වර්තමානයේදී වැඩිම කතාබහක් ඇතිවී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය ගැනය. සමහර පක්ෂ ජනාධිපති අපේක්ෂකයින් නම් කර තිබෙන අතර තවත් පක්ෂ කිහිපයක් ඉදිරි දිනවලදී අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳව අද දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග කතාබහක නිරත විය.
අවසන් තීරණය සැප්තැම්බර් 03 ප්‍රකාශ කරනවා - දුමින්ද දිසානායක (ජාතික සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
“ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු නම් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂය තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ. හැබැයි මේ පිළිබඳව ආසන සංවිධායකවරුන් සමග, පාක්ෂිකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙන්නේ. අපේ තීරණය සැප්තැම්බර් 03 වැනි දිනට පෙර ගන්නවා. එය සැප්තැම්බර් 03 වැනි දින සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශයට පත්කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනැගීමට සැලසුම් කළ පුළුල් සන්ධානය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡා සිදුවෙනවා. ඒ වගේම මේ දිනවල පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සේම බිම් මට්ටමේ දැනුවත් කිරීමද සිදුකරනවා.*
අපේ අපේක්ෂකයා තමයි හොඳම කෙනා - ආචාර්ය අනුර කරුණාතිලක (මාධ්‍ය සම්බන්ධීකරණ කමිටු සාමාජික ජාතික ජන බලවේගය)
අපේ අපේක්ෂකයා මේ වනවිට නම් කරලා තියෙන්නේ. අපේ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම ජාතික ජන බලවේගය තව තවත් ශක්තිමත් කිරීම සඳහා අපේ වැඩපිළිවෙළ පිළිගන්නා සිවිල් සංවිධාන සමග සාකච්ඡා කරනවා. පොලිතින් ඇතුළු පරිසරය දූෂණය කරන කිසිදු ද්‍රව්‍යයක් අපේ කටයුතු සඳහා භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම ජාතික ජන බලවේගය යටතේ භික්ෂු සංවිධානයක් සේම තරුණ කාන්තා සංවිධාන, ගොවි සංවිධාන සකස් කිරීමත් ඉදිරි දිනවල සිදුකරනවා. අපේ අපේක්ෂකයා සියලුම දෙනා පිළිගන්න කෙනෙක්.
සියලුම දෙනාට ජීවත්විය හැකි හොඳ රටක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි - විජිත හේරත් (ප්රචාරක ලේකම් ජනතා විමුක්ති පෙරමුණ)
“රටේ සියලුම දෙනාට වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරදීම වගේම, ජනතාවට නිදහසේ ජීවත්විය හැකි රටක්, හොඳ ආර්ථිකයක් තිබෙන, මුළු ලෝකය ඉදිරියේම අභිමානවත් රටක් නිර්මාණය කිරීම තමයි අපේ බලාපොරොත්තුව.
ගෙවී ගිය 71 වසරක කාලය තුළ රට පාලනය කළ පාලකයන්ගේ වංචාව, දූෂණය, නාස්තිය නිසා රට අගාධයට වැටිලා තිබෙන්නේ. මේ තත්ත්වයෙන් රට ගොඩගත හැක්කේ අපිට පමණයි. මේ නිසා අපේ බලවේගය මේ වනවිට අනෙකුත් දේශපාලන පක්ෂවලට විශාල අභියෝගයක් වෙලා තිබෙන්නේ. කිසිම අපේක්ෂකයෙකු අපිට අභියෝගයක් නොවේ. අපේ වැඩපිළිවෙළ පිළිබඳව අපි ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම වෘත්තීය සමිති සම්මේලන පැවැත්වීම, අපේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම ඉදිරි දිනවල සිදුකරනවා.*
නායකතුමා එක්ක කතාකරලා සජිත් ඇමතිතුමාට ඒ අවස්ථාව අපි ලබාගන්නවා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි
“අවුරුදු 25කට පස්සෙ තමයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් රටට පත්කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙන්නේ. ඒ අවස්ථාව අනිවාර්යෙන්ම ලබාගන්නවා කියන මතයේ තමයි රටේ ජනතාව ඉන්නේ. පක්ෂයේ බහුතරයක මතයත් ඒකම තමයි. අපේ නායකතුමා එක්ක කතාකරලා සජිත් ඇමතිතුමාට ඒ අවස්ථාව අපි ලබාගන්නවා. ඒ සඳහා නායකතුමාගේ නම්‍යශීලී ගතියක් පේන්න තියෙනවා. ඉන්න නම්‍යශීලී කරගන්න බැරි එක්කෙනෙක් දෙන්නෙක් එතුමා වටේ ඉන්නවා. ලංකාවේ පළාත් සභා මන්ත්‍රීවරු 113ක් ඉන්නවා. ඉන් 96ක් ඊයෙ ඇවිල්ලා අනිවාර්යෙන්ම සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළා. සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයාගේ ගෙදර ඒ සාකච්ඡාව පැවැත්වුවා. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් පුද්ගලයා ඉදිරිපත් කරන්න අගමැතිතුමාගේ සහය ගතයුතු බව එහිදී සාකච්ඡා වුණා. රටේ ජනතාවගේ ඉල්ලීම පරිදි අගමැතිවරයාගේ එකඟතාව ඇතිව, එතුමාගේ ආශිර්වාදය ඇතිව මෙය සිදුකළ යුතුයි. අගමැතිවරයා මෙම වැඩපිළිවෙළේ ඉදිරියෙන්ම සිටිය යුතු බව සියලුදෙනාගේ අදහස වුණා. අගමැතිතුමා නායකත්වයේ ඉන්න ඕන. එතුමා ඉවත් කරන්න කියලා අපි කියන්නෑ. නමුත් පිරිසකට ඕන වෙලා තියෙනවා අගමැතිතුමා ඉවත් කරපු එහෙම කඳවුරක් හදාගෙන ඉන්න. එහෙම කළොත් දෙගොල්ලොම විනාශ වෙනවා. පොහොට්ටුවේ කඳවුරට වඩා අපේ කඳවුර ශක්තිමත් කියලා හැමෝටම පේනවා. ජනාධිපතිවරණය දිනන්න පුළුවන් අපේ පක්ෂයේ එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස පමණයි. එතුමාට මේ අවස්ථාව දුන්නොත් විතරයි දිනන්න පුළුවන්. වෙන කිසි කෙනෙක් දැම්මට දිනන්න බැහැ. සන්ධානය හදන වැඩේදී ව්‍යවස්ථාවේ සංශෝධන අපේ නීතිඥ රාජ්‍ය ඇමතිවරු සිදුකරනවා. ඒවා ප්රතිසංශෝධනය කරලා, අනුමත කරලා නායකත්ව මණ්ඩලය පත්කර ගනීවි. ඉන්පසුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න කියලා අපි ඉල්ලන්නේ. ඒ වෙනුවෙන් පවත්වන‘ සජිත් එනවා‘ ඊළඟ ජනතා රැලිය මංගල සමරවීර ඇමතිතුමා හා බුද්ධික පතිරණ ඇමතිතුමා මාතරදී සාර්ථකව සංවිධානය කරනවා. බදුල්ලේ රැලියෙන් පස්සේ අපිට වැඩිය ජනතාවගේ උනන්දුව තියෙනවා. ජනතාවට තමයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ.
ආණ්ඩුවේ කුමන්ත්‍රණයන්ට එරෙහිව අරගලයක් අපි ආරම්භ කරනවා - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා,
මේ වනවිට ජනාධිපතිවරණය දිහා බලාගෙන දේශපාලන බල පොරයක යෙදී සිටින මේ දේශපාලන පක්ෂවලින් ජනතාවට කිසිදු යහපතක් සිදුනොවන බව පැහැදිලියි. අද වනවිට ජනතාවට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න, කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමට ගෙන එන කම්කරු ධවල පත්‍රිකාවේ ප්රශ්නය, කම්කරු හා සේවා කොන්ත්‍රාත් පනත ගැන පාර්ලිමේන්තුවේ කවුරුත් කතා කරන්නෙ නෑ.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතියට ආණ්ඩුව සූදානම් වෙද්දී ඉන්දියාවේ, ඇමෙරිකාවේ, ජපානයේ සමාගම් මේ රටේ ජනතාවගේ ඉඩම් කොල්ල කන්න සූදානම් වෙනවා. පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙක්, කිසිදු පක්ෂයක් ඒ ගැන කතා කරන්නේ නෑ. වරාය නගරයට චීන හමුදාව එන්න සූදානම් වෙද්දී චීන හමුදාවේ දැන්වීම් පුවත්පත් පිටු පුරා පළ වෙනවා. කවුරුවත් ප්‍රශ්න කරන්නෙ නෑ. කම්කරුවන්ට, රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ට, ශිෂ්‍යයන්ට, ධීවර ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටලු වැනි කිසිවක් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලෙස පාර්ලිමේන්තුවේ ඉන්න අය මැදිහත් වෙන්නෙ නෑ.
ඒ ඇයි? දැන් ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා තෝරන සුපිරි තරු වැඩසටහනක ඔවුන් සියලුදෙනා ඉන්නවා. ඔවුන් සියලුම දෙනා තවමත් ප්‍රකාශයට පත්කර නැති ජනාධිපතිවරණයේදී තමන්ගේ රේස් අශ්වයා දුවවන්න තමයි මේ වනවිට දතකට මැදගෙන ඉන්නේ. ඒ නිසා ඔවුන් නියෝජනය කරනවා කියන්නේ ජනතාවගේ ප්‍රශ්න සියල්ලම තවදුරටත් ජනතාව පීඩාවට පත්කරමින් වර්ධනය වෙනවා. මහජන නියෝජිතයන්ය කියලා පත්කරපු 225 දෙනාම රේස් අශ්වයන් වෙලා ජනතාවගේ ගැටලු මේ ජනාධිපතිවරණයට යට කරමින් ඉන්නවා.
අධ්‍යාපන අයිතීන් මේ රටේ සාමාන්‍ය ජනයාගේ අයිතියක්. පීඩාවට පත් වූ ජනතාවගේ ජීවිතයේ අපේක්ෂා අතර අවම දෙයක් ලෙස පවතින නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමට අපි පෙනී සිටිනවා. ශිෂ්‍යයන්, මවුපියන්, ආචාර්යවරුන්, කම්කරු බලවේග ඇතුළු සියලු ශක්තිය ඒකරාශී කරමින් ආණ්ඩුවේ කුමන්ත්‍රණයන්ට එරෙහිව අරගලයක් අපි ආරම්භ කරනවා. වගකිවයුතු බලධාරීන් මෙවර උසස් පෙළ විභාගයේදී සිදුව ඇති දේ සම්බන්ධයෙන් වගකිව යුතු අයට විරුද්ධව ක්‍රියා මාර්ග ගතයුතුයි කියලා අපි බලකරනවා. නමුත් මේ එළිදරව් වෙන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකකරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑම බව ඉතාම පැහැදිලියි.
මෙවර උසස් පෙළ විභාගයේදී පෙන්නුම් කළ කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේදීත් ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුවේදී එය පරාජය කරන්න පුළුවන් විපක්ෂයක් නැති බව අපි දන්නවා, ඒ නිසා මේ කුමන්ත්රණකාරී ක්‍රියාදාමය පරාජය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නට අපි සූදානම්. ඒ වෙනුවෙන් ඒකරාශී වෙන්න කියලා මේ රටේ කම්කරුවන්, ධීවරයන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු ප්රගතිශීලී බලවේග සියල්ලටම අප ආරාධනා කරනවා.*
මැතිවරණයට තව කල් තියෙනවා. ඒ නිසා අපිට හදිස්සියක් නැහැ - බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,
“අගෝස්තු සහ පෙබරවාරි මාස කියන්නේ නරක මාස දෙකක්. එම මාසවල වැඩක් කළොත් කෙටි ආයුෂ තියෙන්නේ. ඒක මම දිගටම කිව්වා. ඒක දෙයියො කළා වගේ අගෝස්තු මාසයේදී සන්ධානයක් සිදුවෙන්නෙ නෑ. සැප්තැම්බර් මාසයේදී අපේක්ෂකයා එළිදක්වන්න සුදුසුයි. ඒ නිසා අපේක්ෂකයෙක් එළියට දාන්න අපිට කල් තියෙනවා. මොකටද කලබල වෙන්නේ. මැතිවරණයට තව කල් තියෙනවා. ඒ කාලය තුළ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා 77දී ජේආර් ප්‍රේමදාස ගියා වගේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා කතා කරලා ප්‍රශ්න විසඳා ගනිවී. රනිල් සජිත් යුගලය සමග 77 වගේ ප්‍රබල යුගයකට අපි යනවා. ඒ නිසා අපිට හදිස්සියක් නැහැ. අපේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ රනිල් සජිත් දෙපළ සාකච්ඡා කරලා විසඳුමකට එන්න පුළුවන්. මේ ප්‍රශ්නයට දැන් කථානායක කරු ජයසූරිය මහතාත් මැදිහත් වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රබලම කණ්ඩායම අපි සමග ඉන්නවා. තවම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට හෝ වෙනත් කෙනෙකුට අපේක්ෂක ධුරයක් ලබාදීලා නැහැ. සාකච්ඡා කරලා ඒක අවසන් කරගන්න පුළුවන්. රනිල් සජිත් දෙපළ එකඟතාවයකට පැමිණි පසුව ප්‍රබල කණ්ඩායමක් විදියට මැතිවරණය මෙහෙයවන්න අපිට හැකියාව ලැබෙනවා.
දෙමළ ජාතික සන්ධානය මේ දක්වා අප සමග එකතුවන බවට ඉඟියක් ලබාදී නැහැ - එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර
දැනට අපි සමග ඉන්න කණ්ඩායම ඒ විදිහටම ඉන්නවා. කවුරුවත් අයින් වෙලා නැහැ. සන්ධානය පිහිටුවීම හා අපේක්ෂකයා සම්බන්ධව දිනපතා කරගෙන යන සාකච්ඡාවලදී එම කණ්ඩායම්වල සහය ලැබී තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය මේ දක්වා අප සමග එකතුවන බවට ඉඟියක් ලබාදී නැහැ.*
මම කියන දේවල් නායකයන්ට තේරෙන්නේ නැති වුණාට සමාජිකයන්ට තේරෙනවා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා
“එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ අපි හදාගෙන යන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමැති සන්ධානය පිළිබඳ බෝලය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය නමැති පිට්ටනියේ. මෙතන අදියර තුනක් තිබෙනවා. පළමුවෙන්ම අපි මේ සන්ධානය පිළිබඳ මූලික නීති ගැන සාකච්ඡා කරලා අවසන් කරලා ඉවරයි. දෙවනුව තියෙන්නේ මේ සන්ධානයේ මහලේකම් ධුරය පිළිබඳවත්, සන්ධානය වෙනුවෙන් රටට හෙළිදරව් කරන්න තියෙන අපේක්ෂකයා පිළිබඳවත් නම් කිරීමයි. එය කරල දෙන්න කියලා අපි එක්සත් ජාතික පක්ෂයට කියල ඉවරයි. ඒ නිසා බෝලය දැන් එතන තියෙන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ යාන්ත්‍රණය පාවිච්චි කරලා තීරණයක් ගත යුතුයි. යාන්ත්‍රණය හොඳ වෙන්නත් පුළුවන්. කෘත්‍යාධිකාරී මණ්ඩලයද, තමන්ගේ පක්ෂ මන්ත්‍රී කණ්ඩායමද, පක්ෂයේ නායකයා, උපනායකයා, නියෝජ්‍ය නායකයා, මහලේකම් ඇතුළු කවුරු හරි තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කරලා අපිට නම් ටික ඉදිරිපත් කරන්න. එම නම් ඉදිරිපත් වූ පසුව අපි සන්ධානයේ නායකත්ව මණ්ඩලය සම්බන්ධයෙන් සාධක ඇතිව සලකා බලලා තීන්දුවක් ගන්නවා. ඒ අවස්ථාවේදී කාටහරි පක්ෂයකට එකඟවෙන්න බැරි දෙයක් තිබෙනවා නම් අපි ඒක එක්සත් ජාතික පක්ෂයට දැනුම් දෙනවා. එජාපයට ඒක වෙනස් කරගන්න බැරිනම් අපි ගහගන්න, මරාගන්න, බැණගන්න ඕන නැහැ. ඒ එකඟ නොවන පක්ෂය සන්ධානයෙන් ඉවත් වෙනවා. එච්චරයි. ඒ පක්ෂ දෙකට වෙනම ගමනක් යන්න පුළුවන්. එජාපයට තනි ගමනක් යන්න පුළුවන්. නැත්නම් ඉවත්වීමට සූදානම් පකෂයට නැවත එකතුවෙලා යන්න පුළුවන්. මේකයි හැදිච්ච, ඉගෙනගත්ත සමාජය කරන දේ. ඒකයි වෙන්න ඕන. ප්‍රමාද වෙන්නට, ඇද ඇද යන්නට, කුලල් කා ගන්නට, බැණ ගන්නට, කල්ලිවාදයට දැන් අවකාශ නැහැ. ඒක නිසා මම එක්සත් ජාතික පක්ෂයට කියනවා මම කියන දේවල්වල සත්‍යභාවය නායකයන්ට තේරෙන්නෙ නැතිවුණාට කමක්නෑ. රට වටේ ජීවත් වෙන මිලියන ගානක් එජාප සාමාජිකයන්ට, බිම් මට්ටමේ නායකයන්ට හොඳටම තේරේනවා. එජාපය සමග හැමදාම ගමන් කරපු පක්ෂයක නායකයෙක් විදියට මම කියන මේ කාරණය රට වටේ ඉන්න සාමාන්‍ය යූඑන්පී කාරයෝ 200%ක් පිළිගනී කියලා මම හිතනවා.
ඉන්දික හේවාවිතාරණ/අමිත් මධුරංග