කරෝෂි



ජපානය යනු ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය හිමි සහ ලෝකයේ තාක්‍ෂණික දියුණුව අතින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙස හඳුනා ගැනේ. 17 වැනි සියවසේ ටොකුගාවා පාලන සමයේ සිට ජපානය නූතන සංවර්ධන උපායමාර්ග ක්‍රියාත්මක කරමින් සිටි අතර අදටත් ජපානය තුළ එවක නිර්මාණය කළ මහාමාර්ග සහ වාරිමාර්ග හඳුනා ගැනීමට හැකිය.

පසුව මෙයිජි පාලන සමයේදී ජපාන ආර්ථිකය විශාල වශයෙන් බටහිරකරණයට ලක්වූ අතර, වෙළෙඳ පොළ ආර්ථිකයේ බොහෝ මූලිකාංග ඉතා ඈත කාලයකදීම වැලඳ ගත්තේය. දෙවැනි ලෝක යුද්ධයෙන් විශාල බැටකෑමකට ලක් වූ ජපානය 1960 දශකය වන විට යළිත් ආසියාවේ දියුණුම ආර්ථිකය බවට පත්විය. මෙය හඳුන්වන ලද්දේ පශ්චාත් යුද ජපාන ආර්ථික ප්‍රාතිහාර්යය (Japanese post-war economic miracle) වශයෙනි. 

එහෙත් එම ප්‍රාතිහාර්යය ජපානයට හොඳට මෙන්ම නරකට බලපෑවේය. ජපානයේ කරෝෂි (Karōshi) නම් තත්ත්වය ජපානය සම්බන්ධයෙන් පමණක් වෙළෙඳ පොළ ආර්ථිකය මත ක්‍රියාත්මක වන ඕනෑම සමාජයකට අඩු හෝ වැඩි වශයෙන් පොදු වන්නකි. %කරෝෂි^ යනුවෙන් හැඳින්වෙන්නේ අධික ලෙස වැඩකිරීමෙන් මිනිසුන් මියයෑමය. මෙහිදී අදහස් කෙරෙන්නේ හුදෙක් ශරීරය වෙහෙසා වැඩ කිරීමෙන් මියයන පුද්ගලයන් පමණක් නොව අධික මානසික වෙහෙස සහ ආතතිය නිසා ඇතිවන ලෙඩ රෝග නිසාද මිය යන පිරිසයි. 

%කරෝෂි^ නම් තත්ත්වය මුලින්ම හඳුනා ගැනීම සිදු වූයේ 1969 වසරේදී පුවත්පත් සමාගමට සම්බන්ධ 29 හැවිරිදි ජපන් තරුණයෙකු හෘදයාබාධයක් වැලඳීමෙන් හදිසියේ මිය යෑමෙන් පසුවය. පසුව 1978 වසර වන විට අධික ලෙස වැඩකිරීම නිසා හෘදයාබාධ, මොළයේ නහර පිපිරීම් ආදී තත්ත්වයන්ගේ මිය යෑමේ සංසිද්ධිය %කරෝෂි^ ලෙස නම් කෙරිණි. 

මෙය වෙළෙඳ පොළ ආර්ථිකය පෙණ බුබුළක ආකාරයෙන් ඉහළ යෑම සහ මිනිසුන්ගේ ජීවිත ඒ අනුව සකස් වන ස්වරූපය හොඳින් නිරූපණය කරයි. ජපන් ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය වන විට රටේ මිනිසුන්ට එවැනි ආර්ථික පද්ධතියක් තුළ ජීවිතය පවත්වා ගැනීමට නම් අධික ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීම අනිවාර්යය වේ. ශ්‍රී ලංකාවේ වුවද මෙවැනි %කරෝෂි^ තත්ත්වයක් නිසා මධ්‍යමපාන්තික ජීවිත ගත කරන බොහෝ දෙනෙකුගේ ජීවිත අකාලයේ අහිමි වන බව අප නිරීක්‍ෂණය කර ඇති දෙයකි. 

1988 වසර වන විට ජපානයේ පිරිමි සේවකයන් සෑම සිවුදෙනෙකුගෙන්ම එක් අයෙකු සතියකට පැය 60කට වැඩි කාලයක් රාජකාරි කර ඇති බව පෙනී ගියේය. පසුව ජපන් රජය මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙස තේරුම් ගනිමින් වාර්ෂිකව සංඛ්‍යාන දත්ත ඉදිරිපත් කළද අද වනතුරු විසඳුමක් සොයා ගැනීමට හැකිව නොමැත. ජපානය තුළ %කරෝෂි හොට්ලයින්ස්^ නමින් ක්‍ෂණික ඇමතුම් සේවාද පිහිටුවා ඇති අතර, තමන් මුහුණපාන අධික ආතතීකාරී තත්ත්වය පිළිබඳ ඒ ඔස්සේ දැනුම් දීමට හැකිය. මෙය ධනේෂ්වර වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමයේම අතුරු ඵලයක් බැවින් ක්‍රම වෙනසකින් හැර වෙනත් ආකාරයකින් විසඳුමක් ලැබේ යැයි අපේක්‍ෂා කිරීමටද නොහැකිය. 

දර්ශන අශෝක කුමාර

 



Recommended Articles