කරදිය තෙත්බ්ම් විනාශ වුණොත් දූපතක් ලෙස අපිත් විනාශයි


පාරිසරික විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි නූතනයේ වඩාත් අවධානයට ලක්ව ඇති පරිසර පද්ධතිය වන්නේ තෙත්බිම්ය. එයිනුදු කරදිය ආශ්‍රිත තෙත්බිම් සඳහා මූලික ස්ථානයක් හිමි වන බවට ඔවුහු සඳහන් කරති. එබැවින් එළඹෙන 26 වැනිදාට යෙදෙන ලෝක කඩොලාන දිනයට සමගාමීව කරදිය තෙත්බිම් ආරක්ෂා කිරීමෙහිලා ඔබේ යුතුකම හා වගකීම මතක්කර දීමට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ජලජීවී වගා  අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,  සාගර විද්‍යා පර්යේෂිකා ආචාර්ය  සෙව්වන්දි ජයකොඩි මහත්මිය අද  සොබා බදාදාට එක් විය.


කරදිය ආශ්‍රිත තෙත්බිම් හා ඒවායේ ඇති වැදගත්කම් මොනවාද?

කරදිය ආශ්‍රිත තෙත්බිම් වර්ග දෙකක් තිබෙනවා.

01. ගංගා ජලය මුහුදට ගලා යන තැනදී ඇතිවන මෝයකට හරහා ඇතිවන තෙත්බිම් පද්ධතිය. එනම්, කලපු පද්ධතිය.

කඳුකරයෙන් ආරම්භ වන ගංගාවක් පහළට ගලා එද්දී ගංගා ද්‍රෝණියේ සියලු රොන්මඩ ඒ සමග පැමිණෙනවා. ඒ නිසයි ගඟක් මුහුදට ළංවෙද්දී බොහොම කිරි පාටට තිබෙන්නේ. ගඟත් සමග පැමිණෙන රොන් මඩ මුහුදට ගැලුවොත් දූපතක පාංශු බොහොම අඩු කාලයකින් මුහුදේ තැන්පත් වෙනවා. එය සිදුනොවෙන්නේ කලපු ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතිය නිසා. කඩොල් ශාකවල විශාල මූල පද්ධතිය හරහා රොන්මඩ ගලා එද්දී ගඟේ ගමන බාල වෙනවා. මුල් අස්සෙන් ගලන රොන්මඩ කඩොලාන පරිසර පද්ධතියේ තැන්පත් වීමෙන් පාංශු මුහුදට ගලා යාම නවතිනවා.
අනෙක් අතට මුහුදෙන් රට අභ්‍යන්තරයට උදම් රළක් හෝ සුනාමි තත්ත්වයක් ඇති වුණොත් මුලින්ම එය වදින්නේ කඩොලාන පද්ධතියේ. මූල පද්ධතිය හරහා පැමිණෙද්දී රළෙහි වේගය බලා වෙනවා. උදම්, සුනාමි තත්ත්වයන්ගෙන් රටක් බේරාගන්න ඇති පළමුවැනි පවුර තමයි කඩොලාන පද්ධතිය.

02. සාගරය ගොඩබිම හා සම්බන්ධ වෙන වපසරිය තුළ ඇතිවන මුහුදු ජලයෙන් පමණක් සමන්විත තෙත්බිම් පද්ධතිය.
මෙහිදී වැදගත් පරිසර පද්ධති කිහිපයක් හඳුනාගත හැකියි.

වැලි සහිත මුහුද

වැලි සහිත මුහුදත් පරිසර පද්ධතියේම කොටසක්. එයට හේතුව බාදිය තත්ත්වයේදී අපිට එම පරිසර පද්ධතිය දිස්වන්නේ නිකම්ම වැලි ගොඩක් විදියට. නමුත් වඩදිය තත්ත්වයේදී වැලි අස්සේ හැංඟී සිටින නොයෙක් ආකාරයේ සතුන් එළියට එනවා. බාදියේදී වැලි යට ජීවත් වෙන්නත් වඩදියේදී එළියට පැමිණ සතුන් අල්ලා ආහාරයට ගෙන ජීවත් වෙන්නත් හැදුණු සුවිශේෂී පරිසර පද්ධතියක් තමයි මෙය.
බෙල්ලෝ, මුහුදු ඉකිරි පවුලේ සාමාජිකයෝ, බෝල ගෙඩි වගේ අලංකාර කටු සහිත සත්තු මැරිලා එයාලගෙ කටුව විතරක් පාවෙද්දී තමයි අපිට මුහුදු වෙරළේදී දක්නට ලැබෙන්නේ. මොකද එයාලා ජීවත් වෙන්නෙ වැලි යට හැංඟිලා.

මඩ සහිත මුහුදු පරිසර පද්ධති

සමහර තැන්වල රැලි එක්ක ගහගෙන විත් පතුලේ රොන්මඩ තැන්පත් වෙලා මඩ සහිත කරදිය මුහුදු පරිසර පද්ධති සෑදෙනවා. මේවා හරිම වැදගත්. මේවා සුපෝෂකයක්. ආහාරයක්. මුහුදු කූඩැල්ලන්, ලිටිල් ස්ටාර්ස්, ජෙලි ෆිෂ් වගේම නෙරෙයිඩාවන් ඇතුළු අපෘෂ්ඨවංශික සත්තු මේ පරිසර පද්ධතියේ සිටිනවා.

මුහුදු තෘණ පරිසර පද්ධති

කල්පිටියේ සිට තලෙයිමන්නාරම ඉහළට වනතෙක්ම ඉතා හොඳ මුහුදු තෘණවලින් සමන්විත කරදිය පරිසර පද්ධතියක් තිබෙන්නේ. මුහුදු තෘණ වර්ග විශේෂ කිහිපයක්ම ලංකාවේ තිබෙනවා. මේ වන විට ලංකාවේ දක්නට ලැබෙන ඉතාම විරල මුහුදු ඌරාගේ නිවහනත් මේ පරිසර පද්ධතියයි.

වසර ගණනකට පෙර මීගමුවේ සිට යාපනය දක්වාම මුහුදු තිරයේ මුහුදු ඌරන් දක්නට ලැබීම සුලභයි. නමුත් අද ඒ පරිසර පද්ධතිය තිබුණත් එහි වෙසෙන ප්‍රධානතම සතෙකු දක්නට නෑ. මුහුදු ඌරා ක්ෂරපායී සතෙක්. අලස ආකාරයට නොගැඹුරු මුහුදේ සිටින මොහු මස් සඳහා වෙරළ ආශ්‍රිත සිටින අය ලෙහෙසියෙන්ම අල්ලා ගන්නවා. නොගැඹුරු නිසා මුහුදු තෘණ පද්ධතිවල වැඩි වශයෙන් මාළු සිටිනවා. ජා කොටු භාවිතයෙන් මාළු ඇල්ලීමේදී මුහුදු ඌරා ඒවායේ පැටලෙනවා. ක්ෂීරපායී නිසා පැටලුනාම හුස්ම ගන්න උඩට එන්න නොහැකි වුණොත් දියේ ගිලිලා මැරෙනවා.

කොරල්පර

කොරල්පර කියන ජීවියාව වැඩියෙන් අපි දකින්නේ කැල්සියම් කාබනේට්වලින් සෑදුණ කොරල්පරය. මේ කොරල්පරයත් එක ජීවියෙක්. බුහුබාවා කියන කුඩා සත්ත්වයා තමයි කොරල්පර හදන්නේ. බුහුබාවුන් විශාල ප්‍රමාණයක් එකට එකතුව සාමූහිකව ජීවත්වන ස්ථානයක් තමයි කොරල්පර.

ජීවී කොරල්පරයක අග කෙළවර දම් පාට, කොළ පාට වැනි වර්ණවලින් විචිත්‍රයි. ඒ කෙළවර තමයි ජීවත්වන බුහුබාවන් සිටින්නේ. එතන සිටින අතරම හිමිහිට කැල්සියම් තැන්පත් කරමින් කොරල්පරය වැඩෙනවා. කොරල්පරයක් අඩි කිහිපයක් විශාල වීමට ඇතැම් විට වර්ෂ දහස් ගණනක් ගතවිය හැකියි.

බුහුබාවෝ තමන්ගේ ශරීර ඇතුළේ ඉතාමත් සහයෝගයෙන් ප්‍රභාසංස්ලේෂණය කරන ක්ෂුද්‍ර ශාකයන්ට ඉන්න ඉඩ හරිනවා. ඒ ශාකයන්හි නොයෙක් වර්ණ නිසා බුහුබාවකුගේ පාට ඒ මත තීරණය වෙනවා. බුහුබාවන් ඇති කරන කැල්සියම් ස්ට්‍රක්චර් එක නිසා ඒ ඇතුළේ මාළු, කැස්බෑවෝ හා අනෙකුත් ශාකවලට ජීවත් විය හැකියි. එක් ජීවියෙක් තවත් ජීවීන්ට ජීවත් විය හැකි පරිසර පද්ධතියක් නිර්මාණය කරනවා.

ලවණ හැල්

මුඩුබිම් කියා දෙයක් ලංකාවේ නෑ. සැමදෙයක්ම යම් ක්‍රියාකාරකමක් සහිත බිමක්. එවැනි තවත් පරිසර පද්ධතියක් තමයි ලවණ හැල්. මෙය ජෙලි වැනි ආකාරයේ ගස්, පුංචි තණකොළ, මඩ පිරුණු ඇසට නොපෙනෙන ශාක ප්‍රජාවක් ඇති පරිසර පද්ධතියක්. පායන කාලයට ලුණු සෑදී ලුණු බැදී සුද්ද කළ තණ පිට්ටනියක් වගෙයි පෙනෙන්නේ.
ලවණ හැල් තුළත් සුපෝෂක තැන්පත් වෙනවා. විශේෂයෙන්ම මෙහි වෙසෙන බෙල්ලෝ, කාවාටි වැනි කුඩා සතුන් කරදිය ආශ්‍රිත කුරුල්ලන්ගේ ප්‍රධාන ආහාරයක් වෙනවා.
ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව 

ශ්‍රී ලංකාවේ කරදිය තෙත්බිම්වල විශේෂත්වයක් තිබෙනවාද?

දූපතක් ලෙස අපි ඉතාමත් ආඩම්බර විය යුතුයි. මොකද ලෝකයේ ඇති වැදගත්ම පරිසර පද්ධතීන් ලංකාව තුළ නියෝජනය වෙනවා. කොරල්පර, මුහුදු තෘණ, මඩ සහිත හා වැලි සහිත පරිසර පද්ධති යන සියල්ලම ඊට අන්තර්ගත වෙනවා.

ලෝකයේම ඇති කඩොලාන විශේෂයන්ගෙන් හරියටම 1/3ක් ලංකාවේ තිබෙනවා. ඉන් විශේෂ 22ක් සත්‍ය කඩොලාන ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ ශාක කඩොලාන පරිසර පද්ධතියක හැර වෙන කොතැනකවත් හැදෙන්න බෑ. නමුත් අවාසනාවකට මේ මොහොත වෙද්දී ලංකාවේ ඉතිරිව තිබෙන්නේ කඩොලාන පද්ධති හෙක්ටයාර 12000ත් 15000ත් අතර ප්‍රමාණයක් පමණයි.

සාගර  පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම තෙත්බිම් දැඩි පාරිසරික අර්බුදයකට ලක්ව ඇති බවයි. මීට හේතු මොනවාද?

ඇතැම් මාළු, ඉස්සෝ, කකුළුවෝ වැනි සතුන් බිත්තර දාන්නෙත්, පැටවුන් හැදී වැඩෙන්නෙත් කඩොලාන පරිසරයේ. ඒ මුල් අස්සෙ හැංඟිලා අනෙකුත් සතුන්ගෙන් ආරක්ෂා වෙන්න ඔවුන්ට පුළුවන්. ඒ නිසා ඉස්සෝ, කකුළුවෝ, ලුණු වැනි ආර්ථික ක්‍රියාවලට මිනිසුන් කඩොලාන පරිසර පද්ධති කපා දමනවා.

අනෙක් පැත්තෙන් රට අභ්‍යන්තරයේ භාවිතකරන කෘෂි රසායනික ද්‍රව්‍ය, පොහොර වර්ග ඇතුළු ගංගාවලට බැහැර කරන සියලුම අපද්‍රව්‍ය මිරිදිය හරහා කරදිය පරිසර පද්ධතියට එකතු වෙනවා.
මේ වන විට ගොඩබිම හරහා මුහුදට අපද්‍රව්‍ය එකතු කරන ප්‍රධානතම රටක් බවට ලංකාව පත්ව තිබෙනවා. එතනදී ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය මූලික තැනක් ගන්නවා. ඒ අතරිනුත් මයික්‍රො ප්ලාස්ටික් නැත්නම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් තිබෙන්නේ අපි නොසිතන දේවල් තුළයි. දිළිසෙන දන්තාලේප වැනි දෑවල එවැනි තත්ත්වයක් ඇතිකර තිබෙන්නෙ ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින්. සාමාන්‍ය ප්ලාස්ටික් අයින් කළත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඉවත් කරන්න අපි කාටවත් බෑ. මොකද ඇහැට නොපෙනෙන නිසා. ක්ෂුද්‍ර ප්ලාස්ටික් ජලය හරහා මාළුන්ගේ ශරීරගත වෙලා අවසානයේ අපේ කෑම මේසයටම එනවා. අපි බොන වතුරවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අන්තර්ගත විය හැකියි. නිෂ්පාදනයක් මිලට ගැනීමේදී එහි ක්ෂුද්‍ර ප්ලාස්ටික් අන්තර්ගතදැයි බලා ඒවා ප්‍රතික්ෂේප කිරීම පරිසරයට සිදුකරන ලොකුම උදව්වක්.

මීට අමතරව තල්ලු දැල්, බොටොම් ට්‍රෝලිං වැනි තහනම් පන්න ක්‍රම නිසා කොරල්පර හා මුහුදු තෘණ පද්ධති විනාශ වීමට ලක්වෙනවා. මේ පරිසර පද්ධති උෂ්ණත්වයට හරිම සංවේදීයි. විශේෂයෙන් කොරල්පරවලට ගෝලීය උෂ්ණත්වය වෙනස්වීමත් සමග කිසිම ආකාරයකට ජීවත් වෙන්න බැහැ. මොකද ජීවි බුහුබාවන්ගේ ශරීර ඇතුළේ ජීවත්වන ක්ෂුද්‍ර ශාක සියුම් උෂ්ණත්ව වෙනස් වීමකදී පවා විනාශ වෙනවා. එවිට කොරල්පර සුදු පැහැතිව මැරිලා යනවා.

නිසි ක්‍රමවේදයක් නොමැතිව සිදුවන සංවර්ධනය නිසා කලපු, ලවණ හැල් හෙළි කිරීමත් විශාල තර්ජනයක් වී තිබෙනවා.

කරදිය තෙත්බිම්වලට හානි පැමිණීම තුළ කාලගුණික හා දේශගුණික විපර්යාසයක් සිදුවිය හැකියි නේද?

කඩොලාන සහ මුහුදු තෘණ කියන පරිසර පද්ධති දෙකම කාබන් තිරකරණ පරිසර පද්ධති දෙකක්. කාබන් තිරකරණ පරිසර පද්ධති විනාශ කිරීමෙන් අපි නොදැනුවත්වම කාබන් ආපසු වායුගෝලයට නිකුත් වීමක් සිදු කෙරෙනවා. එමගින් ගෝලීය උණුසුම ඉහළ යනවා. එය ඉතා බරපතළ තත්ත්වයක්.

මෙම තෙත්බිම් සම්පූර්ණයෙන්ම විනාශ වුවහොත් කුමක් සිදුවේවිද?

තෙත්බිම් සම්පූර්ණයෙන්ම විනාශ වුණොත් කතා දෙකක් නෑ මිනිසාට ජීවත් විය නොහැකියි. මොකද අපේ ශරීරයේ 98෴කට වැඩියෙන් තිබෙන්නේ ජලය. ජලය නොලැබෙන තැන අපිට ජිවත් වීමක් නෑ. සරලවම කිව්වොත් තෙත්බිම් නැති වූ තැන අපිත් නැති වෙනවා.

රටක් වශයෙන් අපට උරුම අපේ කරදිය තෙත්බිම් ආරක්ෂා කර ගැනීමට කළ හැකි දේ මොනවාද?

පළමුවෙන්ම අපි තේරුම්ගත යුතුයි මේ පරිසර පද්ධතිවලින් යැපෙන කොටසක් සිටිනවා. කරදිය පරිසර පද්ධති ආශ්‍රිතව මිනිසුන් පදිංචි වී සිටින්නේ නිකම්ම නොවෙයි. එහිදී ඔවුන්ගේ යැපීම සිදුවන නිසා අන්න ඒ අයට මේ පිළිබඳ මනා දැනුමක් ලබාදිය යුතුයි. උදාහරණයක් ලෙස කලපුවෙන් ඈත සිටින කෙනෙක් කලපුවට කොපමණ ආදරය කළත් ප්‍ර‘යෝජනයක් නැහැ, කලපුව ආසන්නයේ ඉන්න කෙනා කලපුවට ආදරේ නොකරනවා නම් හා ඒවා විනාශ කරනවා නම්.

නීති සම්පාදකයනුත්, නීති ක්‍රියාත්මක කරන අයත් යන සියලුමදෙනා දැනුවත් කිරීම තුළ සංරක්ෂණය කිරීමට කටයුතු යොදන එකයි වැදගත්. ජනතාව වෙනුවෙන් කළ යුතු සංවර්ධනය සිදුකළ යුතුයි. නමුත් එය සිදුකළ යුත්තේ කොපමණ ප්‍රමාණයක් සංවර්ධනය කරනවාද? කොපමණ ප්‍රමාණයක් සංරක්ෂණය කරනවාද? යන්න නිවැරදිව තීරණය කිරීමෙන් අනතුරුවයි.
අපි හිතමු සංවර්ධනය වෙනුවෙන් කඩොලාන ඉවත් කළා කියලා. එතනදි අපිට කිසිම ආකාරයකින් බෑ කඩොලාන පද්ධතියකින් වන සේවය යන්ත්‍රයක් හරහා සිදුකර ගන්න. එහෙම නම් අපිට අනිවාර්යයෙන්ම කඩොලාන පද්ධතිය අත්‍යවශ්‍යයි.

අනෙක් කරුණ අපි තේරුම්ගත යුතුයි ඇතැම් තර්ජනයන් පරිසරයට සිදුවන්නේ බාහිරින්. උදාහරණයක් ලෙස ගෝලීය උණුසුම වැඩිවීම පිළිබඳ ලංකාව ඇතුළෙදී පමණක් ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් මදි. එතනදී අපි ලෝකය සමග සම්බන්ධ විය යුතුයි. ඒ වගේම නිශ්චිතව අගයන් තහවුරු කිරීම තුළින් කොතරම් භාවිත කරනවාද? කොතරම් සංරක්ෂණය කරනවාද? යන්න පිළිබඳ නිවැරදි තීරණ ගත හැකියි. මෙතනදී නිවැරදි දත්ත වඩා වැදගත් වෙනවා.

නිදර්ශනී වික්‍රමසිංහ

 



Recommended Articles