කර්මය


කර්මය යනු බුදු දහම, හින්දු දහම, සීක් ආගම, ජෛනාගම, තාඕ දහම ඇතුළු විවිධ වූ ආගම් රැසක් තුළ දැක ගැනීමට ලැබෙන සංකල්පයකි. හේතු ඵල සම්බන්ධතාව මත පිහිටා කර්මය පිළිබඳ අදහස බොහෝ ආගම් තුළ නිර්මාණය වී තිබේ. 

කිසියම් කර්මයක් සිදු කිරීමේදී එය සිදු කරන්නා තුළ කිසියම් පාරභෞතික (metaphysical residue) යමක් ශේෂ වේයැයි යන අදහසක් පවතී. කර්මය හුදෙක් ක්‍රියාවෙන් වෙනස් වන්නේ මෙම අර්ථයෙනි. යහපත් ක්‍රියාවකින් යහපත් කර්මයක්ද, අයහපත් ක්‍රියාවක් සිදු කිරීමෙන් අයහපත් කර්මයක්ද සිදු වේය යන්න සෑම කර්ම සංකල්පය ඉගැන්වෙන සෑම ආගමකම පවතින අදහසයි.
එහෙත් මෙම සියලු ආගමික දර්ශනයන් තුළ කර්මය සම්බන්ධයෙන් කෙරෙන විග්‍රහය සමාන නොවේ. හින්දු දහමේ එන කර්ම සංකල්පය බුදු දහමේ කර්ම සංකල්පයෙන් වෙනස් වන අතර, බුදු දහමේ කර්ම සංකල්පය ජෛන දහමෙන් වෙනස් වේ. එහෙත් මෙම සෑම දර්ශනයකදීම කර්මය කිසිදු දිව්‍යමය බලවේගයකින් හෝ මිනිසාගෙන් බැහැර වූ යමකින් පාලනය වන බව නොකියැවේ. කර්ම සංකල්පයේ මූලික අදහසක් වන්නේ මිනිසුන් ආචාර ධාර්මිකභාවයට හැරවීමයි (ethicization). 

කර්මය සම්බන්ධයෙන් මුලින්ම ඉගැන්වීමක් දක්නට ලැබෙන්නේ බෘහදාරණ්‍යයක උපනිෂදයෙහිය. එහෙත් ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ කර්මය පිළිබඳ අදහස වේදයට වඩා පැරණි වන අතර, ශ්‍රමණ සම්ප්‍රදායන් ඇසුරේ වර්ධනය වන්නට ඇති බවයි. බුදු දහම සහ ජෛන දහමට පෙර පටන් පැවැති ශ්‍රමණ සම්ප්‍රදායන් තුළ කර්ම සංකල්පය වර්ධනය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, වෛදික සම්ප්‍රදායන් සහ ශ්‍රමණ සම්ප්‍රදායන් අතර, අන්‍යෝන්‍ය වශයෙන් බලපාමින් දියුණු වී ඇති බව පැහැදිලි ලෙස පෙනී යයි.

හින්දු දර්ශනය තුළ කර්මය ස‍ඳහා යම් තාර්කික පදනමක් පවතී. එනම් යමෙකු කරන යහපත් හෝ අයහපත් කර්ම අනුව ලැබෙන ප්‍රතිඵලද ලැබේ. සිදු කරන කර්මය අනුව සමාන ප්‍රතිඵලයක් ලැබේය යන්න හින්දු සමයේ ඉගැන්වීමය. එහෙත්, බෞද්ධ දර්ශනය තුළ කර්මය සහ ප්‍රතිඵලය අතර තාර්කික සම්බන්ධයක් නිර්මාණය නොකෙරේ. බුදු සමය අනුව කර්මය අනුව අචින්ත්‍ය වූ විෂයයකි. එබැවින්, තර්කයේ ඥානයෙන් එය අවබෝධ කර ගැනීමට නොහැකි වේ. කෙසේ වෙතත්, ඍණාත්මක කර්මයක් සිදු කරන්නෙකු වෙත ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබීමද, ධනාත්මක කර්මයක් සිදු කරන්නෙකුට ධනාත්මක ප්‍රතිඵලයක් ලැබීමද බුදු දහමේ ඉගැන්වෙන කර්ම සංකල්පය තුළ පැහැදිලි ලෙස දැක ගැනීමට ලැබේ. 

ජෛන දර්ශනය තුළ කර්මය සඳහා අර්ථ දැක්වීම හින්දු සමයෙන්ද, බුදු දහමෙන්ද සපුරා වෙනස් වේ. කර්මය යනු ඉතා සියුම් අංශුවලින් සෑදුණු මුළු විශ්වය පුරා පැතිරුණු යමක් ලෙස ජෛන සමයේ ඉගැන්වේ. මනසින්, වචනයෙන් සහ ශරීරයෙන් සිදු කරන විවිධ වූ ක්‍රියාකාරම් නිසා ඇති වන කම්පනයන් පාදක කර ගනිමින් මිනිසුන් වෙත මෙම කුඩා කර්ම අංශු ආකර්ෂණය වන බව ජෛන දර්ශනයේ අදහසයි. 
විවිධ ආගම් ඇසුරේ මානව ශිෂ්ටාචාරය තුළ සදාචාරකරණය සහ ආචාර ධර්ම පවත්වාගෙන යෑම වෙනුවෙන් කර්ම සංකල්පයෙන් සුළුපටු නොවේ. 

දර්ශන අශෝක කුමාර 



Recommended Articles