යථාර්ථයට බොහෝ දුර වුවත් රියැලිටි ෂෝ ලංකාවේ ජනප්‍රිය සංස්කෘතික අංගයකි. ඒවා නරඹා ලේ කුපිත වූ කෘතහස්ත සංගීතඥ මිතුරෙක් නොබෝදා මා සොයා ආවේය.
"උඹ ලියපං සිංදුවක්" ඔහු යෝජනා කළේය.
"ඉතිං මට සිංදු ලියන්න තේරෙන්නෙ නෑනෙ" මම අවංක වීමි.
"ඔය සිංදු ලියන කියන වැඩි දෙනෙකුට ඒක බෑ. ඒ නිසා බය නැතුව ලියපං" මිතුරා මා දිරිමත් කළේය.
"ඇයි ඉතිං මමම?" මම අදිමදි කළෙමි.
"මට ඕනේ දේශපාලන ගීතයක්" මිතුරා විශ්වාසයෙන් යුතුව කීය.
"මොකක්?"
"දැන් බලනවා ලංකාවේ සිංදුවලින් සීයට අනූවක් ප්‍රේම ගීත. පහක් මවු ගුණ ගීත. හතරක් බුදු ගුණ ගීත. දශම නවයක් නත්තල් හා පිය ගුණ ගී. ඉතිරි දශමේ තමයි ඉතිරි හත්ඉලව් ඔක්කොන්ටම තියෙන්නේ. නිකං බලනවකෝ අනෙක් භාෂාවලින් සමාජ දේශපාලන විවරණ තියෙන, සමාජ අසාධාරණයට එරෙහි ගීත කොච්චර ලියවෙනවද කියලා?" මිතුරා කියාගෙන ගියේය.
"ඉතිං මනුස්සයෝ ඒකෙන් කියන්නෙ අපට උන්ට වගේ ප්‍රශ්න නෑ කියලනේ"
"බම්බුව. අපේ ප්‍රශ්න පත්තරේකට දාලා අවුරුදු පහකට සැරයක් ටක් ටික් ටුක් ගාලා කතිරෙ ගහලා එනවා. ඊළඟ අවුරුදු පහේ අපි උන්ගේ බයිලා අහගෙන ඉන්නවා. ආයෙ ප්‍රශ්න කොළේට දානවා. ගමන නොනිමෙයි ජීවිතේ මේ කුරිරු ජීවන මංතලේ කියන්නෙ ඕකට තමයි"
මිත්‍රයාගේ බලවත් ඇවිටිල්ල මත දේශපාලන ගීතයක් ලිවීමේ භාරදූර වගකීම මට භාරගැනීමට සිදු විය. එහෙත් අදහස් පෝෂණය කිරීම සඳහා උපකාර කිරීමට ඔහුගේ සහායද මම අයැද සිටියෙමි.
"හරි දැන් මොනවද අපි ඔය දේශපාලන ගීතයේ ආත්මයට ගන්නේ?" මම ඇසුවෙමි.
"මෙහේ දේශපාලනයට ආත්මයක් නෑ ඕයි. එදා වේල හොයාගන්න එක විතරයි ප්‍රශ්නේ. ඒ හින්දා එකී සහනුභූතිය අනුව යමින් අපිත් ගහමු කාලීන පුවත් ගීතයක්. සතියෙන් සතිය අප්ඩේට් කරන්න පුළුවන් විදියට" මිතුරා යෝජනා කළේය.
"හරි දැන් කියනවකො ස්ථායි කොටසට මම මොනවද ලියන්න ඕන කියලා. ස්ථායි කොටස ස්ථාවර වෙන්න ඕන. ඒකෙන් තමයි අපට ශ්‍රාවකයා අල්ලා බන්දා රන්දා උන්දැලා කුදලා ගන්න පුළුවන් වෙන්නේ"
"මේ රටේ එකම ස්ථාවර ප්‍රශ්නය, මේ තක්කඩි දේශපාලකයෝ ටිකයි උන්ට ඡන්දෙ දෙන කෝටි එකහමාරක මාර සෙනඟයි තමයි. ඒක කොහොමහරි ගන්නවා ස්ථායි කොටසට" මිතුරා මට පද වැල අමුණන්න උපදෙස් දුන්නේය.
"එතකොට අන්තරා කොටස් දෙකට මම මොනවද ලියන්න ඕන?"
"අන්තරා කොටස් තමයි අන්තරාදායක. මේ වෙලාවේ බලපාන කරන්ට් ඉශූස් ඒකට දාමු. එතකොට ස්ථායි කොටස ස්ථාවරව තියෙද්දි අපි අන්තරා කොටස් සතියෙන් සතිය වෙනස් කර අලුත් බයිලා නෑ මං කියන්නේ සිංදුවක් ගහමු" මිතුරා කීවේය.
"හරි ඉතිං මට මේ සතියට අන්තරාදායක අන්තරා කොටසට පොඩි ඉඟි බිඟි ටිකක් දෙනවකෝ" මම මිතුරාගේ පිහිටෙන්ම ගොඩයෑමට බැලීමි.
"දැන් බලනවා නහුතෙට කොරෝනා වැඩිවෙලා. තමුසෙ හිතනවද ඕක මීට ඉස්සර අඩු වෙලා තිබුණා කියලා. දවසකට ලෙඩ්ඩුදාහට ළං වෙනකොට විසිදාහක් කරපු පීසීආර් පන්දාහට බැස්සුවා. එහෙමයි අඩු වුණේ. මැයි දිනේ මගේ අම්මෝ. අරුන් ටික වෙනම ගිහින් තිබ්බොත් රෙදි ගැලවෙනවා. සියලු ප්‍රශ්න අමතක කරන්න අවුරුද්දට දුන්නා හැමෝටම සුදිය දාන්න. මොකෝ නොදැනද එහෙම කළේ? දැන් ඉතිං බොරුවට හූල්ලනවා. පෝර්ට් සිටි, ඒක කොහොමද? දැන් ඔයාලට සැපද? වැඩිය ලොකු පෝර්ට් සිටිද කොරෝනද? මේ දේ වෙයි කියලා සෞඛ්‍ය විශේෂඥයෝ කිව්වෙ නැද්ද? අනුර කුමාරගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පාස්කු කොමිසම නිර්දේශ කරලලු. අනුර කියනවා ප්‍රජා අයිතිය උණ්ඩි කරලා ගහගන්නලු ගෝඨගේ. අම්මට හුඩු හරින් ගිරිය යටින් බෙරිහන් දෙන්නෙ හරියට මයික් හොයාගත්ත එකාට පාඩමක් උගන්නන්න වගේනේ. කවුද හාදයෙක් කොමිසමට ඔත්තුව දුන්නට පස්සේ මිනිහව හමුදා බුද්ධි අංශෙන් උස්සලලු. ඒක බොරුලු. පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරදට දැන් හිරේ දාන්න හදනවලු. ඇත්තනෙ පාර්ලිමේන්තුව කියන්නේ බොරු කියන තැනක්ද? ඒ ශුද්ධ උත්තම ස්ථානයේ බොරු කියපු පළමු මන්ත්‍රී හැටියට මූට දෙන්න ඕන උපරිම දඬුවම්. අනික බොරු නම් කියන්නේ හරින්ට යන්න වෙන්නෙ හිරේ නෙමෙයි නිරේ. දැනට නම් කොහේවත් යවන්න එපා කියලා එයා උසාවියෙන් ඉල්ලලා. ඒ අස්සෙ පෝර්ට් සිටි පනත නානවා. පෝර්ට් සිටිය චීන කොලනියක් කියලා විපක්ෂෙ මොර දෙනවා. මැයි දිනේ කොහොමහරි නොතියන්න ගේම ගහගත්තා. දැනට ඒ ප්‍රශ්නෙ ගොඩ. ඒ අස්සෙ දීප්ති කියනවා රට පාලනේ කරන්නේ සමාගම්ලු. නිරපරාදේ දේශපාලකයොන්ට බනින්න එපාලු. පෝර්ට් සිටිය දිහා ජොයින්ට් එකක් ගහලා බලන්න කියලා හඳගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මට පිස්සු හැදෙනවා ඕයි. මානව හිමිකම් කොමිසම ළං වෙනකොට කිව්වා හිජාබ් තහනම් කරන්නෙ නෑ කියලා. අපි සරත්ට හිනා වුණා. කොමිසම නෙළුවා මදි නොකියන්න. දැන් හිජාබ් තහනමට කැබිනට් අනුමැතිය ලැබිලා. දැන් සරත් අපට හිනා වෙනවා. පෝර්ට් සිටිය තාමත් ගොඩ දාලා ඉවර කරගන්න බැරි වුණා. සෙස්ස පස්සට" මිතුරා එක හුස්මට කියාගෙන ගියේය.
"අම්මට සිරි! ඒක එමිනෙම්ගේ රැප් සිංදුවක් වගේනෙ!" මම විශ්මය පළ කළෙමි.
"ඒක මම දන්නෙ නෑ. දැන් ඔය ටික දාලා සිංදුව ලියනවකෝ" කියූ මිතුරා යන්න ගියේය.
මම කොළයකුත් පෑනකුත් රැගෙන දේශපාලන ගීතයක් නිබන්ධනය කිරීම සඳහා තවමත් තටමමි.
"ඕ යේ බේබී. දිස් ඉස් ශ්‍රී ලංකන් ස්ටයිල්"
මට තවම ලියාගත හැකි වූයේ මෙපමණි.