එන්නත හා දුර්මත
ගෝලීය වසංගතයක් බවට පත්වූ කෝවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හඳුන්වා දුන් එන්නත් මේ වනවිට ලෝකයේ රටවල් රැසක සාර්ථක අයුරෙන් ජනතාව වෙත ලබාදෙමින් සිටී. එන්නත් ලබාගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් දැඩි තරගයක් ඇතිවී තිබෙන බැවින් එන්නත අහිමි වන රටවල් වෙනුවෙන් මැදිහත් වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබිණ. ඒ අනුව සංවිධානය කරන ලද කොවැක්ස් වැඩසටහන යටතේ මෙරට ජනතාවගෙන් 20෴කට සරිලන ලෙස එන්නත් ලබාදීමට ලොක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත. ඒ යටතේ පළමු එන්නත් තොගය ලෙස එන්නත් මාත්‍රා 264,000ක් මාර්තු හත්වෙනිදා මෙරටට ලැබිණ. කෙසේ නමුත් කොවැක්ස් පහසුකම යටතේ එන්නත් ලැබෙන්නට ප්‍රථමව මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන්නට හැකිවූයේ ඉන්දියාවෙන් ලද ප්‍රදානයක් අනුවය. ඒ අනුව ජනවාරි 29වෙනිදා මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණු අතර, ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ නිලධාරීන් හා කෝවිඩ් 19 වසංගතය පාලනය කෙරෙහි දායක වන ආරක්ෂක අංශ වෙත ප්‍රථමයෙන් එන්නත ලබාදීම ආරම්භ කෙරිණ.
ඉන්පසුව අවුරුදු 60ට වැඩි නිධන්ගත රෝග සහිත අයට එන්නත ලබාදීමට නිර්දේශ කෙරුණු අතර, පසුව අධික ජන ඝනත්වයක් ඇති ප්‍රදේශවල අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයන්ට එන්නත ලබාදීම ආරම්භ විය.
කෙසේ වෙතත් මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ බිම් මට්ටමේදී මනාව සංවිධානය නොවීම, ජනතාව වෙත එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වීම පිළිබඳව නිවැරදි තොරතුරු නොලැබීම, ප්‍රාදේශීය දේශපාලන මැදිහත්වීම්, එන්නත පිළිබඳ විවිධ අසත්‍ය තොරතුරු සමාජගත වීම ආදිය නිසා විවිධ බාධාවන් එල්ල වී ඇති බව විටින් විට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
දුර්මත
අසත්‍ය ප්‍රචාර නිසා කොළඹ මහ නගර සීමාවේ එන්නත්කරණ වැඩසටහන අපේක්ෂිත ඉලක්ක කරා ගෙන යෑමේ අපහසුතාවක් පැන නැගී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කළ ප්‍රකාශයක් ඊයේ (08දා) මාධ්‍ය වාර්තා කර තිබිණ. විශේෂයෙන් ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් ලැබීමේ නොහැකිතාවය වැනි අසත්‍ය ප්‍රචාර මත තරුණ ප්‍රජාව එන්නත ලබාගැනීමේ මැලිකමක් දක්වන බව ඒ මහතා ප්‍රකාශ කරයි.
එන්නත්කරණය පිළිබඳ නවතම මාර්ගෝපදේශ සංග්‍රහය හා එන්නත්කරණ තොරතුරු ජනගත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉමහත් මෙහෙයක් සිදුකරන අතර, වත්මනේ ඇතිව තිබෙන මෙම තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මෙලෙස %අද^ට අදහස් දැක්වූවාය.
“තමන්ගේ අසනීප තත්ත්ව ගැන සඳහන් කරමින් මේ එන්නත ලබාගැනීමට සුදුසුද නැත්ද යන්න දැන ගැනීමට අපිට දවසට දුරකථන ඇමතුම් සැලකිය යුතු ගණනක් ලැබෙනවා. දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, පිළිකා ආදී රෝග තිබෙන අය එන්නත ලබාගැනීමට බයක් තිබෙනවා. ඒ වගේම දුම් බොන අය, ඇදුම තියෙන අය, මත්පැන් බොන අය තමන්ගේ ශරීරය දුර්වලයි කියලා මේ එන්නත ලබා නොගත යුතුයි කියන තීරණයට එළඹිලා ඉන්නවා. නමුත් ඇත්තෙන්ම මේ එන්නත අවශ්‍ය පිරිස වන්නේ ඔවුන්. කෝවිඩ් වසංගත කාලයේ කෝවිඩ් අවදානම වැඩිම පිරිස වන්නේ ඔවුන්.
මේ එන්නත ප්‍රතිශක්තිය ලබාදෙන්නක්. ඒ අනුව මේ එන්නත වැඩියෙන්ම අවශ්‍ය වන්නේ විවිධ රෝගාබාධ ඇති පිරිස වගේම දුම්පානය, මත්පැන් නිසා ශරීර ශක්තිය අඩු වුණ පිරිසටයි. ඒ අනුව අපේ සමාජයේ හමුවන ප්‍රධාන දුර්මතය තමයි රෝගාබාධ ඇති විට මේ එන්නත නුසුදුසුයි කියලා පැතිරෙන මතය.
මීළඟට මේ එන්නත ආසාත්මිකතා ඇති අයට නුසුදුසුයි කියලා යන දුර්මතය. සත්‍ය වශයෙන්ම යම් පුද්ගලයෙක්ට දීර්ඝකාලීන ආසාත්මිකතා තිබෙනවා නම් පමණයි මේ එන්නත ලබා නොදෙන්නේ. පොඩි පොඩි අසාත්මිකතා ඇති අයට මේ එන්නත ලබාදිය හැකියි.
තුන්වැන්න තමයි පිරිමි අය දීර්ඝකාලීනව මඳ සරු බවට පත්වීම හා කාන්තාවන්ට දරුඵල අහිමි වීම සිදුවන බවට යන දුර්මතය. එහෙම කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ.
මීළඟට මත්පැන් පාව්ච්චි කරන අය මේ එන්නත ගැනීමෙන් කිසිදු ඵලක් ප්‍රයෝජනයක් නොමැති බවට පළවන දුර්මතය. ඇත්තටම මේ එන්නත ගත්තට පසු පැය 48ක් පමණ වන කාලය ඇතුළත උණක් ඇතිවෙන්න හැකියාවක් තිබෙනවා. ඒ පැය 48 ඇතුළත යමෙක් මත්පැන් පානය කළොත් මත්පැන් නිසාත් වමනය යන්න පුළුවන්. ඒ වගේම ඔළුවෙ කැක්කුම ඇතිවෙන්නත් පුළුවන්. ඒ නිසයි අපි කියන්නේ පැය 48ක් වත් මත්පැන් වලින් වැළකෙන්න කියලා. ඒ නමුත් යමෙකුට දිගටම මත්පැන් වලින් වැළකෙන්නත් මේ අවස්ථාව යහපත් ලෙස භාවිත කරන්න පුළුවන්.
එසේ නොමැතිව මත්පැන් පාව්ච්චි කරන අයෙක් මේ එන්නත ලබා ගැනීමෙන් ඵලක් නැති බවට පැතිරෙන මත අසත්‍යයයි.”
වයස සීමා ගැටලුව
ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ප්‍රමුඛතාවය මෙරටදී උල්ලංඝනය වන බවට විවිධ පාර්ශ්ව සඳහන් කර තිබිණ. විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට එන්නත ලබාදීමෙන් පසු ප්‍රමුඛතාවය දිය යුත්තේ කවුරුන්ටද යන්න ඔවුන් දක්වා තිබිණ. ඒ අනුව මෙරට අවුරුදු 60ට වැඩි අයට හා නිධන්ගත රෝග ඇති අයට එන්නත ලබාදිය යුතු බවට ප්‍රකාශ වූ අතර, පසුව අවුරුදු 30-60ත් අතර අයටද මෙම එන්නත ලබාදීම ආරම්භ විය. අවුරුදු 18ට වැඩි අයටද එන්නත ලබාදෙන බවට බලධාරීන් ප්‍රකාශ කළද අවුරුදු 30ට වැඩි අයට මෙම එන්නත ලබාදීම සිදුකෙරෙන නිසාම ඇතැමුන් ඒ සම්බන්ධයෙන්ද දුර්මත පතුරන්නට විය.
“කෝවිඩ් වලින් ආරක්ෂා වීම සඳහා ලබාදෙන මේ එන්නත ඇත්තටම අවුරුදු 20ට වැඩි හැමෝටම දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවුරුදු 30ට වැඩි අයට ලබාදෙන්න තීරණය කළත්, අපිට දැනට රටටම ප්‍රමාණවත් තරම් එන්නත් මාත්‍රා නැහැ. එක්වරම රටේ සියලුම දෙනාට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා නැති නිසා හැම රටකම එන්නත් ලබාදෙන්න විවිධ නිර්ණායක සකස් කර තිබෙනවා. ඒ අනුව අවදානම් සාධක පිළිබඳ සලකා බලලයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ අවුරුදු 30ත් 60ත් අතර අයට ප්‍රමුඛතාවය ලබාදෙන්න. මොකද මේ වයස් සීමාවේ අය තමයි රටේ විවිධ ප්‍රදේශවල සංචරණය කරන්නේ. ඔවුන්ගෙන් රට පුරාම මේ වෛරසය ව්‍යාප්ත වීමට වැඩි හැකියාවක් තිබෙන නිසයි අවුරුදු 30ට වැඩි අයට ලබාදෙන්න තීරණය කර තිබෙන්නේ. එසේ නොමැතිව වෙනත් කාරණා බලපා නැහැ.” යනුවෙන් විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.
එන්නත නොලැබෙන අය
ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්දේශ මත
අවුරුදු 18ට අඩු දරුවන්හට, ගර්භිණී මව්වරුන්ට, මව්කිරි ලබාදෙන මව්වරුන්ට (දරුවාට මාස 6කට අඩු) එන්නත ලබාදෙන්නේ නැත. නමුත් විවිධ රෝග ඇති අය දක්වන බිය නිසාම එන්නත ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය දැක්වූයේ මෙවන් මතයක්.
“අපි බැලුවොත් හිමෝෆීලියා වගේ රුධිරගත රෝග තිබෙන අයට මේ එන්නත් ලබාදෙන්නේ නැහැ. එයට හේතුව තමයි ඔවුන්ගේ පේෂී අභ්‍යන්තරයට ලේ ගැලීමක් සිදුවන්නට හැකියාවක් පැවතීම. මේ සියලු කාරණා වෛද්‍යවරුන් දන්නවා. එන්නත් ලබාගන්න ගියාම එතැන සිටින වෛද්‍යවරුන්ට තමන්ගේ රෝගී තත්ත්වයන් පැවසුවාම ඔවුන් අදාළ උපදෙස් දෙනවා. හිමෝෆීලියාව කියන්නේ දුර්ලභ රෝගයක්. හෘදයාබාධ වලින් පෙළෙන අය වගේම ආඝාත රෝගීන් රුධිරය කැටිගැසීම වළක්වන්න ඇස්ප්‍රීන් වැනි ඖෂධ ලබාගන්නවා. ඔවුන්ට වුණත් මේ එන්නත ලබාගන්න හැකියාවක් තිබෙනවා. ඔවුන් මේ එන්නත ලබාගත යුතුම පිරිසක්.
ඒ වගේම කියන්න ඕන මාස හයට අඩු බබාලාට, කිරිදෙන මව්වරුන්ට මේ එන්නත ලබාදෙන්නේ නැහැ. අනෙක් මව්වරුන්ට මේ එන්නත ලබාදුන්නට පස්සේ බබාලට කිරි දෙන්න පුළුවන්. මව්කිරි හරහා ඉතාම සුළු වශයෙන් ඖෂධ දරුවාට යන්න පුළුවන්. නමුත් එය ගැටලුවක් නොවෙයි.”
අවිධිමත් එන්නත්කරණ ක්‍රියාවලිය
මේ වන විට බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යස්ථාන රැසක එන්නත්කරණ කටයුතු සිදුකෙරෙයි. එම කටයුතු බිම් මට්ටමේදී විවිධ බලපෑම් වලට ලක්වීම, නිවැරදි තොරතුරු ජනතාවට නොලැබීම වැනි කාරණා නිසා අවිධිමත් බවට පත්ව ඇති බවට මැසිවිලි රැසකි.
“ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය කරගෙන යන මේ වැඩසටහන හරිම සංකීර්ණ වැඩක්. ඊට බලපාන ප්‍රධාන හේතුව තමයි අපේ රටේ හැමෝටම ප්‍රමාණවත් වන ලෙස එන්නත් මේ වෙලාවේ රටේ නොමැති වීම. රටට එන්නත් මිලියන 20ක අවශ්‍යතාව තිබුණත්, අපිට මේ වෙලාවේ එම ප්‍රමාණය නැහැනේ. ඒ වගේම ඉදිරියට ලැබෙන එන්නත් ප්‍රමාණය ගැනත් මුළු ලෝකෙටම තිබෙන්නේ ගැටලුවක්. ඒ වගේම සමාජයත් ඉන්නේ විවිධ පරාස වලයි. ඇතැමුන් අතර මේ එන්නත ලබාගන්න තියෙන උනන්දුව ඉතාම වැඩියි. තවත් අය දුරු මත නිසා එන්නත ලබාගන්න අකමැතියි.
ඒ වගේම සම්බන්ධීකරණයේ අඩුපාඩුත් තිබෙනවා. මේ නිසා රටක් ලෙස අපි හිතන්න ඕන එන්නත තමන්ගේ ප්‍රදේශයේ ලබාදෙනවා නම් එය ගිහින් ලබගන්න. ඒ වගේම අපි මේ වැඩසටහනට උදව් කරන්න ඕන. එන්නත ලබාදෙන තැන පෝලිම හදන්නත් අමාත්‍යාංශයේ අය අවශ්‍ය නැහැ. අපිට පුළුවන් වෙන්න ඕන සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව පරතරය තබාගෙන පෝලිමක් හදාගන්න. ඒ අනුව මේක අපි එකතුවෙලා කරන්න ඕන වැඩපිළිවෙළක් ලෙස දකින්න. මොකද මේක ඉතාම අසීරු වැඩපිළිවෙළක්. සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ වෙලාවේ මේ අසීරු කාර්ය සංකීර්ණ නොවන ලෙස පවත්වාගෙන යන්න අවශ්‍ය වැඩකටයුතු ගත යුතුයි.* යැයි වෛද්‍ය සංගමයේ සභාපතිනිය ලෙස ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
දෙවෙනි මාත්‍රාව අහිමිවේ යැයි ඇති බිය
ඇතැම්හු දෙවන මාත්‍රාව සඳහා එන්නත් රටේ නැතිවේවි යැයි සිතා පළමු මාත්‍රාවවත් ලබාගැනීමට අදිමදි කරති. මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරිය දැක්වූයේ මෙවැනි අදහසකි.
“ඇත්තටම මේ එන්නතෙන් පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ දෙවෙනි මාත්‍රාවත් අරගෙන සති තුනක් වගේ කාලයක් ගියාම කියලයි දැනට කියන්නේ. නමුත් අපිට පළමු මාත්‍රාවෙන් 70෴ක ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා අපි අපිට දෙන වෙලාවට මේ එන්නත් ලබා ගැනීමයි සිදුකළ යුත්තේ. සති 10-14 අතර අපිට දෙවන මාත්‍රාව ලැබේවි. ඒ අනුව අපිට වෛරසයෙන් ආරක්ෂාව කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම කියන්න ඕන මේ එන්නත් හරහා අපිට පූර්ණ ආරක්ෂාවක් නොලැබීම යන කාරණයත්, විකෘති වෛරස ප්‍රභේද රට තුළින් මෙන්ම විදේශයන්ගෙන් රටට ඇතුළු වීමටත් හැකියාවක් ඇති නිසාත් අපි තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න අවශ්‍යයි. ඒ වගේම දරුවන්ට අපි එන්නත් ලබා නොදෙන නිසා දරුවන් හරහා මේ වෛරසය අපි අතරට එන්න පුළුවන්.”