පුරෝගාමීත්වයේ නගරය ලෙස හැඳින්වෙන මොරටුව පුරවරයේ පැරණිතම කතෝලික බාලිකා පාසල වන ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමයට අද (09දා) දිනට වසර 135ක් සැපිරේ. මේ සටහන ඒ වෙනුවෙනි.
පාසලේ ආරම්භය
1880 දශකයේ සුන්දර සිඳු මනාලියකට මායිම්ව, කරදිය සුළඟ මුසුවූ පොල් රුප්පාවේ, පුරෝගාමීත්වයේ නගරය වූ මොරටු පුරවරයේ දැරියන්ට අකුරු කරන්නට හැකි, ඓතිහාසික දිනය එළඹිණි. අදින් වසර එකසිය තිස්පහකට පූර්වයේ එවකට අගරදගුරු හිමිපාණන් වූ අතිඋතුම් බොන්ජින් රාජගුරුප්රසාදිතුමන්ගෙන් ලබා ගත් අවසරය මත, කතෝලික බාලිකා පාසලක අවශ්‍යතාවය සපුරා ගනු වස් 1885 වර්ෂයේ පෙබරවාරි මස 8වන ඉරු දින ගරු ඩොමිනික් පුලිකානි පියතුමා විසින් ජයලත් විදු මව් පියසට මුල් ගල තබන ලදී. එසේ ඇරඹි මේ කුඩා බීජය නමැති ‘ජයලත් විදු මාතාව‘ අද, දසත අතුපතර විහිදී, සැමට අධ්‍යාපන වරම් හිමිකර දෙන විශාල වෘක්ෂයක් වී හමාරය. එහි සෙවණ ලබා පොහොනි වූ අත්තම්මලා තම දියණියන් එහි සෙවණ ලබන්නට යොමු කරවූ අතර, ඔවුන්ගේ මිණිබිරියන්ද එහි සෙවණ ලබන්නට එම විශාල වෘක්ෂය වටා රොක් වෙමින් සිටියි. ඒ මහා වෘක්ෂය අද මොරටු පුරවරයේ පැරණිතම කතෝලික බාලිකා පාසල ලෙස වසර 135ක් සපුරා ලෝ පතළ කීර්තිනාමයක් දිනා සිටින ‘%ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය’ නමින් විරාජමාන වේ.
එවකට මෙම පාසල ආරම්භ කිරීමට මුදලින් විශාල වශයෙන් උපකාර කළ ජෝන් ක්ලෝවියස් ද සිල්වා මහතා හා පාසල ඉදිකිරීමට අක්කර දෙකක ඉඩම පරිත්‍යාග කළ එල්. ජුසේ ද සිල්වා මහතාගේ නොමසුරු උපකාරයෙන්ද, විවිධ ධානපතීන්ගේ ධන පරිත්‍යාගයෙන්, ජයලත් විදු මාතාව ක්‍රමයෙන් ගොඩනැගිලි ඉදිකෙරෙමින් ගොඩනැගෙන්නට විය. 1886 වර්ෂයේ මාර්තු 9වන දින මොරටු පුරවරය නමැති පොතේ, අලුත් පිටුවක් පෙරළිණි. ගරු බොන්ජින් රදගුරු හිමිපාණන් හා එතුමන්ගේ අනුගාමිකයන් ඇතුළු පූජකවරුන් හත්දෙනෙක් ද, මරියතුමියගේ ෆ්රැන්සිස්කානු ධර්මදූතික නිකායේ පැවිදි සොහොයුරියන් 11 දෙනෙකුද ඉමහත් හරසරින් අලංකාර පෙරහරකින් පැමිණ ‘%ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය’විවෘත කරන ලදී.
ගරු මේරි ශාන්ත පිලර් මව්තුමිය මුල්ම විදුහල්පතිනිය වූ අතර, යුරෝපයේ සිට පැමිණි ඊ. ආම්ස්ට්‍රෝන් මෙනවිය හා ඉන්දියාවේ ඌමකාමන් නාසරෙත් කන්‍යාරාමයෙන් පැමිණි ෆ්ලොරන්ස් පෙයිස් මෙනවියත් මුල්ම ගුරුවරියෝ වූහ. සිසුවියන් 9 දෙනෙකුගෙන් ඇරඹි ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමයේ මුල්ම සිසුවිය වීමේ භාග්‍යය ලබාගෙන ඇත්තේ රොසලින් ද සිල්වා ශිෂ්‍යාවයි. 1892 වර්ෂයේ මැයි මස 24වන දින ඉංග්‍රීසි පාසලක් ලෙස රජයේ ලියාපදිංචි වූ මෙම පාසලේ 1929 වර්ෂය වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 425ක් දක්වා වර්ධනය විය. 1926 වර්ෂයේ සිට 1950 දක්වා කාල වකවානුව තුළ ගරු මාරි ෆිලමිනා මව්තුමිය විදුහල්පති ධුරය හොබවන ලදී. එහිදී සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ කාර්යමණ්ඩලය පුළුල් වීමත්, දෙවන භාෂාව ලෙස සැලකූ ප්‍රංශ භාෂාව වෙනුවට ‘සිංහල භාෂාව හඳුන්වා දීමත්ය. 1939 වර්ෂය වන විට දෙවන ලෝක යුද්ධ සමයේදී පවා ඇතිවූ විවිධ බාධා මැඩගෙන මෙම පාසලේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට එවකට සිටි පැවිදි සොහොයුරියන්ගේ නොමඳ දායකත්වය ලැබිණි.
ගරු මාරි ෆිලමිනා මව්තුමියගේ විදුහල්පති ධුර කාලයේදී ආදි ශිෂ්‍ය සංගමය ප්‍රතිසංවිධානය කිරීම සිදුවිය. 1945 වර්ෂයේදී අ.පො.ස උසස් පෙළ පන්ති ආරම්භ වූ අතර, 1951 වර්ෂයේදී එනම් ගරු ෆ්‍රැන්සිස් මාර්ක්ස් පැවිදි සොහොයුරිය විදුහල්පති ධුරය හෙබවූ කාලයේ, ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය ‘%A’ ශ්‍රේණියේ පාසලක් බවට පත්විය. ෆ්‍රැන්සිස් මාර්ක්ස් පැවිදි සොහොයුරිය මෙම පාසල පාලනය කළ අවසන් විදේශීය පැවිදි සොහොයුරිය වූවා ය.
ජයග්‍රහණ
පාසල් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පාසලේම ආදි ශිෂ්‍යාවක වූ ගරු බෙනිටා ප්‍රනාන්දු පැවිදි සොහොයුරිය 1968 වර්ෂයේදී විදුහල්පති මව්තුමිය ලෙස පත්වූවාය. විද්‍යා රසායනාගාර පුළුල් වෙමින්, බටහිර තූර්ය වාදක කණ්ඩායමක් හා හේවිසි තූර්ය වාදක කණ්ඩායමක් පිහිටුවා ඇත. 1970 වර්ෂයේදී සමස්ත ලංකා තූර්ය වාදක කණ්ඩායම් තරගයෙන් ජයග්‍රහණය අත්පත් කර ගත් මෙම පාසල අද අධ්‍යයන කටයුතුවලින් පමණක් නොව ක්‍රීඩා, පෙරදිග හා අපරදිග සංගීතය, ගායන, නැටුම්, ඉංග්‍රීසි හා සිංහල සාහිත්‍යය, නාට්‍ය හා රංග කලාව, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ගණිත, විද්‍යා, වාණිජ්‍ය හා කලා ආදී විවිධ විෂය ක්ෂේත්රවලින් ජාතික තලයේ ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති අතර, එයින් නොනැවතී බැඩ්මින්ටන් ක්‍රීඩාව හරහා ජාත්‍යන්තර තලයටද පාසල ඔසවා තබන්නට තරම් ශිෂ්‍යාවන් සමත් වී ඇත.
1981 වර්ෂයේදී ගරු හෙන්රීටා ද සිල්වා මව්තුමිය එනම් මෙම පාසලේ දෙවන ආදි ශිෂ්‍යාව විදුහල්පති ධුරයේ වැඩ භාර ගත්තාය. 1984 වර්ෂයේදී ගරු ෂර්ලි ද සිල්වා පැවිදි සොහොයුරිය විදුහල්පති මව්තුමිය වූ අතර, එතුමිය පාසලේ තෙවන ආදි ශිෂ්‍යාව වූවාය. මේ කාල වකවානුව වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 1435 දක්වා වර්ධනය වී තිබූ අතර, සියවස සැමරීමේ උත්සවය වෙනුවෙන් පාසලට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ අතර, දොළොස් වසරක සේවා කාලය තුළ ගරු ෂර්ලි ද සිල්වා මව්තුමියගේ මගපෙන්වීම යටතේ සියවස් සැමරුම සිදුකෙරිණ.
1996 වර්ෂයේදී ගරු චාමලීන් පෙරේරා පැවිදි සොහොයුරිය ජයලත් විදුපියසේ විදුහල්පති ධුරයට පත්වූවාය. දස වසරක සේවා කාලය තුළ එතුමිය පාසල් සංවර්ධන සමිතිය පිහිටු වූ අතර, පාසලේ දියුණුවට දෙමාපියන්ගේ සහභාගීත්වයද නොමඳව ලබාගැනීමට කටයුතු කළාය. තව ද බැඩ්මින්ටන් ක්‍රීඩාව ඇතුළු තවත් ක්‍රීඩා සඳහා අවශ්‍ය වන ගෘහස්ථ ක්‍රීඩාගාරය ඉදිකිරීමේ මහඟු කර්තව්‍යය සඳහා එතුමිය මුල් වූවාය.
වර්ෂ 2007 පෙබරවාරි මාසයේ සිට නැවත වරක් ජයලත් විදු මව් පියසේ අකුරු කෙරූ ආදි ශිෂ්‍යාවක වූ ගරු සුජීවා නෝනිස් කන්‍යා සොහොයුරිය විදුහල්පති ධුරයේ වැඩ භාර ගත්තාය. එතුමිය පාසලේ විදුහල්පති ධුරයට පත් වූ සිව්වන ආදි ශිෂ්‍යාවයි. ඇයගේ සේවා කාලය තුළ පාසලේ 125වන ජුබිලි සැමරුම් උළෙල අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය.
2017 වර්ෂයේ සිට අද දක්වා ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමයේ විදුහල්පති මව්තුමිය ලෙස කටයුතු කරන්නේ ගරු චමිලා ඈන් ප්‍රනාන්දු කන්‍යා සොහොයුරියයි. අද (9දා) දින වන විට ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය, වසර 135 පුරා විජයග්‍රාහී නොනිමි මෙහෙවරක නියැළෙන්නීය.
වර්තමානය
සත්‍යය තුළින් දයාව පතුරුවමින් යන දිගු ගමනක ජයලත් පාසල් මාතාවගේ පුළුල් දැක්ම වනුයේ සත්‍යවාදී, මානව හා පරිසර හිතවාදී, විනයගරුක, උගත් දියණියක සමාජයට බිහිකිරීමයි. වර්තමානයේ විදුහල්පති ධුරය හොබවන ගරු චමිලා ඈන් ප්‍රනාන්දු මව්තුමිය පාසල වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක නියැළෙමින් සිටින්නීය. නියෝජ්‍ය විදුහල්පතිනිය ගරු උමේෂිකා ගයනි කන්‍යා සොයුරිය වන අතර, සහකාර විදුහල්පති ධුරය හොබවන්නේ ගරු චාමලීන් පෙරේරා කන්‍යා සොහොයුරියයි. උප විදුහල්පතිනියන් දෙදෙනා වන ශ්‍රියානි ද සිල්වා හා අනුක්ෂි දිසානායක ගුරු මහත්මීන් දෙදෙනාද ආදි ශිෂ්‍යාවන් වේ. ප්‍රධාන ශිෂ්‍ය නායිකා රොෂේන් ද අල්මේදා ඇතුළු ශිෂ්‍ය නායිකා මඬුල්ල හරහා පාසලේ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයාමට දරන උත්සාහයේදී ඔවුන්ගේ මෙහෙවර ප්‍රශංසනීයයි.
සිසුවියන් 2200ක් ඉගෙනුම ලබන පාසලේ වර්තමාන ගුරු මඬුල්ල 115කි. අනධ්‍යයන කාර්ය මණ්ඩලය 15 දෙනෙකු පමණ වන අතර, විශේෂ ආරක්ෂක ආයතනයක් මගින් මෙහෙයවනු ලබන පිරිසක් ආරක්ෂක අංශය වශයෙන් කටයුතු කරනු ලබති. තවද සනීපාරක්ෂක හා ගෙවතු අලංකරණය සඳහා යොදවා සිටින පිරිසද අමිල මෙහෙවරක් සිදුකරති.
දැනට වසරක පමණ කාලයක පටන් මුළු ලෝකයටම බලපෑ ‘කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලංකාවේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අඩාල වූ අතර, වෛරසය පැතිරීම හමුවේ ජීවිත සටනක නියැළෙලෙන්නට සියලු දෙනාටම සිදුවිය. මේ දුෂ්කර කාලපරිච්ඡේදය තුළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම නිවෙස්වලටම වී කාලය ගත කළ බැවින්, ඔවුන්ගේ චිත්ත ශක්තිය, අභියෝග ජයගැනීමේ ශක්තිය හා නිර්මාණ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් අංකුර ලේඛක ලේඛිකාවන් පිරිසක් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම අරමුණු කරගෙන %‘රටක් වටින පොතක්’ එළිදැක්වීම හරහා නැවත ළමුන් අධ්‍යාපන කටයුතු සඳහා එක්කර ගැනීමට පාසල කටයුතු යෙදීය. වැදගත්ම කාර්යය වූයේ ගරු විදුහල්පතිතුමියගේ සංකල්පයක් අනුව L.M.S. (Learning Management System) එනම් දුරස්ථ මාර්ගගත ක්‍රමය යටතේ පාසලේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට (Online) තාක්ෂණය හරහා ඉගැන්වීමේ කටයුතු කාලසටහනකට අනුව සිදුකිරීමයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පමණක් නොව ගුරු රැස්වීම්, ගුරු දෙගුරු හමු, ගුරු සුබසාධක හමු පවා මාර්ගගත ක්‍රමයට පැවැත්වීම මේ වන විට සාර්ථකව කරගෙනු යනු ලබන්නේ පවතින කිසිදු දුෂ්කරතාවක් බාධාවක් කර නොගෙන ඉදිරියේදී මුහුණ දීමට සිදුවන සියලු අභියෝග ජයගෙන ඉදිරියට යා යුතු බව දරුවන්ට මනාව පසක් කර දෙමිනි.
(ආචාරිණි මධූෂා පෙරේරා)