ඇඟිලි සලකුණු වලින් මනුෂ්‍යයෙකුගේ ජීවන රටා, ලෙඩ රෝග, ඇබ්බැහිවීම් ආදිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අත්ල සලකුණු විශේෂිත තීන්ත වර්ගයක් යොදා සටහන් කරගත යුතුය. එසේම සාස්තරකරුවන්ට මෙන් ක්ෂණිකව දේවල් ප්‍රකාශ කිරීමට මෙම ශාස්ත්‍රයේදී අපහසුය.
ඊට හේතුව වන්නේ අත්වල ඇතිවන වෙනස්කම් ඉතා ගැඹුරෙන් අධ්‍යයනය කර ගණිත ක්‍රමවලට අනුගතව හා විද්‍යානුකූලව ඒවා විග්‍රහ කිරීමට කාලයක් ගතවීමත්, අත්ල සටහන්වල ඇති සියුම් වෙනස්කම් පවා හඳුනාගැනීමට කාලයක් ගත කිරීමට සිදුවීමත්ය. ඇතැම් අවස්ථාවන් වලදී අත්ල සටහන් ඉතා ගැඹුරින් අධ්‍යයනය කළයුතු අතර, ඒ සඳහා අන්වීක්ෂ පරීක්ෂා පවා කිරීමට සිදුවෙයි. එසේම යමෙකුගේ අත්ල සලකුණු විග්‍රහ කිරීම සඳහා ලබාගන්නා අත්ල සලකුණු ඉතාම පැහැදිලි ඒවා විය යුතුය. කොටින්ම එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවකින් ලබාගන්නා පින්තූර සටහන් හා සමානය.
ඇඟිලි සලකුණක වටිනාකම
ඇඟිලි මතුපිට ගැටියක් ලෙස සියුම්ව රටා ගැන්වුණ ස්වාභාවික පිහිටීමක් ඇත. මෙය අතීතයේ සිටම මිනිස් වර්ගයා වශීකරණයට පත් කරවිය. නව පාෂාණ යුගයට අයත් (නියෝලිතික යුගය) සොහොන්වල ශේෂව ඇති දේ මගින් ඉදිරිපත් කරනු ලබන කරුණු සඳහා අතීතයේ විසූ පුද්ගලයන්ගේ අත්වල ඇති ඇඟිලි මෝස්තර රටා හා සලකුණු උපයෝගී කරගෙන ඇති බව විශ්වාස කෙරේ. එමෙන්ම අතීතයේ තිබූ අපූර්වත්වය ලොවට හඳුන්වා දීමටද මේවා ප්‍රයෝජනයට ගත් බව විශ්වාස කෙරේ. චීන මිනිසුන් වසර සිය ගණනක් පුරා හඳුනාගැනීමේ අර්ථයෙන් ඇඟිලි සලකුණු යොදා ගත් අතර, යුරෝපීය රටවල් මෙම ක්‍රමවේදය හඳුනාගනු ලැබුවේ පසුගිය ශත වර්ෂවලදීය.
17 වන සියවසේ අග භාගයේදී Grew,Bidloo සහ Malpighi යන අය විසින් වෛද්‍ය විද්‍යාව සහ රූප අධ්‍යයන විද්‍යාවට අනූව මෙම ඇඟිලි මෝස්තර රටා එනම් %චර්මීය රේඛා රටා^ පිළිබඳ අධ්‍යයනයට මුලපුරන ලදී. තවද මෑත අවුරුදු 110ක පමණ කාලයක පටන් බොහෝ පර්යේෂකයන් මේ පිළිබඳ ගවේෂණ රැසක් මෙම ක්ෂේත්‍රය තුළ සිදුකොට ඇත.
ව්‍යුහමය ලෙස සලකන විට අතෙහි අපිචර්මය මත හමුවන සියුම් රේඛීය හැඩගැසීම් ඉටුකරනු ලබන අරමුණු තුනකි. එනම් ස්වේද ශ්‍රාවය ගලා යෑමේ මාර්ගය තැනීම, රළු මතුපිටක ස්වභාවය හේතුවෙන් ග්‍රහණයට හසු කර ගැනීම පහසු කිරීම සහ රැලි ගැසුණු ස්වභාවය මගින් අපිචර්මයට පහතින් පිහිටන ස්නායු අග්‍රයන් උත්තේජනය වීම තියුණු කිරීමෙන් ස්පර්ශ සංවේදනයට පහසුකම් සැලසීම මෙම අරමුණු තුන වේ. සමහර විට ඉතා විස්මයට පත්කරනු ලබන කරුණ වනුයේ මෙම හැඩගැසීම්හි විවිධත්වයයි. මුළු පාණී තලය පුරාම විහිදෙන මෙම රටාවෙහි අතිවිශාල වෙනස්කම පමණක් නොව ඉතා කුඩා ප්‍රදේශයක වුවද පවතින සියුම් රටාවෙහි වෙනස්කම නිවැරදිව හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් වේ. තවද එක සමාන රටා දෙකක් මේ වන තෙක් හමු නොවීමද තවත් සුවිශේෂී ලක්ෂණයකි.
මවු කුසේදීම ඇතිවන අත් සලකුණු
මානව ගැබක සති 18ක් වයසැති භ්‍රෑණයක මෙම අපිචර්මීය ගැටිති වර්ධනය වන අතර, නිර්මාණය වන ආවේණික වූ රටා ස්වාභාවික වෙනස්වීමකින් තොරව මරණය දක්වා පිහිටනු ලැබේ. අතෙහි සිදුවන ප්‍රමාණාත්මක වර්ධනයත් සමඟ මෙම ගැටිති ඝන බවට පත්වීමත්, වයසට යෑමත් සමග සංවේදීතාව අඩුවීමක් සිදුවුවත් රටාවන්හී කුඩා හෝ වෙනසක් කාලය සමග සිදුනොවේ. කාල පරාසයක් පුරා මෙම නැමුම් රේඛාවල ස්ථායී තත්ත්වය Herschel සහ Wicker යන පුද්ගලයන් දෙදෙනා විසින් ඔවුන්ගේම අත් සටහන් අවුරුදු 50ක් පුරා අධ්‍යයනයට ලක් කරවිය. එහෙත් අපිචර්මීය වෙනසක් එම නිරීක්ෂණ තුළ දක්නට නොලැබිණ. නමුත් මගේ ස්වාධීන හස්ත රේඛා සටහන් එකතුව හා තවත් ක්‍රමවේදයන් ඔස්සේ කරනු ලැබූ අධ්‍යයනයන්ට අනුව වයසත් සමග ගැටිති හැඩගැසීම්හි මෙම නැමුම් රේඛාවන්හී උච්චාවචනය හැර කිසිදු වෙනස්කමක් සිදුනොවේ.
අම්ල මගින්, කැපීම් මගින් සහ චර්ම බද්ධ ශල්‍යකර්ම මගින් ගැටිතිවල රටාවන් විනාශ කිරීමට හෝ වෙනස් කිරීමට බොහෝ සේ තැත් කරනු ලැබුවද ඒ සියලු ප්‍රයත්න අසාර්ථක විය. මෙයට හොඳම උදාහරණය ලෙස ඇමරිකාවේ මංකොල්ලකරුවෙකු අපරාධයක් කළ බව හඳුනා ගැනීමෙන් වැළකීම සඳහා, ඇඟිලි තුඩු සඳහා ශරීරයේ වෙනත් ස්ථානයකින් එනම් අපිචර්මීය ගැටිති රහිත ස්ථානයකින් චර්මයේ කොටසක් ගෙන බද්ධ කිරීම දැක්විය හැකිය. ඉතා වේදනාකාරී සාර්ථක සැත්කමින් පසුව ඔහුට ගැටිති රහිත ඇඟිලි තුඩු හිමි වුවද ඇඟිලිවල දෙවන ඇඟිලි පුරුකෙහි ගැටිති රටාව අනුව අපරාධකරු බවට හඳුනාගත් බැවින් ඔහුගේ ප්‍රයත්න අසාර්ථක විය.
අත් සලකුණු වලින් රෝග හඳුනා ගැනීම
හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මකව ඇඟිලි සලකුණු අධ්‍යයනය කිරීම ඉතා ඈත අතීතයේ සිටම ජපානය සහ පෙරදිග රටවල භාවිත කරන ලදී. නමුත් යුරෝපීය රටවල පුද්ගලයන්ට ආවේණික වූ මෙම සටහන්වල විශේෂත්වය කෙරෙහි අඩු අවධානයක් පැවතිණි. මෙම ගැටිති පිළිබඳ අතීත සාමුද්‍රික ශාස්ත්‍ර කවය තුළ Hoeping ගේ Chiromantia Harmonica නැමැති 17 වන සියවසේ රචිත ග්‍රන්ථයෙහි අන්තර්ගතයට අනුව ඇඟිලි මත සංවේදි තලය, රටාවන්ට වඩා සාමුද්‍රික ශාස්ත්‍රයේදී සැලකිල්ලට ගනු ලැබේ. ගුප්ත විස්තර සටහන්වලට අනුව සමේ ඇති වන කුඩා නෙරුම් ගැටිති පිළිබඳ අධ්‍යයනයේදී ජර්මානු ජාතික සාමුද්‍රික ශාස්ත්‍රඥයෙකුගේ ඉගැන්වීම් අනුව පුද්ගලයෙකුට සුළැඟිලි හතරක පූර්ණ රවුම් ලෙස සකස් වූ රටාවක් පවතින්නේ නම්, කාමුකත්වයට ඇති ස්වාභාවික ප්‍රවණතාව පෙන්වන බව අප විසින් අනුමාන කෙරේ.
කියැවීම කෙසේ වුවත් ඒ අතර එසේ නොවන පුද්ගලයන් ස්වල්පයක් අපගේ නූතන සියවසේ මේ දක්වා දක්නට ලැබේ. ඉතා විශේෂ ලෙස Jacquin විසින් මහත් ලෙස රටා හැඩගැසීම සහ පුද්ගලයෙකුට එහි ඇති සම්බන්ධය අධ්‍යයනය කරන ලදී. ඔහුගේ අධ්‍යයනයට අනුව ඇඟිලි මත පිහිටන රටා පුද්ගලයෙකුගේ මනෝ විද්‍යාත්මක ප්‍රවණතා රූපයෙන් දක්වන තොරතුරුය. එසේ වුවත් කායික හා මානසික ස්වභාවයන්ගේ විය හැකි සමීප රෝග ලක්ෂණ අත්ලේ සියුම් ගැටිතිවල විකෘති මගින් සමහර අවස්ථාවලදී පෙන්නුම් කරන ලදී. අත්ලෙහි සටහන්වල ක්ෂුද්‍ර ඡාරූපයන්හී ගැටිතිවල විකෘති වීම දැඩි අවධානයෙන් යුතුව විශ්ලේෂණය කිරීමෙන් මොහුගේ මත වෛද්‍ය විද්‍යාත්මක රෝග නිර්ණය කිරීම් රැසක් සඳහා භාවිතයට ගන්නා ලදී.
සෑම පුද්ගලයෙකුටම එකිනෙකාට වෙනස් වූ එනම් තමාටම ආවේණික වූ ඇඟිලි සලකුණු සහිත ලොව උපත ලබති. එසේ නොමැති වන්නේ අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙන Adermatoglyphia රෝගී තත්ත්වයක් නිසා බව දැන් සොයාගෙන ඇත. මෙය දැනට ලෝකයේ පවුල් හතරක දක්නට ලැබේ. මෙම තත්ත්වය Immigration delay disease නොහොත් සංක්‍රමණ ප්‍රමාද රෝගය ලෙසද හැඳින්වේ. ඊට හේතුව ඇඟිලි සලකුණු රහිත වීම හේතුවෙන් ජාත්‍යන්තරව දේශ සංක්‍රමණයට අපහසුතා ඇතිවීමයි.
(ජායාරූපය 01)
Adermatoglyphia රෝගී තත්ත්වයෙන් උපත ලද අයෙකුගේ ඉතා සුමටව පවතින ඇඟිලි රූපයේ දැක්වේ. මෙය Eli Sprecher විසින් මානව ජාන පිළිබඳ ඇමරිකානු සඟරාවකට ඉදිරිපත් කළ ලිපියකින් උපුටා ගන්නා ලදී.
ඇඟිලි මත චර්මීය රටා නිර්මාණය සඳහා මෙම ජාන මූලික වන අතර, එකිනෙකාට ආවේණික වූ ඇඟිලි සලකුණු මෙමගින් ඇති කෙරේ. එක හා සමාන ඇඟිලි සලකුණු දෙකක් ලොව කිසිම විටෙක නොවන බැවින් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ඇඟිලි සලකුණු භාවිත කෙරේ. මේ නිසා ඇඟිලි සලකුණු රහිතව උපත ලැබීම සුළුකොට තැකිය නොහැකිය. මවකගේ භ්‍රෑණය තුළ මාස තුනකට අඩු කලකදී නිර්මාණය වන ඇඟිලි සලකුණු ඉන් පසු ස්ථීර වේ.
අත් සලකුණු වලින් පිළිකා රෝගීන් හඳුනා ගැනීම
තවත් පුදුමය දනවන කරුණක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එනම් ඇතැම් පිළිකා රෝගීන්ගේද ඇඟිලි සලකුණු මැකී යාම දැකිය හැකිය. තවද දහඩිය දැමීම පිළිබඳ ගැටලු හැර වෙනයම් බරපතළ රෝග ලක්ෂණයක් මෙමගින් ඇති නොකරයි.
2008 දෙසැම්බර් මස 62 හැවිදිරි සිංගප්පුරුවාසී පිළිකා රෝගියෙකු තම ඥාතීන් බැලීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට යනු ලැබූ අවස්ථාවේදී එරට සංක්‍රමණ නිලධාරීන් විසින් පැය හතරක් පුරා මොහු රඳවා ගත්තේය. ඔහුගේ පිළිකා රෝග වෛද්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ පසුගිය වසර තුනක කාලයක් ලබාගත් පිළිකා මර්ධන බෙහෙත් නිසා මෙසේ ඇඟිලි සලකුණු මැකී ගොස් ඇති බවයි. මෙය Hand foot syndrome ලෙස හඳුන්වන ඉතා දුර්ලභ රෝග තත්ත්වයකි. මෙය පිළිකා රෝගීන්ට සිදුකරන රසායන ච්කිත්සාව නිසා සිදුවන්නකි. සාමාන්‍යයෙන් චර්මයෙහි සිදුවන ප්‍රතික්‍රියා හේතුවෙන් ලබාගත් බෙහෙත් වන අන්තර්ගත රසායනික ද්‍රව්‍ය අත්ලෙහි සහ පාදයන්හී චර්මීය රේඛා වලින් පිටතට පැමිණීම නිසා ඇඟිලි සලකුණු මැකී යයි.
( ජායාරූපය 2) Hand foot syndrome රෝගයෙන් පෙළෙන අයෙකුගේ අතක රූපයකි
මෙවැනි සිදුවීම් ඉතා දුර්ලභ වුවත්, ඇඟිලි සලකුණක වටිනාකම මැනවින් විදහා දැක්වෙන අවස්ථාවන් ලෙස දැක්විය හැකිය.
බ්‍රිතාන්‍ය විද්‍යාඥයන්ට අනුව පිළිකාවේ ප්‍රථම රෝග ලක්ෂණ විදහා දක්වන්නේ මිනිස් අතෙහිය. රෝගය මූලික අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් ඇතැම් විට එය සම්පූර්ණයෙන් යටපත් කිරීමටත් නැතහොත් පැතිරීම ප්‍රමාද කිරීම ආදී ප්‍රතිකාර වලට ඉතා වැදගත් වේ. විවිධ වූ පිළිකා විවිධ වූ ලක්ෂණ අතෙහි ඇතිකරයි.
ඇඟිලි සලකුණු වල සිදුවන මෙවැනි වෙනස් වීම් අධ්‍යයනය කිරීමෙන් පිළිකාව ශරීරයේ වර්ධනය වන ස්ථානය සහ එමගින් බලපෑම් ඇති විය හැකි පද්ධති හඳුනාගැනීම සිදුකරනු ලැබේ. මේ සඳහා ඉතා උසස් තත්ත්වයේ අත් සටහනක් අවශ්‍ය වන අතර, එය විශේෂිත තීන්ත වර්ගයක් භාවිත කර ලබා ගනී. මෙපමණක් නොව ප්‍රතිකාර කෙතරම් දුරට සාර්ථකද නැතහොත් ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය ගණනය කළ හැකිය. සත්තකින්ම ඔබේ දෑත රෝග හඳුනා ගැනීමේ සහ සුව වීමේ ලක්ෂණ විදහා දක්වන අපූරු දර්ශකයකි.
( ජායාරූප 3,4)
පසුගිය සතියේ පළවූ පළමු ලිපියේ එක් ස්ථානයක ඇඟිලි සලකුණු වෙනස්වීම මත ලෙඩ රෝග හඳුනාගත හැකි බව සටහන් වී තිබූ අතර, එය අත්ල සටහන් වෙනස් වීම මත ලෙස නිවැරදි විය යුතුය. මන්දයත් ඇඟිලි සලකුණක් වෙනස් වන්නේ නැත. එසේම අත්ල සලකුණු අනුව ලෙඩ රෝග, ඇබ්බැහිවීම්, පෞරුෂ ලක්ෂණ හඳුනාගැනීමේදී අත්ලේ පිහිටීම්, අතේ දිග පළල, ඇඟිලි වල දිග පළල, ඒවායේ අනුපාත, රේඛා, ඇඟිලි සලකුණු රටා, අතේ ස්වභාවය, සමේ ස්වභාවය ආදී බොහෝ දේවල් පරික්ෂා කරනු ලබයි.
උපදෙස් - ආචාර්ය කාංචනා කොහොඹන්ගේ