ඉස්සර පුංචි කාලේ රූපවාහිනිය නරඹන විට ඇහුණු ගීතයක් පිළිබඳ මගේ මතකයට පැමිණියේය.
මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනෙයි නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
අද මෙන් රූපවාහිනී නාළිකා ගොඩක් ඒ දවස්වල නොතිබුණි. තිබුණේ රාජ්‍ය නාළිකාවක් පමණි. එමෙන්ම පැය 24ක් පුරාවට රූපවාහිනී නාළිකාවක් තම වැඩසටහන් විකාශනය නොකළේය. බොහෝ වෙලාවට එම නාළිකාවේ විකාශය පටන් ගත්තේ පස්වරු 3.00ට පමණය. මුලින්ම එහි තිබුණේ අධ්‍යාපනික වැඩ සටහන්ය. ඒ වගේම රෝඩ් රනර්, ගලිවර්ගේ සුවිසැරිය වැනි කාටූන් වැඩසටහන් එහි විකාශය විය. මෙම නාළිකාවේ ඉහත මා සඳහන් කළ ආකාරයේ ගීත ප්‍රචාරය කෙරුණි. මේ සංගීතය මට එදා වගේම අදටත් කට පාඩම්ය.
මේ ගීතය මගේ ජීවිතයට බොහෝ සමීප බව මතක් කළ යුතුමය. ඒ මම හැමදාමත් ආදරය කළ මගේ ලොකු අත්තා හේතුවෙනි. එදා අපිටම වෙන් වූ සුන්දර ළමා කාලයක් තිබුණි. අද වගේ තරගකාරීත්වයක් එදා නොතිබුණි. ඒ වගේම පරිගණක යන්ත්‍ර, ටැබ්, ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන ඒ වකවානුවේදී තිබුණේ නැත. ක්‍රීඩා කිරීමට විඩීයෝ ක්‍රීඩා, පරිගණක ක්‍රීඩා තිබුණෙත් නැත. අප පුංචි කාලේ සෙල්ලම් බඩු වශයෙන් නානාප්‍රකාර දේවල් තිබුණේද නැත. පාසල් ගියේ නගරයට වුවද අප ගම අමතක නොකළෙමු. ඉස්කෝලේ නිවාඩු ලද විගස අප බලාගෙන ඉන්නේ ගමේ යන්නටය. ඒ වෙන කිසිවක් නිසා නොවේ. ලොකු අත්තා බලන්නටය. ඔහු පරිසර විද්‍යාඥයෙකුවත්, පරිසරවේදීයෙකුවත් නොවුණාට මා දුටු ලොකුම පරිසර විද්‍යාඥයා ඔහුය. ලොකු අත්තා ඒ තරම් පරිසරයට ආදරය කළේය. විච්චූර්ණ දේවල්, තාක්ෂණික දේවල් ඒ කාලේ නැති වුණාට කරන්න දේවල් ගොඩක් තිබුණි. ලොකු අත්තා බට තුවක්කු හදලා දෙනවා මට මතකය. අපේ ආයුධ ගබඩාව වුණේ කිරිල්ල කැලේය.
ලොකු අත්තා උදෙන්ම නැගිටලා කිරි දොවන්න යයි. එසේම ඔහුට එළවළු වගා කළ කොරටුවක් තිබුණි. එහි ගොඩක් එළවළු ජාති වගා කර තිබිණි. කොරටුවට ගොස් මමත් ලොකු අත්තත් එක්ක වැඩ කළේය. අමු තක්කාලි, කිරි රහට බණ්ඩක්කා ලා කරලක්, පිපිඤ්ඤා ගෙඩියක් එහෙම කන ගමන් අපි වැඩ කළෙමු. අපේ ගෙදර පල්ලෙහායින් ලොකු ඇළක් ගලාගෙන ගියේය. අපි ඒ ඇළේ බැහැලා සෙල්ලම් කළෙමු. පුංචි පුංචි මාළු ගොඩක් ඒ ඇලේ සිටියේය. එය හරිම සුන්දර දසුනකි. උදෙන්ම දොවාගත් කිරි අත්තම්මා උණු කරලා තියයි. ඒකත් බීලා අපි කෙළින්ම දුවන්නේ ඇළටය. ඒ ඇතිවෙනකම් වතුරේ නටන්නටය. අම්මා වතුරේ නටනවාට පොඩ්ඩක් නෝක්කාඩු වුණාට ලොකු අත්තා අම්මාගේ ගෝරනාඩු, නෝක්කාඩු තනුක කරන්නට ඉදිරිපත් වූ නිසා අප ඇළේ නටන එක නවත්වන්නට කාටවත්ම නොහැකි විය.
ගමේ ඉන්න යාළුවෝ ටිකත් එක්ක සෙල්ලම් කරලා අප ගෙදරට එන්නේ හරියටම මඩකරියන් ලෙසිනි. අපි ගමේ ගියාම අත්තම්මා බොහෝම ජයට කෑම බීම හදයි. එහිදී බොහෝමයක් පලා ජාති, එළවළු, පලතුරු ටික හම්බ වෙන්නේ වත්තෙන් වගේම කොරටුවෙනි. මේ වත්තේ පලතුරු ගස් ජාති බොහෝමයක් සිටුවා තිබුණි. ලොකු අත්තා ගොඩක් කළේ පැළ සිට වූ එකය. මේ පැළ සිටුවීමට ඔහු මාවද සම්බන්ධ කර ගත්තේය. &ඇයි මේ පැළ හිටවන්නෙ. මේවගේ ගෙඩි එන්න කොච්චර කාලයක් යනවද? ඉතින් එච්චර කල් ගියාම ඔයාට මේකෙ එක ගෙඩියක්වත් කන්න හම්බ වෙනවද? ලොකු අත්තෙ* යන්න මමද නිරන්තරයෙන් අසන ප්‍රශ්නයකි. මා ඉහත සඳහන් කළ ගීතයේද ඔය වගේම පැණයක් අසයි.
දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද?
ලොකු අත්තා හැම වෙලාවේම පැවසූයේ ගහක් හිටවන එක කොච්චර හොඳයිද. මට නෙවෙයි කවදා හරි පුතාට මේ ගහේ ගෙඩි කන්න ලැබෙයි. අපි පරිසරයට ආදරය කරන්න ඕනි. පරිසරය එක්ක සම්බන්ධ වුණාම, ආදරය කළාම තමයි අපිත් පරිසරයෙන් ආරක්ෂා වෙන්නේ. ඒ වගේම තමයි ආපිට යමක් බලාපොරොත්තුවෙන් දේවල් කරන්න එපා. පරිසරයට ආදරය කරන්න. නගරවල හිටියට පරිසරය එක්ක ගැටුණොත් තමයි පරිසරයට ආදරේ කරන මිනිස්සු බිහි වෙන්නේ* යන්නයි.
එදා ලොකු අත්තා කියපු ඒ දේවල් මගේ පුංචි මනසට නොතේරුණද එහි තිබෙන යථාර්ථය පිළිබඳ මට තේරෙන්නේ අදය. අද අපේ පුංචි ළමයි බොහෝම යාන්ත්‍රික වී තිබේ. අද දෙමවුපියන් ළමයින්ව රේස්වලට දක්කගෙන යයි. තරගයට හුරු කරයි. පුංචි ළමයින්ට අද ඇළේ, දොළේ, ගමේ සෙල්ලම් කිරීමට කාලයක් නැත. කුරුම්බාට්ටි මැෂිමක්, රෑං පෙත්තක්, පොල්පිති හරකෙක් හදන්නට ඔවුන් දන්නේ නැත. එදා අපි සෙල්ලම් බඩු හදා ගත්තේද පරිසරයෙන්මය. නමුත් අද වන විට ළමයි අතේ තිබෙන්නේ ටැබ්, විඩීයෝ ක්‍රීඩා, පරිගණක ක්‍රීඩාය. අද ළමයෙකු ගහක් කොළක් ගැන අඳුරන්නේ බොහෝම අඩුවෙන්ය. අද පරිසරය එක්ක තිබෙන සම්බන්ධය බොහෝම අඩුය. අද පරිසරයට, ගහකට කොළකට සතෙකුට මිනිස්සුන්ගෙන් බහුතරයක් ආදරය නොකරන්නේ පරිසරයත් එක්ක බැඳීමක් මෙන්ම අත්දැකීමක් නොමැති නිසාය. අප පරිසරයට ආදරය කරන්නේ ඒ බැඳීම පරිසරයත් සමග තිබුණු නිසාය. ලොකු අත්තා කියූ තවත් දෙයක් තිබේ. ඒ &මේ පලතුරු ගස් හිටවන්නේ යුතුකමක් විදිහට. අනාගතයේ පුතාලට ඇවිත්. නැත්නම් පුතාගෙ දරුවන්ට ඇවිත් මේ ගහෙන් ඵල ප්‍ර‘යෝජන ගන්න පුළුවන්* යන්නය. අප මේ සමාජයේ සිදුවූ වෙනස්කම් හේතුවෙන් බොහෝදුරට පරිසරයත් එක්ක ඈත්වී, ආත්මාර්ථකාමී වී තිබේ. පරිසරය රැකගැනීම අපේ යුතුකමක් විදියට සිතිය යුතුය. එමෙන්ම අපට ප්‍ර‘යෝජනයක් නැතත් ඉදිරි පරම්පරාවේ ප්‍ර‘යෝජනය උදෙසා හෝ ගහක්, කොළක් සිටුවිය යුතුය. යුතුකම ඉටුකිරීම කවදා හෝ ඔබට නිරමිස සතුටක් ගෙන එනු ඇත. %මොනවද මුත්තේ^ සින්දුවේ අවසානයට කියවෙන්නේද එවැනි දෙයකි.
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකර ලන්නෙමි
ලොකු අත්තා එදා මාත් සමග සිට වූ ගස්වල අද ගෙඩි හටගෙන තිබෙනවා දැකීමෙන් මා හට දැනෙනුයේ පුදුම සන්තෝෂයකි. &අපි පරිසරයට ආදරය කරමු, යුතුකම ඉටු කරමු.
මේ යුතුකම හොඳහැටි දැනගත්තෙමි
ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි* ලොකු අත්තා අප සියල්ලන්ටම ආයුබෝවන් කියා ගොස් දැනට දශක දෙකකි. නමුත් ඔහු පරිසරය රැකගැනීමට කියා දුන් දේ පරිසරය වෙනුවෙන් කළ යුතු යුතුකම් පිළිබඳව අපට කියූ දේ, දුන් දැනමුතුකම්වලට ආයුබෝවන් කියන්නට බැරිය. අප රැකෙන්නේ පරිසරය රැකගත්තොත් පමණය.