ලෝකය බිහිවනුයේ හිරු කිරණ හා මවු කිරි මගින් බවට රුසියානු ගත්කතුවර මක්සිම් ගෝර්කි කළ ප්‍රකාශය වෙත අප ඔබව කැඳවන් යන්නෙමු. ලෝකයක් ගොඩනගන්නට ඔබට සොබාදහම දුන් දායාදය ඔබේ ජීවිතයට ගෞරවයක් හා පියකරු බවක් එකතු කරන්නට මිස ඔබේ ජීවිතය උදුරා ගන්නට හේතු සපයන්නක් වන තුරු ඔබ බලා සිටිනවාද? වසරකට තුන්දහස් පන්සියයක් වශයෙන් රෝගීන් හඳුනා ගන්නා, ඒ අනුව දිනකට නවදෙනෙකු වශයෙන් අලුත් රෝගීන් හඳුනා ගැනෙන දිනකට දෙදෙනෙකුට මරණය කැඳවන පියයුරු පිළිකාව අපේ රටේ කාන්තාවන් අතර බහුලම පිළිකාවයි.
මදක් සිතන්න මේ අතර ඔබේ මව, ඔබේ සොයුරිය, දියණිය සිටිය නොහැකිද? අද දින පියයුරු පිළිකාව නිසා මරණයට පත්වන කාන්තාවන් දෙදෙනා අතර, ඔබේ මව සොයුරිය, දියණිය, බිරිඳ, පෙම්වතිය, ආත්තම්මා, ඔබේ හොඳම යෙහෙළිය හෝ ඔබ සිටිය නොහැකිද? පියයුරු පිළිකාව මරණ වරෙන්තුවක් නොවේ. කලින් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් මුළුමනින්ම සුව කළ හැකි රෝගයක් මරණය දක්වා ගෙන යන්නේ ඇයි?
ඔබ යැයි කී විට එහි ස්ත්‍රී පුරුෂ භාවයක් ගැන සඳහනක් නොවේ. පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුලව පවතින පිළිකාව බව සැබෑමුත් පිරිමින් අතරින් සියයට එකක පමණ ප්‍රමාණයක්ද පියයුරු පිළිකාවට ගොදුරු වේ. යම් අයුරකින් හඳුනා නොගෙන නොසලකා හැරියහොත් පිරිමි ඔබද පියයුරු පිළිකාවෙන් මිය යා හැකිය.
එයට කුමක් කළ යුතුද ? එය හඳුනා ගනුයේ කෙසේද? මෙවන් ගැටලු රාශියක් දැන් ඔබටත් මතුවනු ඇති. මේ ඔක්තෝබරයයි. පියයුරු පිළිකා වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ මාසයයි. ඒ නිසා කාන්තාවන් අතර බහුලවම පිළිකා රෝගය පිරිමි ඔබටත් පවතින ඉතාම සුළු අවදානමත් අපි අමතක කරේ නෑ. ඒ සම්බන්ධව ලක්ෂණ අප පසුවට සාකච්ඡාවට ගනිමු.
පියයුරුවල පිළිකා තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? මේ නිසා විය හැකි යැයි ඔබ සැක පහළ කරන එහෙත් සැබෑවක් ලෙස පිළිගත නොහැකි සනාථ කර නැති හේතූන් ඒ අතර තිබෙනවා. කුඩා දරුවෙකු ඉපදුනාම ගල් කිරි ඉවත් කරනවා යැයි පවසමින් තන පුඩුව මිරිකා හැරීම පැරණි මවුවරු සහ මිත්තණියන්ගේ සිරිතක්. එසේ කිරි ඉවත් කළේ නැති වුණොත් පසු කාලීනව පියයුරුවල ගැටිති මතු වී ඒවා පිළිකා බවට පත්වේ යැයි සමාජයේ අදටත් අතරින් පතර කෙනෙක් දෙන්නෙක් හෝ සිතන බව අප දන්නවා. නමුත් මෙහි කිසිදු පදනමක් නහැ. කුඩා දරුවන්ගේ තන පුඩු මිරිකා එසේ කිරි ඉවත් කිරීම අවශ්‍ය නොවන බවත්, එසේ නොකළවිට ගැටිති ඇති වන බවක්ද විද්‍යාත්මකව සනාථ නොකරන මතයක්.
සමහරුන් මෙසේ පියයුරුවල ගැටිති ඇතිවීමට විවිධ හේතු දක්වා සිටියත් ඒවා නියත වශයෙන්ම පියයුරු පිළිකාවට හේතුවන බවටද සාධක නොමැති බව ඔබ දැන සිටිය යුතුමයි. කාන්තාවන් නිතර තිසර පටයෙන් පියයුරු සිරකර තබා ගැනීම, ඉතා තදට උඩුකය යට ඇඳුම් ඇඳීම වැනි හේතු පියයුරු පිළිකාව හා ගැළපුවත් මෙවැනි හේතු පියයුරු පිළිකාවට තුඩුදී තිබෙන බවට සායනික වශයෙන් තහවුරු කර සාක්ෂි පිළිබඳ සඳහනක් නැහැ. ඒ පිළිබඳ නිසි පර්යේෂණයක් නොවන බැවින් අපට එය එසේ සඳහන් කළ නොහැකියි. කෙසේ නමුත් මේ හේතු පියයුරු පිළිකාවලට එක එල්ලේ සම්බන්ධයක් නොපවතින බව සැබෑවක් නම් පියයුරු පිළිකා ඇති වන්නේ මන්ද යන්න ඔබට කිසියම් ගැටලුවක් මතුවනු ඇති.
පියයුරු පිළිකාවක් බොහෝවිට ආරම්භ වෙන්නේ කිරි නිපදවන නාළවල වැඩෙන ආක්‍රමණශීලී සෛලවලින් යැයි කිවහොත් එහි වරදක් නැහැ. (invasive suct carcinoma) එසේම පියයුරු පිළිකා ආරම්භ වනුයේ ග්‍රන්ථි පටකවල තිබෙන සෛල කුටීර තුළ ඇති පටකවලිනුයි. මෙම තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි හේතු එකිනෙකට වෙනස් වන්නට පුළුවනි. හෝර්මෝන භාවිතය, ආහාරය, ජීවන රටාව, ඇබ්බැහි වූ පුරුදු සහ පාරිසරික හේතූන් වැනි දෑ ඊට ඇතුළත්.
කෙසේ නමුත් අවදානම් සාධක එකක්වත් නෑරව වුවත් ඇතැමුන්ට පිළිකා ඇති වන්නට පුළුවන්. පියයුරු පිළිකා ඇතිවීමට හේතුව ඔබේ ජාන සැකැස්ම හා ඔබේ පරිසරයේ සංකීර්ණ වූ අන්තර් ක්‍රියාකාරීත්වය විය හැකි යැයි මේ නිසා තීරණයකට එමු.
පිරිමින් සඳහා පියයුරු පිළිකා ඇති වීමට යම් මූලික බවක් දක්වන හේතුවකි ගයිනකොස් මැස්ටියා යන තත්ත්වය. මෙය නම් පිරිමි අයගේද පියයුරු කාන්තාවකගේ මෙන් මදක් විශාලව නෙරී පැවතීමයි. මෙවැනි තත්ත්වයක් ඇති අය අනෙක් අයගේ සමච්චලයට ලක්වේ යැයි සිතා එය සඟවා ගන්නා අතර, වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කරවා ගන්නේ කලාතුරකිනි. මෙය සහිත සෑම කෙනෙකුම පියයුරු පිළිකා සහිත යැයි මෙයින් අදහස් නොකරන අතර, ඉතාම කලාතුරකින් එසේ පිළිකා පිළිබඳ අවදානමක් කැඳවනවා විය හැකිය.
කෙසේ නමුත් අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් සිය පියයුරු ස්වයං පියයුරු පරීක්ෂාවකට ලක්කර බැලීම උචිතය. එසේ නොවේ නම් සුවනාරී සායනයකට හෝ සුව දිවි සායනයකට ගොස් පරීක්ෂාවට ලක් විය හැකිය.
සාමාන්‍යයෙන් පියයුරුවල පටක ඝන වී, එය පියයුරේ ගැටිත්තක් ලෙස මතුවිය හැකිය. එය ප්‍රධාන ලක්ෂණයකි. පියයුරුවල වේදනාව, තැඹිලි ගෙඩියක මතුපිට මෙන් පියයුරේ සමේ පැහැය රතු වීම හෝ වෙනස් වීම, තන පුඩු වටා ඇති වන තුවාල, තන පුඩුවලින් රුධිරය හෝ ශ්‍රාවයන් පිටවීම, ඇතුළට ගිලී ගිය තන පුඬුවක්, පියයුරෙහි ප්‍රමාණය හැඩය හෝ පෙනුමේ යම් ආකාරයක කලින් පැවතියාට වඩා වෙනසක් ඇති වීම, තන පුඩුව හෝ පියයුරුවල සම වටා වර්ණකවල වෙනසක් හෝ ඉදිමීමක්, පිම්බීමක් ඇති වීම, පියයුරෙහි මතුපිට දොඩම් ලෙල්ලක සිදුරු වැනි සිදුරු සහිත බවක් මතු වීම පියයුරු පිළිකාවක ලක්ෂණයක් වීමට ඉඩ තිබේ.
පියයුර මෙන්ම ගැටිති ඇති වීම පිළිබඳ කතා කරන විට කිහිල්ල අවට පිළිබඳවද ඔබේ අවධානය යොමු වීම ඉතා වැදගත්ය. බොහෝ දෙනෙකු සිතන්නේ කිහිල්ල යට හසුවන ගැටිත්ත කුද්දැට්ටක් ලෙසය. ඉදිමීමක් නැති නම් සිරුරේ කුමන හෝ තුවාලයක් ඇති වීම නිසා එසේ කිහිල්ල යට කුද්දැටි ඉදිමී ඇතැයි සිතන ඔවුන් එය අමතක කරයි. එසේ මතුවන සෑම ගැටිත්තක්ම පිළිකාවක් නොවිය හැකිවාක් මෙන්ම, එසේ ඇති වන සමහර ගැට පිළිකාවක්ම විය හැකි බැවින් උපදෙස් දිය හැක්කේ කුමන එකක් වුවත් නිසි පරීක්ෂාවකට ලක්වන ලෙසයි. කලින් කියුවාක් මෙන්ම පියයුරු පිළිකාව මරණයට හේතුවක් නොවේ. කලට වේලාවට නිසි පරීක්ෂණ ප්‍රතිකාර වෙත යොමු වීමෙන් පියයුරු පිළිකාවෙන් ජීවිතය බේරාගත හැකිය.
කෙසේ වුවත් අවදානම් සාධක නැතහොත් රින්ක් ෆැක්ටර්ස් ගැන අවදානය දැක්වීම ඉතාමත් කාලෝචිත බව මතක තබා ගන්න. වයස්ගත වීම සමග පිළිකා ඇතිවීමේ අවදානමක් කාන්තාවන්ට ඇත. එසේම පියයුරු පිළිකාව පිළිබඳ පෞද්ගලික ඉතිහාසයක් ඇති, එනම් කලින් එක් පියයුරක පිළිකාවක් ඇති වී තිබේ නම් අනෙක් පියයුරුව තුළ පිළිකාවක් ඇති වීමේ අවදානම වැඩිය. පිළිකා අවදානම වැඩි කරන ජාන ශරීරයේ මුල් බැස තිබීම, නැති නම් ඇතැම් ජාන විකෘති දෙමවුපියන්ගෙන් දරුවන්ට ලැබීමට ඉඩ තිබේ . වඩාත්ම ප්‍රසිද්ධ ජාන විකෘති BRCA 1 සහ BRCA 2 ලෙසන් හැඳින් වේ. මෙම ජාන මගින් පියයුරු පිළිකා මෙන්ම වෙනත් පිළිකාවන්ද ඇති වීමේ වීමේ අවදානම බෙහෙවින්ම වැඩි කිරීමට ඉඩ ඇත. අධික තරබාරු බවද පියයුරු පිළිකාවට අවදානම් කැඳවිය හැකිය. එමෙන්ම විකිරණවලට නිරාවරණය වීමද, එම අවදානමට තුඩු දෙන සාධකයකි.
වයස අවුරුදු 12ට පෙර ආර්ථවය ඇතිවීමද, ගර්භිණී නොවූ කාන්තාවන්ටද පශ්චාත් ආර්ථව කාලය තුළ හෝර්මෝන ප්‍රතිකාර සහ ඔසප් වීමේ ලකුණු හා රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම සඳහා ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ඒකාබද්ධ කරන හෝර්මෝන ප්‍රතිකාර ගත් අයට පිළිකා ඇති වීමේ වැඩි අවදානමක් පැවතිය හැකිය.
මත්පැන් පානයද පියයුරු පිළිකා අවදානම වැඩි කරන සාධකයකි. සියයට එකක් වූ පිරිමි අයට ඇති කෙරෙන පියයුරු පිළිකාව එසේ මත්පැන් භාවිත කරන්නට වැඩි අවදානමක් දැක්විය හැකිය. කාන්තාවන් වුවත් මත්පැන් පානය කරන්නේ නම් එයින් පිළිකා අවදානම ඇති වේ. ඔබ ස්ථුල අයෙකු නම් ආහාර පාලනය හා ව්‍යායාමයන්හි නිරත වීමෙන් එක් අවදානම් සාධකයක් නිසොල්මනේම පාලනය කරගත හැකිය.
ඔක්තෝබරය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම හා වැළැක්වීම පිළිබඳ මාසයයි. ඔබ මෙන්ම පියයයුරු පිළිකා අවදානමේ දොරකඩ පසුවන ඔබේ අය මේ මාසය තුළ පියයුරු පිළිකා අවදානමෙන් තොර බව තහවුරු කර ගැනීමට යොමු කරවන්න. ඔබ ඔබේ මුහුණේ පියකරු බව ගැන කොතරම් වද වෙනවාද. එහි පුංචි බිබිලක් මතු වුවහොත් එය ඉක්මනින් ඉවත් කර ගැනීමට කොතරම් සැලකිලිමත් වෙනවාද.
එසේම කාන්තා ඔබේ සිරුරේ හැඩයට මෙන්ම, ඔබේ සිරුරේ වැදගත්ම අංගයක් සේ පිහිටන, මේ ලෝකය ගොඩ නැගීමට උපකාරී වන සොබාදහමේ වැදගත්ම වටිනාම ආහාරය වූ මවු කිරි නිපදවමින් ඔබට ගෞරවනීය බවක් ලබාදෙන, ඔබේ පියයුරු යුවළ පිළිබඳව වඩා සැලකිලිමත් බවක් දක්වන්න. ආගන්තුක වෙනස ඔබේ අලංකාරය, වටිනාකම් මෙන්ම ඔබේ සතුට උදුරා ගන්නා තෙක් බලා නොසිට වහා ඔබ පියයුරු පිළිකාවෙන් ආරක්ෂිත යන සහතිකය වෙත ළඟා වෙන්න. ඔව් මේ ඔබව ඒ සඳහා බලගන්වන මාසයයි.
(උපදෙස් - සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා)
සටහන - නාලිකා රාජපක්ෂ