ඔක්තෝබර් විප්ලවයට පසුවදනක්


දැන් මුළු රටේම කියවීම කෙරෙහි හදිසි උනන්දුවක් හටගෙන තිබේ. දැන් වැඩිදෙනෙකු කියවීමට සොයන පොත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි දුරවබෝධ ලියවිල්ලක් ජනතාවගේ උපරිම අවධානයට ලක්වීම විස්මයජනක සිද්ධියකි. පොදු ජනතාව ආණ්ඩුක්‍රමය ගැන විපරම් කරන්නට පෙළඹී ඇත්තේ මේ වන විට උත්සන්න වී ඇති ආණ්ඩුක්‍රම අර්බුදය හේතුවෙනි. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා බලනුයේ තවමත් නිෂ්ඨාවට පත් නොවූ ආණ්ඩු පෙරළිය කුමන අතකට කැරකී යනු ඇතිද යන්න අනුමාන වශයෙන් හෝ දැන ගනු පිණිසය.

දෙදහස් දහ අටේ ඔක්තෝබර් විසි හයවැනි දින රාත්‍රියේ අනපේක්‍ෂිතව සිදුවූ ආණ්ඩු පෙරළියේ දෝංකාරය මෙතෙක් අවසන්ව නැත. වඩාත් නිවැරදිව කියතොත් ආණ්ඩු පෙරළිය - ඉදිරියට පෙරළීගෙන යන එකකි. එය කන්දක් මුදුනේ සිට පහතට පෙරළීගෙන පැමිණ ගස් අතර සිරවී මොහොතක් නැවතී ඇති මහා ගලක් වැනිය. ඊළඟ මොහොතේ කුමකින් කුමක් සිදුවනු ඇත්ද යන්න පොදුජනතාව පමණක් නොව මහජන නියෝජිතයෝ පවා නොදනිති.

දැන් අපි බල පෙරළිය දෙස මොහොතක් ආපසු හැරී බලමු. ජනාධිපතිවරයාට සහ එතුමාගේ සහචරයන්ට අනුව ඒ බල පෙරළිය රට බේරාගනු පිණිස කළ හැකි ‘‘එකම සහ අවසාන විකල්පයයි. සත්තකින්ම, ‘‘ජනාධිපතිතුමා අංශක එකසිය අසූවකින් හැරී රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පහ කරනුයේ අවසන් විකල්පය වශයෙන් ගත් තීරණයක් ලෙසය යන්න කිසිසේත් සාධාරණීකරණයට ලක්කළ නොහැකිය.
දෙදහස් පහළොව වර්ෂයේ පොදු අපේක්‍ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට පෙනී සිට ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අල්ලස, දූෂණය පිටුදැක යහපාලනයක් ගෙන ඒමට ශපථ කළ බව ශ්‍රී ලංකාවාසීන්ට අමතක කළ නොහැකිය. මෛත්‍රී පාලනය ආරම්භයෙන් ස්වල්ප කාලයකට පසු පැවැති මහමැතිවරණයෙන් ජනතාවගේ වෛරයට හා ද්වේශයට ලක්වූ දේශපාලකයන් පිරිසක් ‘‘හරවා ගෙදර යැවීමට හැකිවීම පොදු ජනතාව ලද විජයග්‍රහණයක් ලෙස පිළිගනු ලැබුණි. 

ජනතාව විසින්ම ප්‍රතික්‍ෂේප කළ මහජන නියෝජිතයන් ‘‘මෛත්‍රීපාලනයේ අනුහසින් නැවතත් ස්වකීය තනතුරු සහ වරදාන ලදහ. දෙදහස් පහළොවේ ජනවාරිය තෙක් රාජපක්‍ෂවරුන්ගේ රජයට කේවල් කරමින් උපරිම වරප්‍රසාද ලද බෙදුම්වාදී, අන්තගාමීහු ස්වකීය කූඨ සැලසුම්  නොනවත්වාම ක්‍රියාවට නැංවූහ. සිංගප්පූරු පුරවැසියෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්වීම් ලද්දේ ඔය කියන බලපෙරළියෙන් ස්වල්ප කාලයකට පසුවය. 

මහබැංකුව එක හුස්මට ගිල දැම්මේ කවුද. ඒ කවර ආකාරයටද යන්න අද වන විට රජයටත් රටවැසියන්ටත් රහසක් නොවේ.
ත්‍රස්තවාදීන් නිදහස් කර හැරීමට හා ඔවුන්ට තෑගි බෝග මිල මුදල් ලබාදීමට නීති සම්මත වීම යන කරුණු සිදු වූයේ ජනාධිපතිවරයා රටෙන් බැහැරව සිටියදී නොවේ. එතුමාගේ දෑස් ඉදිරිපිටමය. විල්පත්තු මහ වනාන්තරය හෙළි කර අරාබි ජනපද පිහිටුවීම ජනාධිපතිවරයාට ලොකුවට පෙනුනේ නැත. උතුරු නැගෙනහිර බෞද්ධ උරුමයන් ජාතිවාදීන් අතින් වැනසීයාම ජනාධිපතිවරයා පත්තරයෙන්වත් දුටුවේ නැත.
රාජපක්‍ෂවරුන්ගේ සමයේදී සිදුවූ මිග් යානා ගනුදෙනුවෙන් රටට විශාල මුදලක් අහිමි විය. හෙජින් ගිවිසුමෙන් අත්වූ අලාභය ඊට නොදෙවෙනිය. ඇවන්ට්ගාඩ් සිද්ධියෙන් රජයට සිදුවූ අලාභය මෙතෙක් නිශ්චිතව ගණනය කර නැත. ලාභ ලබමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු පිට පාඩු ලබන ආයතනයක් බවට පත්වූයේද රාජපක්‍ෂවරුන්ගේ සමයේය. 

ඔය කියන කිසිම සිද්ධියක් පිළිබඳව නිසි උද්‍යෝගයෙන් ක්‍රියාත්මකව වංචා දූෂණයන්ට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමට ජනාධිපතිවරයාට ‘‘හදිස්සියක් තිබුණේ නැත. 
අවුරුදු තුනහමාරක් නිර්බාධවාදී න්‍යාය මත යැපුණු ජනාධිපතිවරයා හදිසියේ අවධිවීමට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ නාමල් කුමාර නමැත්තෙකු විසින් කරළියට ගෙන ආ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයයි. ‘ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය වගකිවයුතු පාර්ශ්වයන් වෙත හෙළි කිරීමෙන් අනතුරුව කිසිවෙකු නිසි උනන්දුවක් නොදැක්වූයේය යන්න ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබීය. අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුපක්‍ෂයේ ලොකු ලොක්කන් ගැන එතෙක් තැබූ විශ්වාසය පලුදු වීමට ඒ සිද්ධිය හේතුවූ බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශවලින් කියැවුණි. 

සත්තකින්ම, නොබෝදා ඇතිවූ බල පෙරළිය ‘‘හදිසියේ ඇවිළුණු ගින්නක් නොවන බව විමර්ශනශීලී නිරීක්‍ෂකයෙකු විසින් පහසුවෙන්ම වටහාගත හැකිය. ජනාධිපතිවරයා බලයට පැමිණි වහාම රාජපක්‍ෂවරුන් ඇතුළු දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව නඩු පිට නඩු පවරන ස්වභාවයක් දක්නට හැකිවිය. එනමුත්, අනුක්‍රමයෙන් ඒ සියලු නීතිකෘත්‍යයන් දියාරුවී ගියේය. සාමාන්‍යයෙන් අපරාධ නඩු කටයුත්තක් කල් යන ආකාරයට නොව ඊටත් වඩා පුදුම සහගත ලෙස මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ නඩු කල් ගියේය. සමහර නිලධාරීහු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඒ නීති කෘත්‍යයන්ගෙන් ඉවත්වූහ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත්ව වසර තුනහමාරක් ඉක්ම ගොස් ඇතත් අල්ලස, දූෂණය, වංචාව මර්දනය කළ බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරයාගේ හොරු ඇල්ලීම ‘‘ටොනික් බෝතලයක් කැඩීමට සමාන කළ හැකියයි රටවැසියන් කියන්නේ එබැවිනි.

එසේම, පසුගිය තුන් අවුරුදු කාලසීමාව තුළ රාජපක්‍ෂවරු ප්‍රතිසංවිධානය වී අලුත් ප්‍රවණතාවට මුහුණදීමට හැකි තරම් ශක්තිමත් වූහ. එලෙස ඔවුන්ට ප්‍රතිසංවිධානය වීමට උපරිම ශක්තිය ධෛර්යය ලැබුණේ ඔවුන්ට එරෙහි නඩු කටයුතු දිනෙන් දින මන්දගාමී වීම නිසාය යන්න පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකිය. 2015 වර්ෂයේදී ලද තීරණාත්මක පරාජයෙන් පසු ‘‘ජනාධිපතිවරයා තමන්ගේ ඔඩොක්කුවට පනින තත්ත්වයට රාජපක්‍ෂවරුන් නැවත බලවත් වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඇසට වැලිගැසීමෙන් නොවේ. ඔහුද දැනුවත්වය. 

එබැවින්, ශ්‍රී ලංකාණ්ඩුවේ කුප්‍රකට ඔක්තෝබර් 26 විප්ලවය මලල ක්‍රීඩකයන් නිතර යෙදෙන ‘‘රිලේ රේස් එකකට සමකළ හැකිය. එසේත් නැතහොත්, එය WWE හෝ වෙනත් ප්‍රදර්ශන රෙස්ට්ලින් ශූරයන්ගේ තරග සටනකට සමකළ හැකිය. රෙස්ට්ලින් ක්‍රීඩකයෝ එකිනෙකා හා එදිරිවාදිකම් ව්‍යාජ ලෙස මවාපාමින් ඔවුනොවුන් සමග බිහිසුණු සටන්වල යෙදෙති. ඒ සටන් දකින ප්‍රේක්‍ෂකයන් දකිනුයේ ඔවුන් එකිනෙකා හා බද්ධ වෛරයෙන් සිටින ආකාරයකි. එනමුත්, සත්‍යය එය නොවේ. ඔවුන් ප්‍රේක්‍ෂකයන් සතුටු කරවනු පිණිස හා මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් එකිනෙකා හා තරග වදිති. තරගයෙන් පසු ඔවුහු සැබෑම යාළුවෝ වෙති.
ශ්‍රී ලාංකේය දේශපාලනයේ මහ මොළකරුවන් අතර පවත්නා සටන්, මතගැටුම්  හා කුමන්ත්‍රණ රෙස්ට්ලින් ශූරයන් අතර සටන්වලට වඩා ස්වල්පයක්වත් වෙනස් නොවේ. දෙදහස් පහළොවේ ජනපතිවරණයට ඉදිරිපත් වීමට ස්වල්ප කාලයකට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමීපතම හිතවතෙකි. එතුමා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට රාජපක්‍ෂවරුන්ගෙන් එල්ලවූ මරණ භය ගැන නිතර කතා කළේය. දැනට වසර තුනහමාරකට නැතිනම් හතරකට පෙර දැනුනු ඒ මරණ භය දැන් නොදැනෙන්නේ මන්දැයි එතුමා විසින් මෙතෙක් ජනතාවට පහදාදී නැත.

තට්ටු මාරු දේශපාලනයේ ‘‘ඔක්තෝබර් විප්ලවය ජනතාව ඉදිරියේ සාධාරණීකරණයට ලක් කිරීමට නම්, අඩුම ගණනේ තමන්ගේ මරණ භය දැනීම අවසන් වූයේ කවදාද යන්නවත් ගරු ජනාධිපතිවරයා විසින් ජාතියට හෙළිකළ යුතුය.
ආණ්ඩුවක් මාරුවීම සමග වන්දිභට්ඨයන් සොරුන් සහ අවස්ථාවාදීන් පෙරළුණු පිට හොඳයයි කියා කෑ මොර දීම සාමාන්‍ය සංසිද්ධියකි. ඔක්තෝබර් විප්ලවය නීත්‍යානුකූල නොවන බව මුලදී කියූ සමහරු දැන් පැති මාරු කිරීමෙන් පසු එය‘‘ ටක්කෙටම නීතියට අනුව සිදුවූ බව කියති. දැන් අපි ‘‘ඔක්තෝබර් විප්ලවය දෙස ආපසු හැරෙමු. 
ජනාධිපතිවරයා මෙම වර්ෂයේ ඔක්තෝබර් මස 26 වැනි දින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු වහාම සේවයෙන් පහකළ බව දන්වා සිටියේය. ඒ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සාධාරණීකරණය කළ හැකිද?

ජනාධිතිවරයෙකු විසින් පෑන් පහරකින් අගමැතිවරයෙකු නෙරපා හැරීම බැරෑරුම් සිද්ධියකි. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා නෙරපා හැරීම නීතියේ රාමුව තුළ සාධාරණීකරණයට ලක් කළ නොහැකි නම්, හටගන්නා ප්‍රතිඵලය කුමක්ද?

අපි දැන් ඒ ගැන විමසා සිටිමු. දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් හැත්තෑ අටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ. ආර්. ජයවර්ධන නම් වූ දේශපාලන නායකයා විසින් අටවන ලද මර උගුලක් යැයි කීම එක් අතකින් සාධාරණය. ජේ. ආර්.ට හැත්තෑ අටේ ව්‍යවස්ථාවෙන් සපුරාගත යුතුව තිබූ ප්‍රධාන ඉලක්කය සදාකල් බලයේ රැඳීමයි. විධායක ජනාධිපතිවරයෙකුට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියෙකු බවට පත් කිරීම පමණකැයි කී ජේ.ආර්. ස්වකීය ප්‍රතිවාදීන් දශක ගණනාවකට පසුබස්වන අන්දමේ පාලන තන්ත්‍රයක් ඇති කළේය. ජේ. ආර්.ගේ බලතල ඒකරාශී කිරීමේ න්‍යාය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය වන විටත් එලෙසින්ම ක්‍රියාත්මක විය. 

දෙදහස් දහයේ දෙසැම්බර් මස 09 වැනි දිනය වන විට දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දහඅට වතාවක් සංශෝධනයට ලක්වී අවසන්ය. දහඅටවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලතල ඒකරාශී කිරීමේ න්‍යායේ අග්‍ර ඵලයයි. මහින්ද රාජපක්‍ෂ දහඅටවැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය තුළින් දෙවාරයක් ඉක්මවා ජනපතිවරයෙකු ලෙස ඡන්දයෙන් තෝරා පත්වීමේ වරප්‍රසාදය හිමිකර ගත්තේය. ඔහු 2015 ජනාධිපතිවරණයට තෙවැනි වරට මුහුණදෙනුයේ දහඅටවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිහිටෙනි.

දහඅටවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පුළුල් බලතල හිමිවිය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වන තෙක්ම ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමේ බලතල හිමිවිය.  1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 47 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට අවශ්‍ය වනුයේ පෑන් පහරක් පමණි. ජනාධිපතිවරයා විසින් යවනු ලබන පත්කිරීම අවලංගු කිරීමේ ලිපියක් තුළින් අගමැතිවරයාගේ තනතුර අහෝසි කළ හැකිවිය.

අපි දැන් 2015 අප්‍රේල් 28 වැනි දින තෙක් බල පැවති තත්ත්වය මොහොතකට සිහිපත් කරමු. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 වැනි වගන්තිය මෙසේය.
‘‘47. අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හෝ වෙන යම් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ඃ -
(අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවොත්, හෝ
(ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ධුරයෙන් අස්වුවහොත් හෝ,
(ඇ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුණොත් හෝ
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒතාක් කල් ස්වකීය ධුරය දරන්නේය.’’
ජේ.ආර්.ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2015 අප්‍රේල් මස විසි අට වැනි දින දහනව වැනි වතාවටත් සංශෝධනයට ලක්විය. ඉහත දක්වන ලද 47 වැනි වගන්තියේ ක්‍රියාකාරීත්වය මේ වන විට ‘‘සුන්නද්දූලි වී ඇතැයි කීම නිවැරදිය. දැන් 47(අ) වගන්තිය යටතේ ‘‘මාරක පෑන් පහරක් අගමැතිවරයාට එල්ල කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැත. 19 වැනි සංශෝධනය තුළින් ප්‍රතියෝජිත නව 47 වැනි වගන්තියෙහි මාතෘකා පාඨය පවා වෙනස් වී තිබේ.

එය සැකෙවින් දක්වතොත්, දහනව වැනි සංශෝධනය බලාත්මක වීමෙන් පසු දැනට බලාත්මකව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ‘‘එක් පෑන් පහරකින් අගමැතිවරයාගේ ගෙල සිඳ දැමිය හැකි වගන්තියක් ඇත්තේම නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය ඊට අදාළ කළ හැකි බවට තර්ක කරනු ලැබ ඇතත් 42(4) වගන්තිය අදාළ වනුයේ අගමැතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙනි. අගමැතිවරයාගේ ධුරය අවසන් වනුයේ 46(2) වැනි වගන්තියේ දැක්වෙන කොන්දේසීන් අනුවය. ජනාධිපතිවරයාගේ පෑන් පහරකින් අගමැතිවරයා ගෙදර යැවීමේ බලයක් 42(4) හෝ 46(2) වගන්ති අනුව පැන නගින්නේම නැත.
සමහරු ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් පහකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(1) වගන්තිය හරහා සාධාරණීකරණයට ලක් කිරීමට උත්සාහ දරති. 48(1) වගන්තිය මේ ප්‍රශ්නය ආසන්නයෙන් හෝ ගෑවී නොයයි. අපි දැන් 48(1) වගන්තිය මොහොතකට සිහිපත් කරගනිමු.

‘‘48(1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර, ධුරයෙන් ඉවත් කිරීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයෙන් හෝ අග්‍රාමාත්‍යවරයා ධූරය දැරීම නතරවූ විට..............’’
යනුවෙන් යෙදුමක් එහි ඇත. මෙහි ධුරයෙන් ඉවත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කවර ආකාරයක නෙරපා හැරීමක්ද යන්න මෙතෙක් කිසිවෙකු හෝ විසඳා දීමට උත්සාහ කර නැත. ජනාධිපතිවරයාගේ නෙරපීම් ලිපිය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන නීතිවේදීහු 48(1) වගන්තියෙහි දැන් එල්ලී සිටින්නේ යැයි කීම නිවැරදිය.
ව්‍යවස්ථා අර්ථ නිරූපණය පිළිබඳ මූලධර්මයන් අනුව කිසියම් ව්‍යවස්ථාවක පදනුගත අර්ථයෙන් නැතහොත් වචනාර්ථවලින් සම්පූර්ණ අර්ථයක් ලබානොදේ නම්, ව්‍යවස්ථාදායකයේ අරමුණ කුමක්දැයි සෙවීමේ අධිකරණ සම්ප්‍රදායක් පවතියි. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුළුවාලමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ ප්‍රකටතම අරමුණ වනුයේ ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමයි. එය අමුතුවෙන් මතක් කළ යුතු කරුණක්ද නොවේ. එවන් පසුබිමක් තුළ එක් පෑන් පහරකින් අගමැතිවරයා ඉවත් කර දැමීමේ බලයක් 48(1) වගන්තිය හරහා ජනාධිපතිවරයාට ලැබේ යනුවෙන් කීම අගත් මුලත් පටලවා ගන්නා තත්ත්වයකි.

සැබැවින්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ව්‍යවස්ථාදායකය මෙන්ම විධායකයද පඹගාලක පටලවා ඇතැයි කීම සාධාරණය. එය එක් පාර්ශ්වයක් අර්ථ නිරූපණය කිරීමේදී එක් තේරුමක්ද, තවත් පාර්ශ්වයක් ඊට අතගැසූ කල තවත් තේරුමක්ද ලැබෙනුයේ ඒ හේතුව නිසාමය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය අනුව ජනපතිවරයා අග‍්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලධාරියා වෙයි. 42(4) ජනපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.’’

ජනාධිපතිවරයා පත්වීම් බලධාරියා නම්, විනය බලධාරියා ලෙස කටයුතු කර, ඒ පත්වීම අවලංගු කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරේද? සැබැවින්ම 26දා අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන ලද්දේ එම දෘෂ්ටිකෝණයේ සිට බව ජනපතිවරයාගේ අත්සනින් යුතුව යවන ලද අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ ලිපිය අනුව පැහැදිලිය. එසේම, අර්ථ නිරූපණ ආඥා පනතේ 14(ඊ) වගන්තිය ඊට සහායට ගත හැකි තත්ත්වයක් මුල් බැල්මට පෙනෙයි. සියලු පනත් ආදිය අර්ථ දැක්වීමේදී රජයේ නිලධාරියෙකුගේ පත්වීම් බලධාරියා විනය බලධරයාගේ තත්ත්වය දරන තත්ත්වයක් නීතිය අනුව අර්ථ නිරූපණය කිරීමට හැකියාව ඇත. 
කෙසේ නමුත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පෙර සහ පසු අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයා රජයේ නිලධාරියෙකුද යන්න තීරණය කිරීම සම්බන්ධ අර්ථ නිරූපණයන්හි සුළු වෙනස්කමක් ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය සම්බන්ධයෙන් එහි 22 වැනි පරිච්ඡේදය අදාළ වෙයි. 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වැනි ව්‍යවස්ථාවෙහි රජයේ නිලධාරියා යන්නට අග්‍රාමාත්‍ය තනතුර ප්‍රකාශිතව ඇතුළත් කර නැත. එනමුත්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයේ 47 වැනි වගන්තිය තුළින් 170 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලැබීය. එහි 47 වැනි වගන්තිය ඉතා දීර්ඝ එකක් වන බැවින් අවශ්‍ය කොටස් පමණක් මෙහි උපුටා දක්වා තිබේ.

‘‘47. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 ව්‍යවස්ථාව ‘‘රජයේ නිලධාරියා’’ යන අර්ථ නිරූපණය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපණය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.
‘‘රජයේ නිලධාරියා යන්නෙන්, අධිකරණ නිලධාරියෙකු හැර ජනරජය යටතේ වැටුප් ලබන ධුරයක් ලබන තැනැත්තෙක් අදහස් වේ. එහෙත් ඊට-
(අ) ජනාධිපතිවරයා

(ආ)අග්‍රාමාත්‍යවරයා........ ඇතුළත් නොවන්නේය.’’

19 වැනි සංශෝධනය හරහා අලුතින් ඇතුළත් කරන ලද 47 වැනි වගන්තිය තුළින් මුල් පනතේ 170 වැනි වගන්තියේ රජයේ නිලධාරියා පිළිබඳ අර්ථ නිරූපණය වෙනස් කර ඇති බව පැහැදිලිය. මෙයින් අදහස් කර ඇති එක් ප්‍රතිඵලයක් වනුයේ අර්ථ නිරූපණ ආඥා පනතේ 14(ඊ) වගන්තියේ බලපෑම ඉවත් කිරීම බව තර්ක කිරීම සාධාරණය.
ඒ එනුව 42(4) වගන්තියේ එන බලතල අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කර ඇතැයි කීම එක්කෝ නීතියට උඩින් යාමකි. නැතිනම්, නීතියට යටින් රිංගා යෑමකි.
මේ තාක් ඉදිරිපත් කර ඇති නෛතික කරුණු විශ්ලේෂණයෙන් අදහස් කරනුයේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය තනතුර දරන බවද? නැතහොත් මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරට නීත්‍යානුකූලව පත්නොවූ බවද? නැත. දැනට මතුපිටින් බලන කල පෙනෙනුයේ අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු මෙරට සිටින බවයි. 
එය තවදුරටත් පැහැදිලි කළහොත්, 42(4) වගන්තිය අනුව ක්‍රියාත්මක වෙමින් අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ බලය ජනාධිපතිවරයා විසින් සාර්ථකව ක්‍රියාවට නංවා තිබේ. එනමුත්, ඒ තාක් බලයේ සිටි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම හරිහැටි සිදුවී නැත.

මෙයින් හටගන්නා ප්‍රතිඵලය සිතා ගැනීමට පවා අපහසු විසුළු ස්වභාවයේ එකකි. දෙදහස් දහඅටේ ඔක්තෝබර් විප්ලවයෙන් පසු මෙම ලිපිය සකස් කෙරෙන මොහොත දක්වාම මෙරටට අගමැතිවරු දෙදෙනෙකු වෙති. ඒ දෙදෙනාගෙන් එක් අයෙකු ස්වේච්ඡාවෙන් තනතුර අත්නොහළහොත් ඇතිවන අර්බූදය විස්තර කිරීමට මෙවැනි ලිපි දහයක්වත් ප්‍රමාණවත් නොවනු ඇත.
ඔක්තෝබර් විප්ලවයෙන් පසු හටගත් තත්ත්වය ජනතාවගේ පක්‍ෂයෙන් බලන කල අතිශය අවාසනාවන්ත හා ව්‍යාකූල එකකි. හිටපු අග්‍රාමාත්‍යවරයා සීමාව ඉක්මවා ක්‍රියාකරමින් විදේශීය හමුදා කැඳවීමට පවා උත්සාහ ගෙන ඇත. එය මෙරටෙහි ආරක්‍ෂාවට මෙන්ම ජනතාවගේ සුබසිද්ධියටද සෘජුවම බලපාන අදූරදර්ශී උත්සාහයකි. යම් හෙයකින් විදේශ සාමසාධක හමුදා මෙරටට පැමිණියහොත් එහි උපරිම වාසිය ලැබෙනුයේ සාමය කැමති පොදු ජනතාවට නොව අවස්ථාවාදී බෙදුම්වාදීන්ටය. අනෙක, සාමසාධක හමුදා ආපසු යැවීම ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට වඩා අපහසු ක්‍රියාවකි.

ඔක්තෝබර් විප්ලවය දෙස මතුපිටින් බලන කල එය ගෙම්බන්, මැඩියන්, වවුලන් වැනි උභයජීවීන්ට නෑකම් කියන මහජන නියෝජිතයින්ට වාසි සහගතය. ඒ ඔවුන්ට පිල් මාරුව හරහා ඇමති පට්ටම් සහ තවත් වරදාන ලැබීම අනිවාර්ය තත්ත්වයක් වන බැවිනි. එනමුත්, ඔක්තෝබර් විප්ලවයේ සැබෑ ජයග්‍රහණය අත්වනුයේ ඔය කියන කාහටත් නොවේ. එය අත්වනුයේ ඊළම දිනන්නට කේවල් කරමින්  බලා සිටින බෙදුම්වාදීන්ටය.
මේතාක් හටගෙන ඇති අවුල් සහගත තත්ත්වය යම් තරමකට හෝ නිරාකරණය කිරීමේ ශක්තිය ඇත්නම්, ඒ ශක්තිය ඉතිරිව ඇත්තේ ද ජනාධිපතිවරයාටමය. එතුමා මෙතෙක් ගෙන ගිය නිර්බාධවාදී ප්‍රතිපත්තිය අතහැර සොරකමට, අල්ලසට හා දූෂණයට එරෙහිව ‘‘මහපොල්ල අතට ගත්තේ නම්, මාස කිහිපයක් තුළ සිය ප්‍රතිරූපය නැවත තනා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවනු ඇත. ඒ හැරුණුකොට හිසරදයට කොට්ටය මාරුකිරීමෙන් කිසිදු සුගතියක් අත් නොවන බව ජනතාවද, මහජන නියෝජිතයන්ද වටහාගත යුතුය.



Recommended Articles