කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ටෝකන් ක්‍රමවේදය මගින් එන්නත්කරණය සිදුකිරීම සාර්ථකද අසාර්ථකද යන්න පිළිබදව අපි විද්වතුන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසීමක් කළෙමු.
මේ ක්‍රමවේදයට මම එකඟ නැහැ... - විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා.
“එන්නත් ලබාදීමේදී තුණ්ඩු ලබාදෙමින් එන්නත්කරණය සිදුකිරීමට පෞද්ගලිකව මම කොහොමත් එකඟ වන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ, වසංගතයේදී කළයුතු දේ පිළිබඳව තිබෙන නිර්ණායක සියල්ලටම පටහැනිව තමයි මේ වෙද්දි වැඩ සිදුවන්නේ. එන්නත්වලින් කරන්න පුළුවන් සංකූලතා ඇතිවීම අවම කරන්නට සහ මරණ අඩු කරන්නනේ.
එතකොට අපි ඒක කරන්නේ නැතිව වෙන මොනවා කළත් වැඩක් නැහැ. වැඩිහිටි අයව, බෝ නොවන රෝග තිබෙන අයව මරණයෙන් බේරන්නේ නැතිව කරන සියලු දේම වැරදියි. අපි මතක තබාගත යුතුයි මේ තුණ්ඩු බෙදා දීම වැනි සුළු ප්‍රශ්නයකට වඩා මෙතන ඊට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙනවා කියලා. ප්‍රධාන අඩුපාඩුවට පිළියම් සකස් කරන්නේ නැතිව අපි කරන වැඩවලින් රට තවත් අර්බුදයකට යනවා මිසක් මේකෙ කෙළවරක්, අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ."
මෙය ඉතා සාර්ථක වැඩපිළිවෙළක් - කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා.
“ටෝකන් ක්‍රමය තුළින් එන්නත් ලබාදීම ඉතා සාර්ථක වැඩපිළිවෙළක්. කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ වන විට ටෝකන් ලබාදීලා ඒ යටතේ එන්නත්කරණය සිදුකිරීම දැන් ආරම්භ කරලා තිබෙන්නේ. ඒක ඇත්තටම අපි කරපු එකක් නෙවෙයි.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, නාමල් රාජපක්ෂ ඇමතිතුමා තමයි මේ තීරණය ගත්තේ. පවුල් සෞඛ්‍ය බලධාරීන්ගේ එකඟතාවය අනුව වෙලාව සහ දිනය දාල මිනිස්සුන්ට ටෝකන් එකක් නිකුත් කරනවා. එතකොට මිනිස්සු ඒක අරගෙන අදාළ දිනයට සහ වෙලාවට ඇවිත් එන්නත විඳගෙන යනවා. කොළඹ නගර සභා සීමාවෙන් පිටත කොළඹ දිස්ත්‍රික්කය පුරාවටම එන්නත් ලබාදීම සිදුවන්නේ මේ ක්‍රමවේදය මගින්. මොරටුවේත් දැනටත් සිදුකරන්නේ ටෝකන් ලබාදීමෙන්.”
ටෝකන්පතට හැදුනුම්පත් අංකය යෙදුවා නම් මේ ක්‍රමය සාර්ථකයි - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන් බාලසූරිය මහතා,
“මේ වෙද්දි ලංකාවේ එන්නත්කරණ වැඩසටහන් සඳහා විවිධ ක්‍රම භාවිත කරනවා. එයින් එකක් තමයි ටෝකන් ලබාදීමේ ක්‍රමවේදය. තවත් සමහර ප්‍රදේශවල කොටස් කොටස් වශයෙන් ගෙන්වාගෙන එන්නත් ලබාදෙනවා. එන්නත්කරණ ස්ථානවලට අනවශ්‍ය ආකාරයට ප්‍රජාව රැස්වෙන එක වළක්වන්න තමයි මේ විදිහට ටෝකන් ලබාදී තිබෙන්නේ. සමහර වෙලාවට ඒ ප්‍රදේශයට අදාළ නොවන පුද්ගලයන් පැමිණ එන්නත් විදගෙන යන අවස්ථා තිබෙනවා.
ඒ දේවල් සහ තදබදය අවම කිරීමටයි මෙවැනි ක්‍රමවේදයන් භාවිත කරන්නේ. මෙහිදී යම් ගැටලු කිහිපයක් තිබෙනවා. පුද්ගලයෙකුට දුන් තුණ්ඩුවක් ඔහු එන්නත ලබානොගෙන එය වෙනත් අයෙකුට දුන්නොත් අපිට අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබාගන්න බැහැ. අපිට අවශ්‍ය පුද්ගලයාට එන්නත ලබාදීමට නොහැකි වනවා. අපිට එවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා. එමගින් අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබාගැනීමට නොහැකියි. එවැනි සිදුවීම් වාර්තා වෙද්දි ටෝකන් ලබාදීමෙන් ඵලක් වෙන්නේ නැහැ. මේ ටෝකන්පතට හැඳුනුම්පත් අංකයත් ඇතුළත් කර ලබාදෙනවා නම් මේ ක්‍රමවේදය සාර්ථක වෙන්න පුළුවන්.
ලෝකයේ බොහෝ තැන්වල නව තාක්ෂණය මගින් මාර්ගගතව පුද්ගලයන්ව ලියාපදිංචි කරවලා දිනයක් සහ වෙලාවක් ලබාදීලා එන්නත්කරණ වැඩසටහන් සිදුකරනවා. එතකොට එන්නත්ලාභියා ඒ අදාළ වෙලාවට පමණයි එතැනට යන්නේ. එවැනි ක්‍රමවේදයක් භාවිත කරනවා නම් ඇත්තටම හොඳයි. එතකොට විශාල තදබයක් දක්නට ලැබෙන්නේ නැහැ. ගාල්ල ප්‍රදේශයේත් අපි එවැනි ක්‍රමවේදයක් දුටුවා. නමුත් අපේ රටේ එවැනි දෑ සඳහා හැමෝටම තාක්ෂණයක් සහ දැනුමක් නැහැ.
උදාහරණයක් විදිහට ගාල්ලෙන් ටිකක් ඈත රත්ගම, හිනිදුම වගේ ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳ දැනුමක් නැහැ. ඇතැම් ප්‍රදේශවලට එවැනි තාක්ෂණික උපාංග හෝ නැහැනේ. නමුත් නාගරික ප්‍රදේශවලට නම් එවැනි දෙයක් සිදුකළ හැකියි. අත්හදා බැලීකමට හෝ නාගරික සීමාවේ ප්‍රදේශවල මාර්ගතතව ලියාපදිංචි කරවලා එන්නත් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරනවා නම් ඉතා වටිනවා”