කඩාවැටුණු රට ගොඩගන්න පුළුවන් වෙන්නේ ජාතික ජනබලවේගයට පමණයි


ජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ සෑම අපේක්‍ෂකයෙකුම ඉදිරිපත් වූයේ ලියාපදිංචි පක්‍ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමක් වශයෙනි. එහෙත් මෙවර ජාතික ජන බලවේගය නම් සංවිධානයකින්ද ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරණයට අදාළව ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම එළිදක්වනු ලැබුවේද ජාතික ජනබලවේගය වන අතර, ඒ පිළිබඳව හා ඔවුන්ගේ වැඩපිළිවෙළ පිළිබඳව අද ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සමග කතාබහක නිරත විය.


වෙනත් පක්‍ෂයක උවමනාවකට කටයුතු කරන බවට නැගෙන චෝදනා

ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. මොකද ඕක අපිට අදාළ නැහැ. අපිට එක්සත් ජාතික පක්‍ෂයට යන්න ඕන උනා නම් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්න උවමනා උනා නම් යන්න තිබුණා. අපි කාටවත් ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඵලප්‍ර‘යෝජන ගත්ත අය. අපේ බලවේග තුළ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අචාර්යවරුන් හා වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණයන්, කලාකරුවෝ, ව්‍යාපාරිකයෝ ඉන්නවා. රටේ අවශ්‍යතාවය කාලයක් තිස්සේ හඳුනාගෙනයි අපේ බලවේගය නිර්මාණය කළේ.

අනුර කුමාර දිසානායකම තෝරා ගැනීම

අපි මුලින්ම කළේ රටට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම. ඉන්පසුව අපේ සංවිධාන අපේක්‍ෂකයෙකු තෝරාගැනීම පිළිබඳව සාකච්ඡා කළා. එම සාකච්ඡාවලට අනුව තමයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අපේක්‍ෂකයා වෙන්නෙ.

රටට ලබාදෙන පොරොන්දු කඩ වුණොත්

මීට පෙර දේශපාලන පක්‍ෂ අපේක්‍ෂකයන් ජනතාවට ලබාදුන් පොරොන්දු කඩ වුණා. ඔය හැම කෙනාටම වඩා සංවිධාන තිහකට වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් ජාතික ජනබලවේගය වෙනස්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා රටේ ජනතාව දන්නවා. ඒ වගේම වමේ දේශපාලන කටයුතුවල නිරත වූ බොහෝදෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඒක නිසා අපි ලබාදෙන පොරොන්දු ඒ ආකාරයටම ඉටුකරනවා. අපි ජනතාවට ලබාදෙන්නෙ ඉෂ්ට කරන්න පුළුවන් පොරොන්දු විතරයි. ඒක නිසා ඉතිහාසයේ සිදුවූ දේවල් වෙන්නේ නැහැ.

ජනාධිපතිවරණයෙන් පසු ජාතික ජනබලවේගයට වෙන දේ

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සතුටුදායක වුණොත් ඊළඟට අපිට මුහුණ දෙන්න වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට. ඒක නිසා අපි පාර්ලිමේන්තු මැතිවරණයේදිත් ජාතික ජනබලවේගය යටතේ ඉදිරිපත් වෙනවා. මොන ප්‍රතිඵලය ලැබුණත් ඉදිරියේදී කටයුතු කරන්නේ මේ විදිහට. අපේ ව්‍යාපාරයේ අරමුණ තමයි රට ගොඩනගලා, ජනතාවට සතුටින් ජීවත් විය හැකි සමාජයක් බිහිකිරීම. ඒ අරමුණ ජනතාව වෙනුවෙන් ඉටුකරන තෙක් ජාතික ජනබලවේගය ඉදිරියට ගමන් කරනවා.

ප්‍රධාන පක්‍ෂ දෙකේ අභියෝගය

මේ පිළිබඳව අපේ ව්‍යාපාරය ආරම්භ කරනකොටම සාකච්ඡා කළා. අපිට ප්‍රධාන යැයි කියන පක්‍ෂ දෙක අභියෝගයක් නොවෙයි. මොකද අපේ ව්‍යාපාරය වටා විශාල පිරිසක් එක්වෙලා තියෙනවා. ඒක නිසා අපිට පෙනී යනවා රට තුළ කිසියම් වෙනස්වීමක් තියෙනවා කියලා. ඒක නිසා ප්‍රධාන පක්‍ෂ වටා සිටින ජනතාව අප වටා එකතුවෙමින් තියෙන්නේ. 

ප්‍රධාන පක්‍ෂ දෙක පසුගිය කාලයේ වගකීම් ඉටුකිරීම

පසුගිය ආණ්ඩු හරියට වැඩ කළා නම් රට මේ තත්ත්වයේ තියෙන්න බැහැ. අද වන විට අපි රුපියල් බිලියන එකොළොස් දහසක පමණ ණය කන්දක හිරවෙලා ඉන්නේ. සෞඛ්‍යය, අධ්‍යාපනය කඩාවැටිලා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, අපනයන භෝග ඇතුළු සියලු ක්ෂේත්‍ර කඩාවැටිලා. ප්‍රවාහනය බරපතළ ලෙස කඩාවැටිලා තියෙන්නේ. මෙරට තට්ටු මාරු ක්‍රමයට පාලනය කළ අය රටට යුතුකම් ඉටුකළා නම් මේ වගේ දේවල් ඇතිවෙන්න බැහැ. එහෙම තියෙද්දි ඒ අය නැවත බලය ඉල්ලනවා වැඩ කරන්න කියලා. දැන් මේවා ජනතාව පිළිගන්නේ නැහැ.

රට දියුණු කිරීම

මේ රට දියුණු කිරීම සඳහා කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ඇතුළු සියලුම කර්මාන්ත සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. ඒ දේ මෙතෙක් වුෙණ් නැහැ. ඒත් අපි එක් එක් ක්ෂේත්‍ර දියුණු කිරීම පිළිබඳව ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ. ඒක නිසා අපිට මෙරට දියුණු කිරීමට අමාරු නැහැ. අපි ඉදිරිපත් කළේ ජනාධිපතිවරණයට, පාර්ලිමේන්තු මැතිවරණයට පමණක් සීමා වන වැඩපිළිවෙළක් නොවෙයි. අපි ඉදිරිපත් කළේ රට ගොඩනගන වැඩපිළිවෙළක්.

ප්‍රතිපත්ති ප්‍රකාශය වෙනත් පක්‍ෂයක කොපියක් ලෙසට නැගෙන චෝදනා

මේ වගේ චෝදනා කරන අය කියන්න ඕන අපි ඉදිරිපත් කරලා තියෙන්නේ කාගේ කොපියක්ද කියලා. අපිට කාගෙවත් කොපි අවශ්‍ය වෙන්නේ නැහැ. අපි රට ගැන හිතලා අවුරුදු එකහමාරකට අධික කාලයක් සාකච්ඡා කරලා තමයි අපේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා තියෙන්නේ.

‍දුප්පතුන්ගේ අනාගතය

වර්තමානය සැලකුවොත් දුප්පතුන් ලක්‍ෂ විස්සක් විතර ඉන්නවා කියලා කියනවා. ගෙවී ගිය 71 වසරක කාලය තුළ සිදුකළ කටයුතුවල ප්‍රතිඵල තමයි මේ. ආණ්ඩුව පත්වෙන්නට පෙර සමෘද්ධිලාභීන් ලක්‍ෂ දාහතරක් විතර හිටියා. ඒත් මේ වනවිට එම ප්‍රමාණය ලක්‍ෂ 20ක්. දුප්පත්කම විකුණගෙන කෑමට දේශපාලනඥයන් කටයුතු කිරීම නිසා තමයි මේ තත්ත්වයට රටට සිදුවුණේ. අපි දුප්පතුන් නගාසිටුවීමට වැඩ කරනවා. සියලුමදෙනාට සමාන අවස්ථාවන් දෙනවා. ජන ජීවිත යහපත් වන ආකාරයට රට තුළ වැඩකටයුතු කරනවා. ඒ දේ අපිට කරන්න පුළුවන්. මොකද අපි වටා ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. මේ නිසා ජනතාවගේ දුක අපි හොඳට හඳුනනවා. ඒ දුකින් ජනතාව මුදවාගන්න හැටිත් දන්නවා. ඒක නිසා දුප්පතුන් ඒ තත්ත්වයෙන් මුදවා ගන්න එක අපිට විශාල අභියෝගයක් වෙන්නේ නැහැ.

විධායක ජනාධිපති ක්‍රමය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියන තැන තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. ඒක නිසා අපේ අපේක්‍ෂකයා ජයගත් පසු ඊට අදාළ වැඩකටයුතු කරනවා. ජනාධිපතිවරණය ජයගත්තට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයත් අපිට හිමිවෙනවා. ඊට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු සිදුවෙනවා. ඒ පිළිබඳව ජනතාවට අපි සහතික වෙනවා.

අනාගත ජනාධිපතිට මාස හතරකට රුපියල් කෝටි දෙසිය හතළිහක් වෙන් කිරීම

අනුර කුමාර දිසානායක මහතා බොහොම පැහැදිලිවම කියලා තියෙනවා ජනාධිපති වැය ශීර්ෂය කප්පාදු කරනවා කියලා. මොකද අපි රට භාරගන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න. ඒකට අපි ජනතා මුදල් අනවශ්‍ය ලෙස විනාශ කරන්නේ නැහැ. අපිට ඕන ජනතාව වෙනුවෙන් වැඩකරන්න මිසක් ජනතා මුදල්වලින් සැප විඳින්න නෙවෙයි. අප වටා ඉන්න සියලුදෙනාට තම තමන්ගේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් සොයා ගන්න රැකියාවන් තියෙනවා.

ණය බරින් පෙළෙන රටක් භාරගැනීම

කවුරු ජනාධිපති වුණත්, කවුරු ආණ්ඩු කළත් ගත්තු ණය ගෙවන්න ඕන. රටේ ණයවලින් භාගයක් විදේශීය ණය. අනෙක් භාගය දේශීය ණය. ඒක නිසා අපේ ආර්ථික වැඩපිළිවෙළ තුළ ණය බරින් රට මුදවාගන්න වැඩපිළිවෙළක් තියෙනවා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කරලා තියෙන සෑමදෙයක්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් සොයාගන්න වැඩපිළිවෙළවල් අපි සතුව තිබෙනවා. ඒක නිසා පොරොන්දු ඉටුකිරීම පිළිබඳව හෝ ණය ගෙවීම ගැන ජනතාව සැකයක් ඇතිකර ගත යුතු නැහැ.

නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු 

ඔය චෝදනා තියෙන්නේ ප්‍රධාන පෙෙළ් පක්‍ෂවලට. ඔවුන් මුදල්හදල් යහමින් තියෙන අය. ඒත් අපිට එහෙම වියදම් කරන්න මුදල් නැහැ. මුදල් තිබුණත් අපි රටේ නීතියට, මැතිවරණ නීතියට පිටින් කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ගැන අපිට කිසිම චෝදනාවක් නැහැ.

ජාතික ජනබලවේගයට අවශ්‍ය මුදල් සොයාගැනීම

අපි වටා සිටින අයගේ පෞද්ගලික ධනයෙන් තමයි සියලුම වියදම් සිදුකරන්නේ. ඒ වාගේම විශාල පිරිසක් ශ්‍රමය කැප කරනවා. මේ හැම කෙනෙක්ම තමන්ගේ ධනය වියදම් කර ගනිමින් තමයි රට හැදීමේ ක්‍රියාවලියට යොමුවෙලා තියෙන්නේ. ඒ වගේම අපි අවශ්‍ය දේ පමණයි කරන්නේ. ඒක නිසා අපිට විශාල ලෙස මුදල් අවශ්‍ය නැහැ. බොහෝ වැඩ ස්වේච්ඡාවෙන් සිදුවෙන්නේ. ඒත් ශාලාවක හරි, ගොඩනැගිල්ලක හරි රැස්වීමක් තිබුණත් යම් ගෙවීමක් කරන්න සිදුවෙනවා. ඒ මුදල අපේ පෞද්ගලික මුදලින් ගෙවලා දානවා.

පෞද්ගලික මුදල් වියදම් කරලා බලාපොරොත්තු වන දේ

අපි කිසිම ලාභ ප්‍ර‘යෝජජන බලාපොරොත්තුවෙන් මේ දේවල් කරන්නේ නැහැ. අපි අපේ ශ්‍රමය, මුදල් වියදම් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ජීවිත ගොඩදාන එක. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය. මේ නිසා අපේ රටේ ජනතාවගේ ජීවිත ගොඩගන්න අපිට කරන්න පුළුවන් හැමදේම කරනවා.

රට දියුණු කිරීමට ජනතා සහය නොලැබීම

මෙච්චර කල් එහෙම දෙයක් සිදු නොවෙන්න පුළුවන්. ඒත් මේ නොවැම්බර් 16 වන දින අනුර කුමාර මහතාට ඡන්දය ලබාදීලා රට දියුණු කිරීමේ, රට යහමගට ගැනීමේ තීරණය ජනතාව ගන්නවා. ඒක ස්ථිරයි. අද වන විට ජනතාව දන්නවා පසුගිය ආණ්ඩුවල හිටිය අයට රට දියුණු කරන්න බැහැ කියලා. ඒත් ජනතාව දන්නවා ජාතික ජනබලවේගයට, අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා.              



Recommended Articles