ඡන්දය යනු කැමැත්තයි. මේ කැමැත්ත ප්‍රකාශ කිරීමට මෙසිරිලක වැසියන් තරම් උනන්දු වන වෙනත් කවර හෝ ජාතියක් මේ මිහිපිට නැති තරම්ය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ඉකුත්දා අවසන් වූ මහ මැතිවරණයත් සමග එතෙක් මෙතෙක් මෙරට වැසියන් හතළිස් තුන් වතාවකදී සිය කැමැත්ත ප්‍රකාශකොට ඇත. 1947 වර්ෂයේ අගෝස්තු මස 23 වනදා පැවැති මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ සිට පසුගිය 05 වනදා නිමාවූ මහ මැතිවරණය දක්වා අවස්ථා 17කදී මෙරට ජනයා පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත්කර යැවීමට සිය ඡන්දය ප්‍රකාශකොට තිබේ. ඊට මත්තෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා නියෝජිතයන් පත්කර යැවීමට 1931 වසරේ ජුනි මස 13 වනදා සහ 1936 වර්ෂයේ පෙබරවාරි 26 වනදාද මෙරටෙහි මහ මැතිවරණ පවත්වා තිබේ.
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
ඒ අතරවාරයේ ජනාධිපතිවරණ අටකදී ද, 1988 වර්ෂයේදී හඳුන්වා දුන් පළාත් සභා සඳහා නියෝජිතයන් පත්කර යැවීම වෙනුවෙන් පළාත් සභා මැතිවරණ හතකදී ද, 1991 වර්ෂයේ පටන් අවස්ථා 08කදී පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරා පත්කර යැවීම සඳහාද මෙසිරිලක ජනයා සිය ඡන්ද අයිතිය භාවිතකොට ඇත. එමෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව මෙරට විධායක ජනාධිපතිවරයා තේරීම සඳහා ජනාධිපතිවරණ හතකදී ජනතාව සිය ඡන්ද අයිතියේ තරම පෙන්වා ඇත. මෙරට මෙතෙක් පවත්වා ඇති එකම ජනමත විචාරණය සඳහා මග පෑදී ඇත්තේ 1982 වසරේදීය.
මේ හැම අතරේ ජනයා විසින් ජනයා පාලනය කළ වඩාත් සඵලදායක පාලන ක්‍රමයක් ලෙස අදත් මෙරට වියපත් ගැමියන් සිහිපත් කරන %ගම්සභා^ ක්‍රමයද අමතක කළ හැකි නොවේ. ගැමියන් විසින් ගම පාලනය කළ ගම්සභාවේ රස මුසු තැන් තවමත් සිහිපත් කළ ගැමියන් ස්වල්පදෙනෙකු හෝ අදත් මෙරට ඈත දුෂ්කර ගම්මැදිවල ජීවත් වේ. කැකිරාව නගරයට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි ලබුනෝරුව ගමේ එවක තිබූ ගම්සභාව ගැන කරුණු කිව හැකි අයෙක් තවමත් එහි ජීවත් වේ. ඒ, 73 වැනි විය ඉකුත්ව සිටියද නිරෝගී සම්පත්තියෙන් වෙසෙන සිරිල් සමරකෝන් මහතාය. සාහිත්‍යවේදියෙක්, කවියෙක්, ගී පද රචකයෙක් ලෙස ප්‍රකට සිරිල් සමරකෝන් මහතා රට පතළව ඇත්තේ එඩ්වඩ් ජයකොඩි මහතා ගයන %කැරකෙන රෝදේ පුංචි කරත්තේ^ ගීතය ලියූ තැනැත්තා ලෙසය. එදා මෙදා මෙරට ඡන්ද ගැන ඔහුගේ මතකය විවිධ රසයෙන් පිරී තිබේ.
“ඉස්සර මෙහේ තිබ්බේ ලබුනෝරුව ගම්සභාව. ලබුනෝරුව, ඉහළ අඹතලේ, පණ්ඩිත රබෑව, අමිනිච්චිය, ඌත්තුපිටිය, බමුණුගම, අලගොල්ලෑව වගේ ගම් කීපයක් තමයි ගම්සභාවෙන් පාලනය වුණේ. පාලනය වුණා කිව්වට පොඩි පොඩි සංවර්ධන වැඩ තමයි ගම්සභාවෙන් කෙරුවේ. හැබැයි ඉතිං මිනිස්සුන්ට හරි ලේසියි. ගමේ පාරක්, ඇළ වේල්ලක් කැඩුණත් ගම්සභාවට තමයි කිව්වේ. සමහර තැන්වල ඔය වීදි ලාම්පු දානව වගේ වැඩ කෙරුවෙත් ගම්සභාවෙන්. හරි සරලයි. ගම්සභාවට තේරෙන අයට කිව්වේ මැම්බර්ලා කියලා. මැම්බර් මහත්තුරු නිතර ගමේදී මුණගැහෙන හින්දා වැඩ හරි පහසු වුණා.”
මෙරට සාම්ප්‍රදායික ගම කේන්ද්‍රකොට පැවැති ගම්සභාවේ ප්‍රධානියා වූයේ මැම්බර් මහත්වරුන්ගේ ඡන්දයෙන් තේරී පත්වන සභාපතිවරයාය. ගම්සභාවේ ප්‍රධානියා පත් කළ අන්දම පිළිබඳවද සිරිල් මහතා රසවත් තොරතුරු කීවේය.
“ගම්සභාවට සභාපති තේරුවේ පක්ෂ, විපක්ෂ භේදයක් නැතිව. ගම්වල අයගේ ඡන්දෙන් මැම්බර් මහත්තුරු පත්වෙනවා. මැම්බර් මහත්තුරුන්ගේ ඡන්දෙන් සභාපති තේරුවා. පක්ෂ, විපක්ෂ භේදයක් නෑ මැම්බර්ලගේ වැඩිම ඡන්ද ගන්න කෙනා සභාපති වුණා. සභාපති තෝරනකොට වෙච්ච හොඳ හොඳ සිද්ධි තියෙනවා. සභාපති ඡන්දෙට කලින් දවසේ සභාපති වෙන්න ඡන්දෙ ඉල්ලනි අය මැම්බර් මහත්තුරු එයාලගේ ගෙදර එක්කගෙන ගිහිල්ලා රෑට කන්න, බොන්න දීලා නවත්ත ගන්නවා. උදේට ගම්සභාවට එක්කගෙන යනවා. එතකොට ඉතිං කන්න, බොන්න දුන්න මනුස්සයාට ඡන්දෙ දෙනවා. එහෙම දේවල් ඉස්සරත් තිබිලා තියෙනවා. හැබැයි දැන් වගේ ගහමරා ගත්තෙ නෑ. ඇත්තටම ඒ කාලෙ ගම්සභාවේ මැම්බර් මහත්තයා කියන්නේ ගරු ගාම්භීර කෙනෙක්. මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරපු කෙනෙක් නෙමෙයි.”
එවක ඡන්ද පැවැත්වූ අන්දමත්, ජය සැමරූ ආකාරයත් මෙරට සහජීවන දිවිපෙවෙතට කදිමට දෙස් දෙන්නකි. පරාජිතයන්ගේ ඔළු පැළුෑ සංස්කෘතියක් එවක නොතිබුණු බව සිරිල් මහතා කීවේය. අද මෙන් පෙළපාළි පැවැත්වීමක් හෝ මතින් මත් වී ජය සැමරීමක් හෝ එවක ගැමියන්ගේ ජීවන සම්ප්‍රදායට මුසු වී නොතිබුණු බව ඔහුට හොඳින් මතකය. යාන, වාහන, දැසි දස්සන් පිරිවරා ජනතා නියෝජිතයන් ගම්වලට ආ වගක් සිරිල්ට මතක නැත. එවක මන්ත්‍රීවරුන්ගේ සරල ජීවන පෙවෙත අදත් ඔහු සිහිපත් කරනුයේ ගෞරවය මුසු හැඟීමකිනි.
“ඉස්සර මේ පැත්තට හිටිය මන්ත්‍රී පතිරාජ තෙන්නකෝන් මහත්තයා. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් පත්වෙච්ච කෙනෙක්. තෙන්නකෝන් මහත්තයා පස්සෙ කාලෙක සංස්කෘතික ඇමතිත් වෙලා හිටියා. මං අහලා තියෙනවා දවසක් එයා ඡන්දෙ ඉල්ලන්න ගමකට යනකොට ගෑනු දහයක් පහළොවක් ඔය අත්තම් ක්‍රමේට කුරක්කන් කපනවලු. තෙන්නකෝන් මහත්තයා දඬුවැට ළඟට ගිහිල්ලා අර ගෑනු අයට කවියෙන් කිව්වලු මං මේ පාර ඡන්දෙ ඉල්ලනවා මට ඡන්දෙ දෙන්න කියලා. ඉස්සර තිබ්බ ඡන්ද ක්‍රමේ හැටියට ආසනේට පත්වෙන්නේ එක මන්ත්‍රී කෙනෙක් විතරයි. ඒ කාලේ ඡන්ද දිනුවට පස්සේ මහ ලොකු උත්සව තිබුණෙ නෑ. පැරදිච්ච අයට ගහන්න ආවෙත් නෑ. ඉස්සර මිනිස්සු ඡන්ද ප්‍රතිඵල ඇහැව්වෙත් ගෙවල්වලට එකතු වෙලා රේඩියෝ එකෙන්. මුළු ගමටම ඉස්සර තිබ්බෙ රේඩියෝ එකක් දෙකක් විතරයි. දිනුවට පස්සේ මිනිස්සු මන්ත්‍රී හම්බ වෙලා කතා කරලා සතුට ප්‍රකාශ කරලා එනවා. ඊට පස්සෙ මිනිස්සු තමන්ගේ වැඩවලට යොමු වුණා. ඉස්සර මන්ත්‍රීවරු ගමට එද්දි ආරක්ෂාවට කියලා මිනිස්සු මහ ගොඩක් ආවෙත් නෑ. වාහන දහපහළොවක් ආවෙත් නෑ. ගොඩක් වෙලාවට තනියම තමයි ආවේ. ඔය තෙන්නකෝන් ඇමතිතුමා ඇමති වෙන්න කලින් පාපැදියෙන් තමයි මිනිස්සු හම්බ වෙන්න ගියේ. ඇමති වුණාට පස්සෙ තිබ්බෙත් පොඩි කාර් එකක්. ඒ මිනිස්සු හරි සරලයි. එක ආසනේක විතරක් ඡන්ද කරන්න තිබ්බ හින්දා ලොකු වියදමකුත් නෑ.”
අද වන විට සකලවිධ කාර්යයන් මැති, ඇමතිවරුන් ලවා කර ගැනීමේ අවිචාරවත් තැනට අප සමාජය තල්ලු වී තිබේ. රජයේ රැකියාවක් ලබාගැනීම සඳහා ප්‍රමුඛ සහ අනිවාර්ය සුදුසුකමක් බවට දේශපාලනය පත්ව තිබේ. ප්‍රදේශයේ ඇමතිවරයාගේ හෝ මන්ත්‍රීවරයාගේ ලැයිස්තුවේ නම නොවේ නම් රජයේ රැකියාවක් ලබාගැනීම යනු අද සිහිනයකි. එහෙයින්ම ලොව අන් කවර හෝ රටක නොමැති තරමේ වටිනාකමක් මෙරට දේශපාලනඥයන්ට හිමිව තිබේ. ඒ පිළිබඳව සිරිල් මහතා කීවේ මෙවැනි කරුණුය.
“ඔය ඇමතිලාගේ ලියුම්වලට, ලැයිස්තුවලට රස්සා දෙන එක පටන් ගත්තේ 1965න් විතර පස්සේ. මොන සුදුසුකම තිබ්බත් ඇමතිලාගේ, මන්ත්‍රීලාගේ ලියුමක් නැත්නම් වැඩේ හරියන්නෙ නැහැ. පස්සේ පස්සේ ඇමතිලා එයාලගේ හිතවත් අයගේ නම් දාලා රස්සා දෙන්න ලැයිස්තු හදන්න ගත්තා. ඔය ක්‍රමේ එන්න එන්න වැඩි වුණා. ඇත්තටම හංගන්න දෙයක් නෑ අදත් වෙන්නෙ ඒක. ඒකෙන් වුණේ නුසුදුස්සෝ රජයේ ආයතනවලට පත්වෙච්ච එක. ඒ අයට තිබ්බ එකම සුදුසුකම දේශපාලනේ විතරයි. ඒකෙන් වුණේ දක්ෂයෝ යට ගිහිල්ලා ගොඩක් ආයතන විනාශ වෙච්ච එක. 65ට කලින් මට මතකයි හැම දිස්ත්‍රික්කෙම රැකී රක්ෂා කාර්යාලයක් තිබ්බා. අපි එතෙනට ගිහිල්ලා ලියාපදිංචි වෙනවා. ලියාපදිංචි වුණහම අපිට කාඩ් එකක් දෙනවා. එතැනින් තමයි අපේ සුදුසුකම්වලට හරියන ඇබෑර්තු ආවහම කැඳවීම් කරන්නේ. සුදුසු නම් රස්සාව හම්බ වෙනවා. කාගෙවත් ලියුම් ඕන නෑ.”
එවක දේශපාලනය සේම රාජ්‍ය සේවය පිළිබඳවද සිරිල් සමරකෝන් මහතාගේ සිතෙහි ඇත්තේ ගෞරවය නොඅඩුව මුසු වූ හැඟීමකි. දේශපාලනඥයන්ගේ සාක්කුවට නොවැටී ජනතාව උදෙසා රාජ්‍ය සේවාවේ නියැළුණු නිලධාරීන් පිළිබඳව ඔහු මතකයේ ඇති කරුණු බොහෝ වටින්නේය.
“ඒ කාලේ ගම්වල සංවර්ධන වැඩවලට මුල් වුණේ අවංක නිලධාරීන්. ඇමතිලා, මන්ත්‍රීලා ගම්වලට ඇවිල්ලා බලනවා වැඩ කෙරෙන විදිහ ගැන. නිලධාරීන් දේශපාලනේ කරන අයගේ අතවැසියෝ වුණේ නෑ. නිලධාරීන් ඒ අයගේ ගෞරවය තියාගෙන වැඩ කෙරුවා. ඇත්තටම ඒ කාලේ හිටපු නිලධාරීන්ට තමන් වැඩ කරන්නේ රටට, රටේ මිනිස්සුන්ට කියන හැඟීම තිබුණා. දැන් අවාසනාවකට වෙලා තියෙන්නේ සමහර නිලධාරීන් හිතන් ඉන්නේ ඒ අය වැඩ කරන්නේ ඇමතිතුමාට නැත්නම් මන්ත්‍රීතුමාට කියලා. ඒකනේ දැන් ඉන්න සමහර නිලධාරීන්ගේ හිතේ රටේ අහිංසක, අසරණ මිනිස්සු ගැන හැඟීමක් නැත්තේ. ඇත්තටම ඉස්සර තත්ත්වෙ මීට ගොඩක් වෙනස්. ඉස්සර රජයේ රස්සාවක්, තනතුරක් ගන්න එක ලේසි නෑ. දැන් සමහර ආයතනවල ගබඩා පාලකලා වෙලා ඉන්න අය හිටිහැටියේ ආයතනයේ පාලකයා වෙනවා. එකම සුදුසුකම දේශපාලනේ. ඉතිං කොහොමද රටක් ඉස්සරට යන්නේ. මට නම් හිතෙන්නේ දේශපාලනේට වගේම රාජ්‍ය සේවේටත් තියෙන්න ඕන ලොකුම සුදුසුකම අහිංසක මිනිස්සුන්ට ආදරය කරන එක.”
අලුත් මානයකට රට යොමු විය යුතු බවට කතිකාවක් නිර්මාණය වී ඇති අවධියක ඒ සඳහා අතීතයෙන් උකහාගත හැකි පාඩම් බොහෝ වේ. තවත් මහ ඡන්දයක් අහවරව ඇති අවධියක සිරිල් සමරකෝන් වැනි දෙටු පුරවැසියන් මතුකොට දෙන නේක පාඩම් සපිරි ඒ මාවත නිවැරදිව පාදා ගැනීම වගකිවයුත්තන් සතු කාර්යයකි. ඒ වග පමණක් අවසන පැවසිය හැකිය.
සටහන - බුල්නෑව ප්‍රදීප් රණතුංග