එක්සත් ජාතික පාක්ෂිකයා තුළ ප්‍රබෝධයක් ඇතිවී තිබෙනවා


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳ දැන ගැනීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සම්බන්ධ කර ගතිමු. 


මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ලබාගෙන ඇති ප්‍රගතිය කොයි වගේද?

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය දිනෙන් දින ඉදිරියට යමින් තිබෙනවා. ඔහු ගෝඨාභයට වඩා ඉදිරියෙන් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අත්සන් කරන ගිවිසුමෙන් පස්සේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා සාමාජිකයන් අපිට ඡන්දෙ දීමට එකතු වේවි. අපි සාධාරණව කටයුතු කරන නිසා ටීඑන්ඒ, කඳුකරයේ පක්ෂවල සහයෙන් උතුරු නැගෙනහිර හා වතුකරයේ ඡන්ද අපිට දිනාගන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ ව්‍යාපාරය අවසන් වනවිට අපේ විශාල වර්ධනයක් දකින්න ලැබේවි.

මේ වනවිට ගම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ උනන්දුව කොයි වගේද?

පසුගිය කාලයේදී අපෙන් කැඩී ගිය හා නිශ්ශබ්දව සිටි සෑමදෙනාම එකමුතුව සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට කටයුතු කරනවා. ඒ තුළින් අලුත් ඡන්ද අප සමග එක්ව තිබෙනවා. මේ තුළ එක්සත් ජාතික පාක්ෂිකයා තුළ ප්‍රබෝධයක් ඇතිවී තිබෙනවා. එම ප්‍රබෝධය තවත් වර්ධනය කිරීම සඳහා ගෙයින් ගෙට යාමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. එය සාර්ථක අයුරින් ක්‍රියාත්මක වෙනවා. රජයේ සේවකයන්ට, විශ්‍රාමික අයට, ජ්‍යෙෂ්ඨ අයට අපි ලබාදී තිබෙන පහසුකම් දිහා බැලුවාම ඒ අය කලගුණ දක්වනු ඇතැයි විශ්වාස කරනවා. පසුගිය අවුරුදු හතර පහ තුළ ලබාදුන් පහසුකම් හා වැටුප් වැඩිකිරීම් මීට කලින් කවදාවත් දීලා නැහැ. තැපැල් ඡන්දය භාවිත කරන රජයේ සේවකයන් එම යුතුකම ඉටුකරන්න ඇති. ඔවුන්ට ලැබෙන මේ වරප්‍රසාද හා අයිතිවාසිකම් තවත් ශක්තිමත්ව තබාගන්න නම් හංසයාට ඡන්දය දීමයි කළ යුත්තේ.

ගෙයින් ගෙට යාමේ වැඩපිළිවෙළ ඇතුළු මැතිවරණ කටයුතුවලට පාක්ෂිකයන් උනන්දුවෙන් සම්බන්ධ වෙනවාද?

මේ වගේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න අපි ප්‍රමාද වුණා තමයි. අනිත් පැත්තේ අපේක්ෂයා මාස දෙකකට පෙර ප්‍රකාශ කළා. ඒ නිසා අපේ වැඩසටහන වේගයෙන් ක්‍රියාත්මක කරන්න වෙනවා. නිවසකට අවස්ථා දෙක තුනක් යාමට අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ සඳහා පක්ෂයේ ක්‍රියාකාරීන් සියලුදෙනාගේ සහය ලැබෙනවා. ගම් මට්ටමින් ඊට හොඳ ප්‍රතිචාර තිබෙනවා. ගමේ කමිටුව වගකීම් බෙදාගෙන නිවෙස්වලට යාම සිදුවනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ජනතාව දැනුවත් කිරීම මෙම පිරිසේ කාර්යභාරය වනවා. පොදුජන පෙරමුණේ අය ගෙනයන මඩ ප්‍රචාර ගැන ජනතාවට කරුණු වටහා දී ඇත්ත පැහැදිලි කරන්න කියලා අපි දැනුම් දී තිබෙනවා. රට බෙදනවා කියලා බොරු කිව්වා. වත්මන් ආණ්ඩුව රට කෑලි 09කට කඩනවා කිව්වා. බුද්ධාගමට තැන දෙන්නෑ කිව්වා. මේවාට උත්තර දෙන්න කියලා අපි පාක්ෂිකයන්ට උපදෙස් දීලා තිබෙනවා. මේ ආණ්ඩුව තරම් බුද්ධාගමට, ස්වාමීන් වහන්සේලාට තැනක් දීලා  නැහැ වෙන ආණ්ඩුවක්. ඇතැම් ස්වාමීන් වහන්සේලා අන්තවාදී ස්ථාවරයක සිටිමින් ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා. අපි උන්වහන්සේලාට පෙන්වා දෙනවා, අපි භික්ෂු රක්ෂණ ක්‍රමයක් ඇති කළා. ඒකෙන් කුඩා ස්වාමීන් වහන්සේලා සියලු දෙනා ආවරණය වෙනවා. භික්ෂු මාපිය කැපකරු ක්‍රමය හඳුන්වා දුන්නා. දුප්පත් පවුල්වල අම්මලා තාත්තලා තමයි ශාසනයට දරුවො පූජා කරන්නේ. ඒ අම්මා තාත්තා පැලේ ඉන්නේ. අසනීපයෙන් දුකින් ඔවුන් ඉන්නේ. අපි ඔවුන්ට පිහිටක් වෙමින් විශාල වැඩකොටසක් සිදුකරගෙන යනවා. නොදියුණු විහාරස්ථානවලට ආධාර ලබාදෙනවා. ජනාධිපති අරමුදලින්, අගමැති අරමුදලින්, සංස්කෘතික අරමුදලින් කිසි දිනෙක නොවුණු වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා අවශ්‍ය අවස්ථාවලදී මෙම වැඩසටහන් සඳහා මුදල් ලබාදුන්නා. ඔහු පුරාවිද්‍යා ස්ථාන හා විහාරස්ථාන ආරක්ෂා කරන්න විශාල වැඩකොටසක් සිදුකළා. මේ රටේ හැම ආගමකටම, හැම ජාතියකටම ගරු කරන වටපිටාවක් අපි ඇති කළා. ඒ සෑම ජනකොටසක්ම ආරක්ෂා කළා.

පාවෙන ඡන්ද තීරණය වෙන්නේ මැතිවරණ ව්‍යාපාරයේ අන්තිම සති දෙකේදී. සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයට පාවෙන ඡන්ද දිනාගැනීමේ වැඩපිළිවෙළක් තිබෙනවාද?

අන්තිම සති දෙකේදී අපිට එකතුවෙන කණ්ඩායම් ඔක්කොම තුළ ජයග්‍රහණය කරන බවට විශ්වාසයක් ඇතිකරන්න ඕන. ඒ ගැන අවබෝධයක් ලබාදෙන්න ඕන. දිනනවා කියලා හිතාගෙන ගෙදරට වෙලා හිටියට ජයග්‍රහණය කරන්න බැහැ. අවබෝධ කරවීම වේගවත් කළ යුතුයි. ගෙයින් ගෙට යමින්, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීම් මාලාවෙන්, ආසන හා කොට්ඨාස මට්ටමින් පවත්වන රැස්වීම්වලින් දැනුවත් කිරීම් කරනවා. අපි තරම් සහන දී තිබෙන රජයක් තවත් නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 40෴ක් බෙහෙත් මිල අඩුකරලා තිබෙනවා. අද පිළිකාවක් හැදුනත් රජයේ රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. වකුගඩු රෝගීන්ටත්, පපුවේ අමාරුවක් හැදුන අයටත් රජය සම්පූර්ණ වියදම් කරනවා. ඉන්දියාවෙන් ලැබුණු ගිලන් රථවලින් කොතරම් සේවයක් වෙනවාද? ඒක හඳුන්වා දෙද්දි පොහොට්ටුවේ අය කිව්වා ලංකාව ඉන්දියාවට විකුණන්න හදනවා කියලා. අද ලක්ෂ දහතුන හමාරකගේ ජීවිත බේරලා තිබෙනවා. අද ගමේ ජනතාව දන්නවා ඒකෙන් වෙන සේවය. අපි ඒක තවත් වර්ධනය කරනවා. මැතිවරණ ප්‍රකාශනයටත් අපි ඒක ඇතුළත් කර තිබෙනවා. පාසල්වල සිසුන්ට ලබාදුන් රක්ෂණ ක්‍රමය කොච්චර හොඳ වැඩපිළිවෙළක්ද? තවත් ලක්ෂ 06කට සමෘද්ධිය ලබාදෙනවා. ලක්ෂ 05කට සමෘද්ධිය ලබාදෙන්න දයා ගමගේ ඇමතිවරයා ළඟ මුදල් තියෙනවා. සමෘද්ධිය තුළින් ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න අපේ රජය කටයුතු කළා. පසුගිය රජයන්වලින් ඒක සිදුවුණේ නැහැ. අපි බලන්නේ ගෙදර කාන්තාවගේ ආදායම දියුණු කරලා ගෙදර ආර්ථිකය ශක්තිමත් කිරීම ගැන. තරුණ ළමයින්ට අනාගතයේදී තාක්ෂණ පුහුණුව, විද්‍යාත්මක පුහුණුව, ස්වයං ව්‍යාපාර ඇතිකිරීමට ශක්තිය ලබාදෙන බව මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කර තිබෙනවා. පාසල් යාම අනිවාර්ය කරන නීති, ජාතිවාදය තහනම් කිරීමේ නීති හඳුන්වා දෙනවා. ජාතිවාදය නිසා තමයි මේ රට විනාශ වුණේ. සෑම ක්ෂේත්‍රයකටම නව නීති හඳුන්වා දෙනවා. දේශපාලකයෝ වේවා, පූජක පක්ෂය වේවා ජාතිවාදය අවුස්සනවා නම් කුමන ආගමක් වුණත්, ජාතියක් වුණත් ඒකට ඉඩ දෙන්නේ නෑ.

අපේක්ෂකයන්, ඔවුන්ගේ කථිකයන් මැතිවරණ වේදිකාවල මඩ ප්‍රචාර එල්ලකර ගැනීම පිළිබඳ මොකද හිතෙන්නේ?

වේදිකාවල මඩ ප්‍රචාර නෙමෙයි ප්‍රතිපත්ති ගැනයි කතා කළ යුත්තේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. එහි අඩංගු කරුණු ජයග්‍රහණය කර ගැනීම තමයි අපේ ඉලක්කය. මැතිවරණ වේදිකාවේ හා සෝෂල් මීඩියාවල මඩ ප්‍රචාර එල්ලවීම කනගාටුවට කරුණක්. පුවත්පත් හා රූපවාහිනී දිහා බැලුවාමත් පක්ෂාග්‍රාහීව වාර්තා යන බව පේනවා. එක් කණ්ඩායමක් ප්‍රවර්ධනය කිරීම පමණක් ඔවුන්ගේ අරමුණ වෙලා තිබෙනවා. ඒවා ගැන පියවර ගන්න කියලා මැතිවරණ කොමිසමේ සභාපතිට දැනුම් දී තිබෙනවා. ඔහු ඒවාට පියවර ගන්න ඕන. නමුත් එවැන්නක් තවම දකින්න නැහැ. අපක්ෂපාතීත්වය සෑමවිටම ක්‍රියාත්මක වෙන්න ඕන.

මැතිවරණ වේදිකාවේ සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන ඇතැම් ප්‍රකාශ ඡන්ද අඩුවීමට හේතුවක් විය හැකි නේද?

ඕනෑම කෙනෙකුට ඕනම දෙයක් විවේචනය කළ හැකියි. බුදුන් වහන්සේට, ජේසුස් වහන්සේට, මහමද්තුමාටත් එවැනි විවේචන එල්ල වුණා. ඕනෑම කෙනෙකුට කතා හදලා‍, ගොතලා කියන්න පුළුවන්. නමුත් සජිත් ප්‍රේමදාස මහතා අර්ථවත්ව කරුණු පැහැදිලි කරනවා. ඔහු සෑමවිටම කතා කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කරුණු පමණයි. එතුමා ළාබාල කෙනෙක් නෙමෙයි. ඔහුගේ පියාගේ කාලයේ සිට අත්දැකීම් ලබපු කෙනෙක්. මම දන්නවා ඔහු පසුගිය අවුරුදු දෙකේ ක්‍රමානුකූල සැලැස්මකට කැබිනට් මණ්ඩලය තුළත්, කණ්ඩායම් රැස්වීම්වලත්, අමාත්‍යාංශවලත් කටයුතු කළා. සෑමවිටම සුදුස්සාට තැන දුන්නා. දේශපාලනය කියන්නේ වරප්‍රසාද ලබා‍ගන්නා දෙයක් නෙමෙයි. ඒ බව ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටියා. දේශපාලනඥයෙක් වුණාම වැඩ කරන අයට තැන දිය යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා එය හොඳින්ම කළ කෙනෙක්.

මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?

මහින්ද රාජපක්ෂලා 2010දී මොකද කළේ කියලා රටටම මතකයි. අපේක්ෂක සරත් ෆොන්සේකා, කරු ජයසූරිය සිටි හෝටලයට හමුදාව දාලා වට කෙරුවා. එළිවෙනකම් එළියට යන්න දුන්නෑ. මැතිවරණ කොමසාරිස් ලෙස සිටි දිසානායකව අත්අඩංගුවට ගන්නවා කියලා බලපෑම් කරලා තිබුණා. මැතිවරණ කොමිෂන් කාර්යාලයේ බැසිල් රාජපක්ෂයි, මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුමයි සිටියා. එදා ඡන්දය ගණන් කරන වෙලාවේ ප්‍රතිඵල ලබාදෙන තැන ඔවුන් බලපෑම් කරමින් සිටියා. සරත් ෆොන්සේකා සිටින තැන රනිල් වික්‍රමසිංහ මහතායි, මමයි දැනගෙන හිටියේ. කුරුණෑගලදී මටත් වෙඩි තියන්න හොයලා තිබුණා. එදා ෆොන්සේකා මහතාගේ වාහනවලට වෙඩි තිබ්බා. රෑ 1.00ට මට සරත් ෆොන්සේකා මහතා ළඟ සිටි කර්නල් කෙනෙක් කෝල් කරලා කිව්වා වටකරලා ෆොන්සේකා මරන්න හදනවා කියලා. මේක මල්වත්තේ නායක හාමුදුරුවන්ට කියලා නවත්තන්න කිව්වා. එවිට සරත් ෆොන්සේකාත් මට කතා කරලා කිව්වා වටකරලා වෙඩි තියනවා කියලා. මම ඒ වෙලාවේ මල්වත්තේ නායක හාමුදුරුවෝ කෝල් එකක් දීලා අමාරුවෙන් නින්දෙන් නැගිට්ටෙව්වා.උන්වහන්සේගෙන් සමාව ඉල්ලලා මම කිව්වා රාජපක්ෂලාට ඡන්දයෙන් මැතිවරණය දිනන්න,ජීවිත හානි කරන්න එපා කියන්න කියලා.මේවා රටේ බොහෝ දෙනා දන්නෑ.

එදා හිතුවක්කාරී විදියට මැතිවරණ කොමිසමට බලපෑම් කරලා ඡන්ද කළේ. ඒවා නැති කරලා ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කළේ මේ ආණ්ඩුව තමයි. ඒ නිසා අද රණ්ඩු දබර කෝලාහල අඩුවෙලා තිබෙනවා. ස්වාධීනව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ නිසා සියලුදෙනාට සමානව මැතිවරණ නීතීය ක්‍රියාත්මක කිරීම කොමිෂන් සභාවේ වගකීමක් වෙනවා. අපි ඔවුන්ට උපරිම නිදහස ලබාදී තිබෙනවා.



Recommended Articles