එළඹෙන අවුරුද්දේ අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් බව අපි විශ්වාස කරනවා


මෙවර මහ කන්නයේ වී වගා කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමෙන් අනතුරුවය. රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය යන ගමන්මගේ මෙවර මහ කන්නයෙන් එම අරමුණු මුදුන්පත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ මෙලෙස  විමසීමක් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ඩී. වන්නිනායකගෙනි.


2015 සිට 2018 යල කන්නය වෙන තුරු අපේ රටේ ගොවිතැන් කිරීමේ පසුබෑමක් තිබුණා. මේ නිසා අපේ ආහාර නිෂ්පාදනය 40෴කින් පහළ බැස්සා. නමුත් 2018 යල කන්නය ඉතා සාර්ථකයි. අපි සැලසුම් කළේ කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ දෙකහමාරකට වතුර නිකුත් කිරීමටයි. නමුත් 2018 යල කන්නයේ දිස්ත්‍රික්ක හතරකට හැරෙන්නට අනෙක් සියලුම දිස්ත්‍රික්කවලට හොඳ වර්ෂාවක් ලැබුණා. ඒ නිසා වගා කරන ප්‍රමාණය කුඹුරු හෙක්ටයාර පන්ලක්‍ෂ හැත්තෑදහස දක්වා ඉහළ ගියා.  ඒ නිසා අපට හොඳ අස්වැන්නක් ලැබුණා. 

මීළඟට අපි 2018 මහ කන්නය ගැන කතා කළොත් මේ වනවිට කුඹුරු වගා කර අවසන් වී තිබෙනවා. සමහර කුඹුරුවල පැළ ගොයමට සති තුන නැත්නම් හතර ඉක්ම ගිහින් තිබෙනවා. එතකොට මෙවර මහ කන්නයේ වැදගත්ම දේ තමයි අපේ රටේ සියලුම වැව් පැවතුණ වර්ෂා සහිත කාලය තුළ 90%ක්ම පිරුණු එක. මොරගහකන්ද ජලාශය පවා වාන් දැම්මා. අපේ රටේ  සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර ලක්‍ෂ අටක්. 
ඒ වගේම පුරන් කුඹුරු අක්කර එක්ලක්‍ෂ හතළිස්දහසක් පවතිනවා. මේ පුරන් කුඹුරුවලින් විසිහත්දහසක් අලුතින් වගා කර තිබෙනවා. මෙයින් අපට පෙනී යන්නේ 2018 මාස් කන්නයේ වෙනත් ස්වාභාවික උපද්‍රවයක් සිදු නොවුණහොත් ඉහළ අස්වැන්නක් ලබාගන්න පුළුවන් බව. මේ අනුව අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන් එළඹෙන අවුරුද්දේ අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් බව. 

මෙවර මහ කන්නයේ පුරන් කුඹුරු  යම් ප්‍රමාණයක් වගා කිරීමත් සමග වාර්තාගත අස්වැන්නක් ලැබේවි යැයි අපේක්‍ෂා කරනවාද?

ඔව් අනිවාර්යයෙන්ම. සමස්ත කුඹුරු හෙක්ටයාර අටමත් මෙවර වගා කර තිබෙනවා. ඊට අමතරවයි පුරන් කුඹුරු වගා කරලා තිබෙන්නේ. මීට කලින් කියූ පරිදි අපේ රටේ පුරන් කුඹුරු අක්කර එක්ලක්‍ෂ හතළිස්දහසක් තිබෙනවා. ඒවායින් එක්ලක්‍ෂ දාහතරදහසක් වගා කරන්න පුළුවන්. මිනිස් ශ්‍රමය නොමැතිකම, හිමිකරුවන් විදේශගත වීම, වයෝවෘද්ධ අයට වගා කරන්න හැකියාවක් නොමැතිකම ආදිය නිසා මේ කුඹුරු පුරන්ව ගිහින් තිබෙනවා. 

මේ නිසා අපි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා පියවරක් ගත්තා වගා කළ හැකි පුරන් කුඹුරු අයිතිකරුවන්ට වගා කිරීමට නොහැකි නම්, වෙනත් ගොවීන් යොදා වගා කිරීමට නොතීසි නිකුත් කළා. 
ඒ අනුව මේ වනවිට නොතීසි නොපිළිගත් අයගේ කුඹුරු වෙනත් ගොවීන්ව යොදා වගා කිරීම් සිදු කරනවා. මේ ගොවීන්ට භූමියේ අයිතිය නීත්‍යනුකූලව හිමි වෙන්නේ නැහැ. ඒ වගේම හිමිකරුවන්ට අඳයක් හිමිවන්නේත් නැහැ. සමස්ත අස්වැන්නේ ආදායම ලැබෙන්නේ වගා කරන පුද්ගලයාටයි. මේ ක්‍රමය නිසා අපට පුරන් කුඹුරු අක්කර විසිහත්දහසක් අලුතෙන් වගා කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන් විශ්වාස කරනවා 2018-2019 මහකන්නයේ වාර්තාගත අස්වැන්නක් ලැබෙයි වගේම රට සහලින් ස්වයංපෝෂිත වෙයි කියලා.

මොරගහකන්ද ජලාශයෙන්  වී වගාවට ලද නව දායකත්වයත්  මෙයට හේතු වුණාද?

මොරගහකන්ද ජලාශය ගොවි තැනට ඉතා වැදගත් ජලාශයක්. අපේ රටේ ජලාශ ඉදිකිරීමේ ප්‍රධාන අරමුණු තුනක් තිබෙනවා. මොරගහකන්ද ජලාශයට පෙර ඉදිකළ ජලාශවල ප්‍රධාන අරමුණ වුණේ විදුලි බලය නිෂ්පාදනය. දෙවැනි අරමුණ වුණේ ගොවිතැන. තෙවැනි කාරණය තමයි බීමට ජලය සපයා ගැනීම. 

මොරගහකන්ද ජලාශය ආරම්භ කිරීමේ මූලික කාරණය වුණේ පානීය ජලය සපයා ගැනීම. දෙවැනි කාරණය ගොවිතැන. තෙවැනුව තමයි ජල විදුලිය නිෂ්පාදනය කිරීම අරමුණ බවට පත්වුණේ. විදුලි බලය උත්පාදනයට ලෝකයේ විවිධ ක්‍රම තිබෙනවා. සූර්යය බලය, සුළං බලය, මුහුදු රළවලින්, කැළි කසළවලින් විදුලි බලය උපයා ගන්න පුළුවන්. නමුත් බීමට හා ගොවිතැනට විකල්ප නැහැ. ඒ නිසා තමයි මොරගහකන්ද ඉතාම විශේෂ ජලාශයක් බවට පත්වෙන්නේ. මොරගහකන්ද ජලාශයේ ජලය එක් පැත්තකින් කන්තලේ දක්වා යනවා. අනෙක් පැත්තෙන් ඉරණමඩු දක්වා යනවා. අනෙක් පැත්තෙන් උතුරු මැද පළාතට යනවා. තවත් පැත්තකින් වයඹට එනවා. තවත් පැත්තකින් පොළොන්නරුව, මඩකලපුව දක්වා යනවා. 

ලංකාවේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනක් පමණ මේ ජලාශයේ ජලයෙන් ආවරණය කෙරෙනවා. එක් පැත්තකින් මේ ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලැබෙනවා. අනෙක් අතින් කන්න දෙක වගා කරන්න ජලය ලැබෙනවා. මොරගහකන්දේ ජල ප්‍රභවය හරි ශක්තිමත්. 

ලග්ගල, පල්ලේගම අතර කඳු පන්තියට නිතරම වර්ෂාව ලැබෙනවා. මේ නිසා ජලාශයට වතුර ලැබෙන මාර්ගය හරිම ශක්තිමත්. ඒ නිසා ගොවිතැනට කන්න දෙකම පමණක් නොවෙයි ඇතැම් ප්‍රදේශවලට අතරමැදි කන්නයක් පවා වගා කරන්න හැකියාවක් ලැබී තිබෙනවා. මොරගහකන්ද ජලාශයෙන් වී පමණක් නොව පලතුරු හා එළවළු වගාවන්ටත් ලොකු දායකත්වයක් ලැබෙනවා.

මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කර අවසන්ද?

අපි පොහොර වර්ග තුනක් වී ගොවීන්ට ලබා දෙනවා. යූරියා, ත්‍රිත්ව සුපිරි පොහොර හා මඩ පොහොර නැත්නම් එම්.ඕ.පී. කියලා දෙන පොහොර වර්ග තුන තමයි වී ගොවීන්ට ලබා දෙන්නේ. එළවළු හා පලතුරු වගා කරන ගොවීන්ට අපි මිශ්‍ර පොහොර ලබා දෙනවා. මීට අමතරව දියර පොහොර වර්ග ලබා දෙනවා. 
අපි පසුගිය යල කන්නයේ කිසිදු පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න කටයුතු සලස්වන්න සැලසුම් කළා. මේ නිසා ගොවීන්ට පෝළිම්වල ඉන්නේ නැතිව කිසිම හිඟයකින් තොරව පොහොර ලබා දෙන්නට හැකි වුණා. 

මේ නිසා ගැටලු ඇතිවුණේ නැහැ. මාස් කන්නයටත් අපි මේ වනතුරු කිසිම මාධ්‍යයක පොහොර හිඟයක් ඇති වූ බවට වාර්තා පළවෙලා නැහැ. මහ කන්නයේ පොහොර බෙදීම ඉතා සාර්ථකයි. මොකද අපි හැම සතියකම බ්‍රහස්පතින්දාට පොහොර සමාලෝචන කමිටුව රැස්කරනවා. 

මේ කමිටුවට අපි ගොවිජන සංවිධාන හරහා සියලුම ප්‍රදේශයන්ගෙන් වාර්තා ලබා ගනු ලබනවා. ගොවීන්ට අවශ්‍ය පොහොර ලැබිලා තිබෙනවාද? කියන තොරතුරු ලබා ගන්නවා. 
මේ වර්ෂයේ පොහොර සඳහා රජයෙන් රුපියල් බිලියන 36ක් වෙන්කර තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ හදිසියෙන් පත්වූ ආණ්ඩුව මගින් තීරණය කළා පොහොර මිල අඩු කරන්න. ඒ කියන්නේ ගොවිජන සේවා හරහා ගොවීන්ට නිකුත් කරන යූරියා කිලෝ 50ක මිටිය රුපියල් 500කටත්, අනෙක් අතුරු භෝග සඳහා ලබාදෙන රුපියල් 1,500ක පොහොර මිටිය රුපියල් 1,000 දක්වා අඩු කරනු ලැබුවා.
 මිශ්‍ර පොහොර මිටිය රුපියල් 1,300ට අඩු කළා. මෙහිදී සහනාධාර සඳහා තව වැඩි මුදලක් වෙන්කරන්න රජයට සිදු වුණා. ඒ අනුව රුපියල් බිලියන 35ක මුදල රුපියල් බිලියන 45 දක්වා ඉහළ ගියා. අපි මෙය පාලනය කරගෙන කටයුතු කළා. මොකද මේ තීරණය ගන්න කොට බොහෝමයක් ප්‍රදේශවල කුඹුරු වගා කර අවසන්ව තිබුණා. මේ නිසා අපට මිල අඩු කරලා ගොවියාට පොහොර දෙන්න හැකියාව ලැබුණා. මේ වනතෙක් මොනම පොහොර හිඟයක්වත් අපට වාර්තා වෙන්නේ නැහැ.

මහකන්නයේ වාර්තාගත අස්වැන්නක් අපේක්‍ෂා කරද්දී මේ අස්වැන්න මිලදී ගැනීමට ක්‍රමවේදයක් සැකසීමට රජයේ වැඩි මැදිහත් වීමක් අවශ්‍යයි නේද?

වී අස්වනු මිලදී ගැනීම සඳහා කටයුතු කරන්නේ අපේ වී අලෙවි මණ්ඩලයයි. වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගේ අස්වනු 100%ක්ම මිලදී ගන්නේ නැහැ. අපි මිලදී ගන්නේ 10෴. පෞද්ගලික අංශය තමයි වැඩි වී අස්වැන්නක් මිලදී ගන්නේ.
හැබැයි අපි ගොවියාට ඉහළ මිලක් ලබා දීම සඳහා කටයුතු කරනවා. සම්බා වී කිලෝවක් රුපියල් 41-42ක් වගේ මිලකටත්, නාඩු වී කිලෝවක් රුපියල් 38 වගේ මිලකටත් මිලදී ගත්තා. වී අලෙවි මණ්ඩලය එක්
ගොවියෙකුගෙන් මිලදී ගත්තේ වී කිලෝ දෙදහසයි. නමුත් කැබිනට් තීරණයක් මත එය වී කිලෝ පන්දහස දක්වා වැඩි කළා. වී අලෙවි මණ්ඩලයට අපට පසුගිය කන්නයේ මිලදී ගැනීමට හැකි වුණේ වී මෙට්‍රික් ටොන් දොළොස්දහසක් පමණයි.

අනෙක් සියල්ලම පෞද්ගලික අංශය තමයි මිලදී ගත්තේ. අපි මිලදී ගන්නා ප්‍රමාණය ඉහළ දැම්මම පෞද්ගලික අංශය ඉහළ මිලක් ගෙවලා වී මිලදී ගන්න පටන් ගත්තා. අපට ඕන වුණෙත් ඒක තමයි. අපි වී අලෙවි මණ්ඩලය හරහා ප්‍රථම වරට පී.එම්.බී. සහල් නිෂ්පාදනය කළා. ඒ කියන්නේ වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී සහල් බවට පත්කරලා වෙළෙඳ පොළට නිකුත් කළා. 

අපි එය පසුගිය මාසයෙයි ආරම්භ කළේ. රජය අස්ථාවර වීම නිසා එම කටයුතු අපට සාර්ථකව කරගෙන යන්න බැරි වුණා. අපේ අරමුණ වෙලා තිබුණේ ආරම්භයේදීම ඉතා හොඳ තත්ත්වයේ සහල් කිලෝ පහළොස්දහසක් වෙළෙඳ පොළට නිකුත් කරන්න. ඒ වගේම මේ වසර අවසන් වනවිට වී මෙට්‍රික් ටොන් හාරදහසක් සහල් බවට පත්කරලා වෙළෙඳ පොළට නිකුත් කරන්න අපේ අරමුණ වී තිබුණා. 

දැන් මේ කටයුතු අපි කරගෙන යනවා. ඒ අනුව ඉදිරියටත් වී අලෙවි මණ්ඩලය හරහා සහල් වෙළෙඳ පොළට නිකුත් කරන්න කටයුතු යොදා තිබෙනවා. මෙහි අරමුණ වෙලා තිබෙන්නේ සහතික මිලක් යටතේ සහල් නිකුත් කිරීමටයි. ඒ අනුව පාරිභෝගිකයාට පුළුවන් වී අලෙවි මණ්ඩලයේ සහල් මිල අඩුයි නම්, එම හාල් මිලදී ගන්න. එවිට අනෙක් පෞද්ගලික සමාගම්වලටත් සිදු වෙනවා මිල පහළ දාන්න. 
මිල පාලනයක් කරනවාට වඩා අපේ සහල් වෙළෙඳ පොළට දැම්මාම පාරිභෝගිකයාට තෝරා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. වී අලෙවි මණ්ඩලයෙන් නිකුත් කරන මෙම සහල් අපි රජයේ වෙළෙඳ සැල්වලට අමතරව ඉල්ලීමක් කළොත් පෞද්ගලික වෙළඳ සැල්වලටත් ලබා දීමට හැකියාවක් තිබෙනවා. 



Recommended Articles