කරන්න තියෙන්නෙ මිනිස්සු එල්ලලා මරන එක නෙවෙයි,


මෙලොවට බිහි වූ අතිශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතරින් එක් නමක් යැයි කා අතරත් ගෞරවාදරයටත් පත් සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝසභික  මහනුවර මල්වතු විහාරයේ හිප්පොළ පන්සලේ අධිපති  පූජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මරක්ඛිත ධර්ම කීර්ති ශ්‍රී ප්‍රියදර්ශී ධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේ ගත වූ 02 වැනිදා වයස අවුරුදු 103ක් ආයු වලඳා අපවත් වූ පුවත රටවැසි ජනතාවට මහත් කම්පනයක් ඇති කළ පුවතක් විය.


මහනුවර අලුත්ගම මහා අරඹේ ගම්මුලෑදෑනි දුක්ගන්නාරාළ රාළහාමිගේ ඩිංගිරිබණ්ඩා ගම්මුලෑදෑනිතුමා සහ  හේරත් මුදියන්සේලාගේ රන්මැණිකා දෙපළට දාව  වර්ෂ 1915 නොවැම්බර් මස 22 වැනිදා උපන් දුක්ගන්නා රාළලාගේ හීංබණ්ඩාර පුතුට පවුලේ තවත් සහෝදර සහෝදරියන් 6 දෙනෙකි.

  “ගම්පොල රජකළ වික්‍රමබාහු රජ පවුලට ඥාති සම්බන්ධකම් ඇති උදවිය අපි. මගේ ගුරු හාමුදුරුවෝ අලුත්ගම පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල මහනායක හිමියන්. පැවිදි බව ලැබීමෙන් පස්සෙ මම 1936 විතර අම්පිටියෙ රජමහා විහාරයට ගියා. එතනදි නම් ඉතින් හිටපු නායක හාමුදුරුවන්ගෙන් නොයෙක් කරදර හිංසා තිබුණා. ඒවා එහෙම තමයි. මම එහෙ දහම් පාසලක් පටන්ගත්තා. ඒ කියන්නේ දහම් දැනුම නොදී කවදාවත් මතු පරපුර යහමඟට ගන්න බැහැ. බණ කීවාට විතරක් මදි. මගේ මතකය හැටියට මම 1945 කාලයේ මල්වතු විහාරයේ කඨින චීවර පූජාවත් ආරම්භ කළා.
   මම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආචාර්යවරයෙකු විදිහට ඉගැන්නුවා. ඒත් කවදාවත් වැටුපක් අරගෙන නැහැ. ලෝකයේ රටවල් පුරා සංචාරය කරමින් ධර්ම චාරිකාවල යෙදුණා. මේ පහුගිය සතියෙත් එහෙම ගියා. ඒ ගමන නම් ටිකක් වෙහෙස බවකුත් දැනුණා

එදා ඒ ගමනට දින කීපයකට පසු උන්වහන්සේ බැහැ දැකීමට ගිය විට විවේකයෙන් සිටින උන්වහන්සේ වෙනත් දිනයක යමක් කතා කරමුයි හිත නොරිදෙන ආකාරයෙන් අපට පැවසූහ.

“මම මල්වතු විහාරයේ කාරක සංඝ සභාවට පත්වන්නේ 1989 කාලයේදී. වැලිවිට අසරණ සරණ සංඝරාජ හාමුදුරුවන් වහන්සේ මෙරටින්  විනාශ වී ගිය බුදුදුහම නැවත ස්ථාපනය කිරීමට උත්සාහ කළා. මම හිතන විදිහට මේ වනවිට මම ඒ වෙනුවෙන් මූලිකත්වය ගත් සරණංකර පෙරහර වාර හැත්තෑවකට වඩා පවත්වා තිබෙනවා. කළගුණ සැලකීම බෞද්ධයන්ගේ පුරුද්දක් කරගත යුතුයි* උන්වහන්සේ අතීතය සිහිපත් කරති.
කතාබහක් තුළ ලද අවස්ථාවක උන්වහන්සේ තම අතීතය සිහිපත් කිරීමට අමතක නොකරති.

  “ඔය ඉන්නෙ මගෙ අම්මයි, අප්පච්චියි දෙන්නා. උන්වහන්සේ තමන් වහන්සේ වැඩ සිටින අසුනට වම්පසින් බිත්තියේ අනෙක් ඡායාරූපවලට ඉහළින්ම ඇති කළුසුදු  සේයාරුව පෙන්වයි.
“ඔය පින්තූරෙ ගන්ට කොයිතරම් නම් අමාරු වුණාද? කීප සැරයක් දෝ ෆොටෝ එකක් ගන්නට එන්ට කීවා. ආවෙම නැහැ. පස්සෙ මම මගේ පොඩි උවමනාවකට යමු කියලා හොඳට ලැහැස්ති කරගෙන ඒ අය අඬගහගෙන ආවා. ඒ දවස්වල ෆොටෝ ගත්තේ මාටින් බාස් කියලා කෙනෙක්. පොටෝ අල්ලන කට්ටියගෙ නම අගට එහෙම යොදනවා. ඒ අයට කියලා පොටෝ එක ගත්තෙ. ඒත් එතන රඳවා තියාගන්නට අමාරු වුණා. පරණ ඇත්තන්ගේ ජීවිත හරි සරලයි. ඒ අය හරි නිහඬ සාමාකාමී ජීවිත ගෙවන මිනිස්සු. ඒ අයට මෙහෙම දේ ගැන එතරම් උනන්දුවක් නැහැ* උන්වහන්සේ මහත් හඬින් සිනාසුණහ. 
වයස අවුරුදු 103ක්  ජීවිතයේ උපරිම ආයුෂ ගෙවූ භික්ෂූන් වහන්සේ නමක් ලෙස මේ දක්වා උන්වහන්සේ ඉදිරියෙන් සිටින බව උන්වහන්සේ නිතර අවධාරණය කළ. අනෙක් භික්ෂූන් වහන්සේලාගේ උදවු උපකාර සත්කාර නොඅඩුව ලැබුණද හිස බෑම, රැවුල බෑම පමණක් නොව තමන්ගේ ගිලන්පස සකස් කරගැනීමද උන්වහන්සේ අතින්ම සිදු විය.

“මහත්තයාටත් තේ එකක් වත්කරන්නද? හැමදාමත් ගොඩ වූ විගස අසන උන්වහන්සේගේ දයාබරිත හඬ එතරම්ම නිරහංකාරය. උන්වහන්සේ ජනමාධ්‍ය කෙරෙහි නම්‍යශීලීව ප්‍රතිචාර දැක්වූ මහා සඟරුවනකි. කිසිම දිනයක කිසිදු දේශපාලකයෙකුට දොස් නැඟීමට උත්සාහ කළේ නැත. 

“අපිනෙ ඔය ඇත්තන් ඒ තැන්වලට යවන්නේ. අපට හොඳ හන්දා යැව්වා නම් අපට පුළුවන්කම තියෙන්නට ඕනෑ ඒ අය නිවැරදි කරලා හදාගන්ට. බැණ අඬගගහා හිටියට වැරදි නිදොස් කරගන්ට බැහැ* උන්වහන්සේ නිතර සිහිපත් කළහ.

  “අපි නොනැවතී ඉදිරියට යා යුතුයි. රටේ සමාජ දේශපාලනය වෙනස් වෙනවා කියලා ඒවට ගරහන්නේ නැතිව, ඒවා අපේ රටේ යහපතට යොදාගන්න උත්සාහ කළ යුතුයි. බුදුහිමි කියලා තියෙන්න මානිවථ අභික්කම කියලයි. මම උන්වහන්සේගේ ඒ දේශනාව ලිපි ශීර්ෂ මත ඉහළින්ම දක්වා ඇත්තේද  ඒ නිසයි.

උපේක්ෂාව පෙරදැරි කරගත් දයාව අනුකම්පාව මෛත්‍රිය මෙන්ම සමානාත්මතාව උන්වහන්සේ තුළ පවතින සැබෑ ගතිගුණ ලෙස විහාරස්ථානයට ගොඩවන හැම සැදැහැතියෙකුගේම මුවින් පිටවන තරමට උන්වහන්සේ නිහතමානීය. නම්‍යශීලීය. කී දෙනෙකු එකවර පැමිණියත් කිසිවෙකුට අඩුවැඩියකින් තොරව සිනහමුසු මුහුණින් සංග්‍රහ කිරීමට උන්වහන්සේ පසුබට වන්නේ නැත.
  “මම පනස් ගණන්වල ඉඳලා මහනුවර බෝගම්බර බන්ධනාගාරෙ ආගමික වත්පිළිවෙත් කරනවා. එල්ලා මරන්නට නියමවුණු ඇත්තන්ට බණ කියන්නෙ මම. හරිම කනගාටුයි. කරන්න තියෙන්නෙ මිනිස්සු එල්ලලා මරන එක නෙවෙයි. මිනිසුන්ට සමාජයේ නිවැරදි තීරණ ගන්ට පුළුවන් තැනට සමාජ ක්‍රමය වෙනස් කරන එකයි.

සමහරුන්ට මළමූත්‍රා යනවා. ඇඟ වෙව්ලනවා. මරන්නට කලින් දවසේ ඉඳලා පිස්සු විකාර දොඩවනවා. සමහරු බලාගත් අතම බලාගෙන  ඉන්නවා. ඔය මහ ලොකුවට තෝ මරනවා, කපනවා, වෙඩි තියෙනවා කියලා ඒ දේ කරපු අයත් අන්තිමේට එල්ලුම්ගහ ළඟට ගෙනියන්නේ තල්ලු කරගෙන. එහෙම නැත්නම් උස්සාගෙන. ඒ අයට මුත්‍රා යනවා මම දැකලා තියෙනවා. කිසිම මනුස්සයෙකුට එවැනි දේ වෙන්න හොඳ නැහැ. බුදුබණ කියන්න ඕනෑ ඒ දේ ගැනයි.

 “එක දවසක් හරි අපූරු වැඩක් වුණා. මම බන්ධනාගාරෙ බණ කියන්න යනකොට තවත් හාමුදුරු නමක්ද කැටිව යනවා. ඒ විතරක් නෙවෙයි. මිනිසුන්ට මම මොනවාහරි පොඩි දෙයක් අරගෙන ගිහින් දෙනවා. හැබැයි බන්ධනාගාරයේ නිලධාරී මහත්වරුන් දැනුම්වත් කරලා. එහෙම වෙනකොට මේ අය අන්තිමේට මගේ බණ අනුශාසනා අහලා මමත් එක්ක හොඳටම යාළුවෙනවා. මටත් ඒ අයගෙන් වෙන්වන්න බැරි තරමට ඒ අය සමීප වෙනකොට මට හිතෙන්නේ මෙහෙම මිනිස්සු සමාජයේ මිනීමැරුවාද කියන එකයි.

එක දවසක් හොඳ වැඩක් වුණා. මේ වගේ මට ආදරය කරපු එක් වැරදිකාරයෙක් හෙට එල්ලා මරනවා. ඒ අය ළඟට ගිහින් මට බණ කියන්න ලොකු කනගාටුවක් ඇති වුණා. මම ඒ වෙනුවට මගේ සහායට ඉන්න වෙනත් හාමුදුරු නමක් පිටත් කළා. ඒ සිරකරුවා එතෙන්දි මහා විශාල කලබලයක් කරලා. අර හාමුදුරුවන්ටත් බැණ වැදිලා. මම හෙට මැරුණට කමක් නැහැ. අද කතෝලික ආගමට යනවා කියලා. අර හාමුදුරුවන් එළවා දමා  තිබුණා. මේ හාමුදුරුවෝ බයවෙලා ඉහින් කණින් දහදිය දාගෙන මා හොයාගෙන ආවා. මේ කතාව මට කිව්වා.

මම එතෙන්ට ගියා. ඔහු මා දුටු විගස පුදුම උපේක්ෂා සහගත ආකාරයෙන් මා දිහා හිස පහත් කරගෙන ගෞරව දැක්වුවා. කලබලේ මොකක්ද කියලා මම ඇහුවා. නැහැ මට අන්තිම දවසෙවත් ඔබ වහන්සෙගෙ බණ ටිකක් අහන්ට ඉඩ දෙන්නේ නැද්ද කියලා ඔහු ඇඬුවා. මම ඔහුට බණ කිව්වා.* ධම්මානන්ද නායක හිමියන්ගේ නෙත් කඳුළෙන් බරව ඇති අයුරු අපි බලා සිටියෙමු. 

“බන්ධනාගාරය ඇතුළෙ දහම් පාසලක් පටන්ගත්තෙ මමයි. හිරකාරයන්ට දහම් දැනුම භාවනාව අවශ්‍යයි.  ඇතැම් භික්ෂූන්ගේ නොපනත්කම් බහුලවීමක් වෙනවා යැයි චෝදනා ඇසෙනවා. ඒවා වැළැක්වීමට ර‍ජයෙන් අණපනත් ප්‍රකාශයට පත් කරන බවට වාර්තා වුණා. මෙය අහන දකින කාගෙත් ප්‍රසාදයට පත්වන්නක් සේ පෙනෙන්න පුළුවන්. නමුත් භික්ෂූන්ට නීතිරීති පැනවීමට ගිහි පාලකයන්ට පුළුවන්කමක් නැහැ. එය වළක්වාගැනීම  සඳහා සංඝ මූලස්ථානවලින් ඒ ඒ  භික්ෂූ ප්‍රදේශවල භික්ෂූන් යහමගට යොමු කරවාගැනීම සඳහා නායක පදවි, ප්‍රධාන පදවි, අධිකරණ නායක පදවි ආදී වශයෙන් තනතුරු පත්කර තිබෙනවා. උන්වහන්සේ නව සංඝ කතිකාවත් පිළිබඳ පැවැති මතවාදී හමුවේ අප කළ විමසුමට එසේ පිළිතුරු දුන්හ.

යම් භික්ෂූන් වහන්සේ නමක සදොස් ක්‍රියාවක යෙදෙනවා නම්? වරක් අපි එසේ විමසුවෙමු.
   “අප්‍රතිපත්ති දුස්ප්‍රතිපත්තියෙහි යුක්තව යම් ශ්‍රමණ කෙනෙක් වෙත්නම් එවැන්නන් දුස්ප්‍රාප්තියෙන් අත්හරවා යුතු වූ පිළිවෙතෙහි හසුරුවමින් ඒ පළාත්වාසී නායක ස්ථවිරාදී අපේ සෑම සංඝයාටම මෛත්‍රියෙන් යුක්තව පවත්වන්නට ඕනෑවත් ඇර, එම පළාත්වාසී අපේ  සෑම සංඝයාටම නොවෙනස්ව මෛත්‍රියෙන් යුක්තව  පවත්වන්නට ඕනෑවත් ඇර, එම පළාත්වාසී අපේ විහාර පාර්ශ්වයට ඇතුළත් සංඝයා අතුරෙන් කොයියම්ම කෙනෙකුන් නමුත් අපේ ආගම චාරිත්‍රවලට විරුද්ධව කරන කියන සේ අසන්නට යෙදෙන, වංචා වූ, නපුරු වූ සමාගම් වීම් ආදිය සම්පූර්ණයෙන් සොයා බලා එවැන්නක් දැනගත් විට කඩිනමින් අපට නිසියාකාර දන්වා දෙන්ටත් ඕනෑය^ යැයි අපේ විහාරයේ බලකඩදාසියක් අප පත් කරන  අධිකරණ නායක හිමිවරුන්ට ලබා දෙනවා. ඒ නිසා ඒ ඒ නායක හිමිවරුන්ට ඒ බලතල තියෙනවා. රජය යමක් කරනවා නම් හැම භික්ෂුන් වහන්සේ නමක් එක්කම මේ දේ ගැන හිතලා කටයුතු කරනවා මිස අනවශ්‍ය තීරණ අරගෙන චෝදනාවලට ගොදුරු වෙන එක හොඳ දෙයක් නෙවෙයි.

උන්වහන්සේ නිරහංකාරය. මම මේ අවුරුද්දෙ අන්තිමේට ඉස්සර අපවත් වෙනවා. උන්වහන්සේ සිහිපත් කරයි. එසේම උන්වහන්සේ වසර අවසානයටත් තම 103 වැනි උපන්දිනයත් අතර කෙටි කාලයක් ඉතිරි කර ඔක්තෝබර් 02 වැනිදා සිහි නුවණින් අපවත් වී වදාළහ.

ඒ වනවිට උන්වහන්සේ දිගන අලුත්වත්තේ ශ්‍රී ප්‍රියදර්ශනාරාමාධිපති තනතුරත්, මහනුවර ගඟවට කෝරලේ දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, කඳුරට තෛන්‍රිකායික භික්ෂු සංගමයේ සභාපති ධුරය දරා තිබිණි. ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතිය, එම කාන්තා සමිතිය, සංඝරාජ දහම් පාසලේ ශිෂ්‍ය සමිතිය, මහනුවර විශ්‍රාමික භවතුන්ගේ සමිතිය, මධ්‍යම වෙළෙඳ පොළ සුබසෙත සමිතිය, බෝධිරාජවර්ධන සමිතිය, බෝගම්බර බන්ධනාගාරයේ ආගමික උපදේශක සහ නිලධාරීන්ගේ සමිතිය, මහනුවර සදාචාර කුලඟන සමිතිය, මහනුවර අවිහිංසා සමිතිය, මහනුවර ධර්මෝදය  සමිතිය, මහනුවර එක්සත් බෞද්ධ කාන්තා සමිතිය, දෙයියන්නෙවෙල තිවංක සමිතිය, සී.ස. වෛශාඛ්‍යදාන සංග්‍රහ සමිතිය, සෙංකඩගල  එක්සත් බෞද්ධ සමිතිය ඇතුළු සංවිධානවල ගරු අනුශාසක ධුරයද දරන ලද අතර, ශ්‍රී සංඝරාජ දහම් පාසලේ ප්‍රධානචාර්යධුරයද දැරූහ.

සටහන සහ සේයාරූ - ලාල් ජයසුන්දර



Recommended Articles