ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව මේ වනවිට මේ රටේ ජනතාවට කිසිදු සේවයක් සැලසීමට නොහැකිව, ජනතා අභිලාෂයන් ඉටුකිරීමට නොහැකිව, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම ආරම්භ කිරීමටත් නොහැකිව ඉතාමත් අසමත් ආණ්ඩුවක් බවට පත්ව සිටින මොහොතක එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂයට ආණ්ඩු බලය ලබාගැනීමට සහ නැවත වරක් තනි දේශපාලන පක්ෂයක් ලෙස ජනතාවට සේවය කිරීමට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
එහෙත් එක්සත් ජාතික පක්ෂය එම අවස්ථාව ජනතාවට ලබානොදී, මේ රටේ ජනතාව අතරින් මතු වූ නායකයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමන්ට දේශපාලනික වශයෙන් මේ රටේ ජනතාව භාරගැනීමට තිබෙන අවස්ථාව මගහරවාලමින්, පුද්ගලික දේශපාලනික න්යායපත්රයකට අනුව දේශපාලනයේ නියැළෙමින් සිටී.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එතුමා වටා සිටිනා සුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතක් වෙත රැගෙන යෑමට නිර්මාණය වී ඇති මාවත අහුරාලමින් මේ සිදුකරන්නා වූ ක්‍රියාදාමය හේතුකොටගෙන, රටේ පොදු ජනයාගේ නායකයා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ පියා විසින් පෝෂණය කරන ලද, එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ ස්ථානය පිළිබඳව නොසිතා එක්සත් ජාතික පාක්ෂිකයන් ආරක්ෂා කිරීමේ අරමුණින් අද වනවිට සමගි ජන බලවේගය නිර්මාණය කරගෙන තිබේ.
මින් අර්ථ ගැන්වෙන්නේ මෙරට එක්සත් ජාතික පාක්ෂිකයන් ආරක්ෂා කිරීමේ මූලස්ථානය සමගි ජනවේගය බවයි. සමගි ජන බලවේගය සමග එක්ව සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් නොව මෙරටට ආදරය කරන සියලු දේශප්‍රේමී ජනතාව යැයි මෙහිදී සිහිපත් කළ යුතුය.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය කිහිප දෙනෙකුගේ අතකොළුවක් බවට පත්ව ඇති පසුබිමක ඔවුහු එක්සත් ජාතික පක්ෂයේ සලකුණ වන %අලියා^ගේ ප්‍රතිරූපය තම දේශපාලන නොහැකියාව වෙනුවෙන් යොදා ගනිමින් සිටී. දශක ගණනක් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය බවට පත්ව සිටි එක්සත් ජාතික පක්ෂය, දේශපාලන අනාථභාවයකින් පෙළෙන හා ඩීල් දේශපාලනයේ කිදා බැස ඇති පිරිසක් විසින් විනාශය කරා ගෙන යන ගමන් මග නවතාලීමේ හැකියාව පවතිනුයේද සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බවත්, එතුමා එම යුතුකම මේ මොහෙතේ ඉටුකරමින් සිටින බවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට මෙහිදී අවධාරණය කළ යුතුය.
ඉතිහාසය පිරික්සීමේදී වෙනත් පක්ෂ හා ඇතැම් දේශපාලන නායකයන්ගේ වරදාන හා වරප්‍රසාද ලබමින් සිටින, එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයන් යැයි පෙනී සිටින ඩීල්කරුවන්ගේ ඩීල් දේශපාලනය පිළිබඳව උදාහරණ රැසක් පවතී. ඉන් ප්‍රමුඛම කාරණය වන්නේ මීට කලකට ඉහත එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් හටගත් අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එකී ගැටලුව නිරාකරණය කර ගැනීමට සූදානම්ව සිරිකොත මූලස්ථානය බලා පැමිණෙමින් සිටියදී එවකට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, කාපට් යොදා සංවර්ධනය කර තිබූ එම මාර්ගයට හදිසියේම කාපට් ඇතිරීමක් සිදුකරමින් සිරිකොත පැමිණීම සම්පූර්ණයෙන්ම නවතාලීමයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලු සහ ප්‍රශ්න වෙනුවෙන් මේ තරම් උනන්දුවකින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේ මන්ද යන්න මට මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් බහුතරයකට අදටද ගැටලුවකි.
ඉතිහාසයේ ගමන් මග සර්පිලාකාරය^ යන කියමන යළි සිහිගන්වමින් වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අවැසි පරිදි එක්සත් ජාතික පක්ෂය හසුරුවාලීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ පසුබිමක එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සන්ධානයෙන් ඔබ්බට ගොස් තනිව තරග කර මෙරට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් සිටී. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත වූ, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්පූර්ණ කැමැත්ත මත නිර්මාණය වූ සමගි ජන බලවේගය සමග එකතුවීමට ඔවුන්ට තිබෙන නොහැකියාව කුමක්ද යන්න විමසිය යුත්තකි.
ලිබරල් ප්‍රජාත්‍රන්තවාදය හා සමානාත්මතාව මූලික පදනම කරගනිමින් ඩී.එස්. සේනානායක මහතා විසින් ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂය අද වනවිට සිය පාක්ෂිකයන්ට, දේශපාලන නියෝජිතයන්ට හිරිහැර කිරීමේ මාවතකට අවතීර්ණ වී තිබේ. මීට හොඳම උදාහණය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සියලුම පළාත් පාලන නියෝජිතයන්ට ඔවුන් සියලුදෙනා එක්සත් ජාතික පක්ෂය යටතේ මැතිවරණයට තරග කර පත්වූ අයවලුන් බැවින් මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ %අලියා^ ලකුණින් තරග කරන පිරිසට උදවු කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාව ප්‍රකාරව ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන බවටත් ලිපියක් මගින් දැනුම් දීමයි. අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙම ක්‍රියාවලියට අපගේ බලවත් අප්‍රසාදය පළකර සිටින්නෙමු.
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථා විරෝධීව පිහිටවනු ලැබූ දින 52 ආණ්ඩු සමයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ආනන්ද අලුත්ගමගේ, දුනේෂ් ගන්කන්ද හා අශෝක් ප්‍රියන්ත වැනි කිහිප කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂය හැරගොස් පොදුජන පෙරමුණ වටා එක්වූවා පමණක් නොව රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාව දැඩිව විවේචනය කිරීමද සිදු කරනු ලැබීය. අප එම අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ මෛ ක්‍රියාදාමය සම්බන්ධව විනය පියවරක් ඉතා ඉක්මනින් ගන්නා ලෙසයි. නමුත් අද වන තෙක් එකී විනය විරෝධී ක්‍රියාව සම්බන්ධව කිසිදු ලිපියක්වත් යොමු කිරීමට මහලේකම්වරයා අපොහොසත් විය.
එවන් පසුබිමක රාජපක්ෂලා වෙනුවෙන් කුලී හේවායෙකු ලෙස කටයුතු කිරීම සිය දේශපාලන ව්‍යාපෘතිය කරගත් මහලේකම්වරයා, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දරදිය ඇද, පක්ෂය වෙනුවෙන් සුවිශාල සේවයක් ඉටුකරමින් පක්ෂයේ ජාතික නායකයන් බිහිකිරීමට කටයුතු කළ පළාත් පාලන නියෝජිතයන් දඩයමක නිරතවීම කෙතරම් සාධාරණද යන්න විනිශ්චය කිරීම එක්සත් ජාතික පාක්ෂිකයන් වෙත භාර කරමි.
ඩී.එස්. සේනානායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වී පසුකාලීනව ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන මහත්වරුන් විසින් ආරක්ෂා කරන එක්සත් ජාතික පක්ෂයේ, මෑතකාලීන නායකයන් යැයි කියාගන්නා දේශපාලන බඩගෝස්තරවාදීන් කිහිප දෙනෙකු පක්ෂය විනාශ කිරීමේ ඩීල් දේශපාලන මෙහෙයුමක නිරත සිටිති. මෙවන් පසුබිමක අප්‍රේල් 26දා මෙරට එක්සත් ජාතික පාක්ෂිකයන්ට සාධාරණය ඉටුකරමින්, දේශපාලන යථාර්ථය පසක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂයට ස්වර්ණමය යුගයක් උදාකරලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රාහී ගමන සජිත් ප්‍රේමදාස මහතාගෙන් ආරම්භ කරන බවට මේ රටේ ජනතාවට අපි පොරොන්දු වන්නෙමු.