෙන්නේ ලුණු මිශ්‍ර වතුර. මට මතකයි එක්තරා අධික පායන කාලයකදී කොළඹ පයිප්පවලින් අාවේ ලුණු වතුර. කැලණි ගඟ ආශ්‍රිතව තිබෙන කර්මාන්ත ප්‍රමාණය ඉතා වැඩියි. සමහර කර්මාන්ත තියෙනවා බීමට වතුර ගන්න කැලණි ගඟ වැනි ස්ථානයක නොකළ යුතු කර්මාන්ත. ලංකාවේ ඕනෑතරම් වතුර තියෙනවා කියල හිතාගෙන සිටි කාලයක හැදූ නීති තමයි අදටත් තියෙන්නේ. මේවා වෙනස් විය යුතුයි.'
"අපජලය ගංගාවට මුදාහැරෙන බට හරහා වෙනම ආරක්ෂිත ජල ටැංකියක් ස්ථාපිත කළ යුතුයි" - නීතිඥ උදය ගම්මන්පිල මහතා (හිටපු සභාපති) - මධ්‍යම පරිසර අධිකාරිය/ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී - කොළඹ දිස්ත්‍රික්කය
'කැලණි ගඟේ ජලය දිගින් දිගටම දූෂණයට ලක්වීම පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ එවකට සිටි සභාපතිවරයා ලෙසත්, ඒ වගේම පරිසර ඇමතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා ලෙසත්, පරිසරවේදියෙක් ලෙසත් දිගින් දිගටම අවධානය යොමු කරමින් 'පවිත්‍ර ගංගා' කියන වැඩසටහන යටතේ අපි පරික්ෂණ සිදුකළා. එහිදී අපිට ප්‍රධාන කාරණා 02ක් හඳුනා ගන්න ලැබුණා. එකක් තමයි කැලණියේ නාගරික ප්‍රදේශයේදී තමයි මේ ජලය දූෂණයට ලක් වන්නේ. ඇත්තටම බියගමින් පටන් ගත්තම කැලණි ගඟ මුහුදට වැටීම දක්වාම මේ තත්ත්වය දැකිය හැකියි. මීට ප්‍රධාන කරුණු 02ක් බලපා තිබෙනවා.
විශේෂයෙන්ම පැල්පත්වාසීන්ගේ වැසිකිළි කැලණි ගඟට හරවා තිබුණා. ඒ යුගයේදීම අපි ඒවාට පිළියම් ඉදිරිපත් කළා. එය බොහෝ දුරට දැන් විසඳී තිබෙන්නේ.
දෙවැනි ප්‍රශ්නය වුණේ කාර්මික අපජලය. කාර්මික අපජලය පිරිපහදු කරලා සමාන්‍ය ජලය සමග මිශ්‍ර කරලා තනුක කර තමයි ගංගාවට මුදාහැරීම පරිසර රෙගුලාසි යටතේ කළ යුතු වන්නේ. යම් පිරිවැයක් දැරීමට සිදු වන නිසා මෙම අපජලය පිරිපහදු ක්‍රියාවලිය සමාගම් නිසි ලෙස කරන්නේ නෑ. අපි දැක්ක දෙයක් තමයි මේ අය මේ පද්ධතිය නිසි ලෙස සකස් කර තිබෙනවා. පරිසර නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන අවස්ථාවේදී මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා. අන් අවස්ථාවලදී අපවිත්‍ර ජලය ඒ ආකාරයෙන්ම ගංගාවට මුදාහරිනවා.
මේ සඳහා මගේ යෝජනාව නම් අපජලය ටැංකිවලින් ස්වාභාවික අපජලය එකතු වන, නැත්නම් ගංගාවට මුදාහරින බටවලින් වෙනම පුංචි ටැංකියක් තියෙන්න ඕනෑ අපජලය එකතු වීමට. පරිසර නිලධාරීන්ට පමණක් විවෘත කළ හැකි වන සේ ඒ ටැංකිය අගුලු දැමීමට හැකියාවක් තිබිය යුතුයි. ඒ අනුව පෙර දැනුම් දීමකින් තොරව කර්මාන්තශාලාවට නිලධාරීන් පැමිණීමේදී ඒ මොහොතේ අදාළ පිරිපහදු ක්‍රියාවලිය කළත් මෙම ආරක්ෂිත ටැංකියේ තියෙන්නේ පරණ ජලයයි. මොනයම් හෝ මොහොතක අපිරිසුදු ජලය නිකුත් කර තිබුණොත් ඒවා ආරක්ෂිත ටැංකියේ ඉතුරු වෙලා තිබෙනවා.
මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය තමන්ගේ පරීක්ෂණ සඳහා නියැදි 03ක් ලබාගත යුතුයි. එක නියැදියක් තමන් පරීක්ෂණවලට යවන්න ඕනෑ. අනිත් නියැදිය සමාගමට දෙන්න ඕන පරීක්ෂණ සඳහා. තුන්වැනි නියැදිය දෙපාර්ශ්වය අත්සන් කර සීල් තබා අරන් තියාගන්න ඕන.
එවිට කලින් කියූ ස්ථානයේ අපජලය තිබුණොත් එතනදී නඩු පැවරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මා මේ යෝජනා කරන ක්‍රමවේදය ක්‍රියාත්මක කළොත් කැලණි ගඟේ පිරිසුදුභාවය රැකගන්න පුළුවන් වේවි.'
“වඩා වැදගත් වන්නේ මේ ගුණාත්මක තත්ත්වයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය යාන්ත්‍රණය සැකසීම සහ එය පවත්වාගෙන යාමයි" - මංජුල කරුණාරත්න මහතා - පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (රුහුණ විශ්වවිද්‍යාලය)
'ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල මානව ක්‍රියාකාරකම් නිසා විසංතුලනයට පත්ව තිබූ පරිසර පද්ධති නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවට වාර්තා වෙනවා. වායු දූෂණ මට්ටම අඩුවීම වැනි දෑ නිශ්චිතවම හඳුනාගෙන තිබෙනවා. මානව ක්‍රියාකාරකම් සීමා වීම සමග ඉන් ජනිත වන බලපෑම් අඩු වීම සාමාන්‍ය තත්ත්වයක්. එය වලංගු වන්නේ මේ වසංගත රෝග අවස්ථාව පහව යන තෙක් පමණයි. වඩා වැදගත් වන්නේ මේ කාලය පරිසර දූෂණය පාලනය සහ කළමනාකරණය සම්බන්ධව වඩා ප්‍රශස්ත ප්‍රවේශයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට යොමු කිරීමයි. එසේත් නැතිව මේ තිබෙන තත්ත්වයන් පිළිබඳ උදම් ඇනීම නොවේ. ඇඳිරිනීති අවස්ථාවේ පවා මහවැලි ගඟට විශාල වශයෙන් අපද්‍රව්‍ය මුදාහැරීමක් පිළිබඳ වාර්තා වුණා. ගල්කිස්ස වෙරළ තීරය ගොඩ කර දමා තිබෙනවා. වනජීවී සහ වන අපරාධ වර්ධනය වෙමින් තිබෙනවා. ඒ නිසා මේ තාවකාලික තත්ත්වය තුළින් යථාර්ථය දැකීමයි සිදුවිය යුත්තේ.
කැලණි ගඟ සම්බන්ධයෙන් ද තිබෙන තත්ත්වය එයයි. මෙය තාවකාලික වෙනස් වීමක් ලෙසයි මා දකින්නේ. නැවතත් මානව ක්‍රියාකාරකම් වලට නිරාවරණය වූ විට පෙර පැවති දූෂිත තත්ත්වයට පත්වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. මීට පෙරද විවිධ අවස්ථාවල කැලණි ගඟට මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය මුදාහැරීම් වාර්තා වෙලා තිබෙනවා. ඒවාට වගකියවයුතු අයට දඬුවම් දීමට බොහෝ අවස්ථාවල හැකියාවක් ලැබී නැහැ. වඩා වැදගත් වන්නේ මේ ගුණාත්මක තත්ත්වයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය යාන්ත්‍රණය සැකසීම සහ එය පවත්වාගෙන යාමයි.'