ඔන්ලයින් ඉගැන්නුවට හැමෝම ඉගෙන ගත්තද?


කෝවිඩ් වෛරසය ව්‍යාප්තවීම නිසා ලොව රටවල් 106ක පමණ විවිධ ක්ෂේත්‍රයන්ට ඍජුව හා වක්‍රව බලපෑම් එල්ල කරන ලදී. එහිදී ඍජුව බලපෑම් එල්ල කෙරුණු එක් ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය පෙන්වාදීමට හැකිය.

විශේෂයෙන්ම ලංකාවේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශයන්හි දරු දැරියන්ගේ අධ්‍යාපනය අඩපණවීමට අධ්‍යාපන අමාත්‍යංශය නිසි ක්‍රමවේදයන් සකසා නොතිබීම හා දරුවන්ට තිබූ තාක්ෂණික අඩුපාඩුකම් ප්‍රබල හේතුවක් විය.

මෙරට ‍‍පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපනික ආයතනවල බිඳවැටුණු ඉගෙනීම් ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට යොදාගත් ඔන්ලයින් ක්‍රමවේදය  කොතරම් දුරට සාර්ථකව සිදුකරනු ලැබුවේද? ඒ සඳහා රජය මගින් ගෙනගිය වැඩපිළිවෙළ මෙන්ම, එහි සාර්ථක හා අසාර්ථක බව කෙරෙහි බලපෑ හේතු මොනවාද? යන්න සම්බන්ධයෙන් පර්යේෂණය කිරීම වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිත කරමින් දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 08ක පාසල් 228ක් සඳහා තොරතුරු අයදුම්පත්‍ර යොමුකරමින් කරුණු සොයාබැලීම සිදුකරන ලදී. 

එසේ තොරතුරු අයදුම්පත්‍ර යොමුකළ දිස්ත්‍රික්ක වන්නේ, හම්බන්තොට, මාතර, ගාල්ල, කොළඹ, මහනුවර, බදුල්ල, අනුරාධපුර, අම්පාර යන දිස්ත්‍රික්ක වේ. එම දිස්ත්‍රික්ක 08 තුළ තොරතුරු අයදුම්පත් යොමුකළ පාසල් 228 අතුරින් මේ වනවිටත් නියමිත පරිදි තොරතුරු අයදුම් පත්‍ර සඳහා ප්‍රතිචාර දක්වා ඇත්තේ, පාසල් 120ක් පමණ වන අතර, ඉන් නියමිත පරිදි ඉල්ලා සිටි තොරතුරු  ලබාදීමට කටයුතු කර ඇත්තේ, පාසල් 58ක් පමණකි. අනෙකුත් පාසල් 108 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් පුරවැසියන් හට ලබාදී තිබෙන අයිතියට පිටුපා තිබේ.

එහිදී ඉල්ලා සිටි තොරතුරු වන්නේ, 2021 මැයි 03 සිට 2021 ජූලි 22 දක්වා කාලය තුළ පාසල් ළමයින් සඳහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පන්තිවල ඉගැන්වීම් කටයුතු සිදුකළ කාලසටහන හා ආකාරය, එම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය සඳහා කොපමණ මුදලක් වැය කර තිබේද?, එම මුදල් ලබාදී ඇත්තේ, කුමන ආයතනයක් මගින්ද?, ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හෝ රජයේ වෙනත් ආයතනයකින් කොපමණ මුදලක් ලබාදී තිබේද?, එම මුදල් ලබාදී ඇත්තේ කවදාද?, ඔබ පාසලේ සිටින ළමයින් සංඛ්‍යාව කොපමණද?’ යන්නයි. 

ඉහත තොරතුරු, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ කිසිසේත් ලබාදීමට නොහැකි තොරතුරු නොවුණත් එම කාලය තුළ තිබූ ගුරු, විදුහල්පති වැටුප් අර්බුදය හේතුවෙන් ඒ සඳහා යම් බලපෑමක් වන බැවින් එම තොරතුරු ලබාදිය නොහැකි බව බොහෝ විදුහල්පතිවරුන්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය. 

එමෙන්ම කෝවිඩ් වසංගත තත්ත්වයෙන් රට දැඩි සේ ආර්ථික වශයෙන් හානියට පත් වී තිබූ අවස්ථාවක වැටුප් වැඩි කරන ලෙස ඉල්ලු ගුරු විදුහල්පතිවරුන් දරුවන් හට එතෙක් සිදුකළ ඔන්ලයින් අධ්‍යාපනයද නතර කරන බවට ඔවුන්ගේ සටන් පාඨ තුළ දක්නට ලැබුණත්, දිවයිනේ ජනප්‍රිය පාසල් ඇතුළු පාසල් කිහිපයක් හැරුණු කොට අනෙකුත් පාසල්වල ගුරුවරුන් අමුතුවෙන් නතර කිරීමට තරම් ඉගැන්වීම් කර නොතිබූ බවද පාසල්වලින් ලබාගත් තොරතුරු මගින්ම අනාවරණය වූවකි.

තොරතුරු නොදුන් පාසල් 108ක්

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම වෙනුවෙන් සිදුකළ වැඩපිළිවෙළ මෙන්ම ලබාදුන් මූල්‍යමය පහසුකම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයට හා ඉහත දිස්ත්‍රික්ක 08හි කලාප අධ්‍යාපන කාර්යාල 25ක් සඳහා තොරතුරු ඉල්ලුම්පත් යොමුකළ නමුත් ඒ අතරින් කලාප අධ්‍යාපන කාර්යාල 20ක් තොරතුරු ලබාදීමට කටයුතු කර ඇති අතර, ගාල්ල, කොළඹ ඇතුළු කලාප අධ්‍යාපන කාර්යාල 05ක් මේ වනවිටත් එම තොරතුරු ලබාදී නොමැත. ගාල්ල කලාප කාර්යාලය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, තොරතුරු ඉල්ලීමට හේතු දක්වන මෙන් ඉල්ලීම් කරමින්ය. එය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ප්‍රබල ලෙස උල්ලංඝනය කිරීමකි.

ඔන්ලයින් උගන්වපු හැටි

තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ තොරතුරු ඉල්ලීමට අනුව නියමිත පරිදි තොරතුරු ලබාදුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 12ක තොරතුරු විශ්ලේෂණය කිරීමේදී ඉන් එක් පාසලක් කෝවිඩ් වසංගත තත්ත්වය යටතේ ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ‘%2021 මැයි 03 සිට 2021 ජූලි 22 දක්වා කාලය තුළදී දින 78ක (නිවාඩු දිනද ඇතුළත්ව) කාලය තුළ දරුවන්ට අධ්‍යාපනය ලබාදී ඇත්තේ, පැය 35ක තරම් කාලයක් වේ. ඉතිරි පාසල් 11න් අනෙක් පාසල්ද නියමිත ආකාරයෙන් නිසි විෂය මාලාවන් යටතේ දරුවන්ට අධ්‍යාපනය ලබාදී ඇත්තේ, පාසල් දෙකකටත් වඩා අඩුවෙන් බව මෙම දත්ත විශ්ලේෂණයේදී අනාවරණය විය.

එමෙන්ම නියමිත ආකාරයෙන් තොරතුරු නොදුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනෙකුත් පාසල් 25 තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට නියමිත ක්‍රමවේදයන් අනුගමනය කර නොමැති අතර, බොහෝ පාසල් ගුරුවරුන් පාසල් කාලය තුළදී ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදුකළ උපකාරක පන්තිවල තොරතුරුද පාසලේ ඉගැන්වීම් කටයුතු සිදුකළ කාලසටහන් තුළට ඇතුළත් කර තිබේ.

එමෙන්ම 6 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය  දක්වා විටින්විට සතියකට පැය කිහිපයක් හෝ ඉගැන්වීම් කටයුතු කර තිබුණත් 01 ශ්‍රේණියේ සිට 04 ශ්‍රේණිය දක්වා දරුවන්ට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ බොහෝ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකර ඇත්තේ, ඉතාමත් අඩු ප්‍රමාණයක් බව එම පාසල්වලින් ලබාදුන් තොරතුරු මගින් අනාවරණය විය.

බොහෝ අවස්ථාවන්හි ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබාදුන් පාසල්, පහසුකම් සපයාගෙන ඇත්තේ, පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම් මගිනි.

කෙසේ නමුත් පාසල් මට්ටමින් ඉහත ආකාරයෙන් ඉගැන්වීම් ක්‍රියාවලියක් දක්නට ලැබුණු අතර, මේ සඳහා රජයේ මැදිහත්වීම මත හෝ ඒ ඒ ප්‍රදේශයන්හි අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ  නිලධාරීන්ගේ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඉහත පාසල් අයත් දිස්ත්‍රික්කයන්හි කලාප අධ්‍යාපන කාර්යාල 25ක් වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු ඉල්ලා අයදුම්පත්‍ර යොමුකරන ලදී. එහිදීද අදාළ කලාප අධ්‍යාපන කාර්යාල මගින් ලබාදුන් නිල තොරතුරු මගින් අනාවරණය වූයේ, බොහෝමයක් කලාප කාර්යාල මගින්ද ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් හෝ එම කාලය තුළදී දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වෙන යම් සාධනීය ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමුකර නොමැති බවයි.

විශේෂයෙන්ම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට ගුරුවරුන්ට නිසි පුහුණුවීමක් හා සම්පත් ලබාදීමක් අව්‍යශව තිබුණද එම පහසුකම සලසාදී තිබුණේ කලාප අධ්‍යාපන කාර්යාල 25 තුළින්ම 07ක් පමණ වන අතර, එයද ලබාදී ඇත්තේ පාසලෙන් තෝරාගත් ගුරුවරුන් කිහිපදෙනෙකුට පමණක් බවයි එම තොරතුරුවලින් අනාවරණය වන්නේ. එම තෝරාගත් ගුරුවරුන් වෙනුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධ  ගරු පුහුණු වැඩසටහන් වෙනුවෙන් හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාල මගින් රුපියල් 86,460ක මුදලක්ද, ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය රු. 191,925ක මුදලක්ද වැය කර තිබේ. 

කෙසේ නමුත් ඒ වෙනුවෙන් එක් එක් කලාප කාර්යාල යොදනු ලැබූ වැඩපිළිවෙළද එකිනෙකට බෙහෙවින් වෙනස් වන අතර, කලාප කාර්යාල 07ක් ඒ සඳහා මුදල්ද වියදම් කර තිබේ. ඒ අතර ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය රුපියල් 104,230ක්, මාතර කලාප අධ්‍යාපන කාර්යාලය රුපියල් 30,000ක්, අකුරැස්ස කලාප අධ්‍යාපන කාර්යාලය රුපියල් 21,400ක්, දෙණියාය කලාප අධ්‍යාපන කාර්යාලය රුපියල් 244,015ක්, දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලය රුපියල් 99,996ක්, හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලය රුපියල් 10,095ක්, වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය රුපියල් 143,831ක්ද වශයෙන් කලාප අධ්‍යාපන කාර්යාල 07 මගින්ම රුපියල් 653,567ක මුදලක් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් යොදවා තිබෙන බවද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ කලාප අධ්‍යාපන කාර්යාල මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

මීට අමතරව අම්බලන්ගොඩ, අම්පාර, හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාල මගින් කෝවිඩ් වසංගත සමයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඒ ඒ විෂය නිර්දේශ අනුව ප්‍රශ්නපත්‍ර ලබාදීමක්ද සිදුකර තිබෙන අතර, ඒ සඳහා පමණක් රුපියල් 3,510,493ක මුදලක් යොදවා තිබේ. එමෙන්ම හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලය  මගින් ලබාදුන් තොරතුරුවලට අනුව කෝවිඩ් වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා පාසල් පද්ධතිය සෞඛ්‍යාරක්‍ෂිතව පවත්වාගෙන යාම සහ පාසල් වසා තැබීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවූ බලපෑම අවම කර ගැනීමට කඩිනම් ඉගෙනුම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළාත් පාසල් සියල්ල සඳහා ශිෂ්‍ය සංඛ්‍යාව පදනම්ව පාසල් 115කට 2021.07.06 දින පාසල් සංවර්ධන බැංකු සඳහා මුදල් බැරකර තිබෙන බව අනාවරණය වේ. 

එසේ පාසල් 115ක් වෙනුවෙන් ලබාදුන් සම්පූර්ණ මුදලේ වටිනාකම වන්නේ, රුපියල් 10,095,000ක් වන නමුත්, එම මුදල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාධනීය ආකාරයෙන් යොදවා තිබේද? යන්න කෙරෙහි ගැටලුවක් පවතින්නේ, මෙම මුදල් ලබාගත් බොහෝමයක් පාසල් තුළ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කර නොමැති නිසාවෙනි.

එමෙන්ම කෝවිඩ් වෛරස් වසංගතය ව්‍යාප්තව පැවති පසුගිය කාලය තුළදී දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ සිදුකළ විමසීමකදී අනාවරණය වූයේ, ‘ගුරුගෙදර’ රූපවාහිනී වැඩසටහන් සකස් කිරීම හා විකාශනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 42ක මුදලක් ඒ සඳහා පමණක් යොදවා තිබෙන බවයි. එමෙන්ම ඊ-තක්සලාව ඉගෙනුම් ක්‍රියාවලිය හඳුන්වාදුන් පාසල් 220ක් සඳහා පමණක් වීඩියෝ තාක්‍ෂණ භාවිතය මගින් සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු මගින් පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැනගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතාගෙන් සිදුකළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් අදාළ විෂයභාර නිලධාරිවරයා වන අතිරේක ලේකම්වරයාගෙන් (තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් අධ්‍යාපන) කරුණු විමසන ලෙසය. ඒ අනුව අතිරේක ලේකම් ජී.එම්. නීල් ගුණදාස මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කර සිටියේ,

“අපි කෝවිඩ් ආරම්භක අවස්ථාවේදීම ගුරුගෙදර වැඩසටහන ළමයින් වෙනුවෙන් පටන්ගත්තා. විශේෂයෙන්ම ඒ කාලයේ 11-13 වසරවලට තිබූ විභාග ඉලක්ක කරලා තමයි මුලින් රූපවාහිනී නාළිකා දෙකක් හරහා වැඩසටහන් ක්‍රියාත්මක කළේ. ඒ අතරත් අධ්‍යාපන අමාත්‍යාංශය 2013දී ආරම්භ කළා ඊ-තක්සලාව කියලා ඉගෙනුම් කළමනාකරණ අන්තර්ගත පද්ධතියක්. ඒ තුළින් 1 සිට 13 දක්වා ළමයින්ට අදාළ පාඩම් පෙළපොත් විභාග ප්‍රශ්නපත්‍ර, නිර්මාණය කරන ලද පාඩම් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් ඒකේ තියෙනවා. ඊ-තක්සලාවේ කරුණු තුනක් අඩංගුයි. එනම්, ඉගෙනුම් අන්තර්ගතයන්, ඉගෙනීම  කළමනාකරණය, වීඩියෝ තාක්‍ෂණික පහසුකම් වේ.

එමෙන්ම භූගෝලීය ප්‍රශ්න අනුව රූපවාහිනිය නොපෙනෙන දරුවන් වෙනුවෙන් ඊට විසඳුමක් ලෙස රුහුණු, කඳුරට, රජරට, ඌව ගුවන්විදුලි සේවයත් එක්ක කතා කරලා ඒ ඒ ප්‍රදේශවල තිබෙන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සමග සම්බන්ධීකරණයක් ගොඩනැගුවා. දවසකට පැය හතරක් අරගෙන ප්‍රදේශයේ දරුවන්ට පාඩම් විකාශනය කළා. එමෙන්ම නැණස^ වැඩසටහන ඔස්සේ රූපවාහිනී නාළිකාව මගින් මේ සියලු පාඩම් විකාශනය වෙනවා.

අපි ඔන්ලයින් ගැන කතා කළාට අධ්‍යාපන අමාත්‍යාංශයට  කරන්න පුළුවන් අන්තර්ගතයන් හදන එක විතරයි. අනෙක් යටිතල පහසුකම් සපයන එක අපේ අමාත්‍යාංශයේ කාර්යභාරයක් නොවේ. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් ලබාදෙන එක, කුලුනු සවි කරන එක ඒවා බරපතළ ප්‍රශ්න. ලෝකේ ඕනෑම කෙනෙකුට ඊ-තක්සලාව ඉගෙනුම් කළමනාකරණ අන්තර්ගත පද්ධතිය භාවිත කරන්න පුළුවන්. ඒකට ඕන වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවක් විතරයි. නමුත් ඒ භාවිත වන ඩේටා වෙනුවෙන් මුදලක් වැය වෙන්නේ නෑ. නමුත් මෙහි තියෙන්නේ වීඩියෝ සම්බන්ධ පාඩම් නිසා සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධතාවකින් ඒක භාවිත කරන්න බෑ. ඒ ගැන සලකා බලලා ඉදිරියේදී ෆයිබර් සම්බන්ධතාවක්  පාසල් සඳහා දෙන්න කටයුතු කරමින් ඉන්නේ” යනුවෙනි.

එමෙන්ම පාසල් සඳහා මේ ආකාරයෙන් අන්තර්ජාල පහසුකම් ලබාදෙනු ලැබුවත්, ළමයින්ට පාසලට පැමිණීමට නොහැකි කාලයන්හිදී  මෙම ඉගෙනුම් පහසුකම් ලබාදෙන්නේ කෙසේදැයි විමසූවිටදී ලේකම්වරයා පවසා සිටියේ,

“අපේ විෂය පථය තියෙන්නේ පාසල් සම්බන්ධයෙන් කටයුතු කිරීම පමණයි. නමුත් බොහෝ ප්‍රදේශවල මෙම අන්තර්ජාල පහසුකම් නැති නිසා ඒවා ගන්න වෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි පාසල කේන්ද්‍ර කරගෙන යන්න හදන්නේ. නමුත් ළමයින්ට ඇති අඩුපාඩු, ලබාදීම වගේ දේවල් ඉදිරියේදී සැලසුම් කළ යුතු කාරණා වෙනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම් වර්ධනය වනතුරු අපට තිබෙන විකල්පය තමයි චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් තිබෙන රූපවාහිනී නාළිකා භාවිත කරමින් දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුකරන එක” යනුවෙනි.

කෙසේ නමුත් මේ ආකාරයෙන් යම් තරමකට හෝ දරුවන් වෙනුවෙන් ලබාදුන් ඔන්ලයින් අධ්‍යාපනයද ලබාගැනීමට හැකියාව උදා වී ඇත්තේ, සමස්ත දරුවන්ගෙන් සියයට 48ක් 50ක් පමණ පිරිසකට යැයි ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වේ. (එම ප්‍රතිශතයන් පාසලෙන් පාසලට අඩු වැඩි වශයෙන් වෙනස් වේ.) ඒ සඳහා බලපා තිබෙන ප්‍රධාන හේතූන් අතර දරුවන්හට ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රමාණවත් භෞතික පහසුකම් නොමැති වීම, දුෂ්කර ප්‍රදේශයන්හි සිටීම මෙන්ම වෙනත් හේතූන් මත සංඥා පහසුකම් නොමැතිවීම, ආර්ථික දුෂ්කරතාවන්, ඔන්ලයින් මෙවලම් සම්බන්ධයෙන් ඇති අඩු දැනුම හා දෙමවුපියන්ගේ උනන්දුව අඩුවීම ආදී කාරණාද ඒ අතර වේ.

 



Recommended Articles