ළඟ ළඟම එන ජනාධිපතිවරණ සටනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සූදානම පිළිබඳ කතාබහක නියැළීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් චරිත හේරත් මහතා සමග සාකච්ඡාවක නිරත විය.
රාජපක්ෂවරුන් අතරින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීම ඔබ දකින්නේ කෙසේද?
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම ඉතාමත් නිවැරදි තීරණයක්. මොකද අපේ රටේ දේශපාලනයේ බරපතළ වෙනස්වීමක් බලාපොරොත්තුවෙන් තමයි ජනතාව බලාගෙන හිටියේ. මේ වෙනස්වීම හුදු පුද්ගලයන්ගේ වෙනස්වීමක් හෝ දේශපාලන පක්ෂවල වෙනස්වීමකට වඩා දේශපාලනිකව සිතීම කියන දේ යම් වෙනස්වීමකින් දකින කෙනෙක් අවශ්‍ය වෙලයි හිටියෙ. ඒ නිසා නායකයා ලෙස පත්කරන පුද්ගලයා සාම්ප්‍රදායික දේශපාලනඥයන්ගෙන් වෙනස් වුණු යම්කිසි ක්‍රියාදාමයක් බිම පැළකරන්න පුළුවන් කෙනෙක් කියන අදහස තමයි මට ඇවිත් තිබුණේ. මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්වීම ධනාත්මක දෙයක් කියලා.
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසුවේ යුද්ධය මෙහෙය වූයේ තමා හෝ තම අයියා නොව හමුදාපති බවයි. ගැටලුකාරී අවස්ථාවක් මතු වූ විට එය වෙනත් කෙනෙකුට පැවරීම සුදුසුද?
එතනදී වුණේ එවැනි දෙයක් නොවේ. එතුමා නිවැරදි කිරීමක් කළා මම නෙමෙයි අණ දෙන්නෙ, හමුදා කොමාන්ඩර්ස්ලා, බ්‍රිගේඩියර්ස්ලා සහ විවිධ හමුදා ප්‍රධානීන් කියලා. ඔහු යුද්ධය හා සම්බන්ධ තීන්දු තීරණ ගැනීම හා ඒ සම්බන්ධ කටයුතු සිදුකළා. මෙහිදී සමහරුන් වැරදි මතයක් ගෙනාවේ. එතුමා පැවසුවේ තමන් යුද්ධයට සම්බන්ධ නැහැ කියලා නෙවෙයි. ප්‍රශ්නය තමයි වැරදි.
ජාතික ආරක්ෂාව පිළිබඳව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමාවක් වෙලා. ගෝලීය ආරක්ෂාව පිළිබඳ වෙනත් රටවල් අවධානය යොමු කරනවිට ජතික ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීම කොතරම් සුදුසුද?
ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව, ගෝලීය ආරක්ෂාවත් කියන තුනම ජාතික ආරක්ෂාවට බැඳෙනවා. මොකද අපි රටක් විදියට ලංකාවේ හිටියට කලාපයට සහ ලෝකයේ තියෙන දේශපාලනයට සම්බන්ධයි. ඒකෙ හොඳ සහ නරක පැති දෙකම තියෙනවා. මොකද ලෝකයේ තියෙන ත්‍රස්තවාදයට ලංකාවත් ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. ජාතික ආරක්ෂාවට වැදගත්කමක් අවශ්‍යයි කියන්නෙ 1980 ගණන්වල උතුරේ ඇතිවුණ යම් ආතතියක් දකුණු ඉන්දියාව ඇතුළු කලාපවල දේශපාලනයට ගැටගැසුණා. ඒ තුළින් තමයි උතුරේ විවිධ කණ්ඩායම් සංවිධානය වෙලා යුදමය තත්ත්වයක් ඇතිවුණේ. මේ කාලේ ලෝකේ විවිධ අන්තවාද තිබෙනවා. එවැනි අන්තවාදයන්ට ලංකාවේ ඇතිවෙච්ච ත්‍රස්ත ක්‍රියාදාමය සම්බන්ධ වීමේ විභවතාවක් තියෙනවා. ඒ කාලේ ඒක හිතලුවක්. නමුත් දැන් ඒක හිතලුවක් නෙවේ. ඇත්තටම වෙන දෙයක්. එක දවසක පැයක් පමණ කාලයක් ඇතුළත 200ක් පමණ මරණයට පත්වුණා. මෙවැනි දෙයක් නැවත වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ පිළිබඳව පුළුල් ආකාරයෙන් සිතා බැලිය යුතුයි කියලා තමයි අපේ මතය වෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇමරිකාවේ පැවති නඩුවදී ලංකා රජය අපහසුතාවට පත්වන අයුරින් කරුණු දක්වා ඇති බවට චෝදනා එල්ලවෙනවා?
ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව ලංකාවේ සිදුවුණු සිදුවීමක්, ඇමරිකානු අධිකරණයක නිරීක්ෂණය වීමක් පිළිබඳව තමයි ඔබ ඔය පවසන්නේ. ඒක නඩුවක් සහ එතැනින් එහාට දෙයක් ඒ තුළ මා දකින්නේ නැහැ. එතුමා මේ ගත්තු තීරණ පෞද්ගලිකව ගත් තීරණ නෙවෙයි. රාජ්‍යතාන්ත්‍රීයව ගත් තීරණ. යුද්ධයක් සඳහා ගන්නා තීරණ පෞද්ගලික තීරණ නෙවෙයි, ඒවා රාජ්‍යතාන්ත්‍රික තීරණ. ඒ නිසා එතුමාට අයිතියක් තියෙනවා එවැනි තීරණ ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවක ඒවාට පිළිතුරු දීමට. ඕක එතුමා නිලධාරියෙක් වශයෙන් ලංකාවේ වැඩ කරන කාලේ ලංකාවේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව දාපු නඩුවක් මිසක් එතුමා අතින් සිදුවූ දෙයක් නොවේ. නඩුවට එතුමාගේ සම්බන්ධයක් නැහැ. ඇමෙරිකාව පැවසුවේ මෙය වෘත්තියට යටත් වන ක්‍රියාදාමයක් කියලයි.
බහුතරයේ සුළුතරයත්, සුළුතරයේ බහුතරයත් එක්ව ආණ්ඩු නිර්මාණය කිරීම පිළිබඳව ඔබ විවේචන එල්ල කළා. ප්‍රජාතන්ත්‍රවාදයට එය කොතරම් ගැළපෙනවාද?
එක්සත් ජාතික පක්ෂයට අද වෙලා තියෙන්නේ බහුතර සිංහල සමාජය නැති වීම සහ බහුතරයෙන් පැමිණෙන සුළුතරයක් සිටීම. ඒ වගේම අනිත් අයට වඩා සුළුතර ජනවර්ගවලින් විශාල පිරිසක් ඔවුන්ට ඉන්නවා. ඒ නිසා ඒ අය විශ්වාස කරනවා සුළුතරය සතුටු කරන්න මොනවා හරි දීලා ඒ අයගේ ඡන්දවලින් සහ බහුතරයෙන් ඉතා කුඩා ප්‍රමාණයක් ඡන්ද ගත්විට දේශපාලනයට ප්‍රමාණවත් කියලා. 2015 වගේ රටක පාලන බලය ගන්න පුළුවන්. හැබැයි එතැනදි රාජ්‍ය බලය ලැබුණට ලොකු ප්‍රතිසංස්කරණ කිසිවක් කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ. මේක වැදගත් ප්‍රශ්නයක්. බහුතර ජාතියේ, බහුතර සමාජයෙහි පිළිගැනීමක් නැතුව සුළුතරයේ ඡන්ද වැඩියෙන් අරගෙන, බහුතරයෙන් සුළු කොටසක් අරගෙන ආණ්ඩු හදපුවාම ඒ ආණ්ඩු වලට ප්‍රතිසංස්කරණීය දෙයක් කරන්න බැහැ.
ඔබ දකින ආකාරයට ජනාධිපතිවරණයෙන් පසුව එලෙස සිදු කළයුතු ප්‍රතිසංස්කරණ කටයුතු මොනවාද?
පළමුවෙන්ම ආරක්ෂක අංශවල විසිරුණු ගතිය නැතිකරලා ශක්තිමත් කිරීම. දෙවනුව ආර්ථික ක්ෂේත්‍රයේ බරපතළ තීන්දු තීරණ ටිකක් ගන්න ඕන. තෙවනුව අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය වේගවත් සහ කාර්යක්ෂම කරන්න ඕන. පරිසර සංරක්ෂණය වැනි පැති ගැන අවධානය යොමුකරලා සංවර්ධනයක් ඇති කරන්න ඕන. අනිකුත් ක්ෂේත්‍ර ක්‍රීඩා, සංස්කෘතිය වැනි ක්ෂේත්‍ර සඳහා විශාල ප්‍රතිසංස්කරණ පද්ධතියක් යෝජනා කරන්න ඕන. සංවර්ධනාත්මක (Developmental) හා ප්‍රතිසංස්කරණාත්මක (Repaves) යන එළඹුම් දෙකකින් මේ ප්‍රශ්න දෙස බලන්න ඕන.
ඇමෙරිකානු ගිවිසුම් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කර නැහැ. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
මම හිතන විදියට මගේ අදහස, එතුමා බලයට පැමිණීමෙන් පසුව මේ ආණ්ඩුව එකඟවෙලා තියෙන සියලු ගිවිසුම් සම්බන්ධව පසුවිපරමක් කරනවා කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. මොකද ඒවා පිළිබඳ පසුවිපරමක් නොකර ඒවායේ සැබෑ තත්ත්වය, අත්සන් කර ඇති ගිවිසුම් මොනවද? ඒ පිළිබඳව ඇති සටහන්, උප ග්‍රන්ථ හඳුනාගන්න බැහැ. ඒ නිසා හොඳම විසඳුම තමයි මේ පිළිබඳව පසුවිපරමක් කරලා ඊට අදාළව යම් තීරණ අරගෙන ඒ තීරණ පාර්ලිමේන්තුවට යොමුකරලා ක්‍රියාත්මක කිරීම.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් ජනාධිපති ආර්යාව වන්නේ ඇමරිකානු ජාතික කාන්තාවක් බව විරුද්ධ පාර්ශ්වය චෝදනා කරනවා?
ඇමරිකානු පුරවැසිභාවයක් තියෙන්න ඇති. නමුත් එතුමිය දැනටත් ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවක්.
ජනාධිපතිවරණයේදී මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතනවලට එක මතයක් සහ පෞද්ගලික ආයතනවලට ඔවුන්ට අදාළ මතයක් තියෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දෙකම විවිධ මතවල සිටීම පිළිබඳ කලබල විය යුතු නැහැ. රාජ්‍ය මාධ්‍යයට සම්පූර්ණ ඉඩක් නැහැ තනිව මතයක් දරන්න. මොකද රාජ්‍ය කියන එකට හැම මතයක්ම අයිති වන නිසා. නමුත් පෞද්ගලික මාධ්‍යවලට පුළුවන් ඒ අයගේ මතය දරන්න. අපේ ආණ්ඩු කාලේ සමහර රූපවාහිනී මාධ්‍ය සහ සමහර පුවත්පත් අපිට විරුද්ධව හිටියා. අපි ඒක පිළිගත්තා. මොකද එහෙම වෙන්න පුළුවන්. ඒක ස්වභාවික තත්ත්වයක්. ඒ නිසා අපි මාධ්‍යයට විරුද්ධව කටයුතු කරන්නෙත් නෑ. අපි යෝජනා කරන්නේ අනිත් අයටත් එහෙම කරන්න එපා කියලයි. මාධ්‍ය අවභාවිතයක් වන්නේ රජයේ මාධ්‍යවල. රජයේ මාධ්‍යවලට පක්ෂපාතීව කටයුතු කරන්න බැහැ.