රෝගියෙකු සුවපත් කරගැනීමට සිදුකරන කාර්යයන්ගෙන් ප්‍රධානම කාර්යය වන්නේ ඖෂධ ලබාදීමය. මේ නිසා ලෝකයේ අති බහුතරයක් රටවල් රට තුළට රැගෙන එන ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව දැඩි ලෙස සොයා බලයි. අපගේ කලාපයේ දියුණුවෙමින් පවතින රටක් ලෙස සැලකෙන බංග්ලාදේශය පවා ඖෂධවල ප්‍රමිතිය සඳහා විශේෂ තැනක් ලබා දී තිබේ. නමුත් ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව මේ වනවිට රට තුළ විශාල කතාබහක් ඇතිවී තිබේ. මීට අමතරව ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන ජාවාරම් ක්‍රියා හා ඖෂධ හිඟය පිළිබඳවත් රට තුළ කතාබහක් ඇතිවී තිබෙන අතර, මේ පිළිබඳව %අද^ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සමග කතාබහක නිරත විය.
පිළිකා ඖෂධවල තත්ත්වය
බොහෝ පිළිකා ඖෂධ සම්බන්ධයෙන් කතා කරන විට එහි ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇතිවෙලා තියෙනවා. 2016 හා 2017 වසර ගත්තම පිළිකා රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලබාදීපු ඖෂධයක් ප්‍රමිතියෙන් තොර බවට හෙළිවෙලා තියෙනවා. පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරනවා අදාළ ඖෂධය නිෂ්පාදනය කළ රටේවත් භාවිත කරන්නේ නැහැ කියලා. යම් රෝගියෙකු රෝහලට ඇවිත් ප්‍රතිකාර ලබාගන්නේ තමන්ට තියෙන පිළිකා තත්ත්වය සුවකර ගන්න. ඒත් රෝගීන්ට ලබාදෙන ඖෂධවල ප්‍රමිතිය නැත්නම් ඒ දේ වෙනවද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කියන්න ඕන දැනට නිශ්චිතව තහවුරුවෙලා තියෙනවා ප්‍රමිතියෙන් තොර ඖෂධයෙන් 87%කට වැඩි ප්‍රමාණයක් භාවිත කළාට පස්සෙ තමයි එම ඖෂධය ප්‍රමිතියෙන් තොරයි කියලා හොයා ගන්නේ. එහෙම බැලුවහම රෝගීන් තමන්ගේ රෝග තත්ත්වය සුවකර ගන්න අරගෙන තියෙන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධයක්.
දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඖෂධ
දියවැඩියා රෝගී තත්ත්වය ගත්තහම රෝගයක් ලෙස එළියට පෙන්වන්නේ නැහැ. ඒත් පපුවෙ අමාරුව හැදෙන්න පුළුවන්. කකුල්වල තුවාල හොඳ වෙන්නෙ නැතිවෙන්න පුළුවන්. වකුගඩු නරක් වෙන්න පුළුවන්. මේ නිසා මේ තත්ත්වයන් පාලනය කිරීමට රෝගීන්ට ඖෂධ ලබාදෙනවා. ඒත් පසුගිය කාලයේ දියවැඩියා රෝගීන්ට ලබාදුන් ඖෂධය පවා ප්‍රමිතියෙන් තොරයි කියලා හොයාගෙන තිබෙනවා. ඒ කියන්නේ සීනි මට්ටම පාලනය කිරීමට දීපු ඖෂධයෙන් සීනි මට්ටම පාලනය වෙලා නැහැ. ඒකෙන් වෙන්නෙ රෝගියා මරණය කරා රැගෙන යාමක්. මේක අපරාධයක්. දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග අද වනවිට ලංකාවට විශාල ගැටලුවක්. එහෙම තියෙද්දි ලබාදෙන ඖෂධය තුළින් රෝගය පාලනය කර ගැනීමට නොහැකි නම් ඒක අවාසනාවක්.
ෆෝලික් ඇසිඩ්
මේ ඖෂධය ගැබිනි මාතාවන්ට ලබාදෙන ඖෂධයක්. පසුගිය කාලයේ ලබාදීපු ෆෝලික් ඇසිඩ් එකත් ප්‍රමිතියෙන් තොර බවට මේ වනවිට හෙළිවෙලා තියෙනවා. මේක සිදුවෙලා තියෙන්නේ අදාළ ඖෂධ කල් ඉකුත් වෙලා තියෙද්දිත් රෝගීන්ට ලබාදීම. ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ ඖෂධය ඇතුළු ඖෂධ කිහිපයක් කල් ඉකුත්වී තිබෙන බවට හොයාගන්නකොට අදාළ ඖෂධ තොගයෙන් 80%කට වැඩි ප්‍රමාණයක් භාවිත කරලා ඉවරයි. අදාළ ඖෂධ 80%කට වැඩි ප්‍රමාණයක් භාවිත කරනකම් හොයාගන්න වැඩපිළිවෙළක් සකස්වෙලා තිබුණේ නැහැ. මොකද මේ ඖෂධය ලබාදෙන්නේ ඉපදෙන්න ඉන්න දරුවන්ට ඇතිවිය හැකි ස්නායු රෝග වැළැක්වීමට. මේ අනුව බලනකොට ඉපදෙන්න ඉන්න දරුවන් පවා අනතුරකට ලක්කරලා තියෙනවා. මේ වැඩවලින් වෙන්නේ රජයේ රෝහල් පිළිබඳව ජනතාවගේ තියෙන විශ්වාසය බිඳවැටීම.
පොදුවේ ඖෂධවල තත්ත්වය
රට තුළට රැගෙන එන ඖෂධවල ප්‍රමිතිය සොයා බලන නිසි ක්‍රම‘වේදයක් නැහැ. ඒ වගේම රට තුළට ගෙන එන ඖෂධවල ප්‍රමිතිය සොයා බලන්න අතිනවීන තත්ත්වයේ පරීක්ෂණාගාරයක් නැහැ. ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවනකොට කිව්වා චීනයෙන් අතිනවීන පරීක්ෂණාගාරයක් ලංකාවට ලැබෙනවා කියලා. සෞඛ්‍ය ඇමතිවරයා මේ කතාව කිව්වේ 2015 වසරේ. රජය සතුව ඖෂධවල තත්ත්වය පරීක්ෂා කරන්න පොඩි පරීක්ෂණාගාරයක් තියෙනවා. ඒ තුළින් විශාල දෙයක් කරන්න බැහැ.
ඖෂධවල තත්ත්වය තහවුරු කරගැනීම
ඖෂධ ලබාදෙන සමාගම් විසින් ඖෂධවල තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාදෙනවා. බොහෝ වෙලාවට අදාළ වාර්තාව ලබාදෙන්නේ ඖෂධ නිෂ්පාදනය කරන රටෙන්. ඒ පිළිබඳව සෑහීමකට පත්වෙලා අදාළ ඖෂධ තොගය රට තුළට ගන්නවා. කිසිදු සොයා බැලීමක් නැහැ. මෙහෙම ලබාදෙන ඖෂධ පිළිබඳව රෝගීන්ගේ පැත්තෙන් හරි, වෛද්‍යවරුන්ගේ පැත්තෙන් හරි පැමිණිල්ලක් ආවම ඒ පිළිබඳව සොයා බලනවා. පරීක්ෂණ කරනවා. අදාළ පරීක්ෂණ වාර්තාව ඇවිල්ලා ඖෂධ භාවිතයෙන් ඉවත් කරන්න කියනකොට අදාළ ඖෂධය 80෴කට වැඩි ප්‍රමාණයක් භාවිත කරලා ඉවරයි. මේ නිසා රටේ සෞඛ්‍යය පිළිබඳව සෞඛ්‍ය ඇමති සොයා බලනවා නම් මුලින්ම කරන්න ඕන රටට රැගෙන එන ඖෂධ පරීක්ෂා කරන්න පරීක්ෂණාගාරයක් ඇතිකරන එක. ඊට පස්සේ ලංකාවට රැගෙන එන ඖෂධ ලංකාව තුළට ගන්නට පෙර අදාළ පරීක්ෂණාගාරය තුළින් පරීක්ෂා කරන්න ඕන. ප්‍රමිතිය හොඳ නම් රට ඇතුළට ගන්න ඕන.
ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා රෝගීන්ට සිදුවන අසාධාරණය
ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීම තුළින් අපරාධ දෙකක් සිදුවෙනවා. එකක් තමයි රෝගයකට බෙහෙත් ගත්ත මිනිස්සු බෙහෙත් ගත්ත නිසා රෝගය හොඳවෙලා කියලා හිතන එක. ඒත් ඇත්තටම රෝගය හොඳවෙලා නැහැ. අනිත් එක තමයි ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා රෝගය හොඳ වෙන්නේ නැහැ කියලා දැනගත්ත මිනිස්සු රජයේ රෝහල් පිළිබඳව තියෙන විශ්වාසය බිඳ ගැනීම. ඒ හරහා වෙන්නේ පෞද්ගලික අංශය පෝෂණය වීම. ඒ වගේම මේ තුළින් ජීවිත අවදානමකටත් ලක්වෙනවා. මොකද රෝගියාට ඖෂධ ලබාදීලා තමයි හොයාගන්නේ ඖෂධය
ප්‍රමිතියෙන් තොරයි කියලා. කිරිපිටිවල ප්‍රමිතියේ ගැටලු
පසුගිය කාලය පුරාම මේ පිළිබඳ කතාබහකට ලක්වුණා. කිරිපිටිවල ප්‍රමිතිය හොයන්නෙත් අමුතු ආකාරයකට. මොකද කිරිපිටි ගෙන්වන රටේ තියෙන පරීක්ෂණාගාරයකින් ප්‍රමිති සහතිකයක් අරගෙන අදාළ සමාගම් අපේ රටට ලබාදෙනවා. ඒ සහතිකය පිළිගෙන මෙරටට කිරිපිටි ගේනවා. කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳ කතා කළ අප සංගමයට අද වනවිට චෝදනා එල්ල කරනවා.
රටට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය
ඒ පිළිබඳ වාර්තාවක් නැහැ. අපේ අදහස තමයි වසරින් වසර හෝ වසර තුනකට වරක් රටට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය පිළිබඳ ලැයිස්තුවක් සකස් කිරීම. ඒ ලැයිස්තුවට අනුව ඖෂධ ගෙන්වීම. එහෙම වැඩපිළිවෙළක් නොමැති නිසා හිටිගමන් අත්‍යවශ්‍යම ඖෂධ නැහැ කියලා හිඟයක් මවා පාලා ඖෂධ විශාල වශයෙන් ක්ෂණිකව මිලදී ගන්නවා. උදාහරණ ලෙස කියනවා නම් 2016 වසරේදී පමණක් ක්ෂණික මිලදීගැනීම යටතේ රුපියල් මිලියන 4065ක ඖෂධ මිලදීගෙන තියෙනවා. බොහෝ ක්ෂණික මිලදීගැනීම්වලදී විශාල මූල්‍ය වංචා වෙනවා. ඒ වගේම ඖෂධයේ සැබෑ මිල වගේ කිහිප ගුණයක මිලක් ගෙවන්නත් වෙනවා. පසුගිය කාලය ගත්තම අවස්ථා 243කදී රුපියල් මිලියන 168ක ඖෂධ ලබාගෙන තියෙනවා. 2015 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ ඖෂධ කල්ඉකුත් වීම නිසා රුපියල් මිලියන 1122ක ඖෂධ ඉවත දමලා තියෙනවා.
ඖෂධ හිඟය
නිවැරදි ලෙස සොයා බැලීමකින් තොරව ඖෂධ මිලදී ගැනීම නිසා සමහර ඖෂධවල හිඟයක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ මිලදී නොගැනීම නිසා කෘත්‍රිම ලෙස නිර්මාණය වන ඖෂධ හිඟයක් ඇති වෙනවා. ඒ වගේම යම් ඖෂධයක් මිලදීගන්න ඕන වුණාම ඒ ඖෂධ හිඟයි කියලා කලබලයක් ඇති කරනවා. මෙවැනි දේවල් කරලා ප්‍රා‘දේශීය මිලදී ගැනීම් යටතේ ක්ෂණිකව ඖෂධ මිලදී ගැනීම් කරනවා. මේ ආකාරයේ වංචා ක්‍රියා නිසා රටේ ජනතාවගේ මුදල් විශාල ලෙස අවභාවිත වෙනවා. මොකද මෙරටට අවශ්‍ය ඖෂධ උපකරණ මිලදී ගන්නේ සෞඛ්‍ය ඇමතිගේ හරි වෙනත් කෙනෙකුගේ හරි පෞද්ගලික මුදලින් නොවන නිසා. ජනතාව තේරුම්ගන්න ඕන මේ හැමදෙයක්ම කරන්නේ තමන්ගේ බදු මුදල්වලින් කියලා. බලධාරීන් දැනගන්න ඕන ඖෂධ හා උපකරණ මිලදීගන්නේ ජනතාවගේ බදු මුදල්වලින් කියලා.
රට තුළ තිබෙන ඖෂධ ප්‍රමාණය
ඒ පිළිබඳ කවුරුත් දන්නේ නැහැ. ඖෂධ දහස් ගණනක් තියෙන්න පුළුවන්. ඖෂධ ගත්තම එකම ඖෂධ වර්ගයේ රුපියල් 02 ඉඳලා රුපියල් දෙදහසකට (2000) යනකම් මිල ගණන් යටතේ තියෙන්න පුළුවන්. ඒත් වෙන්න ඕන ඖෂධයේ ප්‍රමිතිය බලලා, ජනතාවට මිලදී ගන්න පුළුවන් සාධාරණ ගණනකට මිලදීගත හැකි ක්‍රමයක් ඇති කිරීම. ඒ වගේම රජයට ඖෂධ මිලදී ගැනීමේදීත් භාවිත කළ යුත්තේ ප්‍රමිතිය අංක එක, දෙවැනියට සාධාරණ මිල. ඒත් දැන් ඖෂධවල ප්‍රමිතිය හොයන්නේ නැති නිසා රුපියල් දසදහසේ ඖෂධයක් වුණත් ප්‍රමිතියෙන් තොර වෙන්න පුළුවන්.
ක්‍ෂණිකවම ඖෂධ මිල ඉහළ යෑම
දැන් කියන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාවැටීම නිසා ඖෂධ මිල ඉහළ ගියා කියලා. ඒ කතාව කියන්නේ සෞඛ්‍ය ඇමති. අනික් පැත්තෙන් බැලුවම ඩොලරය පාලනය කරන්න ඕන ආණ්ඩුව. ඒ කියන්නේ සෞඛ්‍ය ඇමති ඇතුළු කණ්ඩායම ඩොලරය පාලනය කරන්න කටයුතු නොකර රුපියල කඩාවැටීම නිසා ඖෂධ මිල ඉහළ ගියා කියලා ‘සෞඛ්‍ය ඇමතිට කියන්න බැහැ. මොකද පසුගිය ආණ්ඩුවේ වරදින් මේවා වෙනවා කියලා කියන්නත් බැහැ. මොකද ඒ ආණ්ඩුවෙත් සෞඛ්‍ය ඇමති හිටියා. ඒක නිසා මේ දේවල්වලින් ඔහුට ගැලවී යන්න බැහැ.
ඖෂධ නියාමන අධිකාරිය
පසුගිය කාලයේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පත් කිරීම වැරදියි කියලා අධිකරණය නියෝගයක් දුන්නා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත ආයතනයක්. මේ ආයතනය තුළින් ඖෂධ ලියාපදිංචිය හා නියාමනය ඇතුළු ප්‍රධාන කාර්යයන් ගණනාවක් සිදු කරනවා.
මේ නිසා මෙම අධිකාරියට නිලධාරීන් පත් කිරීම පවතින නීති රෙගුලාසිවලට අනුව සිදු කරන්න ඕන. ඒ දේවල් කරන්නැතිව පසුගිය කාලයේ සභාපති තනතුරට හා ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්කිරීම් කළා. මේ වැඩේට එරෙහිව අධිකරණයට ගියා. එහිදී අධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා. ඒ කියන්නේ ඇමතිවරයා විසින් තමන්ට නැති බලයක් ආරෝපණය කරගනිමින් කටයුතු කරලා තියෙනවා කියලා.
රෝහල්වලට හා සෞඛ්‍ය ආයතනවලට පත් කිරීම
මේ දේවල් සිදුවෙන්න ඕන රටේ පවතින නීතියට අනුව. ඒත් පසුගිය කාලයේ සමහර අවස්ථාවල කිරිපිටි සමාගම්වලට, ඖෂධ සමාගම්වලට සම්බන්ධ පිරිස් රෝහල් හා ආයතන තනතුරුවලට පත් කළා. එහෙම නැත්නම් වංචා, දූෂණ චෝදනා එල්ල වූ පිරිස් පත් කළා. එහෙම කරන්න බැරි අවස්ථාවල පුරප්පාඩු පවතින තනතුරුවලට පත්කිරීම් සිදුකළේ නැහැ. වෛද්‍ය සභාව ගත්තාම නිලවරණයෙන් පත්විය යුතු තනතුරු හතරක් පවතින්නේ පුරප්පාඩු සහිතව. ඒකට හේතු වෙලා තියෙන්නේ තමන්ට හිතවත් පිරිස් එම තනතුරුවලට පත් නොවන බව සෞඛ්‍ය ඇමති දන්න නිසා. ඒ නිසා පසුගිය වසරේ පැවැත්විය යුතු නිලවරණය තාම පවත්වන්නේ නැහැ.
රෝගී ජනතාවගේ ඖෂධ භාවිතය
ඒ ගැනත් ප්‍රශ්න තියෙනවා. මොකද රෝහලකට පැමිණි රෝගියාට වෛද්‍යවරයා විසින් යම් ඖෂධ ප්‍රමාණයක් ලබාදෙනවා. ඒ වගේම ඒ ඖෂධ භාවිත කළ යුතු ආකාරය කියා දෙනවා. ලියලා දෙනවා. ඒත් සමහර රෝගීන් බෙහෙත් වරු දෙක තුනක් බීලා රෝගය හොඳ වුණා කියලා ආයිත් බොන්නේ නැහැ. ඒ වගේම කෑමට පෙර බොන්න ඕන ඖෂධ කෑමට පස්සේ බොනවා. කෑමට පස්සෙ බොන්න ඕන බෙහෙත කෑමට ඉස්සෙල්ලා බොනවා. පෙත්තක් බොන්න ඕන එකට පෙත්තෙන් භාගයක් බොනවා. මේ පිළිබඳව හා රෝගයක් ඇතිවීම වළක්වාගැනීමට ජනතාව කළ යුත්තේ කුමක්ද යන්න ජනතාව දැනුවත් කරන්න ඕන රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒත් ඒ දේවල් කරන්නේ නැතිව පෞද්ගලික රෝහල් නඩත්තු කරන්න යනවා. ප්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාල ඇති කරන්න සහයෝගය ලබාදෙනවා. ඖෂධ උපකරණ මිලදී ගැනීමේදී ජාවාරම් කරනවා.