ඔන්ලයින් පාසල් ඕෆ්ලයින් ගෙදර වැඩ


දෙකේ පන්තියේ වැඩ කොච්චර සීරියස්ද කියා %විනී ද පූ^හි ක්‍රිස්ටෝපර් රොබින් පැවසූ විට මා සිතුවේ එය විහිළුවක් කියාය. එහි සත්‍ය මා පසක් කර ගත්තේ පසුගියදාය. ඒ මගේ පුත්‍රයාගේ පාසල මගින් ඔන්ලයින් පාඩම් ඇරඹූ පසුය.

ඔහු විද්‍යාවට සර්කිට් සාදන්න උගනී. එය දැක මගේ සර්කිට් ෂෝට් විය. ඔහු ගණිතයට 'වැඩි කිරීම', 'බෙදීම' වතුර වගේ කරයි. එය දුටු විට මගේ දුක, කවුරුන් හෝ සමග බෙදා ගැනීමට සිතුණි.
ඔහුගේ පාඩම් වැඩ මට නොතේරේ. ඒවා දැකීමෙන් තරහ උපන්නේ මගේ දෙමාපියන් සමගය. තරහා නිවෙන්නට පෙර මම ඔවුනට ඇමතුමක් ගතිමි.
"අම්මේ, ඇයි ඕගොල්ලො මාව දෙකේ පන්තියේදී ඉස්කෝලෙ ඇරියේ නැත්තේ?"

අම්මා කල්පනා කරන්නට වූවාය. ඇයට එකවර සිහිඑළවා ගත නොහැකි විය. ඈ ඇද පැද තාත්තාට කතා කරනු, අතින් මුවා කළ දුරකථනයේ සිදුරු අතරින් ඇසිණි.

"ඒයි, අපි පුතාව දෙකේ පන්තියේදී ඉස්කෝලේ යැව්වෙ නැද්ද?"
"මම කොහොමද දන්නේ?"
තාත්තා බෙරිහන් දුන් සද්දේ මට දුරකථනය නැතුවම ඇසෙන්නට තරම් විය. අම්මා නිශ්ශබ්දව සිටියාය. මට මගේ පාසල් අධ්‍යාපනය පිළිබඳ ඇතිවූයේ කුකුසකි. 
"එතකොට මම තුනේ පන්තියේදී ඉස්කෝලෙ ගියාද?" 
මම ඇහුවේ හිත හදා ගැනීමටය. අම්මා යළිත් බෝලය තාත්තාට පාස් කළාය.

"මතක නෑ. ඕකා කැම්පස් යනවා කියල නම් මගෙන් හැමදාම සල්ලි ඉල්ල ගත්තා මතකයි. ඒකත් කොහේ ගියාද මං දන්නේ නෑ" 
මට දැන් උභතෝකෝටිකයකි. මගේ අධ්‍යාපන ඉතිහාසයම අවිනිශ්චිතය. මා පාසල් ගිය බව දෙමාපියන් පවා නොදන්නේ නම් කුමක් කරන්නද ?
"එතකොට මම පොඩි කාලේ ඔයා මගේ ගෙදර වැඩ කරලා දුන්නේ නැද්ද?" මා අම්මාගෙන් ඇසුවේ ඉස්කෝලෙ ගිය බව වක්‍රාකාරව පසක් කර ගැනීමේ අරමුණ ඇතිවය. මේ කාලේ දෙමාපියන් ගෙදර වැඩ කරන තරමට තමන්ගේ ළමයි පාසල් ගිය බව ඔවුන්ට කවදාවත් අමතක වන්නේ නැත.
"ඒ කාලේ ඉස්කෝලවල දෙමාපියන්ට කරන්න ගෙදර වැඩ දුන්නේ නෑ ළමයෝ" අම්මා නොරුස්නාව පැවසුවාය.
එය නම් පට්ටපල් බොරුවක් විය යුතුය. දෙමාපියන්ට ගෙදර වැඩ නොදෙන පාසල් මෙලොව නැත. මේ දෙදෙනා මා පාසල් යවා නැත.
"ඔයා පහේ පන්තියේ ශිෂ්‍යත්වය නම් පාස්. ඒකට මමයි ඉගැන්නුවේ." ඇති යන්තම් මා පහේ පන්තියට ගොස් ඇත. ඒත් කුණුකමට මා ශිෂ්‍යත්ව ටියුෂන් පන්තියකට පවා යවා නැත. දැන් මගේ පුතාගේ දෙකේ පන්තියේ යාළුවෝ සිංහල භාෂාවටත් ටියුෂන් යති.

මා හට නම් පහේ පන්තියට යන විට පුත්තරයාට ඉගැන්වීමට තරම් දැනුමක් නොතිබෙන බව දැන් සිටම ඉර හද සේ විශ්වාසය. 
උදාහරණයක් ලෙස, උගේ අධ්‍යාපනය ජාත්‍යන්තර නිසා මිනිහා ඉගෙන ගන්නේ රුපියල් නොව 'ස්ටර්ලිං පවුන්ඩ් සහ 'පෙනී' ගැනය. මේ අතර ළමයාගේ අම්මා ඔහුට පුරුෂ ලිංගය හඳුන්වා දී ඇත්තේ 'පෙනී' ලෙසය ('පීනස්' යන්න කොට කර හුරතල් කර). දැන් කොල්ලා හිතන්නේ එංගලන්තයේ සුළු සුළු වියදම් කිරීම සඳහා මිනිසුන් භාවිත කරන්නේ පුරුෂ ලිංගයන් කියාය.
මේ ආකාර ප්‍රශ්න අටෝරාසියකි.
"තාත්තා, ලෝඩ් බුද්ධා ඒ කාලේ ලංකාවට ආවේ කොහොමද?" ඒවා මට ද නොවැටහෙන බව කියමි. වැඩිහිටියෙකු ලෙස මෙවැනි දේ මා දැන සිටිය යුතු බවට ඔහු චෝදනා කරයි. සාමාන්‍යයෙන් පුත්‍රයාගේ මේ දීර්ඝ දේශනා අවසන් වන්නේ එකම ප්‍රශ්නයකිනි.
"ඩෝන්ට් යූ අන්ඩර්ස්ටෑන්ඩ් සිංහල?"
මේ දුක කාට කියන්නද? කොල්ලාගේ හිතේ ඌ කතා කරන්නේ සිංහලෙන් කියාය. 
අප පාසල් යන සමයේ සාමලා අමරලා දොස්තරලා ඉංජිනේරුවො වීමට සිහින මැවූහ. "තාත්තා, මට ලොකු වුණාම රොකට් හදන්න ඕනෙ. අභ්‍යාවකාශගාමියෙක් වෙලා හඳට යන්න ඕනේ" අපේ එකා කියපි.
"පුතේ, ලංකාවේදී නම් ඕක බොහොම පරිස්සමෙන් පොලීසියට හොර රහසේ කරන්න ඕන වැඩක්. නැත්තන් හඳේ නෙමෙයි හිරේ යන්න වෙන්නේ"  ඔහු ඒලියන් කෙනෙකු දුටුවා සේ මා දෙස හිස ඇල කර බැලීය.
ඔවැනි වූ සුළු ප්‍රශ්න හැරුණු කොට මමත් පුතාත් දෙදෙනාම දෙවැනි ශ්‍රේණියේ ඔන්ලයින් පාඩම් එන්ජෝයි කරන්නෙමු.

හවසට දෙන පැය තුනක ගෙදර වැඩ කරන විට අප දෙදෙනාම ඉන්නේ උතුරා යන සතුටකිනි. මේ සියල්ල කර වෙලාවක් ඉතිරි වුවහොත් ඉදහිට මම රැකියාවක්ද කරමි.
අප පාසල් ගියාද කියාවත් මතක නැති අපේ දෙමාපියන්ගේ පරම්පරාවට වඩා අප කෙතරම් පරමාදර්ශී ද? ඒ ගොල්ලෝ අපව හදපු හැටියට මෙයින් ගියා ඇතිය. 

ඒ කාලයේ මග හැරුණු පාඩම් බොහොමයක් දැන් අප උගන්නේ අපේ ළමයින්ට දෙන ගෙදර වැඩ කිරීමෙනි. ඉතින් අපේම දෙමාපියන් අමතක වුවත්, අපට දිනකට කිහිප වතාවක්ම අපේ ළමයින්ගේ ගුරුවරුන්ගේ දෙමාපියන් මතක් වන්නේ ඒ නිසාය.

සුරත් ද මැල්



Recommended Articles