ඔබට අයිති කේන්දරය ඔබම නිවැරදිව බලාගන්න


උපත ලත් මොහොතටම අලලා සෑදෙන කේන්දර සටහන භාව කේන්දර සටහනයි. මෙසේ කේන්දර සෑදීම ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය යැයි ඇතැම්හු කියති. නමුත් භාව කුතුහලය, ශුම්භ  හෝරා ප්‍රකාශය යනාදී ඉපැරණි ග්‍රන්ථවල ප්‍රකාශණ තත්කාල නිමිති ශාස්ත්‍රයේද දැක්වේ.   ශ්‍රීමත් කල්‍යාණවර්ම් රජතුමන් විසින් රචිත සාරාවලියේද යම් යම් ස්ථානවල භාවසටහන් ගැන කරුණු විස්තර කෙරේ. විශ්වයේ පවතින්නා වූ සියලුම(ග්‍රහ) වස්තූන් විවිධාකාර වේගයන්ගෙන් හා ඕලාකාර හැඩතල වලින් යුක්තව මොහොතින් මොහොත වෙනස් වෙමින් භ්‍රමණය වේ. ඒ හේතුව මත ග්‍රහ ලෝකයන්හී භ්‍රමණය වීම එකිනෙකා කෙරෙහි ඇතිකරන ආකර්ෂණ හා විකර්ෂණ මෙන්ම විහිඳුවන ආලෝක ශක්ති ප්‍රභවයන්ද වෙනස් වේ.

භාවානුරූපව ඔබගේ කේන්දර සටහනේ දුක්වෙන ග්‍රහ පිහිටීම සලකමින් තමාට අනාගතයේදී ඇතිකරන ඵල තමන්ම දැනගන්න, පහත සඳහන් කරුණු උපයෝගී කරගන්න.

උපත ලබන වෙලාවට අයත් වන ලග්නභාවයේ ‘එක් එක් ග්‍රහ පිහිටීම ගැන මුලින්ම විමසා බලමු. ලග්නභාවයෙන් හොවා දක්වන කරුණු අතර ප්‍රධාන වන්නේ උපත ලත් අයගේ හැඩරුව, ගතිගුණ, පැහැය, ආත්මශක්තිය, කීර්ති ප්‍රශංසා, ශරීර ලප කැළැල්, දුකසැප හෙවත් ධනවත් බව, මව්පිය උරුම ගති හා තම හිස යනාදී තවත් බොහෝ කරුණු එළිදැක්වේ. එම භාවයට පත්වන අවස්ථාවේ ග්‍රහයන්ගේ ග්‍රහස්ඵූට මෙන්ම දෘෂ්ටි සංයෝගද ඵලාපල කෙරෙහි සුබාසුබ බලපානු ඇත. ග්‍රහයෙක් උච්ච හෝ ක්ෂේත්‍ර අංශක ඉදිරියට හෝ පසුකරමින් ගමන් කරන අවස්ථාවලදීද ක්‍රියාකාරී ශක්තීන් එකිනෙකට වෙනස් වේ. මිත්‍ර, සතුරු, නීච, සම, මුඪ යන අවස්ථවලදීද ඵල වෙනස් වේ. ලග්නභාවයේ දෙපස සිටින ග්‍රහයන්ගේ එම ගතිගුණද බලපානු ඇත. මෙවැනි කරුණුද සැලකිල්ලට ගෙන ඵල තීරණය කරගැනීම ප්‍රඥාගෝචර වෙයි.

ඔබට අයත් වන ලග්නයට හිමි ග්‍රහයා පළමුවෙන් හඳුනා ගනිමු. උදාවන ලග්න, පිළිවෙළින් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍ය, තුලා, වෘශ්චික, ධනු, මකර,කුම්භ, මීන වශයෙන් දැක්වේ. මෙම රාශීන්ට ආවේණික අධිපති හා ක්ෂේත්‍ර ග්‍රහයන් පිළිවෙළින් කුජ, සිකුරු, බුධ, සඳු, රවි, බුධ, සිකුරු, කුජ, ගුරු, ශනි, ශනි, ගුරු යනුවෙනි. මෙහිදී රවිහා සඳුට එක එක රාශිය බැගින්ද අනෙක් සියලු ග්‍රහයන්ට රාශි දෙක දෙක බැගින්ද අයත් වේ. තවද මේෂ, වෘෂභ, කටක, කන්‍ය, තුලා, මකර, මීන යන රාශිවලට උච්ච ග්‍රහයන් වන්නේ රවී, සඳු, ගුරු, බුධ, ශනි, කුජ, සිකුරු වේ. මේවා පිළිවෙළින් අංශක 10, 03, 05. 15, 20, 28, 27 වශයෙන් ඇතුළත්ය. මේවාට 7වන රාශිය නීච රාශිය වේ.

ඉහත සඳහන් රාශිවල උච්ච හෝ අධිපතියන් එම රාශියේම සිටී නම් ආවේණික සුභ ඵල ගෙන දේ . නීච නම් උදාසීනවද, සතුරු නම් අසුබ ඵලද ගෙනෙන අතර සුබ ග්‍රහයන් ගුරු, (සඳු, සිකුරු හා බුධ) සංයෝග හෝ දෘෂ්ටි සහිත නම්ද අසුබ ඵල ගෙන නොදෙනු ඇත. මේ නිසා ඉදිරියේදී කරන ප්‍රකාශයන් නිවැරදිව වටහා ගන්න උත්සාහ කරන්න.

මේෂ රාශිය ලග්නභාවය වී එහි කුජ හෝ රවි ඉහත කී ආකාරයෙන් සිටීමෙන් රුචක යෝගය පිහිටයි. මේ අය කාර්ය්‍යශූර, උනන්දුවෙන් ඕනෑම වැඩක් කිරීමට ඉදිරිපත් වේ. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු මෙන්ම අවි දරන යුද කටයුතුද, ආරක්ෂක උසස් නිලතල භාරව සිටීමට කැමති කැපී පෙනෙන කෙනෙකි. හැඩහුරුකමින් තේජවන්ත, වැඩුණු ශරීරයද කලු වුවත් රත් පැහැයට හුරු, සුදුම පාට ශක්තිමත් දත් හිමිය. බෙල්ල දැඩි හා වටකුරුය, හොඳ පෞරුෂත්වයකින් යුක්තයි. මෙවැනි යෝග කේන්දරයේ 10වැනි භාවයේ නම් අනිවාර්යෙන්ම රාජ්‍ය හෝ පෞද්ගලික උසස් තනතුරු දරනු ඇත. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව තම පරම්පරාවේ දියුණුව උදෙසා කැපවීමෙන් කටයුතු කරයි. සාමය හෝ දරුණු බව ස්ථානෝචිතව ක්‍රියාත්මක කරයි. අනෙකුත් සුබ ග්‍රහයන්ගේ බලපෑම් සහිත නම් ධාර්මිකත්වය අගය කරයි. පාප ග්‍රහ සංයෝගතා නම් ඉතා දරුණු වේ.

ඔබගේ ලග්නභාවය වෘෂභ නම් එහි ඉහත කී පරිදි සඳුහෝ සිකුරු සිටීමෙන් මාලව්‍ය යෝගය පිහිටයි. මේ අය පිරිපුන් හා දැකුම්කලු රත් පැහැයෙන් යුක්ත වේ. ස්ත්‍රියක් නම් හස්තිනී ගණයේය. පංච කල්‍යානයෙන් යුක්තයි. මහත්ම නොවන සිහින් හැඩවැඩ සහිත ශරීරයකි. කලා කටයුතු වලට දක්ෂයි. ස්වභාවධර්මයට ඉතා ඇලුම් කරයි. මවට ඉතා ලැදිවේ. සුබ ගුරු හෝ බුධ නැකැත් සංයෝගතා අනුව දැහැමි රාජ්‍ය පාලකයෙක්ද වේ.

මේ කරුණු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරයි. පළමු කී පරිදි අසුබ සංයෝග හෝ දෘෂ්ටි මත වෙනස් විය හැකියි . නමුත් මේ අයට යහමග කුඩා කල සිටම කියා දී හුරුකර ගැනීම කළ යුතුයි.

මිථුන ලග්නභාවයේ බුධ සිටින අතර, ගුරු ශනි යෝග සහිත නම් ඕනෑම කාර්යයක් ඉක්මනින් ඉගෙන ගනී. දක්ෂතා සහිතයි. එකම ධනය බුද්ධියයි. විස්තරාත්මක දේශනයට දක්ෂයි. පවුලේ ප්‍රධානියා වශයෙන් තම පරම්පරාව ඉදිරියට ගෙන යයි. දෙමාපියන්ට මෙන්ම වැඩිහිටියන්ට ගෞරව සහිත කෙනෙකු වේ. ඇසූපිරූ තැන් බහුල කරගන්නා අතර, විශ්ලේෂණාත්මක දේශනවලට ඉතා දක්ෂයි. කලාවට මෙන්ම ස්වභාවධර්මයට ඇලුම් කරයි. යමක් දුටු පමණින් එය වටහාගෙන ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් උපතින්ම ලබා ඇත. දහමට ඉතා ළැදිය. දානමාන දීමට ඉතා කැමතිය. සඳු, ගුරු සම්බන්ධතාව අනුව යමක් වහා වටහා ගැනීමේ නුවනක් උපතින්ම ලබා ඇත. සැමවිට සාධාරණත්වය අගය කරයි. සාමයට කැමතියි. ශනි දුබල නම් කේන්තිකාරයෙකි. දිගටි අත් පා, වටකුරු හැඩය, දෙඅතේ දිග තරමට උස, පුරුෂ නම් තරමක් රළු වූද, ස්ත්‍රී නම් පියුමක මෙන් මොළොක් ශරීරයද, පිරුණු ළමැදක් යන ලක්ෂණ පෙන්නුම් කරයි. වාසනාවන්ත ගුණයෙන් යුක්තයි. මේ කරුණු වෙනස් වන්නේ ග්‍රහයන්ගේ දුබලතා පැවැතියහොත් පමණි.

කටක ලග්නභාවය හිමිකම් සහිතව සඳු හෝ සඳු ගුරු සංයෝගව උපත ලබා ඇත්නම් ඉතා වාසනාවන්තයි. නමුත් කටහඬ ටිකක් සැරයි. මිථුන ලග්නයේ භාව ඵල වලට ගොඩාක් සමීපව ක්‍රියා කරයි. ප්‍රසන්න පෙනුමකින් යුක්ත වේ. පැහැපත්, ශක්තිමත් ශරීරයකි. ලොව ධර්මතාවය හොඳින් වැටහේ. ඒ අනුව අනුන්ගේ දුක් වේදනා තමාට මෙන් දැනේ. හැකි උපකාර නොපිරිහෙළා ඉටුකරයි. අසල්වැසි කවුරුත් සමඟ කුළුපඟව විසීම එකම බලාපොරොත්තුවයි. ඉගෙනීමට ඉතා දක්ෂයි. වර්ණවත් පියකරු මුහුණක් හා සිනහමුසු බවක් නිතර දක්නට ලැබේ. හරිම සංවේදී කෙනෙකි. ස්ත්‍රී පුරුෂ භේද මේ විස්තරයට අදාළ නොවේ.

රවි ග්‍රහයා ලග්නභාවයේ වූ සිංහය නම් කුජ සිකුරු සංයෝග නම් ඔබ සිතන දෝෂය නැත.  ආත්ම ශක්තිය උදෙසා හැකි සෑම උත්සාහයක්ම නොපසුබටව ක්‍රියාවේ යොදන කෙනෙකි. අන් අය පරදවා තමන්ගේ සිතැඟි අරමුණ ඉටුකර ගැනීම පෙරටුකොට ක්‍රියාත්මක වෙයි. බාධක මායිම් නොකරයි. දැඩි උත්සාහවන්තයි. පියාට ඉතා ළැදි අතර, රජයට පක්ෂපාතී වුවත්, කිසිවෙකුට යටත් වීම සිතිය නොහැකි තරම්ය. තේජවන්ත නෙත් සහිත ගාම්භීර පෙනුමක් හොවා දක්වයි. මෙහි දුබලතා ඉහත කී ආකාරයේ ග්‍රහ සංයෝග දෘෂ්ටි මත පවතී.

ලග්නභාවය කන්‍යාව වී එහි බුධ වක්‍ර නොවී කෙසේ සිටියත් භද්‍ර යෝගයයි. මෙය ඒකශැත යෝගයකි.  එහි තීව්‍රතතාවය සඳු, ගුරු හෝ කුජ, ගුරු සංයෝගතා අනුව ක්‍රියාත්මකයි. වෙළෙඳාම් ව්‍යාපාර, ඛනිජ සම්පත්, වගාකටයුතු, ග්‍රන්ථකරණය, දේශක යන තනතුරු යනාදිය ප්‍රමුඛස්ථානයේ ලා සැලකේ. බොහෝ නිහතමානී මිත්‍රතාවයට කැමැති වේ. ආධිත්‍ය යෝගයකට රවි යොමු වේ නම් පාලන තන්ත්‍රයේ මහත් පෙරළිකාරී කෙනෙකු වෙයි. පරම්පරාව ඉදිරියට ගෙන යනවාට වඩා ධනය රැස්කිරීමට සියලු ශක්තීන් යොමු කරනු ඇත.

ඉහත සඳහන් විස්තරය බොහෝදුරට ජ්‍යෝතිෂ ශාස්ත්‍ර කරුණුවලට ආවේණික වන අතර, මේ පොදු කරුණු වේ. තමාගේ උපන් ලග්නභාවය හා බලවත් ග්‍රහ පිහිටීම තම ශක්ති ප්‍රමාණ යම් තරමකට හෝ වටහා ගැනීමට මහෝපකාරී වන බව සත්‍ය වේ. ඉතිරි ලග්න සඳහා මෙවැනි විස්තර ඉදිරියේදී පැවසීමට බලාපොරොත්තු වෙමි.



Recommended Articles