ඔබේ දරුවත් හෙට ශිෂ්‍යත්වය ලියනවද?


2021 වර්ෂයට අදාළ පහ වසර ශිෂ්‍යත්ව විභාය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට (22) දිනයේයි. හෙට දිනයේ මෙරට පහ වසර සිසු දරු දැරියන් 340,508ක් විභාග මධ්‍යස්ථාන 2,943කදී මෙන්ම විශේෂ මධ්‍යස්ථාන 108කදී විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය. මේ ඔවුන් සූදානම් කරන දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම විභාගය සඳහා මුහුණ දෙන දූ පුතුන් අමතමින් විභාග දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවේ තැබුණු වැදගත් පණිවුඩ කිහිපයකි.


විභාගය ලියද්දී  සියුම් තැන් ගැන සැලකිලිමත් වෙන්න - විභාග කොමසාරිස් ( පර්යේෂණ හා සංවර්ධන) ගයාත්‍රී අබේගුණසේකර 

අපි පසුගිය වර්ෂයේ සිට විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න ලබාදෙන කාලය වැඩි කිරීමක් සිදුකරනු ලැබුවා. පළමු ප්‍රශ්න පත්‍රයට පෙර තිබුණේ විනාඩි 45ක කාලයක්. එය පැයක් දක්වා වැඩි කළා. දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා පැයක් හා විනාඩි 15ක් තමයි ඒ අනුව හිමි වෙන්නේ. ඒ හැර මෙවර වැඩි කාලයක් ලබාදෙන්නේ නැහැ. දෙමාපියන්ට කියන්න දෙයක් තිබෙනවා. විභාගයට පෙර දින රාත්‍රියේවත්, විභාග දිනයේ උදේ පාන්දරවත් දරුවන් ඇහැරවලා පාඩම් කරවන්න එපා. ඒ වෙනුවට මෙන්න මේ උපදෙස් ටික දරුවාට දෙන්න.

ප්‍රශ්න  පත්‍රය අතට ගත්ත ගමන් ළමයි කරන දෙයක් තමයි ලියන්න පටන් ගන්න එක. නමුත් කළ යුත්තේ ලියන්න කලින් ප්‍රශ්න පත්‍රය හොඳින් කියවන්න. මේ ප්‍රශ්න පත්‍ර දෙකේම සඳහන් කර තිබෙනවා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය යුත්තේ කොහොමද කියන දේ සම්බන්ධයෙන්.

 පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් තිබෙනවා. ඒවාට බහුවරණ ලෙස පිළිතුරු තුනක් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ පිළිතුරු තුනෙන් එකයි නිවැරදි පිළිතුර වන්නේ. එසේ නම් පිළිතුරු තුනෙන් එකක් යටින් තමයි ඉරක් ඇඳිය යුතු වන්නේ. මේ උපදෙස තද කළු අකුරෙන් ලියා තිබ්බත්, අපි දකිනවා ඉරක් අඳින්නේ නැතිව පිළිතුරු අංකය රවුම් කරන ළමුන්. එහෙම කළාම පිළිතුරු ඇගයීමේදී යම් යම් ගැටලු ඇති විය හැකියි.

 පස්වන ශ්‍රේණියේ දරුවන්ගෙන් අපි උපදෙස් පිළිපැදීම කියන දේ බලාපොරොත්තු වෙන නිසා මේ ගැන සැලකිලිමත් විය යුතුයි.

 පළමු ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ අභියෝගිතාව මැන බලන්න. එහිදී අපි අභියෝගතා 14ක් ගැන කතා කරනවා. එහි එකක් තමයි උපදෙස් පිළිපැදීම. පුංචි කාලේ ඉඳන් දරුවෙක් උපදෙස් පිළිපදින්න පුරුදු විය යුතුයි. එය තමයි අපි මෙහිදී බලාපොරොත්තු වන්නේ.

මීළඟට විභාග අංකය ස්ථාන දෙකක ලිවිය යුතුයි. පළමු පිටුවේ හා තුන්වෙනි පිටුවේ වෙන් කළ ස්ථානයක් මේ සඳහා තිබෙනවා. මේ ස්ථාන දෙකේම විභාග අංකය ලිවිය යුතුයි.

මීළඟට කටු වැඩ සඳහා කොළ ලබා දෙනවා. පිළිතුරු සංවිධානය සඳහා මේ කොළ දෙක ප්‍රයෝජනයට ගන්න. ඒ ගැන දරුවන්ට උපදෙස් දී යවන්න. මොකද බොහෝ අය කටු වැඩ නොකර පිළිතුරු ලබා දී ඇති බව පේන්න තිබෙනවා.

මීළඟට හොඳින් ප්‍රශ්නය කියවා තේරුම් ගන්න. පසුගිය වර්ෂයේ අපි දැකපු දේවල් එක්ක කතා කළොත්, අපි දැක්කා දරුවෝ බොහෝ පිරිසක් ප්‍රශ්නය අවබෝධ කර නොගත් තත්ත්වයක්. ප්‍රශ්නය හොඳින් කියෙව්වොත් තමයි ඔබට නිවැරදි පිළිතුර හොයා ගන්න හැකි වෙන්නේ.

අපි ගිය වර්ෂයේ ඇහුවා පරිසර දූෂණය අවම වන්නේ.., යනුවෙන් ප්‍රශ්නයක්. මේ දරුවන්ට පාසලේ හා උපකාරක පන්තිවල පරිසර දූෂණය ඇතිවන්නේ කොහොමද කියන එක උගන්වලා තිබෙනවා. හැබැයි ඇහුවේ පරිසර දූෂණය අවම වන්නේ කුමකින්ද යන්නයි. එතැනදී අපි පිළිතුරු තුනක් ලබා දී තිබුණා. එහිදී අපි බලාපොරොත්තු වුණ පිළිතුර තමයි සූර්ය කෝෂ භාවිතයෙන් විදුලිය ලබා ගැනීමේදීය යන්න.

කනගාටුවට කාරණය තමයි බහුතරයක් ලබා දී තිබූ පිළිතුර වුණේ පෙට්‍රල් හා ඩීසල්  භාවිත කර වාහන ධාවනය කියන එක. එයට හේතුව තමයි දරුවන්ගේ අවධානය අර ප්‍රශ්නයේ තිබුණ අවම වන්නේ කියන කොටසට එල්ල නොවීම. ඊට හේතුව තමයි ප්‍රශ්නය හොඳින් කියවා තේරුම් නොගැනීම. ඒ නිසා දන්න දේ නිවැරදිව ලියන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්නය හොඳින් කියවා අවබෝධ කර ගැනීමෙන්.

 මළඟට අපි අහනවා  බැටරි හා බල්බ් දාලා පරිපථ පින්තූර සටහනක නොදැල්වෙන හා දැල්වෙන පරිපථය සම්බන්ධව. පසුගිය වර්ෂයේ අපි ඇහුවේ නොදැල්වෙන එක ගැන. නමුත් බොහෝ දෙනා දැල්වෙන එක තමයි පිළිතුර ලෙස ලකුණු කර තිබුණේ.

පළමු ප්‍රශ්න පත්‍රයේ තිබෙන්නේ පිළිතුරට ඉරක් ගසන්න. ඒ අභියෝගතා මත පදනම් වූ ප්‍රශ්න 40කට. දෙවන ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ තුන, හතර, පහ විශය නිර්දේශය මත. එහි පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට බහුවරණ ප්‍රශ්න 30ක් තිබෙනවා. මව්බස, දෙවන භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ ගණිතයට තිත් ඉරි මත පිළිතුරු ලියන්න තිබෙනවා.

ඒ අවස්ථාවල අදාළ පිළිතුර තිත් ඉරි මත ලිවිය යුතුයි. දෙවන පත්‍රයේ ප්‍රශ්න පත්‍රය ගැන අවබෝධය මනින්න අපි ඡේදයක් දෙනවා. ඒ ජේදය ආශ්‍රයෙන් තමයි පිළිතුරු ලබා දිය යුතු වන්නේ. අපි මෙයට ලබා දෙන්නේ පෙළ පොතේ ඡේදයක් නොවේ. අලුත් ඡේදයක් ළමයාට ගැළපෙන ලෙස සකස් කරලා. ඒ අනුව දරුවෝ පෙළ පොත් කට පාඩම් කරනවා නම් එය දැන්ම නවත්වන්න.

 මීළඟට තොරතුරු සංවිධානය කර ගැනීමේ දුර්වලතාවක් දරුවන් අතර තිබෙනවා. අපි වයස් ටිකක් දීලා අරයට වඩා වැඩිමල් කවුද?  එසේ නැත්නම් කණ්ඩායමක උස සම්බන්ධ තොරතුරු දීලා වඩාත්ම උස කවුද කියලා අහනවා. මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේදී තොරතුරු සංවිධානය කරගන්න තමයි අපි අර කටු වැඩ කොළයක් ලබා දෙන්නේ. ඒ නිසා මේ කොළය පාවිච්චි කරන්න.

මීළඟට මව්බස කොටසට පිළිතුරු ලියනකොට උක්ත ආඛ්‍යාතය සම්බන්ධයෙන් හා ව්‍යාකරණ පිළිබඳව සැලකිලිමත් වෙන්න. අපි දරුවන්ගෙන් නිවැරදි උක්ත ආඛ්‍යාත සම්බන්ධය හා නිවැරදි ව්‍යාකරණ බලාපොරොත්තු වෙනවා.

රචනාව කියන ප්‍රශ්නයේදී අපි වගන්ති තුනක් ලියන්න ලබාදෙනවා. මෙහිදී සමහර ළමයි කරන දේ තමයි උක්තය හා ආඛ්‍යාතය ලිඛිත භාෂාවෙන් ලියලා, වාක්‍යයේ මැද වචන වාචික භාෂාවෙන් ලියනවා. මේක බොහෝ දෙනෙක් කරන වැරැද්දක්. ඒ නිසා මම කියනවා පුංචි දුවේ පුතේ ලිඛිත භාෂාවෙන් ලිව්වොත් විතරයි මේ වාක්‍ය තුනට ලකුණු ලැබෙන්නේ. මීළඟට අක්ෂර වින්‍යාසය වැදගත්. උක්ත ආඛ්‍යාත සම්බන්ධය වැදගත්. පිල්ලම් ගැන සැලකිලිමත් වෙන්න. එකම වාක්‍යයේ මේ වැරදි දෙකක් තිබුණොත් ලකුණු  ලැබෙන්නේ නැහැ.

තව දෙයක්  කියන්න ඕන පසුගිය වර්ෂයේ බැලුවොත් උක්ත ආඛ්‍යාතය සම්බන්ධයෙන් 27%ක් වැරදි කරලා තිබ්බා. අක්ෂර වින්‍යාසය 16%ක් වරද්දගෙන තිබ්බා. මීළඟට අපි කියනවා අවම වශයෙන් මේ වාක්‍යයක වචන පහක් තිබෙන්න අවශ්‍ය බව. මෙච්චර කියලත් පසුගිය වර්ෂයේ ඉන්නවා මේ අවම වචන පහ නොලියපු ළමයි 5%ක්. ඒ අනුව අවම වචන පහක් එක් වාක්‍යයක නැත්නම් ලකුණු අහිමි වෙනවා. විරාම ලක්ෂණ, ප්‍රස්තා පිරුළු වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

 ප්‍රස්තා පිරුළු ගැන කතා කළොත් පසුගිය වර්ෂයේ තිබුණා ප්‍රස්තා පිරුලක් දීලා හිස්තැන් පුරවන්න. ආඬි හත්දෙනාගේ කියල දීලා 'කැඳ හැළිය' කියන එක ලියන්න තිබුණා හිස් තැනට. මේ පිළිතුර  'කැඳහැළිය' ලෙස තනි වචනයෙන් ලියලා තිබුණා. මේකට ලකුණු ලැබෙන්නේ නැහැ. හේතුව තමයි 'කැඳ හැළිය' කියන්නේ වචන දෙකක්. ඒ නිසා මේ තැන්වල වචන දෙකක් ලෙස ලිව්වේ නැත්නම් ලකුණු නැහැ.

මීළඟට ගිය වර ඉංග්‍රීසි වලින් අහලා තිබුණා Playground කියන එක. මේක Play ground ලෙස ලියලා තිබුණා. මේ නිසා ලකුණු නැති වුණා. Playground කියන්නේ තනි වචනයක්. ඒ නිසා මේ වගේ සුළු කාරණා සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙන්න. මේක දැක්කම හිතන්න පුළුවන් ඇයි මේ සියුම් දේවල් අපි මෙහිදී බලන්නේ කියලා. මේක තරග විභාගයක්.

මෙච්චර සියුම්ව බලන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබාදෙන්නයි මේ විභාගය පවත්වන්නේ, වගේම දක්ෂ සිසුන් සඳහා තෝරාගත් පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දෙන්නයි. ඒ අනුව මේක පරීක්ෂණයකට එහා ගිය තේරීමේ පරීක්ෂණයක් ලෙසටයි පැවැත්වෙන්නේ. මේ සියලු දේවල් තුන, හතර, පහ පන්තිවලදී උගන්වන දේවල්.


විභාග මධ්‍යස්ථානය කල් තියා හොයාගන්න -  විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන

අපේ රටේ අවුරුදු 10ක් වයස ඒ වගේම පහේ පන්තියේ ඉගෙනුම ලබන අපේම රත්තරන් දූ පුතුන්ගේ පළමු විභාග අත්දැකීම ගැන කතා කරන්නයි මේ හදන්නේ. පළමුවෙන්ම අපේ දූ පුතුන්ට වචන කීපයක් කියන්න අවශ්‍යයි. විභාගය කියූ ගමන් දරුවන් බය වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ වගේම විභාගයට බය කරලා වැඩිත් ඇති.

වැඩියෙන් වැඩ කරවලා හොඳට පාඩම් කරන්න, හොඳට වැඩ කරන්න කියලා අම්මලා, තාත්තලා කියල ඇති. ඒ කොහොම වුණත් පළමුවෙන්ම බය නැතිව තමන්ගේ මනස සැහැල්ලුවෙන් තියාගෙන මේ විභාගයට සූදානම් වෙලා විභාගයට ලියන්න කියල මුලින්ම දුවලා, පුතාලට කියනවා. මේක ලෝකෙ තිබෙන එකම විභාගය නෙවෙයි. මේක නිසා ඔබට ලොකු පීඩනයක් ඇති වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් ඉතාම සැහැල්ලුවෙන් ලියන්න.

කෙසේ වෙතත් අපි විභාගය ගැන කතා කළොත් දූල, පුතාල වෙනුවෙන් අපි 2021 වර්ෂයේ පැවැත්වීමට තිබූ ශිෂ්‍යත්ව විභාගය මේ වෙද්දි පැවැත්වීමට අවශ්‍ය සියලුම දේවල් 2022 ජනවාරි 22 සෙනසුරාදා සූදානම් කර තිබෙනවා. වෙනදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ ඉරිදා දිනවල. නමුත් අපි මෙවර පවත්වන්නේ සෙනසුරාදා දිනයේයි. ඒක අම්මලා, තාත්තලට හා ගුරුවරුන්ට විශේෂයෙන් මතක් කරනවා.

ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. පුරුද්දට වගේ ඉරිදා කියල මතක තියා ගත්තොත් විභාගය ඉවර වෙලා තියෙයි. විභාගය ආරම්භ වන්නේ උදෑසන 9.30ට. සෙනසුරාදා උදේ 9.30ත් 10.30ත් අතර පැය පළමු ප්‍රශ්න පත්‍රයට වෙන් කර තිබෙනවා. දෙවැනි ප්‍රශ්න පත්‍රය 11.00 සිට 12.15 දක්වා පැවැත්වෙනවා. පළමු ප්‍රශ්න පත්‍රයට පැයකුත්, දෙවන ප්‍රශ්න පත්‍රයට පැයකුත් විනාඩි 15කුත් ඒ අනුව හිමි වෙනවා.

ඒ අතර විවේකයකුත් තිබෙනවා. මෙවර අපේක්ෂකයන් සිංහල මාධ්‍යයෙන් දෙලක්ෂ පනස් පන්දහස් හැට දෙකක් (20,5562)සිටිනවා. ද්‍රවිඩ මාධ්‍යයෙන් අසූපන්දහස් හාරසිය හතළිස් හයක් (85,446) විභාගයට මුහුණ දෙනවා. ඒ අනුව සමස්තය තුන්ලක්ෂ හතළිස් දහස් පන්සිය අටක් (340,508) වෙනවා.

ලංකාව පුරා විභාග මධ්‍යස්ථාන දෙදහස් නවසිය හතළිස් තුනක් (2,943) ක්‍රියාත්මකයි. මීට අමතරව තවත් එකසිය අටක් (108) කෝවිඩ් රෝගය ආසාදිත දරුවන් ලෙස විශේෂිත විභාග මධ්‍යස්ථානවලදී විභාගය ලියන්න නියමිතයි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන හාරසිය අනූහයයි(496).

මේ සියලු කටයුතු ගොඩාක් දුරට අවසන් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, ගමනාගමන මණ්ඩලවලට විශේෂ ස්තූතියක් පුද කරනවා. ඒ අයත් මේ විභාගය සඳහා අවශ්‍ය සහය ලබාදී තිබෙනවා.

මේක දරුවන්ගේ වගේම දෙමාපියන්ගේ බලාපොරොත්තුවක්. ඒ නිසා මේ කටයුත්තේදී දරුවන් වෙලාවට විභාගයට වාඩි කරවන එක තමයි අපේ බලාපොරොත්තුව. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ලංකාවේම අවධානය මේ වෙලාවේ යොමු කරන්න අවශ්‍යයි.

හෙට විභාගයට මුහුණ දෙන දරුවාට දැන් මහා විශාල දෙයක් කරන්න නෑ, දරුවන් සැහැල්ලුවෙන් තියන්න. මේ පුංචි දරුවන්. මේ වයස විභාගයකට මුහුණ දෙන්න වයසක් නෙවෙයි. නමුත් අපේ රටේ තත්ත්වය මේක නිසා අපිට මේ විභාගයට මුහුණ දෙන්න සිදුවෙනවා.

ඒ නිසා දරුවන්ට මහා බරක් නිතරම ඔළුවට දාන්න එපා. පීඩනය අඩු කරන්න. ළමයව බය කරන්න එපා. ඔන්න හොඳට විභාගය ලියන්න, මහන්සි වෙලා විභාගය ලියන්න, ලකුණු 190ට වඩා ගන්න ඕන වගේ දේවල් කියන්න එපා. සාමාන්‍ය සංසිද්ධියක් බවට මේ ශිෂ්‍යත්ව විභාගය පත්කරන්න. විභාගයට යන්න තියෙන දවසේ උදේ ආදරේට කිරිබත් හදලා, කිරිබත් කවලා, කිරි පොවලා කුස පුරවලා විභාග ශාලාවට එවන්න එපා.

එහෙම එව්වම දරුවට විභාගය ලියන්න බෑ. නිදිමත, වමනය, බඩේ අමාරුව ඇති වෙනවා. පහුගිය විභාගවලදී ප්‍රශ්න පත්‍රය හෝදලා ගන්න සිදුවූ අවස්ථා තිබෙනවා. ඒ නිසා දරුවට සැහැල්ලු ආහාරයක් ලබා දී විභාගයට එවන්න. මීළඟට අර පොඩි විවේකයේදී කන්න වතුර බෝතලයක් සමග කෙටි ආහාරයක් එවන්න. සැනිටයිසර් බෝතලයක්, පැන්සල් දෙකක්, ඉරේසරයක්, කටර් එකක්, අඩි රූලක් එවන්න (බ්ලේඩ් එවන්න එපා).

වෙනත් ළමයින්ගෙන් ඉල්ලගෙන පාවිච්චි කරන්න බලාගෙන එන්නෙ නැතිව තමන්ට අවශ්‍ය දේවල් තමන් අරන් එන්න. විශේෂයෙන් මකන දියර පාවිච්චි කරන්න බැහැ. පෑනෙන් වගේම පැන්සලෙනුත් මේ විභාගෙට උත්තර ලියන්න පුළුවන්. වැරදුණොත් තනි ඉරෙන් කපලා දාන්න. ඒ ගැන අවධානය යොමු කරන්න. ඉලෙක්ට්‍රොනික අත් ඔරලෝසු පැලඳීම තහනම්. සැහැල්ලුවෙන් දරුවන් එවන්න.

අම්මලා, තාත්තලා මේ වෙලාවේ දුවට පුතාට ආදරෙන් සලකන්න, ආදරෙන් කතා කරන්න. වෙනදා අගෝස්තු වලින් පීඩනය ඉවරයි. මේ අවුරුද්දේ මේ වෙනකන් මේ පීඩනය දරන් හිටියා. පසුගිය කාලේ දරුවන්ට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඒ නිසා දරුවො ඉන්නෙ මානසික වශයෙන් පීඩනයක. මේ පීඩනය හෙට ඔවුන් බිම තියන්න යනවා. ඒ නිසා විභාගෙ ඉවර වුණාට පස්සෙ කොහොමද ලිව්වේ, ලේසිද, ලකුණු කීයක් තියේවිද අහන්න එපා.

ඒ වගේම ලකුණු ආවම දෙමවුපියන් විසින් නැවත දරුවන්ව මානසික පීඩනයට පත්කරනවා. ලකුණු අඩු නම් දැන් කොහොමද පාසලකට යන්නේ වගේ දේවල් අහන්න එපා. අපේ දරුවො ගොඩාක් අසරණයි මේ විභාගෙ නිසා. මේ විභාගෙ දරුවන්ට ඇත්තටම ගැළපෙන්නෙ නැහැ. නමුත් රටේ ක්‍රමය හැටියට මේ විභාගෙ පවත්වන්න වෙනවා. අපේ කාලේ විභාගයක් තිබ්බද කියල මතක නෑ. නමුත් දැන් තත්ත්වය වෙනස්.

නමුත් දරුවන්ගේ සැබෑ ළමා කාලය විඳින්න දෙන්න. පරිසරය අත්දකින්න දෙන්න. ශිෂ්‍යත්වෙ ඉවර වුණාම සැහැල්ලුවෙන් දරුවාට ඉන්න දෙන්න. බය නොවී විභාගෙ සමත් වෙන්න ලියන්න. අසමත් වුණත් කමක් නෑ. විභාගෙ ෆේල් වුණා කියල ඉස්කෝලයක් නැති වෙන්නෙ නෑ. ඔයාලට ඉස්කෝල ඕනතරම් තියෙනවා. ඒ නිසා තමන්ට ලකුණු කීයක් ලැබුණත් ඔබ කවුරුත් දිනුම්.

අම්මලා තාත්තලට කියන්න තියෙන්නේ 9.30ට විභාගෙ පටන් ගන්නේ. ළඟ පාසලේ විභාගය තිබෙනවා කියල විනාඩි 5න් යන්න හිතාගෙන ඉන්න එපා. ඒ වගේම අඩු සිසුන් ප්‍රමාණයක් ඉන්න පාසලක නම් වෙනත් විභාග මධ්‍යස්ථානයක විභාගෙ පවත්වන්න පුළුවන්. ඒ විභාග මධ්‍යස්ථානය කල් තියා හොයාගන්න. දැනටම ඔබට ඒ පිළිබඳව දැනගන්න ලැබිලා ඇති.

ඔබේ පාසලට ඔබ භාර දෙන දරුවන් ගුරුවරුන් විසින් අදාළ මධ්‍යස්ථානවලට රැගෙන යාවි. ඒ නිසා ළමයින්ව කල්තියා ගුරුවරුන්ට භාර දෙන්න. අඩුම තරමේ 9ට වත් ළමයව භාර දෙන්න. මොකද විභාග ශාලා 5ක් වත් මේ මධ්‍යස්ථානවල සකස් කර ඇති.

ඒවායේ ඔබේ දරුවාගේ විභාග අංකය තිබෙන ශාලාව හොයාගන්න ගුරුවරයාට සිදුවෙනවා. ඒ වගේම ඩෙස් පුටු හෙලවෙන ඒවා තිබ්බොත් ඒවා සකස් කරන්න සිදුවේවි. ඒ නිසා හති දාගෙන දුවන්න තියා ගන්නේ නැතිව ඇතිතරම් වෙලාව ඇතිව ඔබේ දරුවාව විභාග මධ්‍යස්ථානය වෙත යොමු කරන්න වග බලා ගන්න. විභාගයට මුහුණ දෙන පුංචි ඔබ සැමට සියලු විශ්ව ශක්තීන්ගේ ආශිර්වාදය ලැබේවා.!


හදිසියේවත් ශිෂ්‍යත්ව දිනයේ කෝවිඩ් ආසාදිතයි කියල දැනගත්තොත් එය වසං කරන්න එපා - පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකු බාලසූරිය

දරුවො වෙනුවෙන් අපිට කරන්න තිබෙන ලොකුම දේ තමයි වැඩිහිටි අපි සියලු දෙනා එන්නත ලබාගෙනද කියන දේ හිතල බලන එක. මොකද මේ විභාගයට ලියන සියලුම දරුවන් එන්නත්කරණයට ලක් නොවූ දරුවන්. ඔවුන් ආරක්ෂිත නෑ. ඒ වගේම අනෙක් ප්‍රධාන දේ තමයි දරුවන්ට කෝවිඩ් හැදුණම හෙම්බිරිසාවක් වගේ තමයි පෙන්වන්නේ.

ඒ නිසා හැදුණා කියල හංඟගෙන ප්‍රශ්න ඇති කරන්න අවශ්‍ය නෑ. ඉතාම පැහැදිලිව අපි විභාගයට සහභාගි විය හැකි ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. කලාතුරකින් දරුවෙක්ට දරුණු අසනීපයක් ඇවිත් රෝහල්ගතව ඉන්නවා නම් තමයි මේ විභාගයට සහභාගි වෙන්න බැරි වෙන්නෙ. නමුත් කෝවිඩ් නිසා ඒ ප්‍රශ්නය එන එකක් නෑ. ඒ අනුව විශේෂිත මධ්‍යස්ථාන කෝවිඩ් පොසිටිව් අයව යවන්න.

එතැනදී අපි දරුවාගේ පාසලට ළඟ මධ්‍යස්ථානය තමයි බලන්නේ. නමුත් දරුවාව ඒ ස්ථානයට යවන්න  අපහසු නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය මත තමන්ගේ නිවස ළඟ තිබෙන මධ්‍යස්ථානයකට යවන්න අවස්ථාව තිබෙනවා. හදිසියේවත් ශිෂ්‍යත්ව දිනයේ මේ රෝගී තත්ත්වය ආසාදිතයි කියලා දැන ගත්තොත් එය වසං කරන්න එපා.

හැම දරුවෙක්ටම කියන්න සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ දැනෙනවා නම්, උගුර රිදෙනවා නම්, උණ වගේ නම් විභාග ශාලාධිපතිවරයාට දැනුම් දෙන්න කියලා. එවිට විභාග ශාලාවේ  අනෙක් ළමයින්ගේ ආරක්ෂාව පිණිස ඔවුන්ව වෙන් කරන ලද විශේෂ කාමරයකට යොමු කරන්න හැකියාව තිබෙනවා.ඒ වගේම ළමයින් අත් සෝදගෙන, දුරස්ථ බව තබාගෙන, එක්රොක් නොවී ඉන්න.


දවස් 10ක් ඇතුළත ආසාදිතභාවයෙන් පෙළෙනවා නම්  ඒ දරුවන් විශේෂිත මධ්‍යස්ථානයට යා යුතුයි - විභාග කොමසාරිස් (පාලන සහ විමර්ශන) අමිත් ජයසුන්දර

තාමත් මේ වසංගත තත්ත්වය පහවෙලා නෑ. දරුවෝ අසාදිතයන් බවට පත්වෙලා. සමාජයේ ආසාදිතයන් හමුවෙද්දී දරුවන්ට විභාගයක් පවත්වන්නේ කොහොමද කියන එක බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. පසුගිය වර්ෂයේ අපි 2020 වර්ෂයට අදාළ ප්‍රධාන විභාග තුනක් පැවැත්වුවා. මේ විභාග වසංගත තත්ත්වය මැද පවත්වලා ප්‍රතිඵල ලබාදීම ඉතාම සාර්ථකව අපිට කරගන්න පුළුවන් වුණා.

හැබැයි අද තත්ත්වය එදා තිබ්බ වාතාවරණයට වඩා වෙනස්. අපි ක්‍රමවේද වෙනස් කරලා විභාගයට දරුවන්ට වාඩි වෙන්න අවශ්‍ය කරන තත්ත්වය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් අනුව සකස් කරලා තිබෙනවා. ඒ අනුව දෙමාපියන්ට මතක් කරනවා මේ ගැන බියක් ඇති කර ගන්න එපා කියලා. නිරෝධායනයට ලක්වෙන දරුවෙක්ට වුණත් විභාගයට වාඩි වෙන්න තිබෙන අයිතිය අපි තහවුරු කර තිබෙනවා.

අපේ වැඩපිළිවෙළ දෙආකාරයකට කතා කරන්න සිදුවෙනවා. එකක් වසංගතයට ගොදුරු වුණ, නැත්නම් කෝවිඩ් ආසාදිත විභාග අපේක්ෂිත දරුවන් ගැන. ඒ අනුව මේ වෙද්දි කෝවිඩ් ආසාදිත දරුවෙක් ඉන්නවා නම් හෝ විභාගයට පෙර කෝවිඩ් ආසාදිතයි කියලා වෛද්‍ය පරීක්ෂණවලින් වාර්තා වුණොත්, ඔවුන්ට අපි ලංකාව පුරා අධ්‍යාපන කලාප මට්ටමින් මධ්‍යස්ථානය බැගින් පිහිටුවලා තිබෙනවා.

මේ මධ්‍යස්ථානවලට දරුවාව රැගෙන යා යුතු වන්නේ දෙමාපියන් විසින්. සාමාන්‍යයෙන් දරුවන් විභාගය සඳහා රැගෙන යන්නේ දරුවාගේ පාසලට. පාසලෙන් තමයි විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යන්නේ. නමුත් මේ ආසාදිත දරුවෝ සම්බන්ධයෙන් මේ තත්ත්වය වෙනස් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව දෙමාපියන් තමයි කෝවිඩ් ආසාදිත දරුවෙක් අදාළ විභාග මධ්‍යස්ථානයට රැගෙන යා යුත්තේ.

මේ විශේෂ මධ්‍යස්ථානය මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇති. අපි සියලුම විදුහල්පතිවරුන්ව දැනුම්වත් කර තිබෙනවා, ඒ ඒ ප්‍රදේශයට අදාළ විශේෂිත මධ්‍යස්ථානය කුමක්ද කියන එක සම්බන්ධව. ඒ අනුව විදුහල්පතිවරයා අමතා මේ මධ්‍යස්ථානය ගැන අසා දැනගන්න වගේම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහාත් අදාළ තොරතුරු ලබාගත හැකියි. කලාපය තුළ එකක් පිහිටුවා තිබෙන්නේ පහසුවට.

නමුත් ඔබට ඊට වඩා ළඟින් මධ්‍යස්ථානයක් පිහිටා තිබෙනවා නම්, ඒ මධ්‍යස්ථානයට  යා හැකියි. ලංකාවේ කොතැනක හෝ තිබෙන මධ්‍යස්ථානයක විභාගයට වාඩි වුණත්, අපිට එය නිරාකරණය කරගන්න හැකි ආකාරයට අපි මේවා සකස් කර තිබෙනවා. ඒ අනුව මේ ආසාදිත දරුවන්ගේ පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවක් ශාලාධිපතිවරයාට ඉදිරිපත් කරන්න අවශ්‍යයි.

නිරෝධායනය වන හා සැක සහිත ලක්ෂණ ඇති අයට අපි වෙනම ක්‍රමවේදයක් සූදානම් කර තිබෙනවා. ඒ නිසා ආසාදිත බව දැනටත් තිබෙනවා නම්, එනම් විභාගයට පෙර දවස් 10ක් ඇතුළත ආසාදිතභාවයෙන් පෙළෙනවා නම් ඒ දරුවන් විශේෂිත මධ්‍යස්ථානයට යා යුතුයි. ඒ වගේම විභාග දින ආසාදිත බව දැනගත්තොත් වාර්තා සමග අදාළ විශේෂිත මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් විය යුතුයි. කිසිදේකට බිය වෙන්න එපා, කලබල වෙන්න එපා. අදාළ මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලය ඔබට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ නිසා ඉතා හොඳින් විභාගයට මුහුණ දෙන්න පුළුවන්.

පවුලේ අයෙක් ආසාදිතයෙක් වීම නිසා නිරෝධායනයට ලක්වෙන දරුවන් හෝ පාසලේ ළඟින් ඇසුරු කළ අයෙක් ආසාදිත වීම නිසා නිරෝධායනයට ලක් කර ඇති දරුවෙක් නම් හෝ සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට තමන්ගේ පාසලේ විභාග මධ්‍යස්ථානයේ විශේෂිත කාමරයක් සූදානම් කර තිබෙනවා.

ඒක විභාග මධ්‍යස්ථාන හතරකට එක් කාමරයක් බැගින් තමයි අපි සූදානම් කර තිබෙන්නේ. ඒ අනුව මේ දරුවන් රැගෙන යන ගුරු මහත්ම මහත්මීන් දරුවන් නිරෝධායනය වන බව හෝ රෝග ලක්ෂණ ඇති බවට හඳුන්වා දීම මගින් අදාළ කාමරයට යොමු කරනවා. ඔවුන් වෙනුවෙනුත් අපි විශේෂ කාර්යමණ්ඩල පත්කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ හා අනෙක් දරුවන්ගේ ආරක්ෂාව අපි සලකා බලලා තිබෙනවා. ඒ අනුව කිසිදු බියක් හා ගැටලුවකින් තොරව විභාගය ලියන්න අපි කටයුතු සූදානම් කර තිබෙනවා.

 



Recommended Articles