කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 125 වැනි ජන්ම සංවත්සරය පසුගිය 13 වැනි දිනට යෙදිණි. එතුමන්ගේ කාර්‍ය සාධනය අගයමින් රට පුරා විවිධ ස්ථානවල සැමරුම් උත්සව පවත්වන ආකාරය දක්නට ලැබිණි. මෙවර සාර සදිසි තීරූ ලිපිය ලියැවෙන්නේද ඒ නිමිත්තෙනි.
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය පසුගිය වසරේ රටේ තැනින් තැන අලවා තිබූ පෝස්ටරයක මෙසේ සඳහන් වී තිබිණි. &අධ්‍යාපන වියදම් දරන්න බෑ. ජනතාවගේ බදු මුදල් අධ්‍යාපනය සඳහා වෙන් කරනු!.
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයක් තිබීම පිළිබඳ අපි සතුටු වෙමු. මේ වනාහි අප රටට එවැනි මහජන ව්‍යාපාරයක් අවශ්‍යම යුගයකි. එහෙත් මෙකී පෝස්ටරය අලවන වාමාංශික සිසු ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනයට අද එල්ල වී ඇති තර්ජන එන්නේ කොහෙන්දැයි වටහාගෙන නොමැති බව ඔවුන්ගේ පෝස්ටරයේ සටන් පාඨය විමසා බලන විට පෙනේ.
රටේ අධ්‍යාපන වියදම් ඇතුළු ජීවන වියදම් ඉහළ ගොස් ඇති බව සත්‍යයකි. ජීවන වියදම් පහළ ගිය යුගයක් මේ රටේ අප දන්නා ඉතිහාසයේ නැත. එහෙත් අධ්‍යාපන වියදම් සම්බන්ධයෙන් මේ රටේ සිසු ජන ව්‍යාපාරය මවන්නේ සාවද්‍ය චිත්‍රයකි. මේ රටේ ජනතාවගේ අධ්‍යාපන වියදම දරන්නේ රජයයි. එය ඉතා විශාල මට්ටමේ රාජ්‍ය වියදමකි. එදා මෙදාතුර බලයට පත් වූ සෑම රජයක්ම අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය වියදම වැඩි කළා මිස අඩු කර නැත.
රාජ්‍ය සුබසාධනයක් ලෙස ඇති නැති සියලුදෙනාටම නොමිලයේ අධ්‍යාපනය ලබාදීම කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්තියේ මූලික අංගයයි. මේ සුබසාධන වැඩසටහන රටක් හැටියට අප අත්පත් කරගෙන තිබෙන වැදගත් ජයග්‍රහණයකි. පහළ බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වාම ඇත්තේ නොමිලයේ ලබාදෙන අධ්‍යාපනයකි.
කොමියුනිස්ට් පක්ෂයක් මගින් පාලනය වන චීනයට හෝ පසුගිය සියවසේදී බිඳ වැටුණු කිසිම සමාජවාදී රටකට මෙවැනි සමාජ සුබසාධන ව්‍යාපාරයක් ගොඩනගා ගත හැකිවූයේ නැත. අපේ නිදහස් අධ්‍යාපනය සරල සමාජ සුබසාධනයක් නොවේ. අධ්‍යාපනය මුළුමනින්ම නිදහස් වන අතර අධ්‍යාපන පහසුකම්ද නොමිලයේම සැපයේ.
ජනපති ජේ.ආර්. ජයවර්ධන යුගයේ ඇරඹි නොමිලයේ පොත් ලබාදීම ඉන් ප්‍රධානතම පහසුකමකි. ඊට අමතරව නොමිලයේ නිල ඇඳුම් ලබාදීම, තෝරාගත් පාසල්වල ළමුන් සඳහා දිවා ආහාරය ලබාදීම, අඩු ආදායම් පවුල්වල තෝරාගත් දක්ෂ දරුවන් සඳහා පස්වැන්නේ සිට ශිෂ්‍යාධාර ලබාදීම, ප්‍රවාහන වියදම් සඳහා අඩු මිලට වාර ප්‍රවේශ පත්‍ර ලබාදීම, මෑතකදී ඇරඹුණු %සුරක්ෂා^ සිසු රක්ෂණ ක්‍රමය ආදිය සඳහා දැවැන්ත රාජ්‍ය වියදමක් දැරේ.
ගුරු වැටුප් සැලකිය යුතු මට්ටමෙන් වැඩි කර ඇති අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලයද ප්‍රසාරණය වී තිබේ. මෑතකදී %ළඟම පාසල හොඳම පාසල^ වැඩසටහන මගින් රුපියල් කෝටි හයසීයක් වෙන්කෙරුණේ පාසල් පද්ධතියේ භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමටය. විශ්වවිද්‍යාල සංඛ්‍යාවද, ඒවාට එක්වන පීඨ සංඛ්‍යාවද, ඒවාට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාවද වැඩිවෙමින් තිබේ. අඩු ආදායම් ලබන පවුල්වල සිසුන් සඳහා ගෙවන %මහපොළ^ ශිෂ්‍යාධාර දීමනාව මෑතකදී දෙගුණ කෙරුණි. විශාල වශයෙන් ශිෂ්‍ය නේවාසිකාගාර පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පද්ධතිය ආශ්‍රිතව ගොඩනැගිණි.
මෙයින් නොනැවතී රාජ්‍ය මට්ටමෙන් කෙරෙන රටේ වෘත්තීය නිපුණතා අධ්‍යාපනයද නිදහස් අධ්‍යාපනයේම කොටසක් වශයෙන් මූලික වශයෙන් නොමිලයේ දෙන අධ්‍යාපනයක් බවට පත්කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙන බව නිපුණතා අධ්‍යාපනය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙහිලා සටහන් කරන්නේ නිහතමානී සතුටකින් යුතුවය.
මහජනයාගේ අධ්‍යාපන වියදම්වල බර රාජ්‍ය සුබසාධනය මගින් දරන්නේ මෙපරිද්දෙනි. කිසිම රජයක් මේ තත්ත්වය වැඩිදියුණු කරනවා විනා කප්පාදු කරනු ඇතැයි කියා සාධාරණව කල්පනා කළ නොහැකිය.
එහෙත් ආණ්ඩු මගින් නිදහස් අධ්‍යාපනය විනාශ නොකළත් කන්නන්ගර ශ්‍රීමතානන් දිවි හිමියෙන් සටන් කරමින් ජනතාවට ලබාදුන් නිදහස් අධ්‍යාපන ක්‍රමය ජනතාව විසින්ම පාවාදෙමින් විනාශ කරමින් සිටින බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුව තිබේ. එය සිදුකෙරෙනුයේ මහජනයා විසින් ස්වේච්ඡාවෙන්ම නඩත්තු කරමින් තිබෙන ටියුෂන් කර්මාන්තය මගිනි.
මුලදී වැඩි සද්දයක්, බද්දයක් නැතිව උසස් පෙළට පමණක් සීමාව තිබූ සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති නාට්‍යයෙන් පමණක් විවේචනයට ලක්වූ ටියුෂන් ව්‍යාපාරය අද වනවිට නිදහස් අධ්‍යාපනය නමැති දේහයට වැලඳුන, එය ඇතුළතින් කා දමන, පිළිකාවක්, බගන්දරාවක්, බවට පත්වී තිබේ.
දැරීමට බැරි අධ්‍යාපන වියදම් මතුවී තිබෙනුයේ ටියුෂන් වියදම් වශයෙන් විනා වෙනත් වියදමක් ලෙස නොවේ. උසස් පෙළ හදාරන සිසුවෙකුගේ අවම ටියුෂන් වියදම මසකට රුපියල් 8000ක් පමණ වී තිබේ. ටියුෂන් ගැනීම උසස් පෙළට, සාමාන්‍ය පෙළට, පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයට පමණක් නොව බලාංශ පන්තියේ සිට ඉගැන්වෙන සෑම විෂයක් කරා ව්‍යාප්ත වෙමින් තිබේ.
මෙසේ කෙරෙන්නේ පාසල් අධ්‍යාපනයේ පවතින අඩුවක් නිසාය යන තර්කය පිළිගත හැකි නොවේ. අද ටියුෂන් ගුරුවරයා යනු පාසල් ගුරුවරයාම බවට පත්වෙමින් තිබේ. උදෑසන පාසලේ කිසියම් විෂයක් උගන්වන ගුරුවරයා, හවස එම විෂය බොහෝ විට උදෑසන ඉගැන් වූ සිසුන්ටම මුදලට උගන්වන වෙළෙන්දෙක් වෙමින් සිටී. ඇත්ත වශයෙන්ම සිදුවෙමින් තිබෙනුයේ අපගේ නිදහස් අධ්‍යාපන පද්ධතිය මවුපියන්, ගුරුවරුන් වන අප විසින්ම පුද්ගලීකරණය කරමින් තිබීමයි.
අද පාසල්වල උසස් පෙළ පන්ති පාළුවට ගොසිනි. උසස් පෙළ පන්ති ඇත්තේ නමට පමණි. සාමාන්‍ය පෙළ විභාග කාලයට සාමාන්‍ය පෙළ පන්ති පාළුවට යමින් තිබේ. තමුන්ගේ ටියුෂන් පන්තියට නොඑන ළමුන්ට තර්ජනය කරන්නට, අසමාන ලෙස සලකන්නට තරම් ගුරු ප්‍රජාව රෞද්‍ර වෙමින් සිටී. එහෙත් නිදහස් අධ්‍යාපනය ඛාදනය කරන මේ ගුරු, සිසු, මාපිය චර්යාව පිළිබඳ කිසිවක් නොකියා, නිදහස් අධ්‍යාපනය වනසන ව්‍යාජ සතුරෙකු සොයන්නට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාර කැමතිය.
ඔවුන්ට අනුව මේ රටේ නිදහස් අධ්‍යාපනය වනසන්නේ පවතින ආණ්ඩුය, ලෝක බැංකුවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය. ඇත්ත වශයෙන්ම මේ කියන ආයතන කිසිවක් නිදහස් අධ්‍යාපනය වනසන්නේ නැත. පොදු ජනයාගේ නිදහස් අධ්‍යාපනය අද වනසන්නේ ඔවුන්මය. කන්නන්ගර මහතාව පාවා දෙමින් සිටිනුයේ ඒ මහතාගේ අධ්‍යාපන පද්ධතියෙන් බිහිවූ පොදු ජන දූපුතුන්මය.
අධ්‍යාපනයෙන් බොහෝ අරමුණු ඉටු කරගත හැකි අතර, සමාජ විමුක්තිය උදෙසාද අධ්‍යාපනය අත්‍යාවශ්‍ය වේ. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්ති හේතුවෙන් අප රටේ විශාල සමාජ විමුක්ති කාර්යභාරයක් නිහඬවම සිදුවිය. නිදහස ලබන කාලයේ සිට මෙරට පැවැති සමාජ විෂමතා ව්‍යුහයන් රැසක් අහෝසි වී ගියේ පොදු ජනයාට තමන්ගේ අයිතියක් ලෙස අධ්‍යාපනය හිමිවූ බැවිනි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා විසින් රචනා කරන ලද %සෙංකොට්ටං^ නව කතාව මගින් පෙන්වා දෙන්නේ පොදු ජනයා තම පීඩනයෙන් ගැළවීම උදෙසා එම වරප්‍රසාදය අත්පත් කරගත් කටුක ඉතිහාසයේ ප්‍රාරම්භයයි.
මෙබඳු සමාජ පරිවර්තනයක් කළ කන්නන්ගර විප්ලවය ආපසු හැරෙනුයේ අධ්‍යාපනය මුදලට විකිණෙන භාණ්ඩයක් බවට පත්වූ විටය. අද කන්නන්ගර දරුවෝම එම ප්‍රතිවිප්ලවයේ කාරකයෝ වී සිටිති. නිදහස් අධ්‍යාපනය සඳහා සැබෑ සිසු ජන ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ පොදු ජනයා වන අපම සිදුකරමින් සිටිනා අධ්‍යාපන විනාශයේ දුෂ්ට චර්යාවෙන් අප මුදා ගැනීමටය.