ඔබ දුම්බොන්නෙක් නම් මේ ඔබ වෙනුවෙන්


දුම්පානය වැළැක්වීම සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් ඇතිව තිබේ. කෝවිඩ්-19 ආසාදනයෙන් මිය යන පිරිස අතර වැඩි සංඛ්‍යාවක් දුම්බොන්නන් බව සනාථ වී තිබීමද එම කතාබහට එක හේතුවකි. මේ නිසාම දුම් බොන්න එපා කියන්නේ ඇයිදැයි අපි සොයා බැලුවෙමු. දර ළිපක් අසල එයට මුහුණ ළං කරගෙන ඉඳ ඇතිනම් එහි ඇති අපහසුව ඔබට දැනිලා ඇති. එම සරල උදාහරණයෙන් දුම් බොන නොබොන සියලුදෙනාට එහි ඇති ආදීනව තේරුම් යනු ඇත.

දුම්වැටි කියන්නේ මොනවාද?

දුම්වැටි කියන්නේ මොනවද කියලා හැමෝම සාමාන්‍යයෙන් දන්නවා. ඒත් හුඟක් අයට අමතක වෙන එකක් තමයි දුම්වැටියේ අන්තර්ගතය අනුව හානියෙහි මහා වෙනසක් සිදුනොවන බව. උදාහරණයක් විදිහට ගංජා සුරුට්ටුවත් දුම්වැටියක්. සිගරට්, බීඩි වැනි දුම්කොළ අන්තර්ගත දුම්වැටිවලින් සිදුකරන හානියම ඒ මගිනුත් සිදුකරනවා. මේ හැම එකක්ම දුම්වැටි.

දුම්වැටි කියන්නේ දැවෙන කාබනික ද්‍රව්‍ය. ඕනෑම කාබනික ද්‍රව්‍යයක් දැවෙන විට නිපදවන කාබන්ඩයොක්සයිඩ්, මොනොක්සයිඩ්, තාර වැනි අපද්‍රව්‍ය දුම්වැටි දහනයෙනුත් නිපදවෙනවා. ඊට අමතරව දුම්වැටි නිපදවීමේදී ඊට එකතුවෙන රසායන ද්‍රව්‍යද, ඒ අන්තර්ගතයේ ඇති සිගරට් බීඩිවල නම් නිකොටීන් වැනි හා ගංජාවල ටීඑච්සි(THC )වැනි රසායන ද්‍රව්‍යද නිපදවන දුමෙහි අඩංගුයි. උදාහරණයක් ලෙස සිගරට් දුමෙහි ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය වර්ග 250ක් පමණ අඩංගු වන බව සොයාගෙන තිබෙනවා.

දුම්බීමට යොදාගන්නේ ශ්වසන පද්ධතිය

අනෙකුත් වැදගත්ම කාරණය නම් දුම්බොන්නන් මෙම රසායන ද්‍රව්‍ය ශරීරයට ඇතුළු කරගන්නේ ශරීරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වූ අපි හුස්ම ගන්න (ඔක්සිජන් ලබාගැනීමට ඇති) ශ්වසන පද්ධතිය හරහා වීමයි. අප ශරීරය ශ්වසන පද්ධතිය හරහා ලබාගන්නා ඔක්සිජන් ඉතාමත් කාර්යක්ෂමව සිරුරේ හැම සෛලයකටම බෙදාහැරීම සඳහා සැකසී තිබෙනවා. ඒ නිසා දුම්වැටිවලින් ශරීරයට ඇතුළුවන විෂ රසායන ද්‍රව්‍යද ඒ යන මාර්ගයේ ඇති ශ්වසන නාල, පෙණහලු බිත්ති, හෘදයවස්තුව සහ රුධිර නාල සියල්ලෙහිම තාර සහ රසායන ද්‍රව්‍ය තැන්පත් කරමින් ඒවාට හානිකරන ගමන් ඉතාමත් කාර්යක්ෂමව සිරුරේ සෛල කෙරෙහි ප්‍රවාහනය වෙනවා.

කොරෝනා සහ දුම්පානය

මේ දිනවල ලෝකය පුරා ව්‍යාප්තව තිබෙන කොරෝනා හෙවත් කෝවිඩි -19 රෝගය, දුම්පානය කරන්නන්ට ඉතා ඉක්මනින් වැලදෙන්න පුළුවන්.

ඒ වගේම දුම්බොන අයට කොරෝනා ආසාදනය වීමේ, වැලඳීමේ, සංකූලතා ඇතිවීමේ වගේම කොරෝනා නිසා මිය යාමේ අවදානම ඉතාමත් වැඩියි. මෙය සිදුවන්නේ කරුණු කීපයක් නිසායි.

කොරෝනා ආසාදනය වීමේ අවදානම වැඩි වීම

බාහිරින් ලැබෙන ආශ්වාස වාතය සමග ශ්වසන පද්ධතිය තුළට ඇතුළු වෙන විෂබීජ නැවැත්වීම සඳහා අපේ ශරීරයේ මනරම් සැකැස්මක් තිබෙනවා. ශ්ලේස්මල තරලය විෂබීජවලට බාධකයක් ලෙස ක්‍රියා කරනවා. ශ්වසන මාර්ගයේ ඇති කෙඳි වැනි ව්‍යුහ සංචරණය වීම මගින් විෂබීජ ඉහළට තල්ලු කර  කැස්ස මගින් ඒවා නැවත ශ්වසන මාර්ගයෙන් එළියට තල්ලු කරනවා. කැස්ස අපිට තියෙන ආරක්ෂිත උපක්‍රමයක්. මේ සියලුම බාධාවලින් ගැලවී පෙණහලු තුළට රිංගා ගන්නා විෂබීජ සමග සටනට අප ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සුදු රුධිරාණු හමුදාවක් ඉන්නවා. ඔවුන් විෂබීජවලට පහර දී ඒවා අඩපණ කිරීම හෝ විනාශ කිරීම සිදුකරනවා.

නමුත් දුම් බොන්නන්ගේ මේ ආරක්ෂිත උපක්‍රම සියල්ලම අඩපණයි. සිගරට් දුම් මුලින්ම ආග්‍රහණය කරන විට එන කැස්ස කල් යෑමේදී නැති වී යන්නේ ඒ නිසායි. සිගරට් දුමේ ඇති විෂ ද්‍රව්‍ය දුම්පානය කරන්නාගේ ආරක්ෂා පද්ධතියට පහරදී එය අඩපණ කර තිබෙනවා. කොරෝනා වෛරසයට එරෙහිව ඔහුට ඇති ආරක්ෂාව දුම් නොබොන කෙනෙක්ට වඩා බෙහෙවින් දුර්වලයි. එබැවින් ඔහුට එය ආසාදනය වීමේ හැකියාව වැඩිය.

කොරෝනා රෝගය වැළඳීම

කොරෝනා වෛරසය ආසාදනය වූ පමණින් රෝගය වැලඳෙන්නේ නැහැ. ලංකාවේ සොයාගත් ආසාදිතයන් කිහිපදෙනෙක්ම රෝග ලක්ෂණ නොපෙන්වූ, නිරෝධායන මධ්‍යස්ථානවල සිදුකළ අනිවාර්ය පරීක්ෂා කිරීම්වලින් හඳුනාගත් අය බව ඔබට මතක ඇති. ආසාදිතයන් රෝගීන් බවට පත්වනවාද නැද්ද යන්නට කරුණු කිහිපයක් බලපාන අතර, එයින් වැදගත්ම වන්නේ එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිය සහ ශරීරයට ඇතුළු වන වෛරස ප්‍රමාණයයි. දුම්පානය කරන්නන්ගේ ප්‍රතිශක්තිය අඩපණ වන්නේ ශ්වසන පද්ධතියේ පමණක් නොවේ. මුළු ශරීරය පුරාම යන විෂ බාහිරින් එන විෂ අපද්‍රව්‍ය සමග සටන් කිරීම පිණිස ඇති සුදු රුධිරාණු හා අනෙකුත් ක්‍රියාවලි අඩපණ කරනවා. එබැවින් ඔහුගේ ප්‍රතිශක්තිය දුර්වලයි. ඔහුගේ ශ්වසන මාර්ගයේ ප්‍රතිශක්තිය දුර්වල නිසා ඇතුළු විය හැකි වෛරස ප්‍රමාණය වැඩියි. එලෙසම ඔවුන් නිතරම ඔවුන්ගේ ඇඟිලි මුව වෙත ගෙනියන නිසා ඔවුන්ගේ ශ්වසන මාර්ගය වෙතට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩියි.

සංකුලතා ඇතිවීම

පෙර සඳහන් කළ පරිදිම දුම්බොන්නන්ගේ ශ්වසන පද්ධතිය බෙහෙවින් දුර්වලයි. ඔවුන්ගේ පෙණහලු කොහොමත් ලෙඩින්. ඒ තුළට මෙවැනි දරුණු වෛරසයක් ඇතුළු වූ විට හුස්ම ගැනීමේ ආබාධ ඇතිවීම, ද්විතීයීක බැක්ටීරියා සාදන නිව්මෝනියාව සෑදීම සහ ශ්වසන පද්ධතිය අකර්මණ්‍ය වීමේ අවදානම වැඩියි.

මිය යාමේ අවදානම වැඩි වීම

මෙය ශ්වසන පද්ධතිය අකර්මණ්‍ය වීම මෙන්ම වෙනත් කාරණා රාශියක් නිසාද සිදුවෙන්න පුළුවන්. කොරෝනාවලින් මිය යෑමේ වැඩි අවදානම ඇත්තේ වයස්ගත පුද්ගලයන්ට සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට බව ඔබ දැනටමත් අසා තිබෙන්නට පුළුවන්. වයස්ගත පුද්ගලයන්ට වැඩි අවදානමක් ඇත්තේ ඔවුන්ගේ සිරුරු සහ ප්‍රතිශක්තීකරණ පද්ධති දුර්වල නිසායි. අධිරුධිරපීඩනය, හෘදරෝග, වකුගඩු රෝග, පිළිකා  වැනි නිදන්ගත රෝග ඇති අයටද කොරෝනාවලින් මිය යාමේ වැඩි අවදානමක් ඇත්තේ ඉහත හේතු නිසාමයි. කලින් සඳහන් කළ පරිදි දුම් බොන්නන්ගේ ශරීර දුර්වලයි. ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වලයි. ඔවුන්ට නිදන්ගත රෝග තිබීම හෝ ඒ සඳහා අවදානම් තත්ත්ව තිබීම සුලබයි. මේ සියලු කරුණු නිසා දුම්පානය කරන්නන් කොරෝනා නිසා මිය යාමේ අවදානම ඉතාමත් වැඩියි.

දිනකට මිය යන ගණන 56ක්

ශ්‍රී ලංකාව තුළ ආසන්න වශයෙන් දිනකට පුද්ගලයන් 1,660,900ක් දුම්පානය කරන අතර, මේ හේතුවෙන් වසරකට 20,000ක් මිය යන බවද මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා. එනම් දුම්පානය නිසා ලංකාවේ දිනකට මිය යන ප්‍රමාණය 56ක් වෙනවා. ශ්‍රී ලංකාවේ වසය අවුරුදු 15ට වැඩි පිරිමින්ගෙන් 28.4%ක් දුම්පානය කරන බව හඳුනාගෙන තිබෙන අතර, ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා බවද මේ වනවිට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

තවදුරටත් දුම් බිව්වොත්

කෝවිඩි-19 වසංගතය හමුවේ මේ වනවිට මුළු ලෝකයම ආර්ථික වශයෙන් පහළට ගොස් තිබෙනවා. ලෝකයෙන් අඩකට වැඩි පිරිසක් මේ වනවිටත් නිවෙස්වලට වී සිටිනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වයත් එයටම සමානයි. මේ වනවිට ලංකාවේ ආර්ථිකයත් කඩා වැටී තිබෙනවා. සමහර පුද්ගලයන්ට රැකියාව සම්බන්ධ ප්‍රශ්නද ඇති වී තිබෙනවා.

මේ නිසාම ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ යමින් තිබෙනවා වගේම තවදුරටත් අපේ මිනිසුන් දුම්බොන්න පුරුදු වුණොත්  බිලියන ගාණක් අපේ රටේ සල්ලි පිටරටවලට ඇදී යන බව මතක තබාගත යුතුයි. එහෙම උනොත් රුපියල තවත් බාල්දු වෙනවා.

 ඒ වගේම ඉදිරියට ආර්ථික අවපාතයක් එන බව ආර්ථික සහ මූල්‍ය අංශයේ විද්වතුන් පෙන්වා දී තිබෙනවා. දුම්පානයට මුදල් වැය කරමින් දුම්පානයෙන් රෝගී වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට තවත් මුදල් කන්දරාවක් වැය කිරීමට සිදුවුවහොත්  එය මේ අවස්ථාවේදී රටට තවත් විශාල බරක් වෙනවා. ඒ වගේම එය දුම්බොන්නන්ගේ නිවෙස්වලටත් දැඩි ලෙස බලපානවා. මේ නිසා දුම් නොබී සිටීම ඔබට, අපිට, රටට වගේම ඇගටත් ගුණයි.

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ  හා කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍යය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ 'ටොබැකෝ අන්මාස්කඩ්' හි සංස්කාරක වෛද්‍ය මනුජා පෙරේරා 

 

 



Recommended Articles