ඔන්ලයින් වැඩ කරන්න තවමත් සිග්නල් නැත්තේ ඇයි?


පවතින වසංගතය හමුවේ අධ්‍යාපනය, සම්මන්ත්‍රණ, සමුළු, කාර්යාලයීය වැඩකටයුතු බොහෝමයක් සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමවේදය හරහාය. විශේෂයෙන් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය මග නොහැර සිදුවිය යුතු බැවින් කෝවිඩ් වංසගතය ආරම්භයේ සිටම ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතු කිරීමට සිදුවිය. මෙය නාගරික දරුවන්ට ඉතා පහසු වුවත් උපාංග නොමැති දරුවන් සහ ආවරණ කලාප නොමැති දරුවන් මහත් පීඩාවකට පත්වෙයි.

කෙසේ හෝ ජංගම දුරකථනයක් මිලදී ගත්තද ඇතැම් දරුවන්ට නිවසේ සිට ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට නොහැකි ප්‍රධාන ගැටලුවක් වන්නේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල සබඳතාවන් සඳහා සංඥා කුලුනු නොමැති වීමය. විශේෂයෙන් අති දුෂ්කර පළාත්වල දූදරුවන් මෙම ගැටලුවට තදින්ම මුහුණ දෙයි. නිවසේ වහලයට නගින දරුවන්ද, ගස් ගල් උඩට වී සිග්නල් සොයන දරුවන්ද, කිලෝමීටර් ගණනාවක් දුර ගමන් කරමින් සිග්නල් සොයන දරුවන්ගේ දුක පිළිබඳවද මාධ්‍ය තුළින් නිරන්තරව කතා වෙයි. විසි එක්වන සියවසේදී ලෝකය මෙතරම් දියුණු තත්ත්වයකට පැමිණියද, ලංකාවටම ආවරණ කලාප ලබාදිය නොහැකිද යන්න පිළිබඳව අපි සොයා බැලුවෙමු.

සිග්නල් නැත්තේ ඇයි?

මෙහිදී ප්‍රධාන වශයෙන් බලපානු ලබන කරුණක් වන්නේ ප්‍රදේශයේ භූගෝලීය පිහිටීමයි. බොහෝ ප්‍රදේශවල භූගෝලීය පිහිටීම් හේතුවෙන් ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට ආවරණ කලාපයක් ලබාදීමට නොහැකි වෙයි. විශේෂයෙන් කඳු සහිත ප්‍රදේශ, දිය ඇලි, වනාන්තර සහිත ප්‍රදේශවලට මෙම ගැටලුව තදින්ම බලපානු ලබයි. එවැනි ප්‍රදේශවල කුලුනු සවි කිරීමේදී වුවද බාහිර සමාජය තුළින් පැමිණෙන අභියෝගයන් අති විශාලය.

එමෙන්ම භාවිත කරන්නන් අඩු ප්‍රදේශවලට සහ ජනශූන්‍ය ප්‍රදේශවලට දුරකථන සමාගම් විසින් සංඥා කුලුනු සවි නොකිරීම හේතුවෙන්ද බොහෝ ප්‍රදේශවලට ආවරණ කලාප නොමැති වී තිබේ. ඇතැම්විට එම ප්‍රදේශවල පවතින ආවරණ කලාප තුළින් වේගවත් අන්තර්ජාල සබඳතාවක් නොමැති වන්නේද ජනශූන්‍ය සහ භාවිත කරන්නන් අඩු වීම හේතුවෙනි. මෙහිදී විශේෂයෙන් එක් සංඥා කුලුනකට වැය වන වියදම අධික වීම නිසා එම පිරිවැය භාවිත කරන්නන් අඩුවෙන් සිටින ප්‍රදේශවලින් ආවරණය කරගත නොහැකි නිසා, එම ප්‍රදේශවල සංඥා කුලුනු සවි නොකිරීමට බොහෝ දුරකථන සමාගම් කටයුතු කරයි. 

සාමාන්‍යයෙන් සංඥා කුලුනුවල ක්‍රියාකාරීත්වය සිදුවන්නේ විදුලියෙනි. එමෙන්ම පවතින විදුලියට අමතරව බැටරි සැකැස්මක්ද කුලුනුවල සවිකර ඇත. ප්‍රදේශයක යම් ආකාරයකින් විදුලිය විසන්ධි වුවහොත් කිසිදු අපහසුවකින් තොරව කුලුනු හරහා සිග්නල් ලබාදෙන්නේ බැටරි සැකැස්මේ ක්‍රියාකාරීත්වය නිසාය. නමුත් බොහෝ තැන්වලදී විවිධ පුද්ගලයන් මෙම බැටරි ගලවාගෙන යාමේ තත්ත්වයන්ද පවතී. මෙවැනි තත්ත්වයන් නිසා එම ප්‍රදේශවල විදුලිය විසන්ධි වූ අවස්ථාවන්හිදී සංඥා කුලුනු මගින් සංඥා නිකුත් නොවෙයි.

නිවසකට Landline පහසුකමක් තිබෙනවා නම් ඒ හරහාද මේ වනවිට අන්තර්ජාල සබඳතාවක් ලබාගැනීමේ හැකියාව තිබේ. ලංකාවේ දැනට සේවා සපයන සියලු දුරකථන සමාගම් තුළින් මෙම පහසුකම ලබාගත හැකිය. එය ෆයිබර් හෝ කොපර් කේබල් භාවිතයෙන් සිදුකරනු ලබයි. Landline පහසුකම් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක නිවසකට තිබෙනවා නම් එම නිවසට වේගවත් අන්තර්ජාල පහසුකමක් ලබාගත හැක. මීට වසර කිහිපයකට පෙර එම තාක්ෂණය ලංකාවේ නොතිබුණු නමුත් මේ වනවිට එම පහසුකම් සලසා තිබේ.

අන්තර්ජාල සබඳතාවක වේගවත්  බව මනින්නේ කොහොමද?

අන්තර්ජාල සබඳතාවක වේගවත් බව මනිනු ලබන්නේ ඩවුන්ලෝඩ් කිරීමේ වේගයට සාපේක්ෂවය. අවම වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමේ වේගය 4Mbpsවත් නොමැති නම් වේගවත් අන්තර්ජාල සබඳතාවක් නොමැත. 4G තාක්ෂණය නිර්මාණය වී තිබෙන්නේ වේගවත් අන්තර්ජාල සබඳතාවන් සඳහා වන අතර, 4G සංඥා වැඩිදුරක් ගමන් කිරීමේ හැකියාවක් නොමැත. එක් සංඥා කුලුනකින් ආවරණය වන්නේ කිලෝමීටර් එකහමාරක භූමි වපසරියක් පමණක් වන අතර, එක් කුලුනක භාවිත කරන්නන් උපරිම සිටිය හැක්කේ 1000ක් වැනි ප්‍රමාණයකි. නමුත් එක් කුලුනකට 1000ක් භාවිත කරන්නන් එකවරම ඇතුළු වී නම් ඇතැම්විට ඩවුන්ලෝඩ් කිරීමේ වේගය අඩුවිය හැකිය.

කුලුනක් සවි කරන්න යන වියදම

සාමාන්‍යයෙන් සන්නිවේදන කුලුනක් සවි කිරිමට මිලියන විසිපහක් තිහත් අතර මුදලක් වැය වේ. නමුත් එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට, භූමියේ තත්ත්වයට අනුව වෙනස් වේ. ඇතැම්විට කුලුනු සවි කළද එය ක්‍රියාත්මක කරන්නට ඇතැම් ප්‍රදේශවල විදුලිය නැති වීම නිසා, ඒ සඳහා වෙනත් විකල්පයන් භාවිත කිරීමට අති විශාල මුදලක් වැය වේ.

රටටම සිග්නල් දෙන්න ගෙන ආ ක්‍රම - ගූගල් බැලූනය

ගූගල් බැලූනය සිග්නල් වේගවත් කිරීමට සහ සෑම ප්‍රදේශයක් ආවරණය කරමින් සිග්නල් ලබාදීමට සාර්ථක විසඳුමක් ලෙස බොහෝ තාක්ෂණික ඉංජිනේරුවරු සහ ක්ෂේත්‍රයේ විශේෂඥයෝ සිතූහ. මීට වසර කිහිපයකට පෙර එවැනි ගූගල් බැලූනයක් ගුවන්ගත කර පර්යේෂණයක් කළ අතර, එය හදිසියේ කඩා වැටිණි. ඉන් අනතුරුව ඒ පිළිබඳව කිසිවක් ලංකාව තුළ කතාබහට ලක් නොවුණි. නමුත් ගූගල් බැලූනය හරහා සිග්නල් ලබාගැනීමට පොළවේ සිට අති ප්‍රබල සංඥාවන් බැලූනය වෙත යැවිය යුතුය. නමුත් එයින් නිකුත් වන කිරණ මිනිසාට අහිතකර බවද සන්නිවේදන විශේෂඥයන් පවසයි.

Free wifi

Free wifi දේශපාලන වේදිකාව මත විශාල වශයෙන් කතාබහට ලක්වුණු මාතෘකාවකි. මීට වසර කිහිපයකට පෙර ලංකාවේ ප්‍රදේශ කිහිපයකට නොමිලේ wifi ලබාදුන්නද එයින් වේගවත් අන්තර්ජාල සබඳතාවකට පිවිසිය නොහැකි විය.

විසඳුම් මොනවාද?

ලංකාවටම එක හා සමාන ලෙස දුරකථන සංඥා සහ අන්තර්ජාල පහසුකම් ලබාදීමට නම් ළඟ ළඟ සංඥා කුලුනු ඉදිකිරීම ප්‍රධාන විසඳුමක් ලෙස සන්නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂඥයෝ පෙන්වා දෙති. එමෙන්ම දැනට පවතින කුලුනුවල සහ නව කුලුනුවල ශක්තියද වැඩි කළ යුතුය. මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම් ඒවාට යන වියදම අධික වීමය. නමුත් ෆයිබර් ඔප්ටික්ස් තාක්ෂණය ඔස්සේ මෙම ගැටලුව විසඳීමට විශාල ඉඩක් තිබේ. ෆයිබර් හරහා ඩවුන්ලෝඩ් කිරීමේ වේගය 100Mbps දක්වා ගෙන යා හැකිය. එහිදී කෙතරම් භාවිත කරන්නන් ප්‍රමාණය වැඩි වුවත් වේගය අඩු නොවී ඒ මට්ටමේ සිටම භාවිත කිරීමේ හැකියාව පවතී. කුලුනකට යන වියදමට වඩා අඩු වියදමකින් ෆයිබර් හරහා සංඥා ලබාදීමට හැකි වන අතර, විශේෂිතම කාරණය නම් ෆයිබර් මගින් දිගු දුරකට සංඥා විහිදුවීමට හැකි වීමයි. සාමාන්‍යයෙන් ෆයිබර් කේබල් මගින් කිලෝමීටර් 75ක් පමණ දුර යැවිය හැකිය. ටෙලිකොම් වැනි ආයතන පවා ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ ෆයිබර් හරහා අන්තර්ජාල සබඳතා ශක්තිමත් සහ වේගවත් කිරීමටය.

ගමට සන්නිවේදනය

මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට අපි විදුලි සංදේශ සහ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සම්බන්ධ කර ගතිමු. එහිදී ඔහු සඳහන් කළේ මේ වන විට සිය ආයතනය ලංකාවටම ආවරණ කලාප ලබාදීමේ ‘%ගමට සන්නිවේදනය’ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන බවයි.

ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ ඔහු,

“මේ ප්‍රශ්නය ලංකාවට පමණක් බලපා තිබෙන ගැටලුවක් නෙවෙයි. ගෝලීයව බලපා තිබෙන ගැටලුවක්. මෙහිදි අප කෙලෙසද දුෂ්කර පළාත්වලට ආවරණ කලාපයන් ලබාදිය හැක්කේ යන්න සලකා බැලිය යුතුයි. ලංකාව ඩිජිටල්කරණය කරා යාමේදී අවශ්‍ය වන මූලිකම යටිතල පහසුකම වෙන්නේ සන්නිවේදනය සහ ආවරණ කලාපනේ. සන්නිවේදනය නම් වූ යටිතල පහසුකම සම්පූර්ණ නොකර ලංකාවම ඩිජිටල්කරණයක් දක්වා ගෙන යන්න බැහැ. ගමට සන්නිවේදනය වැඩසටහන ආරම්භ කෙරෙන්නේ කෝවිඩ් වසංගතයත් පැමිණීමටත් කලින්. මෙහිදී මෙම ව්‍යාපෘතියේ මුල් අදියර ලෙස සියලු ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් ආවරණ කලාප පිළිබඳ දත්ත එක් රැස් කළා. දැන් අපි දන්නවා 4G, 3G තියෙන්නේ කොයි ප්‍රදේශවලටද කියලා. 2Gත් නැති ප්‍රදේශ තිබෙනවා. මේ සියලු ප්‍රදේශවල තාක්ෂණික ඇගයීම් කරන්න සේවා සපයන්නන්වත් සම්බන්ධ කර ගත්තා. %ගමට සන්නිවේදනය^ පළමු ව්‍යාපෘතිය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 575ක් තිබෙනවා. ඒ 575න් මොන ප්‍රදේශවලටද ආවරණයක් නැත්තේ කියලා අපි සොයලා බැලුවා. ඊට පස්සේ සේවා සපයන්නන්ගෙනුත් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක් හරහා අපි ඒ ඒ ප්‍රදේශවලට ආවරණ ලබාදීමට කුලුනු කොපමණ යනවාද, ඒ සඳහා කොපමණ වියදම් වෙනවාද කියලා තීරණය කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 575ටම නව සංඥා කුලුනු 37ක් ඉදිකිරීමට අපි තීරණයක් ගත්තා. පසුගිය සතියේ රත්නපුර දිස්ත්‍රික්කයේ පතාන සහ කච්චිගලට ආවරණ කලාප දෙකක් ලබාදීමට අපට හැකි වුණා. මේ සඳහා සේවා සපයන ආයතන විශාල දායකත්වයක් ලබාදෙනවා. මේ කුලුනු දෙකෙන් ගම්මාන 41ක් ආවරණය වෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් 38ක් තිබෙනවා. පාසල් 588ක් තිබෙනවා. ඉතින් මේ කුලුනුවලින් පහසුකම් සැපයෙන්නේ ගෙවල්වලට විතරක් නෙවෙයි. මේ ආයතනවලටත් පහසුකම් ලැබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතිරි කුලුනුත් ඉදිවෙමින් පවතිනවා. මේක දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගෙන යන්න තමයි අපි උත්සාහ කරන්නේ. පළමු වතාවට හරි තාක්ෂණික ක්‍රමවේදයකට අපි මේක ගෙන යනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කුලුනු ඉදිකිරීම අවසන් වෙන්න තියෙන්නේ අගෝස්තු අන්තිම. නමුත් මේ කෝවිඩ් තත්ත්වයත් එක්ක ඒක ටිකක් එහා මෙහා වෙන්න පුළුවන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලුනු 48ක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 1610ක් තිබෙනවා. මාතරත් තාක්ෂණික ඇගයීම් කරලා ඉවරයි.

ගමට සන්නිවේදනය ගෙන එන්නේ විදුලි සංදේශන බද්ධ හරහායි. සේවා සපයන්නන් ගෙවන බදුවල ප්‍රමාණය අනුව තමයි අපි ඔවුන්ට කුලුනු ලබාදෙන්නේ. පසුගිය මාසේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තාක්ෂණික ඇගයීම් ආරම්භ කළා. ඒ වගේම උතුරු පළාතේත් වැඩකටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. මේ වසර අවසානයට පෙර දිස්ත්‍රික්ක දහයක වැඩකටයුතු ආරම්භ කරන්න තමයි අපේ ඉලක්කය තිබෙන්නේ. ප්‍රායෝගිකව බැලුවොත් අවුරුදු එකහමාරක් දෙකක් වගේ කාලයක් දිස්ත්‍රික්ක විසිපහටම ආවරණ කලාප දෙන්න ගත වෙනවා. නිශ්චිතව ලංකාවේ ආවරණ කලාප නැති ගැටලුව විසඳන්න පුළුවන් එකම විදිහ මේක.

ඒ වගේම මෙච්චර කාලයක් මේ කුලුනුවලට අවශ්‍ය යටිතල පහසුකම් ගෙනාවේ පිටරටින්. ඒ සඳහා විශාල වියදමයක් යනවා. නමුත් පළමු වතාවට ගමට සන්නිවේදනයට අවශ්‍ය කුලුනු සියල්ල ලංකාවේ නිෂ්පාදනය වෙනවා.

මේ කුලුනු ක්‍රියා කරන්න විදුලිය ඕනේ. සමහර පැතිවලට විදුලිය නැහැ. උදාහරණයක් විදිහට අපි මොනරාගල නියාගල ගම්මානයට කුලුනක් සවි කළා. ඒ ගමට විදුලිය නැහැ. ඉතින් නියාගල සංඥා කුලුන පැය විසිහතරම වැඩ කරන්නේ ජෙනරේටරයක් භාවිතයෙන්. ඒ වියදමත් කළේ අපි. ඒ ගමේ පුද්ගලයෙක්ව මේක ක්‍රියාකරවන්නත් යෙදෙව්වා. ඒ වගේ දේවලුත් අපි බලන්න ඕනේ. අපි මේ මොහොතේ බලන්නේ වැයවන වියදම නෙවෙයි. මේ දේවල් නිසා දරුවන්ට, රටට ලැබෙන වාසිය සහ පහසුකම් පමණයි. කුලුනක් සවි කරනවා කියන්නේ විශාල කර්තව්‍යයක්. ඒ වගේම යම් ප්‍රදේශයක සන්නිවේදන කුලුනක් සවි කරන්න ආයතන රැසකින් අවසර ලබාගන්න ඕනේ. මේ මොහොතේදී අපිට ඒ ආයතන විශාල සහයෝගයක් ලබාදෙනවා.

අපි දැන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග කතා කරලා තිබෙනවා ගෙවල්වලට තාක්ෂණය, ආවරණ කලාප නැත්නම් පාසල්වලට ගේන්න පුළුවන් ක්‍රමවේද ගැන. ඒ වගේම සන්නිවේදනය තිබුණත් ඒ සඳහා අවශ්‍ය උපාංග ගැනීමේ හැකියාවක් නොමැති දෙමාපියන් ඉන්නවා. ඒ ළමයින්ට වුණත් පාසල්වල තිබෙන මහින්දෝදය, පරිගණක විද්‍යාගාරවල තිබෙන උපාංග භාවිත කරලා ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදුකරන E තක්සලාව කියන මාර්ගගත අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක කරන්න අපි එකතු වෙලා කටයුතු කළා. ඒක අපි පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ඉඳලයි කළේ. මුලින්ම තාවකාලිකව කළත් පසුව දිගටම නොමිලේ භාවිත කරන්න වැඩ කටයුතු කළා. අද වෙනකොට  E තක්සලාවට පිවිසෙන ප්‍රමාණය මිලියන හයක් පමණ වෙනවා. ළමයෙකුට E තක්සලාවේ තිබෙන කිසිදෙයකට කිසිදු ඩේටා ප්‍රමාණයක් වැය නොවෙන්න කටයුතු කරලා තිබෙනවා.”

මේ මොහොතේදී දරුවන්ට මාර්ගගතව අධ්‍යාපනය ලැබීමට විශාල දත්ත (Data) ප්‍රමාණයක්ද වැය වෙයි. මේ සඳහාද විසඳුම් තිබෙන්නේද යන්න පිළිබඳ අප කළ සොයා බැලීමේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී.එම්. නීල් ගුණදාස මහතා මෙලෙස අදහස් දැක්වීය.

“මේ කෝවිඩ් කාලේදී සාමාන්‍යයෙන් සතියකට මිලියන 3.5 සිට මිලියන 6ක් දක්වා E තක්සලාව භාවිත කරන්නන් පිරිස වැඩි වෙලා තිබෙනවා. සාමාන්‍ය කාලවලදී මිලියන එකහමාරක් වගේ තමයි E තක්සලාවට පිවිසුණේ. E තක්සලාව තුළ අපි අතත්‍ය පන්ති කාමරයක් නිර්මාණය කරන්න කටයුතු කළා. ඒක කෝවිඩ් එන්නත් කලින් තමයි අපි නිර්මාණය කළේ. ඒකෙදි කරන්නේ ගුරුවරයාට පන්තියට යන්න බැරි වුණොත් මේ අතත්‍ය පන්ති කාමරය හරහා ළමයින්ව සම්බන්ධ කර ගනිමින් ඉගැන්වීම් කටයුතු කරන්න හැකි වීම. මේකේ මුල් අවස්ථාවේදී ගුරුවරයාට ළමයින්ව පෙනුණේ නැහැ. මේ කෝවිඩ් තත්ත්වය ආවට පස්සේ අපි TRCSL එකත් එක්ක සම්බන්ධ වෙලා මේ පද්ධතිය සමස්ත පද්ධතියක් විදිහට අරගෙන දත්තවලට කිසිදු මුදලක් වැය නොවන මට්ටමට හැදුවා. ඒකෙදි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විශාල දායකත්වයක් දුන්නා. මේකට සම්බන්ධ වෙන්න අන්තර්ජාල සම්බන්ධතාවක් තිබෙන්න ඕනේ. නමුත් කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ.

අතත්‍ය පන්ති කාමරය හරහා ගුරුවරයාට ළමයින්ට උගන්වන්න පුළුවන් වුණත්, ළමයාව පේන්නෙ නැහැනේ. ඒකට අපි TRCSL එකත් එක්ක එකතුවෙලා අලුත් වැඩසටහනක් නිර්මාණය කළා. ඒ සඳහා zoom තාක්ෂණය හා සමානම වැඩසටහනක් Big Blue Button මෘදුකාංගය භාවිත කරමින් සකස් කළා. මේ හරහා වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්විය හැකියි. මේ වෙද්දි E තක්සලාව සම්පූර්ණයෙන්ම අතත්‍ය පන්ති කාමරයක් පැවැත්විය හැකි මට්ටමට ගෙනැල්ලා තිබෙනවා. මේකෙ නියමු ව්‍යාපෘතියක් විදිහට පා‍සල් 20ක් ලංකාවම ආවරණය කරලා තෝරාගෙන තිබෙනවා. ඉන්පසුව පාසල් 200කට මේක ලබාදෙන්නත් ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම මේ වසර අවසානයට පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජාතික පාසල් 1200කටත් මේක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් E තක්සලාව තුළින් ගුරුවරුන්ගේ නව වැඩසටහන් අනෙක් ගුරුවරුන්ටත්, දරුවන්ටත් බලන්න පුළුවන් විදිහට අපි ගොඩනගලා තිබෙනවා.”

කෙසේ වෙතත් කෝවිඩ් වසංගතයත් සමග අපට තව කොපමණ කාලයකින් සාමාන්‍ය පරිදි පාසල්වල වැඩ කටයුතු ආරම්භ කළ හැකිද යන්න ගැටලුවකි. එම නිසා රජය හෝ සේවා සපයන ආයතන හැකි ඉක්මනින් ක්‍රියාත්මක වී මෙම ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන මෙන් අපි සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ඡායාරූප - ලුණුගල ප්‍රසන්න පත්මසිරි

 

 

 



Recommended Articles