පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හී සිටින දරුවන් වෙනුවෙන් මහඟු සේවයක් සිදුකරයි. තවද ළමුන්ට සිදුවන හිංසනයන්ට විරුද්ධව ඔවුන් නීතිය ක්‍රියාත්මක කරයි. ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි වෙසෙන ළමුන්ට කිසිදු අඩුපාඩුවක් නොමැතිව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, කුසලතා දියුණු කරගැනීම උදෙසා මෙම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කටයුතු කරනු දක්නට ලැබේ. ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි වෙසෙන දරුවන් සහභාගි කරගනිමින්, කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී හෙට දින (17වැනිදා) උදෑසන 10.30ට %එකෝමත් එක රටක^ නමින් ළමා දින උළෙලක් සංවිධානය කරන්නේද ඔවුන්ගේ කුසලතා සමාජය ඉදිරියට ගෙන යාමේ අරමුණ සහිතවය. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් නීතිඥ තමරිකා හර්ෂණී අතුකෝරළ මහත්මියව අදට සම්බන්ධ කර ගත්තෙමු.
?එකෝමත් එක රටක ළමා දින උළෙල පිළිබඳව හැඳින්වුවොත්
ඔක්තෝබර් පළමු වැනිදාට යෙදුණ ලෝක ළමා දිනයට සමගාමීව බස්නාහිර පළාත් ළමා දින උත්සවය හෙට (17දා) දිනයේ නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වෙනවා. ළමුන් හාරසීයකට අධික පිරිසක් එදිනට විවිධ අංගයන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ උළෙල වෙනුවෙන් අපි තරග රැසක් පැවැත්වූවා. එහි ජයග්‍රාහකයන්ට එදිනට ත්‍යාග, පදක්කම් සහ සහතිකපත් බෙදා දෙනවා. මේ තරග සඳහා ළමුන් 2300කට ආසන්න පිරිසක් සහභාගි වුණා. මෙහි තිබෙන විශේෂත්වය තමයි මේ තරගවලට සහභාගි වුණු සහ එදිනට ඉදිරිපත් කිරීම්වලට සහභාගි වන්නේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන් වීම. ඇත්තටම උළෙලේ වැඩකටයුතු සියල්ලම අපි සංවිධානය කරලා තියෙන්නේ කතාන්දරයක් වගේ. මුල ඉඳලාම අග වෙනකල් කතාවක් ගලාගෙන යන ආකාරයට තමයි අපි පෙළගස්වා තිබෙන්නේ. බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව තමයි මෙය සංවිධානය කරන්නේ. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා සභා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එච්.ජී.ජී.ජේ. ධර්මසේන මහතා, සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සද්ධා උත්පලකන්දගේ මහතා ඇතුළු සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය අපට මෙම උළෙල සාර්ථක කර ගැනීමට විශාල සහයෝගයක් ලබා දෙනවා.
?ඇයි මෙවැනි ළමා දින උත්සවයක් සංවිධානය කරන්නට සිතුවේ
ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන්ට සාමාන්‍ය ළමුන්ට වගේ මෙවැනි තරගවලට, උත්සවවලට සහභාගි වීමට ලැබෙන අවස්ථාව ඉතා විරලයි. ඉතින් මේ ළමුන් ගොඩක් කැමතියි විනෝද වෙන්න. මෙම උළෙල නෙළුම්පොකුණ රඟහලේ පවත්වන්න තීරණය කළෙත් ළමුන්ට ඒ අත්දැකීම ලබාදීමේ අරමුණින්. ගොඩක් දක්ෂ ළමයි ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ඉන්නවා. එයාලට දක්ෂතාව පෙන්නන්න තිබෙන ඉඩ ප්‍රස්ථාව තමයි අඩු. මෙම උළලේදී ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමුන්ගේ නර්තන, ගායන, වාදන අංගයන් තිබෙනවා. මෙහි නිවේදන කටයුතු කරන්නෙත් නිවේදන තරගාවලිය හරහා ජයග්‍රහණය කළ දරුවන්මයි. අප මධ්‍යස්ථාන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් විවිධ වැඩසටහන් සෑම වර්ෂයකම පවත්වනවා. නමුත් මෙම උළෙල ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන්ගේ මහා මංගල්‍යයක් විදිහට තමයි හඳුන්වන්නේ. ළමුන්ගේ මානසිකත්වය ඉහළනැංවීම තමයි අපගේ ප්‍රධාන අරමුණ.
?ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන්ගේ පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔවුන්ට කුමක්ද සිදුවන්නේ
ඔවුන්ව අනිවාර්යයෙන් පාසලට යවනවා. පාසල් අධ්‍යාපනයෙන් පසුව අවුරුදු 18 පිරුණට පස්සේ උසස් අධ්‍යාපනය හදාරන අයට ඒ අවස්ථාව ලබා දෙනවා. එහිදී දරුවාගේ අම්මා තාත්තා දරුවාව බාරගන්නේ නැත්නම් සංවර්ධන මධ්‍යස්ථානයේ සිටම උසස් අධ්‍යාපන කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙනවා. සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනයෙන් අප දෙපාර්තමේන්තුව හරහා ඔවුන්ව රැකියා සඳහා යොමු කරවනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන අයව ඒ සඳහා යොමු කරවනවා. එසේ නොමැති අයව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලට යොමු කරනවා. ඊට අමතරව දෙමාපියන් සිටින, ආර්ථික අපහසුතා නිසා ළමා සංවර්ධන මධ්‍යස්ථානගතව සිටින ළමුන්ව දෙමාපියන් කැමති නම් ඔවුන්ට බාර දෙනවා.
?ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ ළමුන්ට හිරිහැර සිදුවනවා නම් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ කෙසේද
පරිවාස නිලධාරීන් මධ්‍යස්ථාන නිරන්තරයෙන් අධීක්ෂණය කරනවානේ. එවිට ළමුන්ට පුළුවන් තමාට මධ්‍යස්ථානය තුළදී හිරිහැර සිදුවනවා නම් ඒ පිළිබඳව අපට පැවසීමට. එවැනි හිරිහැරයන් සිදුවනවා නම් කොමසාරිස් විදිහට මම ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. බරපතළ ගැටලුවක් නම් අපි අධිකරණයට යොමු කරනවා. මධ්‍යස්ථාන භාරව සිටින පාලකයන් පිළිබඳව පැමිණිලි ආවොත් අපි ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා. ඉවත් කරන්න හෝ මාරු කරන්න කියලා ළමුන්ගෙන් පැමිණිලි ආවොත් අපි අනිවාර්යෙන්ම සොයා බලා ඒවාට ප්‍රතිචාර දක්වනවා. අපට පළමුවෙන්ම වැදගත් වන්නේ ළමයාගේ ආරක්ෂාව සහ රැකවරණයයි. ගැටලු රැසක් තිබෙන ළමා මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමුණු අවස්ථාත් තිබෙනවා. ඊට අමතරව ළමා හිංසන සම්බන්ධයෙන් 1929 අංකය ඔස්සේ සෘජුව සහ පරිවාස ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ දුරකථනය අංකය අමතා අපට පැවසිය හැකියි.
?ළමා සංවර්ධන මධ්‍යස්ථානයකට ළමයෙක්ව භාරගන්නා විට වයස් ප්‍රමාණයක් තිබෙනවාද?
වයස් ප්‍රමාණයක් බලපාන්නේ නැහැ. අපේ යටතේ තිබෙන%ප්‍රජාපතී ළමුන් බාර ගන්නා මධ්‍යස්ථානය තුළ ඉපදිලා දවසක් හෝ දවස් දෙක වැනි වයස්වල ළමුන් සිටිනවා. බොහෝ විට මහ මග දමා යන කුඩා ළමුන් අපට හමු වී තිබෙනවා. ප්‍රජාපතී මධ්‍යස්ථානය තුළ අවුරුදු පහ දක්වා තබාගන්නවා. අවුරුදු පහ සපිරුණාට පසු ඔවුන්ව වෙනත් මධ්‍යස්ථානයකට බාරදෙනවා. ඒ කාලය ඇතුළතදී කුඩා දරුවෙකුට අවශ්‍ය සියලුම පෝෂකයන් ලබාදෙනවා. අපට මව් කිරි ප්‍රායෝගිකව ලබාදිය නොහැකියි. නමුත් ඒ වෙනුවට අපි පිටි කිරි ලබාදෙනවා. ඉපදුණු දින සිට අවුරුදු 18 දක්වා වයසයි අපි ළමුන් ලෙසින් හඳුන්වන්නේ. ඒ වයස් මට්ටම ඇතුළත ඕනෑම දරුවෙක් අප භාර ගන්නවා.
?මෙවැනි මධ්‍යස්ථානවල සිටින දරුවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට සිදුකරන වැඩසටහන් තිබේද
ඔව්. අපි විවිධ වැඩසටහන් පවත්වනවා. රසවින්දනාත්මක වැඩසටහන්, උපදේශන සේවා පවත්වනවා. අපට අවශ්‍ය වන්නේ පරිපූර්ණ ළමයෙක් සමාජයට ලබාදෙන්නයි. එවැනි වැඩසටහන්වලට ඔවුන් ඉතා කැමැත්තෙන් සහභාගි වෙනවා. මේ %එකෝමත් එක රටක^ වැඩසටහනට සහභාගි වන ළමුන් ලොකු ආශාවකින් තමයි මේවාට සහභාගි වන්නේ. මෙහිදී ඔවුන් පුහුණු වන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සමගයි. ඔවුන්ට ඒක ලොකු අත්දැකීමක්.
?ළමා මධ්‍යස්ථානවලට නඩත්තු ආධාර ලබා දෙන්නේ කුමන ආකාරයෙන්ද
ලියාපදිංචි ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පමණයි අප නඩත්තු ආධාර ලබා දෙන්නේ. මධ්‍යස්ථානවල සිටින එක් දරුවෙකුට දිනකට රුපියල් 40 බැගින් සියලුමදෙනාට දිනපතාම වෙන්කර තිබෙනවා. ඊට අමතරව පාලිකාවකට මාසයකට රුපියල් දහසක දිරි දීමනාවක් ලබා දෙනවා. මීට අමතරව මධ්‍යස්ථානය සඳහා වසරකට යථා යෝග්‍ය ආධාර ලක්ෂ දෙකක් ලබා දෙනවා. ඒක ලබා දෙන්නේ ගොඩනැගිලි අධාර රුපියල් ලක්ෂයක් සහ භාණ්ඩ හා උපකරණ වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ලෙසයි.
?බස්නාහිර පළාත තුළ ළමා සංවර්ධන මධ්‍යස්ථාන කොපමණ තිබෙනවාද
ලියාපදිංචි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 120ක් තිබෙනවා. ලියාපදිංචි වී නොමැති මධ්‍යස්ථානත් රැසක් තිබෙනවා. 2008 අංක 01 දරණ ළමා සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රඥප්තියට අනුව ලියාපදිංචි වීම අනිවාර්යයයි. ලියාපදිංචි නොවුණු ඒවාත් අපේ නිරන්තර අධීක්ෂණයට යොමුවෙනවා. නමුත් ලියාපදිංචි වී නොමැති මධ්‍යස්ථානවලට හදිසි අවස්ථාවකදී නීතිමය බලපෑමක් කරන්න අපට හැකියාවක් නැහැ. ප්‍රඥප්තිය තුළ එය සඳහන් කරලා නැහැ. අපි මේ වනවිට ප්‍රඥප්තිය සංශෝධනය කරන්න යවලා තියෙන්නේ. තනි කැමැත්තකට ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට නොහැකියි. බස්නාහිර පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමුන් 3500ක් පමණ සිටිනවා.
?ළමා සංවර්ධන මධ්‍යස්ථාවල සිටින ළමුන් වෙනුවෙන් නව නීති සංශෝධනය වෙලා තිබෙනවාද
2008 අංක 01 දරණ ළමා සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ ප්‍රඥප්තිය සංශෝධනයට අපි යවලා තියෙන්නේ. දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබදව ප්‍රඥප්තියක් අපට නැහැ. ඉතින් අපි දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැන ප්‍රඥප්තියක් හදලා ඒක අනුමැතියට යවලා තියෙන්නේ. ඒ අනුමැතිය තවම අපට ලැබිලා නැහැ. 1939 හැදුණු ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පනතට අනුව තමයි අපි කටයුතු කරන්නේ. නමුත් 1939 සිට අද වෙද්දි සමාජ, ආර්ථික වශයෙන් ලොකු වෙනස්කම් සිදුවෙලා තියෙනවානේ. ඒ නිසා පළාත් නවයේ කොමසාරිස්වරු එකතු වෙලා මේ පනත සම්බන්ධයෙනුත් සාකච්ඡාවන් පවත්වාගෙන යනවා. එහි සංශෝධනත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යනවා. ඒක සිදුවන්නේ ජාතික වශයෙන්.
?ළමා සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ අධීක්ෂණ කටයුතු සිදුවන්නේ කොහොමද
ළමාරක්ෂක සේවා කොමසාරිස් යටතේ පරිවාස නිලධාරීන් 86 දෙනෙක් සිටිනවා. එතකොට අධිකරණ කලාප අනුව පරිවාස කොට්ඨාස 12ක් තිබෙනවා. මේ කොට්ඨාසවලට ඒ ඒ අධිකරණවල කාර්යභාරය අනුව සහ ප්‍රමාණය අනුව පරිවාස නිලධාරීන් වෙන් කරලා තියෙන්නේ. ඒ මගින් තමයි ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් අධීක්ෂණය වෙන්නේ. ගැටලු සම්බන්ධව පරිවාස නිලධාරීවරුන්ගේ මාර්ගයෙන් අපට වාර්තා වනවා. බස්නාහිර පළාත තුළ තමයි වැඩිම අධිකරණ සංඛ්‍යාවක් තිබෙන්නේ.
?ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන්ට අධ්‍යාපනය සඳහා පාසල් ලබාදෙන්නේ මධ්‍යස්ථානයට ළඟම තිබෙන පාසලද
බොහෝදුරට ළඟම තිබෙන පාසල තමයි ලබාදෙන්නේ. නමුත් අවශ්‍යතාව මත දුර පාසලක් වෙන්නත් පුළුවන්. ගැහැනු ළමයින්ට ඔවුන් සිටින මධ්‍යස්ථානයට ළඟම පාසලක් නොමැති නම් අපට සිදුවෙනවානේ දුරින් හරි තිබෙන පාසලකට යොමු කරන්න. ළමා සංවර්ධන මධ්‍යස්ථානයක සිටින ළමයෙක්ව ඕනෑම පාසලකට යොමු කිරීමේ හැකියාව අපට තිබෙනවා. එයට කොළඹ ප්‍රධාන පාසලක්ද, නැතහොත් පොඩි පාසලක්ද කියන කාරණය අදාළ වන්නේ නැහැ. උසස් පෙළ හදාරන සිසුවෙක්ට එයා ඉන්න පාසලේ එයා කරන්න බලාපොරොත්තු වන විෂය නොමැති නම් අපට පුළුවන් ඔහුව වෙනත් පාසලකට මාරු කරන්න. උපකාරක පන්තියක් අවශ්‍ය යැයි ළමුන් කියනවා නම් ඒ අවස්ථාවත් අපට සලසා දීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අපි ඔවුන්ට දහම් පාසල් අධ්‍යාපනයත් ලබාදෙනවා.
?ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා නම් එය සිදුකරන්නේ කෙසේද
ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පෙර අවශ්‍යතා කිහිපයක් සැපිරිය යුතුයි. ඉන්පසු අපේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එය ආරම්භ කිරීමට අප ඉඩ ලබාදෙනවා. වසරක පමණ කාලයක් තුළ එම සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩකටයුතු පිළිබඳව අධීක්ෂණයකින් අනතුරුව තමයි අපි ලියාපදිංචිය සිදුකරන්නේ. කිසිම තනි පුද්ගලයෙකුට ළමා මධ්‍යස්ථානයක් ආරම්භ කළ නොහැකියි. ළමා සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ ප්‍රඥප්තියේ නීති රෙගුලාසි අනුව තමයි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කළ හැක්කේ.
?ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇතිවීමේ අවශ්‍යතාවයක් තිබෙනවාද
අනිවාර්යයෙන්ම කතිකාවතක් ඇතිකිරීම අවශ්‍යයි. දෙමාපියන්ගේ අවධානය, වැඩිහිටියන්ගේ අවධානය අඩු වුණාම ළමයි වැරදි පැත්තට යොමු වීමට ඇති අවදානම ඉතා වැඩියි. මේ නිසා බොහෝ ළමුන් අපයෝජනවලට ලක්වෙනවා, හිරිහැරවලට ලක්වනවා. දෙමාපියෝ, වැඩිහිටියෝ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැනුවත් වීම සඳහා විශාල වශයෙන් අපි කතා කළ යුතුයි. ළමයෙකුට අසාධාරණයක් වුණාම අපි නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ වෙද්දි ළමයාට වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. එතකොට මොන දේ කළත් අපි පරක්කු වැඩියි. ළමයෙකුට හානියක් වෙන්න කලිනුයි අපි එතැනින් ළමයාව බේරාගත යුත්තේ. අප ළමා සංවර්ධන මධ්‍යස්ථානය තුළ මොන රැකවරණය ලබාදුන්නත්, මොන දේ ලබාදුන්නත් ළමුන්ට දෙමාපියන්ගේ සෙනෙහස අපට ලබාදෙන්න බැහැ. දෙමාපියන්ගේ ආරක්ෂාව ළමයෙකුට මහමෙරක් වගේ.
කැළුම් දේවින්ද