ඔබ, නිවසේ සිටින කෝවිඩ් ආසාදිතයෙකු නම්


මේ වනවිට කෝවිඩ් රෝගීන් විශාල වශයෙන් රටපුරා හමුවන බැවින්, ඇතැම්විට ඔබද නොදැනුවත්ම ආසාදිතයෙකු වී සිටිය හැක. තවද ඇතැම්විට ඔබ නිවසේ නිරෝධායනය වන්නෙකු විය හැක. එම තත්ත්වයන් හමුවේ ඔබ නිවසේ සිටින විට ක්‍රියා කළයුතු උපදෙස් කිහිපයක් පිළිබඳව අපි මෙලෙස ගෙන එන්නෙමු.

  • සාමාන්‍යයෙන් විශේෂ අවසරයක් පිට කෝවිඩ් රෝගියෙකු නිවසේ රඳවා ගැනීම සිදුනොවේ. යම් අයෙකුට රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔහුව අනිවාර්යෙන්ම රෝහලකට යොමු කරනු ලබයි.
  • රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් රෝගීන් යැයි සැක සිතෙන පුද්ගලයන් අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරයි. එහිදී ගර්භිණී මවුවරුන්, වයස්ගතවූවන්, කාලීන රෝගවලින් (වකුගඩු, දියවැඩියාව) පෙළෙන පුද්ගලයන්ට වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇත.
  • නමුත් මේ කාණ්ඩවලට අයත් නොවන නිවසේ රැඳී සිටින පුද්ගලයෙකුට ඇතැම්විට ආසාදනය වී තිබිය හැකියි. එමෙන්ම එකවර රෝගීන් රෝහල්ගත කිරීමේ තදබදයක් මතුවුවහොත් ඇතැම් පුද්ගලයන්ට යම් කාලයක් නිවසේ රැඳී සිටීමටද සිදුවිය හැකියි. එවැනි පුද්ගලයන් තමන්ට රෝග ලක්ෂණය මතුවුවහොත් ඉතා ඉක්මනින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි.
  • නිරෝධායන කාල සීමාවකදී පුද්ගලයෙකුට දැනෙන ආකාරයේ අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් (හුස්ම ගැනීමේ අපහසුවක්, ඇඟපත වේදනාවක්, හන්දිපත් කැක්කුමක්, ගිලීමේ අපහසුවක්‍, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව) හෝ කුමක් හෝ කෝවිඩ් රෝග ලක්ෂණයක් ඇතිවුවහොත් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දැනුම් දිය යුතුයි. රෝග ලක්ෂණ නොපෙන්වන අයට ඇතැම්විට මෙවැනි තත්ත්වයක් මතුවිය හැකියි.
  • කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නිරෝගී පුද්ගලයන් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් හෝ පීසීආර් පරීක්ෂණයක් සිදුකර එදින සිට දින දහ හතරක් නිරෝධායනය වන පුද්ගලයන් එම කාලය ඉතා ආරක්ෂිතව ගත කළ යුතුයි.
  • එහිදී ඔවුන් පවුලේ අනෙක් පුද්ගලයන් සමග ඈත්ව දුරස්ථභාවය පවත්වාගත යුතුයි.
  • ඔබේ කටයුතු තනිවම කරගත හැකි නම් අන් අයගේ සහයෝගයකින් තොරව සිදුකරන්න. (එසේ නොමැති අයෙකු නම් මනා සෞඛ්‍ය මට්ටමක් ඇති පුද්ගලයෙකු ඔබගේ සහයට තබාගන්න. එම සාමාජිකයා හැර පවුලේ අනෙක් සාමාජිකයන් සමග සම්බන්ධ නොවී සිටින්න.)
  • ඔබ නිරන්තරයෙන් උණුවතුර පානය කළ යුතුයි.
  • විටමින් C බහුල ආහාරපාන ලබාගත යුතුයි. විශේෂයෙන් දෙහි, දොඩම්, නාරං වැනි ආහාර හැකිතාක් ලබාගන්න. එමෙන්ම ප්‍රතිශක්තිය වඩවන ආහාරද ආහාරවේලට එක් කර ගන්න.
  • ඔබ දිනකට තෙවරක් අවම වශයෙන් හුමාලය ඇල්ලිය යුතුයි. (උදේ, දිවා, රාත්‍රී ලෙසින්)
  • දිනකට පිරිසුදු ඇඳුම් දෙකක්වත් භාවිත කළ යුතුයි. (තමන්ගේ ඇඳුම් තමන්ටම පිරිසුදු කරගැනීමට හැකි නම් එය වඩාත් යෝග්‍යයි.)
  • ඔබට වාසය කිරීමට හොඳින් හිරුඑළිය, ආලෝකය වැටෙන කාමරයක් තෝරාගත යුතුයි. වෙනම කාමරයක් නොමැති නම් නිවසේ කොටසක් තිර රෙදි දමා හෝ වෙන්කර ගන්න. (හැකි නම් වෙනම නාන කාමරයක්, වැසිකිළියක් භාවිත කරන්න) ඒවා භාවිත කිරීමෙන් පසුව විෂබීජනාශක යොදා පිරිසුදු කර තබන්න.
  • මෙම කාලසීමාවේදී ස්නානය කිරීම කිසිවිටෙකත් අනුමත නොකරයි. මන්ද මෙම වෛරසය යම් ආකාරයකින් ආසාදනය වී ඇත්නම් ස්නානයේදී එයින් පෙනහළුවලට බලපෑමක් එල්ල විය හැකියි.
  • නමුත් ඔබට උණු ජලය භාවිතයෙන් ඇඟ සෝදා ගැනීම, ශරීරය මාත්තු කිරීම වැනි දේ සිදුකළ හැකියි.
  • ඔබ වාසයකරන ස්ථානය නිරන්තරයෙන් පිරිසුදුව තබා ගැනීමට කටයුතු කළ යුතුයි.
  • මෙම කාලසීමාව තුළදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලබාදෙන උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න.
  • නිවසේ වෙසෙන අනෙක් සාමාජිකයන්ද සෑම අවස්ථාවකදීම පිරිසුදුව සිටිය යුතුයි.
  • එමෙන්ම සියලුදෙනා මුව ආවරණ පැලඳ සිටීමද සිදුකළ යුතුයි.

විශේෂඥ උපදෙස් - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන් බාලසූරිය මහතා



Recommended Articles